ආණ්ඩුවට සතුරා අභිමුඛ වී ද...?

Monday, 23 February 2015 08:13

‘‘බීරි අලින්ට වීණා වයනවා වගේ’’ යනුවෙන් පිරුළක් අප සැවොම අසා ඇත. මේ වන විට එය ‘‘බීරි අලියට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නෑ’’ යනුවෙන් වෙනස් කරන තත්ත්වයට පැමිණ ඇත. මන් ද මේ වන විට සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම් කෙරෙහි ආණ්ඩුවේ බලධාරීන් ගේ අවධානය යොමු නොවන බැවිනි.



පසුගිය සති දෙක තුනක පමණ සිට රටේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබුණේ ‘‘වෙලේ සුදාගේ කතන්දරය’’ යි. ඒ ඔහු විසින් විටින් විට පසුගිය ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයන් පිළිබඳ කළ පාපෝච්ඡාරණයන් හේතුවෙනි. නමුත් ඒ සියල්ල සුරංගනා කතන්දර බවට පත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා නමැති පුද්ගලයාගෙන් කටඋත්තර ලබාගෙන නිදහස් කිරීමෙනි. මත්කුඩුවලට ඇබ්බැහි වූ සාමාන්‍යය පුද්ගලයකු පොලීසියට අසුවුවහොත් ඔහුට බරපතල චෝදනා ඉදිරිපත් කොට දැඩි දඬුවම් ලබා දෙයි. ඔවුන්ට පොලීසියේ දී විවිධාකාරයේ අඩන්තේට්ම් කරමින් අසත්‍ය කටඋත්තර ලියවා ගනී. එහෙත් දුමින්ද සිල්වා නමැති පුද්ගලයා නම්බුකාර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ලජ්ජාසහගත අන්දමින් එහි පිටුපස දොරෙන් පලා යයි. එසේ පලා ගිය පසු ද ඔහුට පිටුපස දොරෙන් පලා යාමට ඉඩ සැලසුවේ කුමන නීතිය යටතේ ද යන්න බලධාරින් කිසිවකු නොවිමස යි. එසේනම් මේ බීරි අලින්ට වීණා වාදනය පමණක් නොව හෙණ හඬ පිපිරුව ද නොඇසෙන්නේ ය යන්න අසත්‍යයක් ද?

විවෘත විශ්වවිද්‍යාල ගැටලුව

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් තමන්ට සිදුව ඇති අසාධාරණ කිහිපයක් මුල් කරගනිමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර දැනට මාස දෙකකට ආසන්නය. ඔවුන් එය ඇරඹුවේ 2014 වසර අවසානයේ ය. එවිට ජනාධිපතිවරණයේ උණුසුම් අවධිය යි. 2015 වසරේ ජනවාරි මස නව ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලයක් පත්විය. එහි දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් පත් විය. එහෙත් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ගැටලුව පිළිබඳ ඒ කිසිවකුගේ අවධානය යොමු නොවී ය. ඒ එකී සත්‍යග්‍රහණය මෙහෙයවන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අපුබද්ධ කොටසක් වන අන්තර් විශ්වවිදයාල බලමණ්ඩලය වන හෙයින් ද? නමුත් අවේලාවේ විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අදාළ නිලධාරීන් උත්සාහ කළේ ය. දුමින්ද සිල්වාගේ සිද්ධිය සහ මෙම සිද්ධිය අතර පරස්පරයක් පවතින්නේ ද නැද්ද යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නැතැයි විශ්වාස කරමි.

කුමාර් ගුණරත්නම් භූමිකාව

මී ළඟට අප අවධානය කළ යුත්තේ මේ දිනවල පුවත් මවන්නෙකු ලෙස ප්‍රකට, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් හා සබැඳි සිද්ධි දාමය කෙරෙහි ය. මෙය තරමක් අතීතයට දිව යන සිද්ධියකි.

