මතු දැක්වෙන්නේ එහි දී නීල් ලකී ක්‍රිස්ටෝපර් මහතා කළ දෙසුම ඇසුරින් සැකසුණු ලිපියකි.
මහාචාර්ය සුචරිත ගම්ලත් අප අතරින් වියෝ වූ බව මා සවනත වැකුණ සැනින් ම මට සිහිපත් වූයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ප්‍රංශය ලෝකයේ බලගතු රාජ්‍යයක් බවට පත්කළ චාල්ස් ඩිගෝල් මිය ගිය මොහොතේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. එම සිරස්තලයෙන් ප්‍රකාශ කෙරුණේ ‘‘දැන් ප්‍රංශය වැන්දඹුවක්’’ යන්න ය. අපගේ ආදරණීය මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ අභාවයත් සමග ම අපගේ සාහිත්‍යය විචාරයත් අස්වාමික වූවේ ය යන්න මගේ හැඟීම විය. අප රට තුළ වෙසෙන අනෙකුත් සාහිත්‍යය කලා විචාරක විද්වතුන්ගේ ශක්‍යතා මින් අවතක්සේරු නොවන බව ද මේ මොහොතේ සිහිපත් කළ යුතු ය.
පශ්චාත් නූතනවාදීන් යැයි හඳුන්වාගන්නා කණ්ඩායම විසින් නිරන්තරයෙන් භාවිතයට ගන්නා ජැක් ඩෙරීඩා වරක් මෙසේ ප්‍රකාශ කළේ ය. ‘‘මාක්ස්ගේ අවතාරයෙන් තොරව මානව වර්ගයාට අනාගතයක් නැත’’ එහෙයින් මා ඉතාමත් ව්‍යුක්තව සහ වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ ‘මහාචාර්ය ගම්ලතුන්ගේ කෘති හැදෑරීමෙන් තොර සිංහල සාහිත්‍යය විචාරයට ඇතුළත් විය නොහැකි බව’ යි. එමෙන් ම ඔවුන්ට මහාචාර්ය ගම්ලතුන්ගේ පරිශීලනය බැහැර කොට ලාංකීය සාහිත්‍යය විචාරයට ප්‍රවිශ්ට වීමට සදාචාරාත්මක අයිතියක් ද නැත යන්න මගේ හැඟීම ය. විවෘතව ම එසේ ප්‍රකාශ කරන්නට හේතු සාධක වන්නේ අපගේ පරම්පරාව මෙම සාහිත්‍යය කලාව පිළිබඳ ගැඹුරු, බරසාර දෘශ්ටිවාදයකින් සන්නද්ධ කළේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් ම පමණක් වීම ය. මේ මොහොතේ මා භාවිතයට ගන්නා බහුතරයක් වචන වෙනුවෙන් මා එතුමාණන්ට ණය ගැති බව සිහිපත් කරමි.
විසිවන සියවසේ අපගේ සාහිත්‍යය විචාරය තුළ මුල් අවධියේ දැවැන්තයන් ලෙස මතුවී සිටියේ ඩබ්ලි්‍යු. එෆ්. ගුණවර්ධන සහ සර්. ඩී. බී. ජයතිලක යන විද්වතුන් ය. ඉක්බිති විචාර ක්ෂේත්‍රයට එලඹෙන්නේ මුනිදාස කුමරතුඟුවන් සහ රැයිපියෙල් තෙන්නකෝනුන් බව අවිවාධිත ය. එම කාල සීමාවේ දී අපගේ සාහිත්‍යය විචාරය සීමා වී තිබුණේ අලංකාර විභාගයට ය. එය පෙරදිග සාහිත්‍යය විචාරයන් ඔස්සේ කලා කෘතියක අගය නීර්ණය කිරීම සහ එම කලා කෘතියෙහි භාෂාවේ ස්වභාවය නිරීක්ෂණය කිරීම සඳහා පමණක් සීමා වී තිබිණ. නමුඳු බොහෝ දෙනකු අත නොගැසූ එක් කාරණයක් ද මෙහි දී සිහිපත් කළ යුතු ය. රැයිපියෙල් තෙන්නකෝනුන් පවා මා දකින්නේ භාෂාවේදියෙක් සහ භාෂාව පිළිබඳ ශුද්ධෝත්මවාදියෙක් ලෙස ය. නමුඳු එතුමා සිංහල සාහිත්‍යයේ කාන්තාවගේ නිරූපණය පිළිබඳ ඒ අවධිය සමග සන්සන්දනය කළ විට එය ඉතා ඉදිරිගාමී දැක්මක් බව ද මෙහි දී සිහිපත් කිරීම ඉතා වැදගත් ය.
