පිළිවෙත් සුරැකි 38 වසරක් - අග්‍රාමාත්‍යවරයාගේ ගේ 66වන උපන් දිනය

Tuesday, 24 March 2015 08:15

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වශයෙන් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළේය. 1972 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස වෘත්තිමය ජීවිතය ආරම්භ කළ වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල ජීවිතය තුළ ශිෂ්‍ය ක්‍රියාකාරි දේශපාලන කටයුතු ආරම්භ කළේය. එහිදී නීති ශිෂ්‍ය සංගමයේ සභාපති, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලෙස කටයුතු කරමින් ශක්තිමත් ප්‍රවේශයක් ගොඩනඟා ගැනීමට සමත් විය.

දිගු ගමන

කෙටි කාලයක් නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කළ හෙතෙම පළමුව කැලණිය ද පසුව බියගම මැතිවරණ කොට්ඨාස එජාප සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් දීර්ඝ දේශපාලන චාරිකාවේ ආරම්භය සනිටුහන් කරන ලදී. 1977 පාර්ලිමේන්තු මහ මැතිවරණය වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සංධිස්ථානය විය. ශ්‍රී ලංකා දේශපාලනයේ අවසාන වරට පැවැත්වූ මැතිවරණ කොට්ඨාස කේන්ද්‍රකොටගත් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා බියගම ආසනය සඳහා එජාප අපේක්ෂකයා ලෙස තරගකොට වැඩි ඡන්ද 7000කට ආසන්න ප්‍රමාණයක් ලබා 57.50% ප්‍රතිශතයක් රඳවාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත්කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය.

පාර්ලිමේන්තුවේ හයෙන් පහක ජනතා පරමාධිපත්‍ය දිනාගනිමින් මහජන විශ්වාසය තහවුරු කරගත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද පසුව තරුණ කටයුතු හා රැකීරක්ෂා පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද පත්වනවිට හෙතෙම වයස අවුරුදු විසි අටක පමණ තරුණයෙක් විය. තරුණ කටයුතු, අධ්‍යාපන, කර්මාන්ත ආදී ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් ලබාගෙන පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයකු ලෙස පත්වීමෙන් තම දේශපාලන භූමිකාව ඔපවත් කරගැනීමට සමත්විය. තරුණ තරුණියන්ගේ කුසලතා දියුණු කිරීමට පදනම සකසමින් සහජ හැකියාවන් වර්ධනය කරගැනීමට මුල්තැන දෙමින් එය සිය වෘත්තීමය ජීවිතය බවට පත්කරගැනීමට ආයතනික ව්‍යුහයක් ගොඩනැඟීමට හෙතෙම නායකත්වය ලබාදුන්නේය.

