නමුත් මෙය දුටු වහාම මා ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රුද්‍රකුමාරන්, එම්මානුවෙල් පියතුමා මෙන්ම දෙමළ ගෝලීය සංසදයේ මාධ්‍ය ප්‍රකාශක සුරේන් සම්බන්ධ කර ගත්තෙමි. ඔවුන් මා හට සඳහන් කළ හැටියට මා ඒ ගැන විමසන තෙක් ඔවුහු කිසිවෙක් ඒ ගැන දැන සිටියේවත් නැත. එසේම අදාළ ඊ-මේල් පණිවුඩය දුටු සැනින්ම සුරේන් කියා සිටියේ “මේක විහිලුවක්ද” කියාය. ඒ අතර එම්මානුවෙල් පියතුමා කියා සිටියේ “ මම කිසම දිනයක මෙවැනි දෙයක් ගැන දැන සිටියේ හෝ අසා සිටියේවත් නැති” බවයි.
එසේම අදාළ කාරණයට පිළිතුරු දෙමින් රුද්‍රකුමාරන් කියා සිටියේ මෙවැන්නකි. “මෙවැනි ඊමේල් ගනු දෙනුවක් හෝ මෙවැනි ගිවිසුමක් නොකළ බව මට ඔබට සහතික කිරීමට පුළුවන්. මෙය අපකීර්තිමත් බොරුවක්”, රුද්‍රා කිව්වේය.
“ ජනාධිපතිවරයා තෝරාගැනීම වැනි ඉතා වැදගත් අවස්ථාවකදීත් සිංහලන්ගේ දේශපාලනය වැටී ඇති පහත් තත්වය කෙසේද යන්න මෙයින් පෙනෙනවා. මෙවැනි දෑ මඟින් සිදු කරන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව මඟින් අයුතු ප්‍රයෝජන ගන්නා ආකාරයයි,” රුද්‍රා වැඩිදුරටත් මා සමඟ සඳහන් කළේය.
අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නම් , එවැන්නක් පිළිගැනීමට කිසිවෙකු සූදානම් නැති බව සැබෑය. නමුත් අදාල ගිවිසුම මාධ්‍ය හමුවේ ඔප්පු කිරීම සඳහා විපක්ෂය තෝරාගෙන ඇත්තේද තිස්ස අත්තනායක තොරාගත් මට්ටමේ මෝඩ, අසභය සහ අප්‍රසන්නම න්‍යාය වේ. මා දන්නා පමණින් එවැනි ඊමේල් ලිපිනයක් රුද්‍රා භාවිතා කරන්නේ නැත. අනෙක් පාර්ශවය ගැන කිසිඳු ගනුදෙනුවක් මාධ්‍යවේදියෙකු ලෙස මා හට නමැති නිසා ඒ ගැන කිව නොහැකිය.
කෙසේ වෙතත්, රුද්‍රාගේ ප්‍රකාශය තුළ ගැඹුරු ඇත්තක් තිබේ. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. රාජපක්ෂ පසුගිය 2005 ජනාධිපතිවරණයේදී කොටි සංවිධනයට මුදල් ලබාදීමෙන් දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළක්වූ බව සත්‍යය. නමුත් ඉන්පසු පැමිණි අවස්ථා දෙකේදීම ඊ. පී. ඩී. පී. මෙන්ම කේ. පී සහ කරුණා ආණ්ඩුව සමඟ සිටියද එවැනි තත්වයක් ඇති කිරීමට නොහැකි විය. විශේෂයෙන් 2010 ජනාධිපතිවරණය සහ ඉන් පසු පැවති පළාත් සභා මැතිවරණය ඊට කදිම නිදසුන්ය.
මේ නිසා විපක්ෂය මෙහිදී තේරුම් ගතයුතු යථාර්ථයක් තිබේ. එනම් අඥාන සහගත ඉදිරිපත් කිරීම් තුළින් සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් අනුගමනය කරණ අසාර්ථක උපායන් වලින් ඈත් වීමය.
