එම අවබෝධය ව්‍යාකූල කිරීම සඳහා වරින්වර ආණ්ඩුවේ නායකයෝ අතේ පැළවෙන කතා කියති. ‘අලූත්ගම’ පසුපස බටහිර කුමන්ත‍්‍රණයක් ඇති බව එයින් එකකි. එම බටහිර කුමන්ත‍්‍රණය හෙළිදරව්කර ගැනීමට අවශ්‍ය නම්, මුලින්ම ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළයුතු නොවේදැ’යි පෙරළා මිනිසුන් අසන බව ඔවුහු නොදනිති. මේ ‘බටහිර කුමන්ත‍්‍රණය’ පිළිබඳ ආණ්ඩුවේ දෘෂ්ටිවාදය ඔසවා තබන එක් ලේඛකයෙකු එම භික්ෂුවට ඇමරිකාව අවුරුදු පහකට වීසා බලපත‍්‍රයක් ද නිකුත් කොට තිබීම ඊට සාක්ෂියක් වශයෙන් මෑතක දී පෙන්වා දී තිබුණි. එසේ තිබියදී, ඊයේ එම වීසා බලපත‍්‍රය ඇමරිකාව අවලංගු කෙළේය. දැන් තත්ත්වය කුමක්ද? අවුරුදු පහකට තමන්ගේ රටට පැමිණීමට ඇමරිකාව දී තිබූ වීසා බලපත‍්‍රය මෙසේ අවලංගු කිරීම, අපේ ජාතික සහ ආගමික අරගලය මොටකිරීමට ගත් ප‍්‍රයත්නයක්යැ’යි බොදුබල සේනාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ දැන් කියයි. අප පිළිගන්නේ කවුරු කියන කතාවද? බොදුබල සේනා ගිහි නායකයාට අනුව, කලින් වීසා බලපත‍්‍රයක් නිකුත් කොට තිබීම, ලංකාවේ ජාතික සහ ආගමික අරගලයට ඇමරිකාව දුන් අනුග‍්‍රහයක් වශයෙන් සැලකිය යුතුව තිබේ. එහෙත් රජයේ නිල දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශකයන්ට අනුව, මෙවැනි පුද්ගලයකුට එවැනි දීර්ඝ කාලයකට වීසා බලපත‍්‍රයක් නිකුත් කොට තිබීමම, බටහිර කුමන්ත‍්‍රණයක එක් අංගයකි.
විදේශ ඇමතිවරයාට අනුව, ‘අලූත්ගම’ වනාහි, දේශීය සහ විදේශීය අරමුණු පෙරදැරි කරගත් ‘එක්තරා ව්‍යාපාරයකි’. ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව ආණ්ඩුව සමග නොහොඳ කිරීමට මාන බැලීම, දේශීය අරමුණ වශයෙන් ඔහු හඳුන්වයි. ඊළඟට, මුස්ලිම් රටවල අප‍්‍රසාදයට ලංකාව පත්කිරීම, මේ ‘ව්‍යාපාරයේ’ විදේශීය අරමුණලූ. ඔහුගේම අමාත්‍යාංශයේ විදේශ තානාපති නිලධාරිනියක් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක දී, ඊට වඩා අනුභූතිකව එය පැහැදිලි කළාය. බෞද්ධ ස්වාමීන්වහන්සේ නමකට මුස්ලිම් තරුණයන් කිහිපදෙනෙකු විසින් පහරදීමත්, තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් පන්සලට වැඩම කරද්දී මුස්ලිම් ජාතිකයන් ගල්මුල්වලින් ඔවුන්ට පහරදීමත් මේ කලබලයට හේතු වූ බව ඇගේ හේතු පාඨය විය.