එයවූ කලී ජාතික තරුණ සභාවේ ආරම්භයයි. පාසැල් ජීවිතය අවසන් කළ තරුණ තරුණියන්ට මෙය බෙහෙවින් උපකාර වූ අතර වෘත්තිමය දැනුම හා කුසලතාවලින් පරිපූර්ණ ප රපුරක් සමාජයට දායාද කිරීමට මෙම සංකල්පය සමත් විය. 1980 දී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වී දේශපාලන අධිකාරියේ එතෙක් පැවති පක්ෂග්‍රාහී, අසාධාරණ ක්‍රමවේද ඉවත්කොට සුදුසුකම් හා දක්ෂතාවට මූලිකත්වය ලබාදී ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීමේ ගෞරවය හිමිවන්නේ වික්‍රමසිංහ මහතාටය. තොරතුරු තාක්ෂණය භාවිතයේ වැදගත්කම කල්තියා අවබෝධ කරගත් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලෝක දැනුම අත්පත් කරගැනීමේ හැකියාවන් දියුණු කරගැනීමට යෝග්‍යවන පරිදි අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රය මඟින් දැනුම මත පදනම් වූ සමාජයක් (knowledge Society) ගොඩනැඟීමට දායකත්වය සැපයෙන අයුරින් ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමට කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධ්‍යාපනය සඳහා සිදුකළ වැදගත් ආයෝජනයක් ලෙස සැලකිය හැකිය. 1988 එජාපය පිහිටවූ ආණ්ඩුවේදී කර්මාන්ත ක්ෂේත්‍ර නඟා සිටුවීමට නායකත්වය ලබාදුන් ‍ෙහතෙම බියගම විශේෂ ආර්ථික කලාපය වැඩිදියුණු කිරීම මඟින් මෙරට නිෂ්පාදනය වන ඇඟලුම් විදේශ වෙළඳපළට අපනයනය කිරීමෙන් රටට අවශ්‍ය ආර්ථික සංවර්ධන උපාය මාර්ග හඳුනාගත්තේය. එය වූකලී නව ලිබරල් ආර්ථික රටාව තුළ වෙ‍ෙළඳ කටයුතුවල ලාභදායක තත්ත්වය හමුවේ කුමන භාණ්ඩ ජාත්‍යන්තර වෙ‍ෙළඳපල සඳහා සූදානම් කළ යුතුද යන්න පිළිබඳව කල්තියාම අවබෝධ කරගැනීමට දැක්වූ දක්ෂතාව ප්‍රකට කරවන්නකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් වූයේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට විරුද්ධ දෝෂාභියෝගය කරළියට පැමිණි මොහොතේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමට පරිණත නායකයකු ලෙස වගකීමෙන් ඉටුකළ මෙහෙයයි. මෙම තත්ත්වය හේතුකොට ගෙන අභ්‍යන්තර කැරලි මැඬ පවත්වා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට පක්ෂය එක්සත් කිරීමට පදනම සකස් විණි. 1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමවතාවට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය. 1994 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 95ක් පොදු ජන එක්සත් පෙරමුණු මන්ත්‍රී ආසන 105ක්ද ලබාගත්තේය. එයවූ කලී ස්ථාවර ආණ්ඩුවකට අවශ්‍ය වූ ඉදිරි පියවරක් නොවීය. මන්ත්‍රීවරු බිලීබා විකෘති ආණ්ඩු පිහිටුවීමේ ව්‍යාජ දේශපාලනය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.

හෙතෙම ජනසම්මතවාදයට ගරුකරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම හා නව පක්ෂයට ආණ්ඩුව පිහිටුවීමට කළ ආරාධනය ජනතා පැසසුමට ලක්විය. 1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසුව එතෙක් භේදභින්නව සිටි පාක්ෂිකයන් එකමුතු කොට පක්ෂය නඟාසිටුවා නව ජවයක් ලබාදීමට කටයුතු කළේය. 2001 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණය මෙහෙයවීම මඟින් එක්සත් ජාතික පක්ෂය නව හැරවුම් ලක්ෂයකට යොමුකරමින් ආණ්ඩුවක් පිහිටුවීමට නායකත්වය ලබා දුන්නේය. එහිදී එජාපයට මන්ත්‍රී ආසන 109 ක් දිනා පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට හැකිවිය.එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනයේ දෙවන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව හොරකම, දූෂණය, වරප්‍රසාද ආදී සමාජයට අහිතකර බොහෝ දේවල් නවතා දැමීමට කටයුතු කළේය. ‍ෙත්රී පත්වූ අමාත්‍යවරුනට පවා මන්ත්‍රී වැටුප ගැනීමට නියෝග කිරීම මඟින් සියලු සහන පොදු ජනතාවට ලබාදීමට සැලසුම් සකස් කරන ලදී.

2002 දී 1.5ක් ලෙස පැවැති දළ දේශීය නිෂ්පාදිත ආර්ථිකය මාස කිහිපයක් ඇතුළත 4.0% ද ඊට පසුව එය 5.9% දක්වා වූ වර්ධන අගයක් අත්පත්කර දෙමින් ඉදිරි වර්ෂවලදී ජනතා සහන ලබාදීමට සැලසුම් කළේය. එල්ටීටීඊ සංවිධානය එතෙක් පවත්වාගෙන ගිය යුද කටයුතු වෙනුවට සටන්විරාම ගිවිසුමක් මඟින් සාම ක්‍රියාවලියක් ඔස්සේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලෝකයේ ස්ථාන 6ක සාම සාකච්ඡාවට කිහිපයක් ආරම්භ කරන ලදී. එහිදී මෙහි ප්‍රධාන අරමුණ වූයේ යුද්ධය මඟින් ඇතිවන මිනිස් ඝාතන නතර කොට ජාතික ගැටලුව විසඳීම සඳහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට මුලපිරීමය.