එසේම අනුගමනය කළ යුත්තේ සතුරා තමන්ට එරෙහිව පතුරුවා ඇති මතවාදයට එරෙහිව බුද්ධිමත්මව සහ විනයානූකූලව ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක්ය. ඒ වෙනුවට සතුරාගේ අමන උපායන් තම දේශපාලන ප්‍රචාරණ කලාවට ඇතුළත් කර ගැනීමය වඩා හානිකර වේ. එමඟින් සිදුවන්නේ ඔබේ වටිනා සහා ඉතා සීමා සහිත කාලය නිකරුණේ හිස් කරුණක් වෙනුවෙන් නාස්ති වීමය. එය ඊයේ සටන රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ සාමාජිකයින්ට මුහුණ දීමට සිදු විය.
නමුත් පොදු අපේක්ෂකයා ඊයේ චැනල් අයි නාලිකාව ඔස්සේ ජාතිය ඇමතීම වඩාත් විනයානූකූලව සිදු කළේය. එය රටේ සියලුම ජනතාවට ඇසීමට ප්‍රිය ජනක විය. ජයගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ එයයි. එනම්, තමන්ට අනෙකාට වඩා විනයක් සහ ක්‍රමවේදයක් ඇතිබව පෙන්වීමය. ඒ සම්බන්ධයෙන් මෛත්‍රී ඉදිරියෙන් සිටින්නේය.
මෙහිදී අප තේරුම් ගත යුතු මූලික කාරණයක් ඇතැයි මට සිතේ. එය විස්තර කිරීම සඳහා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අදහසක් උපුටා දැක්වීම උචිත යැයි සිතේ.
“අප ජීවත් වන පරිසරය තුළ කොටස් දෙකක් අපරිමිත හෙවත් සීමා රහිත වේ. ඒ වූ කලී විශ්වය සහ මෝඩකමය, නමුත් මට විශ්වයේ අපරිමිතය ගැන විශ්වාසයක් නැත. නමුත් මෝඩකමේ අපරිමිතය ( සීමා රහිතබව) ගැන විශ්වාසය තිබේ,” අලබර්ට් අයින්ස්ටයින් සඳහන් කළේය. අනෙක් රටවල මෙන්ම ලංකාවේ දේශපාලනය තුළද මෙය මනාව හඳුනා ගත හැකිය. අපි හැම දෙනාගේම ජීවිතය තුළ මෝඩකම අඩු වැඩි වශයෙන් අන්තර්ගත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ඇතැම්විටක සුභාවාදීය, තවත් විටක සර්ව අශුභවාදීය.
තවත් පැය කිහිපයකින් එළඹෙන මැතිවරණය සඳහා සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු නීත්‍යානූකූලව අවසන් වීමට නියමිතය.මෙම “නීත්‍යානූකූලබාවය” නිශ්චිතවම පොදු විපක්ෂය විසින් හඳුන්වා දුන් පොදු අපේක්ෂකයාට මෙන්ම, ආණ්ඩුවට විරුද්ධව මෙවර මැතිවරණය සඳහා සහභාගී වන අයට අදාළ වුවද එය ආණ්ඩුවට අදාළ වන්නේ නැත. එය බලය ඇත්තා විසින් නීතිය අල්ලේ නටවමින් රටේ නීතිය හෑල්ලු කිරීමේ සම්ප්‍රදාය වේ. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුට පක්ෂව මැතිවරණ භූමියේ පෙනී සිටින්නා සියලු දෙනාම අදාළ සම්ප්‍රදාය ගෙවන සෑම තත්පරයකම භාවිතා කරනු ඇත. ඊට දින නියමයක් නැත. එහි සීමාව නිර්ණය කරනු ලබන්නේ බලය විසිනි.
මෙවැනි අප්‍රසන්න දෑ නිවැරදි කිරීමට තවත් වසර ගණනවාක් අප සමාජයට සටන් කිරීමට සිදුවනු නොඅනුමානය. නමුත් ඔබ හමුවේ සිටින ප්‍රමුඛ හතුරා පරාජය කිරීම මෙහිදී පළමු අවශ්‍යතාවය වේ.
ඔබට පෙනන මූලික දර්ශනයක් තිබේ. එනම් මහින්ද රාජපක්ෂ වටා ඒකරාශී වූ මහත් විනාශකාරී දේශපාලන අවභාවිතය. එය අරමුණ කර ගනිමින් පොදු අපේක්ෂකයා නමැති සංකල්පය පුළුල් වශයෙන් කරලියට පැමිණි අතර එය පළමු අවස්ථාවේදී පරාජය කිරීමට පමණක් නොව, පොදු අපේක්‍ෂකයාට හොඳ පාඩමක් ඉගැන්වීමටද රාජපක්ෂ සමත් විය.
