වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අද ආශ්චර්යමත් දිනයකි!!!

Friday, 27 March 2015 09:56

සැබැවින් ම අද ආශ්චර්යමත් දිනයකි. ඒ මා සතුව පැවති හඬ පටිගතකරන යන්ත්‍රය වෙනුවට නව මාදිලියේ නවතම හඬ පටිගතකරන යන්ත්‍රයක් මා වෙත ලැබීම නිසා පමණක් ම නොවෙමි. ‘‘ආශ්චර්ය’’ නමැති වදන ද අවභාවිතාවේ යොදවමින් පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ සහ සිදු කළ විපරීතකරණයට සාපේක්ෂව ගත් කල අද මට ආශ්චර්යමත් දිනයකි. එය හුදෙක් මට පුද්ගලිකව අත්වු වාසියක් නිසා නොව අප කිසිවකු සිහිනෙන්වත් නොපැතූ යමක් සිදුවීම නිසාවෙනි. එනම් කිසිවකු නොසලකා සිටි පිරිසක්, නිකම්ම නිකම් පිරිසක් නොව නිර්මාණකරුවන් පිරිසක් සම්මානයට පාත්‍ර වීම හේතුවෙනි.

පළමුවෙන් ම මෙහි දී මා යමක් පැවසිය යුතු ය. එනම් මෙසේ නොසලකා හැර සිටි පිරිසක් සම්මානනීය පිරිසක් ලෙස ඔසවා තැබූ සහ මා හට සිදු වු විපත අසා. එය පිළිගෙන, එය වටහාගෙන මා වෙත නවතම හඬ පටිගතකරන යන්ත්‍රයක් පරිත්‍යාග කළ ‘‘නෙළුම් යාය සහෘද සංසදය’’ ට මගේ කෘතඥතාව හිමි වන බව ය.

එහෙත් මා ඒ සියල්ලට ප්‍රථමයෙන් මගේ කෘතඥතාව හිමි කර දෙන්නේ පසුගිය නව වන දින වැවිලිකර්මාන්ත අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේ දී මට හිමි හඬපටිගතකරන යන්ත්‍රය ආපසු මා වෙත ලබා නොදුන් මාධ්‍යයවේදියා, මාධ්‍යයවේදිනිය හෝ කණ්ඩායමට ය. මන්ද ඔහු, ඇය හෝ එම කණ්ඩායම එදින හෝ ඊට පසු මේ මොහොත දක්වා හෝ මට එය ආපසු ලබා දුන්නේ නම් අද දින නෙළුම්යාය සහෘද කැල මා වෙත පරිත්‍යාග කළ මෙම නවීනතම හඬ පටිගතකරන යන්ත්‍රය මට නොලැබෙන්නේ ය. එහෙයින් නැවත වතාවක් මගේ පළමු කාතඥතාවය ඔවුන්ට ය. දෙවනුව මගේ කෘතඥතාවය හිමිවන්නේ දුරු රටක සිට වුව ද ලාංකීය දෙරණ මත සිදුවන සියලු අකටයුතුකම් කෙරෙහි අවධානය යොමු කොට ඊට එරෙහිව හඬ නැගූ ඉදිරියට ද හඬ නගන laka news web සහ නෙළුම් යාය සහෘද කැලට ය.

පෙර කී පරිදි අද දිනය මට ආශ්චර්යමත් දිනයක් වනවා මෙන් ම කනගාටුදායක දිනයක් ද වන බව පැවැසිය යුතු ම ය. මන්ද එදා මා හට අහිමි වූ හඬ පටිගතකරන යන්ත්‍රය වෙනුවට නවීන මාදිලියේ හඬ පටිගතකරන යන්ත්‍රයක් ලබන්නට වාසනාවන්ත වුව ද අස්ථානගත වූ යන්ත්‍රය තුළ අන්තර්ගතව තිබූ දත්ත කිසිවක් මට නොලැබීම සම්බන්ධයෙනි.