ඔහු වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ යටි බිම්ගත නායකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු එකල පක්ෂයේ කටයුතු මෙහෙය වන බව පක්ෂයේ ම ඇතැම් පිරිස් දැන නොසිටිය හ. එය ගැටලුවක් නොවේ. එකල එය එසේ විය යුතු බවට පුද්ගලිකව මම ද විශ්වාස කළෙමි. එහෙත් පක්ෂ අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂයේ ඉහළ පුද්ගලයකු ම ඔහු පාවාදුන්නේ ය. ඒ පුද්ගලයා මේ මොහොතේ යන එන මං නොමැතිව පිස්සු බල්ලකු ලෙස හැසිරෙන බව ද සඳහන් කළ යුතු ය.

කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් කරළියට පැමිණෙන්නේ පක්ෂය දෙකඩ වීමෙන් අනතුරුව ය. එතෙක් පක්ෂයේ සියලු කටයුතු සිදු වූයේ ඔහුගේ අනුදැනුම ද ඇතිව ය. එනම්: චන්ද්‍රිකා කුමාරතුංග සමග සන්ධානයකට එලඹීම, 2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමේ මෙහෙයුම දියත් කිරීම, රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවකු ලෙස භෞතිස්ම කිරීම, හදිසි නීතිය දීර්ඝ කිරීම, රජයේ සියලු හමුදා මෙහෙයුම් අනුමත කිරීම, රණවිරුවන්ට (බලපත්‍රලාභී මිනීමරුවන්ට) මහනෙල් මල් පැලැන්ඳවීම, දේශ හිතෛෂී ව්‍යාපාරය ගොඩනැගීම සහ අවසන් වශයෙන් 2009 වසරේ උතුරේ සිදු වූ ම්ලේච්ඡ මිනිස් ඝාතනයන් අනුමත කිරීම ආදි මෙකී නොකී බොහෝ දෑ ඔහුගේ නායකත්වය යටතේ සිදු විය. එහෙත් පක්ෂයේ අභ්‍යන්තර අරගලයෙන් අනතුරුව කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට වූහ. මෙය මව දූෂණය කළ දූෂිතයාට දුව කරකාර බන්දා දෙනවා වැනි වැඩකි.

කරුණු මෙසේ සිදුවෙමින් පවතිද්දි ය, ලලිත් සහ කුගන් පැහැරගැනීමට ලක්වන්නේ. 2009 ට පෙර මෙරටේ උතුරේ මතු නොව දකුණේ ද සිංහල දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් භේදයකින් තොරව මිනිසුන් අතුරුදන් විය. එහෙත් ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි කුමාර් ගුණරත්නම් මේ කිසිවක් වෙනුවෙන් පෙනී නොසිටිය හ. මන් ද ඒ අතුරුදන් වු සියලු දෙනා එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ යැයි සමාජ සම්මතයක් පැවති බැවිනි. එහෙත් ධනපතිය තම කෙවිට කිසිදු වර්ගවාදයකින් තොරව භාවිතා කරන බව කුමාර්ට වැටහෙන්නේ ද ලලිත් සහ කුගන් පැහැරගෙන යාමෙන් අනතුරුව ය. ඔවුන් දෙදෙනා පැහැරගෙන යාම අනුමත කරන්නට මෙම ලියුම්කරු කිසිසේත් ම නොපෙලඹෙමි. අනෙක් පිරිස අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ද දරන්නේ එම ස්ථාවරය ම ය. ඒ එදා මෙදාතුර අතුරුදන් වු සියල්ලෝ ම මෙරට පුරවැසියන් විම හේතුවෙනි. ඔවුන් සියලු දෙනාම තමන් දරන මතය වෙනුවෙන් පෙනී සිටි අය විම හේතුවෙනි. ඔවුන් යම් රාජ්‍යය විරෝධී කටයුත්තක (පාලකයන්ට සාපේක්ෂව) සම්බන්ධ වූයේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් වන හෙයිනි.

ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වීමෙන් ඉක්බිති අනෙක් කණ්ඩායම (පෙරටුගාමී සමාජවාදි පක්ෂය) තම මතය සමාජගත කරන්නට ගත් උත්සාහයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ට පහර දෙන ලදී. ඊට විරුද්ධව ද මෙම ලියුම්කරු සිය පෑන මෙහෙයවීය. පසු කලක දී කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණි මොහොතේ පැහැරගැනීමකට ලක්වන්නේ ද තමන් විසින් ම අනුමත කළ යම් යම් නිති ක්‍රියාත්මක වෙමින් පවතිද්දි ය. මෙය ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තබා කැපීමකි. එදා අප එයට ද විරුද්ධ විය.

පසුකලක දි රටේ පාලනය ඒකාධිපත්ත්වයට ගමන් කරද්දී එය වළක්වාලීම සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකාවන්ව නැගී සිටිද්දී එදා තමන් පැහැරගැනීමට ලක් කළ ආණ්ඩුවේ බලධාරින්ගේ අනුග්‍රහය ඇතුව කුමාර් ගුණරත්නම් යළි ලංකාවට පැමිණෙන්නේ රටේ සියලු දෙනා මවිතයට පත්කරමිනි. මෙය දෛවයේ සරදමක් යැයි පවසනවා හැර අන් කුමක් පවසන්න ද? ඔවුන් එදා පෙනී සිටියේ මහින්ද වෙනුවෙන් ය යන්න සමාජ සම්මත විය. එය වළක්වාලන්ට කිසිවකුට නොහැකි විය. ඔවුන් එය එසේ නොවේ යැයි පැවසුව ද පැවති ඒකාධිපති වියරුව පරාජය කිරීම සඳහා ඔවුන්ගේ සහය නොලැබිණි. එහෙත් යළිත් දෛවයේ සරදමක් ලෙසින් ම ඒ ඒකාධිපතිපාලකයෝ නොසිතු පාරාජයකට ලක්වූහ.

දැන් ජයග්‍රාහකයෝ කවුරුන් ද? එදා කුමාර් ගුණරත්නම් පැහැරගැනීමට එරෙහි වූ, පසුව කුමාර්ගුණරත්නම් ගේ ලංකාගමනය සහ ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය ප්‍රතික්ෂේප කළ පිරිස ය. සැබැවින් ම දැන් කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදි පක්ෂයට එරෙහි සතුරු බලවේග දෙකකි. එකක් අභිනව ආණ්ඩුව යි. අනෙක ජනතා විමුක්ති පෙරමුණ යි. මේ දෙපිරිස ම කලක් කුමාර්ගේ දේශපාලන මිතුරන් ය. කලක් දේශපාලන සතුරන් ය. දේශපාලන සතුරා ද මිතුරා ද එකම පුද්ගලයෙක් වූ විට හෝ එකම කණ්ඩායමක් වූ විට ඔවුන්ට සලකන්නේ ද දෙවිදියකට ය. දැන් කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමි සමාජවාදි පක්ෂයට අත්ව ඇත්තේ මෙවන් ඉරණමකි. එහෙයිනි කුමාර් සොයා මෙහෙයුම් අරඹන්නේ; පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ කාර්යාලය පරික්ෂා කිරීම සඳහා අවසරයකින් තොරව කඩා පනින්නේ. මෙය ආණ්ඩුවට සතුරා අභිමුඛ වු මොහොතකි.

සැබැවින් ම මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් ද, දෙමළ සංවිධාන බහුතරයක් ද, මුස්ලිම් පක්ෂ බහුතරයක් ද, ජනතා විමුක්ති පෙරමුණ ද, බහුතරයක් සිවිල් සංවිධාන ද අභිනව ආණ්ඩුවේ දේශපාලන මිතුරන් ය. එහෙත් ඔවුනට අනුව පෙරටුගාමී සමාජවාදි පක්ෂය දේශපාලන සතුරෙකි. එසේනම් කිසිඳු බේදයකින් තොරව ඔවුන් තම දේශපාලන සතුරා මර්දනයට, පීඩනයට ලක් කරන්නට පසුබට නොවේ. කුමාර් ගුණරත්න සොයා විවිධාකාරයේ මෙහෙයුම් දියත් කරන්නේ එබැවිනි. දැන් මෙය අනුමත කළ හැකි ද?