2002 වර්ෂයේදී එජාප ආණ්ඩුව විසින් ඇතිකළ සටන් විරාම ගිවිසුමේ සාධනීය ප්‍රතිඵල මඟින් නැ‍ඟෙනහිර පළාතේ එල්ටීටීඊ සංවිධානයේ කරුණා අම්මාන් කණ්ඩායම මූලෝපායික වශයෙන් දුර්වල කිරීමට රන්ල් වික්‍රමසිංහ මහතාට හැකිවිය. ඔස්ලෝ සම්මුතිය හරහා එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහාය ලබාගැනීමේ උපායශීලි ක්‍රියාමාර්ග අනුගමනය කළේය. මේ කාලයේදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය සමඟ පැවති සබඳතා, ද්විපාර්ශවික සබඳතා හා පොදුරාජ්‍ය මාණ්ඩලීය සබඳතා ශක්තිමත් කිරීමට නායකත්වය දීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉළ නංවා ගැනීමට කටයුතු කිරීමෙන් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ප්‍රබල මතයක් ගොඩනැඟීමට හැකිවිය.

රාජතාන්ත්‍රිකයා

ඉන්දීය භූ දේශපාලනයේ කාර්යය මැනවින් අවබෝධ ගත් රනිල් වික්‍රමසිංහ මහා රාජතාන්ත්‍රිකයෙකු වශයෙන් දෙරට අතර සමීප සබඳතා ශක්තිමත් ‍ෙකාට එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට සැලැසුම් සකස් කළේය. එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සැකසූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලෝපායික ජාලය නිසා උගුලකට හසුවූ බවට වූ සැකය ඉදිරියට දමමින් අවිශ්වාසයෙන් කටයුතු කිරීමට එල්ටීටීඊ සංවිධානය පෙළඹෙන ලදී. එහිදී කොටි ගුවන් විදුලිය ඔස්සේ පණිවුඩයක් නිකුත් කළ එම්. බාලකුමාර් පවසා සිටියේ රනිල් එල්ටීටීඊ සංවිධානයට වඩා වැඩි බලපෑම් කළ හැකි භයානක පුද්ගලයෙකු ලෙස විශ්වාස කරන බවය. ශ්‍රී ලංකා දේශපාලනයේ නොකැළැල් නායකයෙකු ලෙස ජනතාව පිළිගන්නා රනිල් “කරන දේ කියන කියන දේ කරන” නායකයෙකු ලෙස විශ්වාසය දිනාගෙන ඇත.

වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ සාරධර්ම කඩාවැටීම හා ශ්‍රී ලාංකික සමාජ වටිනාකම් නැවත ගොඩනැඟීම රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වී ඇත. 2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය ලබාදුන්නේ ද එකී දර්ශනය මත පිහිටුවාය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා තෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. එහිදී ආර්ථික කටයුතු ප්‍රතිපත්ත‍ි සම්පාදන, සංස්කෘතික කටයුතු සහ ළමා යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇත. ශ්‍රී ලංකා සමාජය නැවත ගොඩනැඟීම සඳහා යහ පාලනය ඇතිකොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මූලික කොමිෂන් සභා පිහිටුවීම, ජනාධිපති විධායක බලතල අඩුකොට ව්‍යවස්ථාදායක ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරීම එතුමාගේ දැක්ම වේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති දේශපාලනය හා ධර්මය (2005), අනාගත අභියෝග (2010) සහ කළියුගය (2014) යන ග්‍රන්ථ මඟින් ශ්‍රී ලංකා දේශපාලනය බෞද්ධ දර්ශනය ඇසුරෙන් ගැඹුරින් විශ්ලේෂණය කර දැක්වීමෙන් ඔහුගේ ශාස්ත්‍රීය විදග්ධ බව පෙන්වා ඇත.

මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන

 

dinamina

Last modified on Tuesday, 24 March 2015 08:25

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us