ඉනික්බිති සාහිත්‍යය විචාරයේ දැවැන්තයන් ලෙස මතුවන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් බව අවිවාධිත ය. මාර්ටින් වික්‍රමසිංහයන් සිය සාහිත්‍යය විචාරකරණයේ අවසන් අවධිය වන විට ‘නිර්මල සිංහල බෞද්ධ දෘශ්ටිවාදය’ හරහා දේශීය සාහිත්‍යය විචාරය පිළිබඳ වැරදි මතිභ්‍රමයක එල්බ සිටි බව නොරහසකි. එදිරිවීර සරච්චන්ද්‍රයන් ඊට ප්‍රතිපක්ෂව පෙරදිග සහ අපරදිග විචාර සිද්ධාන්තයන් අපට උගන්වමින් අපගේ සාහිත්‍යය විචාර ඥානය වර්ධනය කළේ ය. අනතුරුව සාහිත්‍යය විචාර ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මහාචාර්ය ගම්ලතුන්ගේ සාහිත්‍යය විචාර ක්‍රමවේදය අධියර තුනකින් විග්‍රහ කළ හැකි ය.
පෙරදිග සෞන්දර්යවේදයෙන් සන්නද්ධ වූ ශාස්ත්‍රවන්තයකුගේ භූමිකාව එක් අදියරකි. එය ඔහු සාහිත්‍යය විචාර ක්ෂේත්‍රයට පිවිසි මුල් යුගයේ ඉටු කළ දැවැන්ත කාර්යභාරයකි. නමුඳු ඔහුගේ මුල් කෘති තුළින් පවා හෙතෙම විශ්වීයවාදී දෘශ්ටියකින් සන්නද්ධව සිටි බව දක්නට ලැබිණ. ඒ සඳහා සුදුසු ම නිදර්ශනය නම් කව්සිළුමිණ විචාරයේ පෙරවදන ය. එතුමා එහි මෙසේ සඳහන් කළේ ය. ‘කයින් කොදිවක වසන්නෙමු නමුඳු අපි මනසින් සිටින්නේ විශ්වයේ ය’ යනුවෙන් ඉතාමත් තිරසර ලෙස සහ නිවැරදි ලෙස එහි සඳහන් කොට ඇත.
පෙරදිග සෞන්දර්යවේදයෙන් සන්නද්ධ වූ මෙම සෞන්දර්ය විශේෂඥයා පසුකාලීනව එනම් දෙවන අදියරේ දී බටහිර එසේත් නැත්නම් අපරදිග යන දෙදිග සෞන්දර්යවේදයෙන් ද සන්නද්ධ වූ විශේෂඥයකු බවට පත්විය. ‘සාහිත්‍යය ලෝකය සහ සැබැ ලෝකය’ සහ ඒ හා සමකාලිනව රචිත කෘති තුළින් එතුමා කලාවෙහි ස්වභාවය, කලාව සහ සදාචාරය අතර පවතින සබඳතා වැනි ඉතාමත් ගැඹුරු කාරණා කිහිපයක් ප්‍රශ්න කරමින් එහි යථාර්ථය ද මතුකළේ ය.