එහෙයින් මා යළිත් මේ මොහොතේ ඉතා කාරුණික ආයාචනයක් කරන්නට කැමැත්තෙමි. එනම් අතපසුවීමකින් හෝ මා හට අයත්ව තිබූ එම හඬ පටිගතකරන යන්ත්‍රය කිසියම් මාධ්‍යෙව්දියකු, මාධ්‍යයවේදිනියක හෝ කණ්ඩායමක් සතුව පවතින්නේ නම් පුද්ගලිකව මා අමතා එහි අන්තර්ගත දත්ත ප්‍රමාණය මාවෙත ලබාදෙන මෙනි. මෙහි දී මෙතෙක් එම උපකරණය තමා සන්තකයේ තබාගෙන සිටි මාධ්‍යෙව්දියා, මාධ්‍යෙව්දිනිය හෝ කණ්ඩායමේ අනන්‍යතාව හෙළි නොකරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දු වෙමි. එම උපකරණයේ මූල්‍යමය වටිනාකම රුපියල් 20,000.00 ක් පමණ වුව ද එහි අන්තර්ගත දත්තවල වටිනාකම මිල කළ නොහැකි ය. එහෙයිනි මේ ආයාචනය කරනු ලබන්නේ.

සිහිනෙන්වත් නොසිතූ ලෙස උදා වු මේ අවස්ථාවේ තවත් කරුණු දෙකක් සම්බන්ධයෙන් මගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට අවසර දෙන මෙන් මම මෙම උත්සවයේ සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිමි.

ඉන් පළමු වැන්න නම්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය අතර අන්තර්ජාල මාධ්‍යයට සහ එහි සේවයේ නියුතු මාධ්‍යකරුවන්ට විඳින්නට සිදුව ඇති දුක් කම්කටුලු කිහිපයක් සම්බන්ධයෙනි.

පසුගිය ආණ්ඩු සමයේ අන්තර්ජාල මාධ්‍යයකරුවා යනු ඔවුන්ගේ පරම හතුරා ය; දේවදත්ත ය; ඔවුන් විද්‍යුත් සහ පුවත්පත් මාධ්‍යෙව්දීන් බියගන්වා, පහර දී අතුරුදන් කොට සහ මරා දමා ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය තමන්ට අවනත කරගත්තේ ය.

එහෙත් අන්තර්ජාල මාධ්‍යයකරුවා එසේ අවනත කරගන්නට නොහැකි විය. කෙතරම් පීඩන එල්ල කළ ද අන්තර්ජාල මාධ්‍යයකරුවා තම කාර්යය නොපැකිළව ඉටු කළේ ය. එදා ආණ්ඩු කළ වුන් අන්තර්ජාල මාධ්‍යයකරුවන්ට එසේ සැලකුම් ලබා දෙන විට අනෙකුත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ එවායේ සේවයේ නියුතු මාධ්‍යයකරුවන් ද අන්තර්ජාල මාධ්‍යයකරුවන් නොසලකා හැරියේ ය. එය වර්තමානයේ ද පවතින්නේ ය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යකරුවන් සිතා සිටින්නේ ලංකාවේ පවතින එකම මාධ්‍යයජාලයන් ද්විත්වය මුද්‍රිත සහ විදයුත් මාධ්‍යය අංශය පමණක් ය යන්න ය. එකම මාධ්‍යයකරුවන් පිරිස ද මුද්‍රිත සහ විදයුත් මාධ්‍යය අංශය පමණක් ය යන්න ය.

මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුකාරකය වන්නේ අන්තර්ජාල මාධ්‍යයවේදියාට තමන්ගේ අනන්‍යතාවය ඒත්තු ගන්වා සිය අභිමානය ලොවට කියාපාන්නට නොහැකි වීම ය. එනම් අන්තර්ජාල මාධ්‍යයකරුවාට නිල හැඳුනුම්පතක් නොමැති වීම ය. ‘‘මම අහවල් වෙබ් එකෙන්’’ යැයි පැවසුව ද කිසිවකු අන්තර්ජාල මාධ්‍යයවේදියා පිළිබඳ අවධානය යොමු නොකරන්නේ ය. එබැවින් මේ මොහොතේ මෙහි රැඳී සිටින ජනමාධ්‍යයඅමාත්‍යංශයේ ගරු ලේකම්තුමාගෙන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අන්තර්ජාල මාධ්‍ය්‍යකරුවන්ට තම අභිමානය රැකෙන පරිදි ඔවුන්ගේ සේවය නිල වශයෙන් පිළිගෙන ඔවුන්ට ද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයට හිමි සියලු වරප්‍රසාද සහ අයිතිවාසිකම් ලබා දෙන ලෙසයි.