කුමාර් ගුණරත්නම් විසා නොමැතිව රැඳි සිටින්නේ නම් එය ද වැරදි ය. එසේ නම් රජය ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර නොගෙන බලහත්කාරය පාන්නේ කාගේ වුවමනාවට ද? මන්ද රජයේ පොලිස් මාධ්‍යය ප්‍රකාශක පවසා සිටින්නේ එදා අජිත් කුමාර මන්ත්‍රිවරයාගේ කාර්යාලයට ගිය පිරිස කිසිසේත්ම පොලිසියට සම්බන්ධ පිරිසක් නොවන බවයි. එසේනම් රජය ඒ පිළිබඳව සොයා බැලිය යුතු නොවන්නේ ද? පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ කාර්යාලයට ආයුධ සන්දන්ධ පිරිසක් එසේ ඇතුළුව බලහත්කාරය පාන්නේ නම් රටේ සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය කෙබඳු විය හැකි ද? මේ ප්‍රශ්න ඉදිරියේ ආණ්ඩුව මුනිවත රකින්නේ නම් එය බීරි අලියාට විණා වාදනය කරන විට නොඇසෙනවා නොව හෙණ හඬ ද ඇසෙන්නේ නැතුවාට සමාන නොවන්නේ ද?

විමල්ගේ අභියෝගය ජයගත හැකි ද?

අවසන් කාරණයට එලඹෙමු. නුගේගොඩ පැවති දේශපාලන අනාථයන්ගේ රැස්විමේ දී විමල්වීරවංශ පවසා සිටියේ තමන්ගේ බිරිඳ අද අත්අඩංගුවට ගන්නවා, හෙට අත්අඩංගුවට ගන්වා යැයි පාරම්බැවත් කිසිවකු ඇය අත්අඩංගුවට ගැනීමට නොපැමිණි බවයි. කිසිවකු පැමිණෙන්නේ නම් ඇය ඒ සඳහා සුදානමින් සිටින බවයි.

එහෙත්පසුගිය දින සිදු වූයේ කුමක් ද? ඇය අත්අඩංගුවට ගැනීමට පිරිසක් එහි යන වි ට ඇය නිවසින් පලාගොස් සිටීම ය. මෙය අහම්බයක් නොව තවමත් රාජපක්ෂ රෙජිමයේ අදිසි හස්තය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි. ඇය රෝහල් ගතවී සිටියේ කවර රෝහලේ කවර ඇ‍ඳෙද යන්න පොලිසිය පෙරේදා දහවල් වන විටත් දැන ගෙන සිටි නමුත් ඇයව අත් අඩංගුවට ගැනීමට තවත් ප්‍රමාද විය.

කෙසේ නමුත් මේවන විට ඇයව අත් අඩංගුවට ගැනීමට සිදුව තිබේ. එහෙත් හෙට දිනයේදී ඇයව නිදහස් කිරීමටද ඉඩ තිබේ. තිස්ස අත්තනායක මහතාට පෑදුන පින ඇයටත් නොපවතී යැයි සිතිය නොහැක.

ඒ විමල් විරවංශ, ආණ්ඩුවට එරෙහි ප්‍රබල සතුරකු නොවන හෙයින් ද? යන ප්‍රශ්නය අපට අසන්නට ඉතුරුවනු ඇත.

කුමාර් ගුණරත්නම් සොයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වරප්‍රසාද පවා අභියෝගයට ලක් කරන්නේ විමල් විරවංශට වඩා කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමි සමාජවාදි පක්ෂය ආණ්ඩුවේ සතුරකු වන හෙයින් ද?

මෙය එසේ නොවන්නේ යැයි ඔප්පු කළ හැකිවන්නේ ආණ්ඩුවේ ම බලධාරින්ට පමණි. අපි එතෙක් බලා සිටින්නෙමු.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Monday, 23 February 2015 08:14

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us