තෙවන අදියරේදී ඔහු අපට මුණගැසෙන්නේ පෙරපර දෙදිග සෞන්දර්යවේදයෙන් සන්නද්ධව සිටි විද්වතා මාක්ස්වාදී විචාර භාවිතයෙන් ද සන්නද්ධ වූ දැවැන්ත විචාරකයකු ලෙසිනි. මහාචාර්ය ගම්ලතුන් මේ මිහිතලය පවතින තාක් සිංහල සාහිත්‍යයට කළ අභියෝගාත්මක ප්‍රතිප්‍රදානය ගැබ්වන්නේ මෙම තෙවන අදියරේ දී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍යය විචාරය බොහෝ විට භ්‍රමනය වෙමින් පැවතියේ මාර්ටින් වික්‍රමසිංහයන් සහ එදිරිවීර සරච්චන්ද්‍රයන් මතුකළ යම් යම් විචාර රීතින් ඔස්සේ ය. මහාචාර්ය ගම්ලතුන් අපට ඉගැන්වූයේ ඊට ප්‍රතිපක්ෂ සාහිත්‍යය විචාරවේදයකි. එනම් දෘශ්‍යමානය නොව යථාර්ථවේදයකි. යථාර්ථය අවබෝධ කොට ගන්නට නම් දෘශ්‍යමානය විනිවිද යායුතු බව අපට පසක් කළේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් බව අනිවාර්යයෙන් සඳහන් කළ යුතු ය. ඔහුගේ සමස්ත විචාර සංකල්පවල සාරය එතුමා ග්‍රහණය කරගන්නේ දෘශ්‍යමානයේ කබොල්ල විනිවිදිමිනි. මෙලෙසින් දෘශ්‍යමානය විනිවිද යථාර්ථය ඥානනය කිරීමට නම් අප විශාල ඥාන සම්භාරයක් අත්පත් කර ගතයුතු බව එතුමා පැවසීය. මහාචාර්ය ගම්ලතුන් නොසිටින්නට මා ද ඇතුළු 80 දශකය තරුණ පරපුර බුද්ධිමය රොඩ්ඩන් බවට පත්වනු නිසැක ය.
මා පෙර සඳහන් කළ පරිදි මාක්ස් ගේ අවතාරයෙන් තොරව මානව වර්ගයාට අනාගතයක් නැතැයි පැවසූ සේ ම ගම්ලතුන්ගේ කෘති ඉතා සමීපව හැදෑරීමෙන් සහ අධ්‍යනය කිරීමෙන් තොරව වර්තමාන පරපුරට ද කිසිඳු බුද්ධිමය චාරිකාවක නියැළිය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි ය. ඔහු සාහිත්‍යය නමැති මාධ්‍යය තුළට දයලෙක්තික භෞතිකවාදය කැඳවාගෙන ආවේ ය. කලා කෘතියක ගැඹුර දැකිය යුත්තේ කෙසේ ද යන්න ඔහු අපට පහදා දුන්නේ ය. ‘කලා කෘතියක කාර්ය භාරය බුද්ධිය සහ භාව මණ්ඩල ප්‍රසාරණය කිරීම ය’ යන්න ගම්ලතුන් දැඩිව අවධාරණය කළ කරුණකි. එම කරුණු එකල අපට මහත් ආනන්දනීය භාවයක් අත්කර දුන්නේ ය; අපේ බුද්ධිය ආලෝකමත් කළේ ය.
‘ස්වාමීනි ඔබගේ නිවසට ඇතුළුවන්නට මා සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනවි. එවිට මා අත් ඔසවන්නෙමි’ යනුවෙන් බයිබලයේ සඳහන්ව ඇත. මහාචාර්ය සුචරිත ගම්ලත් නමැති බුද්ධි දැවැන්තයා පිළිබඳ වචන සුවල්පයක් කතා කිරීමට ලැබීම මගේ ජිවිතයේ මා ලද දෙවන ගෞරව උපාධිය යි. මා ලද පළමු උපාධිය නම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් ලකුණු පහළොවකටත් අඩු ශිෂ්‍යයකු ලෙස විශ්වවිද්‍යාලයෙන් එළියට පැමිණීමට සිදුවීම ය. මේ පිළිබඳ මා අරිසෙන් අහුබුදු සූරීන් සමග කතාබහ කළ මොහොතේ එතුමා පවසා සිටියේ... ‘ක්‍රිස්ටෝපරය, නුඹ ලද උසස් ම උපාධිය එය යි’ යනුවෙනි.
අපි මහැදුරු සුචරිත ගම්ලතුන් ඇසුරු කිරීමේ දී දුටු සුවිශේෂත්වය නම් එතුමා බුද්ධිය පිටාර ගලන පෞරුෂයකින් හෙබි චරිතයක් වීම ය. එමෙන්ම එතුමා අප්‍රමාණ රසවතෙකි. අප රටෙහි ශාස්ත්‍රවන්තයෝ වනාහී උඩුගුවනේ වෙසෙන්නෝ ය. ඔවුහු ජනතාවට සමීප නොවෙති. ජනතා ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු නොකරති. ගම්ලතුන්ගේ තවත් සුවිශේෂත්වයක් වූයේ එතුමා විවිධ මාධ්‍යයන් හරහා ජනතාවට සමීප වීම ය; ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න පවා තමන්ගේ සාකච්ඡාවට බඳුන් කළේ ය. ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදය පිළිබඳ එතුමා දැරූ අභියෝගාත්මක අදහස් මෙරට කිසිඳු ශාස්ත්‍රවන්තයකු විසින් නොදරුවේ ය; මෙරට කිසිඳු ශාස්ත්‍රවන්තයකු එවන් අභියෝගයන්ට මුහුණ නොපෑවේ ය.