අද යහපාලන ආණ්ඩුවේ සිටින සියලු නිලධාරින් සහ බලධාරීන් හොඳින් දන්නා කරුණ නම් එකී යහපාලනය නිර්මාණය කිරීම සඳහා මෙරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයෙන් සිදු වූ සේවයට වඩා දස දහස් ගුණයක සේවයක් අන්තර්ජාල මාධ්‍යය මගින් සිදු වු බවයි. මන්ද පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍යය මාධ්‍යය මතු නොව බහුතරයක් වූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැඩි සේවාවාක් සැපවූයේ මහින්ද රාජපක්ෂ යළි බලයට පත්කිරීම වෙනුවෙනි.

එම ක්‍රියාවලියට අදාළ අයතනයන්හි සේවක පිරිස් ඍජු ලෙස සහභාගී නොවුව ද ආයතන හිමිකාරිත්වය විසින් තම සේවකයන් යොමු කරනු ලැබවේ මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීමේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීම පිණිස ය. එහෙත් අන්තර්ජාල මාධ්‍යය අනෙකුත් සියලු මාධ්‍යය ජාලයන් අභිබවා ඉදිරියට එමින් පැවති දූෂිත පාලන ක්‍රමය පෙරළා දැමී ය. නමුඳු අවාසනාවකට මෙන් නව පාලන ක්‍රමය බිහි වී තෙමසකට ආසන්න වුව ද අන්තර්ජාල මාධ්‍යයට සහ එහි සේවයේ නියුතුවුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හෝ ඔවුන්ට හිමි වරප්‍රසාද ලබා දීම වෙනුවෙන් යම් කාර්යයක් ඉටු කර ඇතැයි දැනගැනීමට නැත. අවම වශයෙන් මා කලින් සඳහන් කළ වෘත්තීය හැඳුනුම්පත නිකුත් කිරීමට හෝ උත්සුක වී නැත.

එපමණක් නොව හැඳුනුම්ත් නිකුත් කළ ද ‘එක් වෙබ් අඩවියකට නිකුත් කළ හැකිවන්නේ හැඳුනුම්පත් පහක් පමණකි’ය යන නොවටිනා අදහසක් ද ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ලැබිණ. වෙබ් මාධ්‍යය ආයතනයක අවැසි හැඳුනුම්පත් ප්‍රමාණය මෙපමණක් යැයි තීරණය කරන්නට ජනමාධ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන් යොදාගත් ක්‍රමවේදය කුමක් ද? ලංකාවේ එක් දිස්ත්‍රික්කයකට එක් වාර්තාකරුවකු ලෙස බඳවා ගත්ත ද එක් වෙබ් ආයතනයක් වෙත හැඳුනුම්පත් 22 ක් අවශ්‍යය නොවන්නේ ද? මෙය ප්‍රාදේශීය වශයෙන් ගත් කල කොපමණ හැඳුනුම්පත් ප්‍රමාණයක් නිකුත් කළ යුතු ද යන්න අවබෝධ කර ගැනීම ජනමාධ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ යුතුකමකි; වගකීමකි.