මේ ගැන ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ‘ඬේලි මිරර්’ පුවත්පතට දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක් දී තිබුණි. බොදුබල සේනාව සහ තමන් අතර සම්බන්ධයක් ඇතැ’යි ඔප්පු කළොත්’ තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව එහිදී ඔහු කියයි. මුලින්ම කිවයුත්තේ, රාජපක්ෂ පාලනය යටතේ ‘ඔප්පුකිරීම’ යනු තවදුරටත් අධිකරණයක් සහ නීතියක් ඉදිරියේ කෙරෙන කටයුත්තක් නොවන බවත්, රාජපක්ෂ පවුලේ හුදු අභිමතය මත සිදුවන නිගමනයක් පමණක් වන බවත්ය. ඒ අනුව, සරත් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක කළායැ’යි කියන වැරදි ඉබේ ‘ඔප්පු’ වන අතර, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වාගේ සිට හම්බන්තොට ප‍්‍රාදේශීය නියෝජිතයා දක්වා අදාළ වන කිසිවක් ‘ඔප්පු’ වන්නේ නැත. එසේ වෙතත්, මේ රටේ සාමාන්‍ය ජනතාව මේ සියලූ දේවල් පසුපස ක‍්‍රියාත්මක වන රාජපක්ෂ හස්තය, හෙමිහිට වුවත් දිනපතා දකිමින් සිටිති. මේ නිසා, පසුගිය කාලයේ බොදුබල සේනා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සහභාගිවීම සහ බොදුබල සේනා වැනි භික්ෂු ව්‍යාපාර මේ රටේ පැවතිය යුතු බවට විවිධ අවස්ථාවල ඔහු විසින් ප‍්‍රකාශ කොට සිටීම යන කාරණා නැවත මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවේ. ඔහුගේ මේ සම්මුඛ සාකච්ඡුාව තුළින්ම පුහුල් හොරා හඳුනා ගැනීමට බැලීම දැනට ප‍්‍රමාණවත් ය.
තමා කිසිවෙකුට චෝදනා කරන්නේ නැති බව මුලින්ම ඔහු කියයි. එහෙත් මුළු සම්මුඛ සාකච්ඡුාව පුරාම ඔහු කරන්නේ, බොදුබල සේනාව හැර අනිත් සියල්ලන්ටම චෝදනා කිරීමයි. මෙවැනි දේවල් කරන්නේ බොදුබල සේනාව පමණක්දැ’යි ඔහු ප‍්‍රශ්න කරන්නේ එබැවිනි. තවත් සංවිධාන එම වරදම කළත්, ඒ හේතුවෙන් බොදුබල සේනාව එම වරදින් නිදහස් වන්නේ නැති බව ඔහු වසංගයි. ලංකාවේ දැනට නැති මුස්ලිම් ත‍්‍රස්තවාදයක් ගැන කතා කරන ඔහු, බොදුබල සේනාව විසින් කරන ලද වෛරී කතා සහ පල්ලිවලට පහරදීම් ගැන ප‍්‍රශ්න කරන විට පිළිතුරු දෙන්නේ, එසේ වී ඇත්තේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් පමණක් නොවන බවයි. වෙනත් ජාතිකයනුත් එවැනි ප‍්‍රහාරයන්ට ගොදුරු වී තිබීම, මුස්ලිම් ජාතිකයන්ට කළ ප‍්‍රහාරය සාධාරණීකරණය වීමක් නොවන බව නැවතත් ඔහු වසං කරයි. ඔහුට අනුව, ‘අලූත්ගම’ ගැන කතා කිරීම ඇරඹිය යුත්තේ ඥානසාර කළ කුපිතකාරී වෛරී කතාවෙන් නොව, ඊට කලින් වෙනත් භික්ෂුන්වහන්සේ කෙනෙකුට කළායැ’යි කියන පහරදීමෙනි.
ගෝඨාභය රාජපක්ෂගේ කරේ මොනතරම් අළු ගෑවී තිබේදැ’යි පෙනෙන්නේ එහිදීය. මේ තර්කයට අනුව, 1983 කළු ජූලියේ වගකීම අප පැවරිය යුත්තේ, ඊට දින කිහිපයකට කලින් උතුරේදී ඝාතනය කළ සොල්දාදුවන් 13 දෙනාගේ සිද්ධියටයි. ඒ අනුව, 83 මහා විනාශය සොල්දාදුවන් 13ක් ඝාතනය කළ එල්ටීටීඊ සංවිධානයට බැරකොට අත පිසදමාගත හැකිය. මන්දයත්, 13 දෙනාගේ ඝාතනය සිදුනොවිණි නම්, ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන තර්ක ක‍්‍රමය අනුව, කළු ජූලියක් ද ඇති නොවන බැවිනි.