දෙවැනි අවස්ථාව උදා වන්නේ ඊට වසර කිහිපයකට පෙරය. මෙවර තත්වය ඉතා තීරණාත්මක මෙන්ම රාජපක්ෂ භිරාන්ත කිරීමට සමත් වූ බව සැබෑය. මෙවර පොදු අපේක්ෂකයා වූ කලී මහින්දගේ දේශපාලන ගුණ්ඩු ගැන නිවැරදි අවබෝධයක් ඇති අයෙකි. රාජපක්ෂගේ බල මහිමය සකස් කිරීම සඳහා මූලික දායකත්වයක් ලබාදුන් අයෙකි. සරත් ෆොන්සේකා පෘථුල අර්ථයෙන් දේශපාලනික චරිතයක් වුවද ක්‍ෂුද්‍ර අර්ථයෙන් අදේශපාලනික චරිතයක් විය. නමුත් මෙවර පොදු අපේක්ෂකයා එනම් මෛත්‍රී පෘථුල අර්ථයෙන් මෙන්ම ක්‍ෂුද්‍ර අර්ථයෙන් ගත්තද දේශපාලනික වේ.
දේශපාලනික වූ කලී සතුරාට කතා කළ යුත්තේ කුමන බසින්ද යන්න තේරුම් ගැනීමය. ඔහුගේ හැසිරීම තේරුම් ගැනීමය. තමන්ගේ අභ්‍යන්තර ශක්තිය නැති අවස්ථාවේදී මවා පෑම් වලින් එය පෙන්වා සතුරා හමුවේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් ඇති කිරීමය. එමඟින් සතුරා අනාරක්ෂිත වේ. අනාරක්ෂිත වූ විට සතුරා ඔහුගේ සැබෑ දුර්වල තාවයන් වලින් පාලනය වේ. ජනාධිපති රාජපක්ෂ රාජ්‍ය නායකයෙක් ලෙස පමණක් නොව පුද්ගලයෙක් ලෙසද වර්තමානයේ මුහුණ දී සිටින සැබෑ ව්‍යාකූලතාවය හැඩගැසෙන්නේ එම වට පිටාව යටතේය.
කෙසේ වෙතත් මෙහිදී තේරුම් ගත යුතු මූලික යථාවක් තිබේ. එනම් මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙකි. අනෙක් පුද්ගලියින් සේම ඔහු පරාජය කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් සැලැස්මක් සහ සැබෑ මිතුරන්ගේ දායකත්වයක් පමණි. සැබෑ මිතුරන් සොයා ගැනීම වූ කලී ලංකාවේ දේශාපලනය තුළ පමණක් නොව සංස්කෘතිය තුළද අතිශය දුෂ්කර කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් එක්තරා සීමා මායිමකට මෛත්‍රී මෙහි වාසනාවන්තයෙකු වූ බව සැකයක් නැත.
තත්වය මෙසේ සකස් වී තිබුණද පවතින එකමුතුකම මෙන්ම උපායේ දක්ෂකම විපක්ෂය වෙතින් එක මොහොතින් නැති වී යා හැකිය. තමන් ගන්නා එක් හෝ තීරණයකින් හෝ එක වචනයකින් එය කුඩුපට්ටම් වී යා හැකිය. සාමූහික වගකීමක් වූ කලී බැරෑරුම් කටයුත්තක් වන්නේ ඒ නිසාය.
ජයග්‍රහණය පෙනන මානයේ තිබුණද එය අත්පත් කරගන්නා තෙක් සිදුවන්නේ තරගයකි. මේ නිසා පූර්ව ලක්ෂණ දැක මත් නොවීම මෙන්ම සිහිණුවනින් කටයුතු කිරීම වනාහී මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි. තිස්සවැනි අසමත් දේශපාලනඥයෙකුගේ උපායන් අනුගමනය නොකිරීම සහ අනෙකාගේ ලණු අනුභව කොට සමාජය හමුවේ හෑල්ලුවට ලක්වීමෙන් වැළකීම අතිශය වැදගත් වේ.