මහාචාර්ය සුචරිත ගම්ලතුන් හට පරම සතුරන් දෙදෙනකු සිටියහ. ඉන් එක් සතුරෙක් වූයේ ‘වර්ගවාදය’ යි; ‘වර්ගවාදී විඥානය’ යි. අනෙක් සතුරා නම් ‘හඩු බස’ යි. මුනිදස් කුමරතුඟුවන් පිළිබඳ මීට වසර තිහකට පමණ පෙර මහාචාර්ය විනී විතාරණයන් Sunday Observer පුවත්පතට ලිපියක් ලිව්වේ ය. එහි මාතාකාව වූයේ ‘අශිෂ්ට යෙදුම් ඔහුගේ සතුරා ය’ යන්න ය. ඒ හා සමව ම ගම්ලතුන්ගේ පරම සතුරන්ගෙන් කෙනකු වූයේ ‘හඩු බස’ යි. හඩු බස වෙත මෑත ඉතිහාසයේ දැවැන්ත ලෙස ප්‍රහාර එල්ල කළ වෙනත් කිසිඳු විද්වතකු නොමැති තරම් ය. එමෙන් ම ගම්ලත්න් තීරු ලිපි හරහා වෙනත් ශාස්ත්‍රවන්තයන් නොකළ මෙහෙයක් ඉටු කළ බව ද මෙහි දි සිහිපත් කළ යුතු ය. තව ද B B C සන්දේශය හරහා විකාශනය වූ ‘ගී මිණි ආර’ද තවත් සුවිශේෂී මෙහෙවරකි. එම වැඩසටහන ද රසිකයාගේ බුද්ධි මණ්ඩලය අවදි කරන්නට කළ මෙහෙය අපමණ ය. එහෙයින් එතුමාට දැක්විය යුතු උපරිම උපහාරය විය යුත්තේ එතුමා ගේ කෘති සමීපව අධ්‍යනය කරමින් එතුමා ගේ ඥානය වත්මන් සහ ඉදිරි පරම්පරාව වෙත පවරන්නට කටයුතු කිරීම ය.
එක්තරා සුන්දර සැන්දැවක මා ගම්ලතුන්ට මෙවැන්නක් පැවසී ය.
‘සර්... මුනිදස් කුමරතුඟුවන් මිය ගිය මොහොතේ මේ රටේ විශාල භු චලනයක් සිද්ධ වුණා. ඒ 1944 මාර්තු දෙවන දින. ඒ වගේ ම තවත් භූ චලනයක් සිද්ධ වෙන්න තියෙනවා.’
ගම්ලතුන් ආදරයට මා අමතන්නේ ‘ක්‍රිස්ටො’ යනුවෙනි. එතුමා මගෙන් මෙසේ විමසී ය.
‘ඒ කවදද ක්‍රිස්ටො...?’
මා එක හෙළා ප්‍රකාශ කළේ... ‘සර්... ඒ සර් මැරිච්ච දවසට’ යනුවෙනි.
ඒ කම්පනය එතුමා මිය ගිය දින මතු නොව තවමත් සිදුවෙමින් පවතී.
සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මහාචාර්ය ගම්ලත් නොසිටින්නට අපි බුද්ධිමය රොඩ්ඩන් බවට පත්වෙනවා - නීල් ලකී ක්‍රිස්ටෝපර්
Published in
විශේෂාංග
Tuesday, 07 April 2015 13:12
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ සමරු උලෙලක් පසුගිය ඉරිදා (2015-04-05) කොළම බාහස්පති අධ්‍යාපන ආයතනයේ දී පැවැත්විණි. එහි දී මහාචාර්ය ජිනදාස දනන් සූරිය, ගනුෂ්ක රන්දුල සහ නීල් ලකි ක්‍රිස්ටෝපර් යන මහත්වරු දෙසුම් පැවැත්වූහ.
Leave a comment