ගරු ලේකම්තුමනි, අද දින සම්මානයට පාත්‍ර වු කිසිඳු නිර්මාණකරුවෙක් සිය නිර්මාණ සයිබර් අවකාශ ගත කළේ කිසිඳු පුද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ පැවති දූෂිත, ඒකාධිපති රෙජිමය පරාජය කිරීම ය. ඒ වෙනුවෙන් ඔවුහු නොනිල මෙහෙයක් ඉටු කළහ. අද අපි සැවොම භුක්ති විඳින්නේ ඔවුන් ඉටු කළ මෙහෙයේ ඵලය යි. එසේ නම් එකී නිර්මාණකරුවන් මෙසේ ගරු බුහුමනට ලක් වන මොහොතේ සිය ජීවිතය පිළිබඳ තිබෙන ආශාව ද අත්හැර ඒ සයිබර් අවකාශය හරහා ම සිය අදහස් අවකාශ ගත කොට ලාංකිය ජන මනස වෙනසකට ලක් කළ අන්තර්ජාල මාධ්‍යෙව්දින් වෙත ඔබගේ අවධානය යොමු කළ යුතු නොවන්නේ ද? එය ඔබගේ යුතුකමක් සහ වගකීමක් නොවන්නේ ද?

මා දැන් එලඹෙන්නේ අද සම්මානයට පාත්‍ර වූ අන්තර්ජාල නිර්මාණකරුවන් මතු නොව මේ මොහෙතේ දී පවා සාධාරණ සමාජයක් උදෙසා අන්තර්ජාලය හරහා දායකත්වය සපයන නිර්මාණකරුවන් සහ මාධ්‍යෙව්දින් සියලු දෙනා වෙත කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා ය. එනම්, අන්තර්ජාලයේ දී සිංහල භාෂාව භාවිතා කිරීමේ දී දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙනි.

‘සිංහල භාෂාව’ යනු අපේ මවු භාෂාව යි. එය නිවැරදිව හසුරවන්නට නොහැකි නම් අප කෙතරම් සම්මාන ලැබූව ද, කෙතරම් ගෞරවට පාත්‍ර වුව ද ඉන් කිසිඳු ඵලක් නොවේ. ‘‘කොහොම ලිව්වත් අදහස කියවෙනවනෙ’’ යනුවෙන් කිසිවකු මෙහි දී අදහස් දැක්විය හැකි ය. එහෙත් එය සපුරා ම වැරදි ප්‍රකාශයකි. අනෙකුත් භාෂාවල මෙන් ම සිංහළ භාෂාවේ ද ලිඛිත සහ කථන යනුවෙන් ප්‍රභේද දෙකකි. මෙම ප්‍රභේද දෙක සඳහා ම ව්‍යාකරණය වලංගුය. ලිවීමේ දි අක්ෂර විනශාසය සහ පද බෙදීම පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එහෙත් මුහුණු පොත, බ්ලොග් අඩවි පමණක් නොව අන්තර්ජාල වෙබ් අඩවිවල පවා මේ පිළිබඳ අවධානයක් යොමු නොකරන බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කළ යුතු ය.

විශේෂයෙන් ම සිහිපත් කළ යුත්තේ අන්තර්ජාලය භාවිතා කරන්න්ගෙන් බහුතරයක් නුතන පරපුර බව ය. ඔවුන් තරුණ පරපුර ය. අනාගත පරපුර ආදර්ශයට ගන්නේ ද ඔවුන් අනුගමනය කරන්නේ ද නූතන පරපුර යි. අනාගත පරපුර යනු රටේ ජීවනාලිය යි. එසේ නම් රටේ ජීවනාලිය වූ අනාගත පරපුර සිංහල භාෂාව නිවැරදි ආකාරයෙන් භාවිතා නොකරන්නේ නම්, අක්ෂර විනයාසය නොසලකා හරින්නේ නම්, පද බෙදීම් නොසලකා හරින්නේ නම්, කටවහරෙන් ලිවීමේ දී වුව කටවහරට අදාළ ව්‍යාකරණය භාවිතා නොකරන්නේ නම්, සැබැවින් ම එය බරපතල ඛේදජනක තත්ත්වයකි. මෙහි දී ගතානුගතික භාෂා රීතිය ම භාවිතා කරන්නැයි ඉල්ලා නොසිටින අතර අවම වශයෙන් වචනයක අරුත් වටහා ගැනීම සඳහා භාවිතා කෙරෙන අක්ෂර වින්‍යාසය පිළිබඳව හෝ පළමුව අවධානය යොමු කළ යුතු ය. මෙය නොතකා හරින ඇතැම් තරුණ තරුණියන් තම ගැලවිජ්ජාව උදෙසා විවිධාකාරයේ තර්ක ඉදිරිපත් කරයි.