කෙසේ වෙතත්, මේ කියන භික්ෂුන්වහන්සේට පහර දී ඇති බවක් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් නොකියැවෙන බව සාකච්ඡුාකරු විසින් පෙන්නාදීමේදී ඔහු පිළිතුරු දෙන්නේ මෙසේය: ‘අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව වෙනම දෙයක්. ඒත් හැමෝම කියනවා පහරදීමක් වුණා කියලා. තල්ලූ කළොත් තුවාලයක් වෙන්නේ නැහැනේ. අධිකරණ වෛද්‍ය වාර්තාව සඳහන් කරන්නේ තුවාලයක් තිබුණොත් විතරයි. කොහොමහරි යම් සිද්ධියක් වුණා. එම සිද්ධිය නොවුණානං මෙහෙම දෙයක් වෙන්නේ නැහැ…’
මෙය, ‘මුල් පාපයේ’ එල්ලීමක් පමණක් නොව. රටේ නීතිය සහ ඒවා ක‍්‍රියාත්මක කරන ආයතන තිබෙන්නේ කොහේදැ’යි නොදැනුවත්ව හෝ ඔහු විසින්ම පෙන්වාදීමක්ද වෙයි. ‘මුල් පාපය’ සිදුවන අවස්ථාවේ පොලීසිය නොසිටියේය. එසේ තිබියදීත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තවමත් හිරේ රඳවා ගෙන සිටී. එහෙත් ඥානසාර භික්ෂුවගේ දෙවැනි පාපය සිදුවන අවස්ථාවේ පොලීසිය බලාගෙන සිටියේය. එම භික්ෂුව, ‘පුළුවන්නං මාව අත්අඩංගුවට ගන්නැ’යි අභියෝග කිරීමට තරම් තවමත් නිදැල්ලේ ය.
එපමණකින් නොනවතින ඔහු තවත් ප‍්‍රති-ප‍්‍රශ්නයක් මතුකරයි. ඒ මෙසේය: ‘ඒත් ඇයි මට වැරදි කියන්නේ? පොලීසිය මගේ යටතේ තියෙන ආයතනයක් නෙවෙයි.’
රාජපක්ෂලා යටතේ නොපවතින යම් ආයතනයක් තවමත් ලංකාවේ ඉතිරිව ඇතොත් ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණකියි මීට පෙරත් මේ කොලමේ අප පෙන්වා දී තිබේ. කෙසේවෙතත්, පොලීසිය තමන් යටතේ නොපවතින බව කියන ආරක්ෂක ලේකම්වරයා ඊළඟට එම සම්මුඛ සාකච්ඡාවේ ඊළඟ පේලියේ දී මෙසේ කියයි: ‘මං හිටියේ මිහින්තලේ. පොලිස්පතියි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමයි හිටියෙත් එහේ… මං වහාම පොලිස්පතිට උපදෙස් දුන්නා අලූත්ගමට යන්න කියලා. පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම්වරයටත් කිව්වා යන්න කියලා.’ විවිධ නම් වාසගම් යටතේ තිබුණත් පොලීසිය ක‍්‍රියාත්මක වන්නේ කා යටතේදැ’යි ඔහුම පෙන්වා දුන්නේ එලෙසිනි.
ආගමික සහ ජාතිවාදී සංවිධාන ආණ්ඩුව විසින් නඩත්තු කිරීම පසුපස ඇති දේශපාලනය බොහෝදෙනා සිතනවාට වඩා සංකීර්ණය. එය, හුදෙක් ඌව පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් ඉලක්කකොට දියත් වන්නක් නොව, (ඒවාටද එය වාසියක්වීම වෙනම කාරණයකි). ඉන් බොහෝ ඈතට දිවෙන සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකි. රටක් සහ සමාජයක් වශයෙන් ව්‍යර්ථ කළයුත්තේ ඒ ව්‍යාපෘතියයි.