එහෙත් තර්කය ජයග්‍රහණය නොවේ. ඔබ ඉංග්‍රිසි භාෂාවෙන් යමක් ලියන්නේ නම් නිවැරදි ව්‍යාකරණ, නිවැරදි පද බෙදීම් සහ නිවැරදි අක්ෂර වින්‍යාසය නොසලකා හරින්නේ ද? නැත! ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී ඔබ ස්වයංව ම නිවැරදි ව්‍යාකරණයත්, නිවැරදි අක්ෂර වින්‍යාසයත්, නිවැරදි පද බෙදීමත් භාවිතා කිරීමට උත්සුක වෙයි. එසේ නම් තම මවු භාෂාවෙන් ලිවීමේ දී මේ පිළිබඳව සැලකිලිමත් නොවන්නේ ඇයි? මෙය හුදෙක් නොහැකියාව නොව නොසලකා හැරීම ය; හැදෑරීම සඳහා ඇති අලසකම ය. එබැවින් ඒ අලසකම දුරු කොට නිවැරදි ව්‍යාකරණය, නිවැරදි පද බෙදීම සහ නිවැරදි අක්ෂර වින්‍යාසය පිළිබඳ අවධානය යොමු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබට නිවැරදි අක්ෂර වින්‍යාසය පිළිබඳ නිවැරදි අවභෝධයක් ලබාගැනීමට අවැසි නම් ඒ සඳහා අත්පොතක් ලෙස භාවිතා කළ හැකි කෘතියක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එනම් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්ය ආචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විසින් සම්පාදිත ‘‘සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය’’ නමැති කෘතිය යි. දිනපතා ලේඛනයේ යෙදෙන ඔබ අවම වශයෙන් වසරක් පමණ හෝ මෙම කෘතිය භාවිතයට ගන්නේ නම් ඔබගේ ලේඛනය නිවැරදි දිසාවකට යොමු කරගත හැකි බව පවසන්නේ අවංකව ම නූතන පරපුරේ සාධනීය දෑ කෙරෙහි දැක්විය යුතු සාධනීය අවධානය නිසාවෙනි; ඔබ කෙරෙහි ඉතාමත් ගෞරවයක් ද මසිතෙහි තැන්පත්ව ඇති හෙයිනි.

අවසාන වශයෙන් මගේ අවධානය යොමුවන්නේ ඔබ කිසිවකු හෝ මම පුද්ගලිකව දැන නොසිටි, එහෙත් ඔබේත් මගේත් ලේඛන, නිර්මාණ කියවා රස විඳ එය අගය කරමින් පුද්ගලයාට නොව පුද්ගලයාගේ හැකියාව අගයමින් ඔවුන් සුදුසු ස්ථානයට ඔසවා තබන්නට කටයුතු කළ laka news web වෙත ය; නෙළුම් යාය සහෘද කැල වෙත ය. ඔවුන් කවුද, කුමක් කරන්නේ ද යන්න මම මතු නොව ඔබ ද නොදන්නවා ඇතැයි මම විශ්වාස කරමි.

එහෙත් ඔවුන් ඔබත් මමත් ඇගයුවේ ය, ඔබගේත් මගේත් හැකියාවන් ඇගයුවේ ය; අන්තර්ජාල මාධ්‍යයකරුවා ද මාධ්‍යයකරුවකු බව ලොවට නොව ලාංකීය භූමියේ වෙසෙන්නන්ට පසක් කළේ ය. එසේ නම් ඔබගේත් මගේත් නොවක් ස්තුතිය ඔවුන් වෙත පිදිය යුදු නොවේ ද? ඔව්! laka news web ආයතනයේ සංස්කාරකතුමනි, එහි මාධ්‍යය සොයුරු සොයුරියනි, නෙළුම් යාය සංස්කාරකතුමනි, ඔබ සැමට ආශ්චර්යමත් අනාගතයක්!!!

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us