ඔහු කියා සිටියේ මාස 5 කට අධික කාලයක් රිඡ්වේ ආර්යා ළමා රෝහලේ "ගිලන්බාරේ සින්ඩ්‍රෝම්" නමැති රෝග තත්ත්වයෙන් පෙළෙමින් අත පය හතරේම වාරු නොමැතිව ශරීරයෙන් ද දුබල වී පණක් කඳක් නොමැතිව ලෙඩ ඇඳේ ඔහේ වැතිර සිටි මීගමුවේ මෙනුර මානෙත් සඳගිරි බණ්‌ඩාර දරුවා මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186 ක් ලබා ගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පළමු තැනට පත් වී ඇති සතුටුදායක පුවතයි.
ඒ සැනින් ක්‍රියාත්මක වූ මම අපගේ ඡායාරූප ශිල්පිනිය සමඟ මේ අපූරු හපනා සැබැහින් දැක ගැනීම සඳහාත් ඔහු මෙම ජයග්‍රාහී ගමන සඳහා මෙහෙයවා ඇති පිරිස පිළිබඳ තොරතුරු විමසීම සඳහාත් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල් භූමිය වෙත පියමං කළෙමි.
අප වැටි වැටී ඇවිදින්නට පටන් ගත්දා පටන් ඇවිදීමට උදව් කළ අපේ කකුල් දෙකත්, යමක් හොඳින් අල්ලා ගැනීමට හැකි වූදා පටන් අපට උදව් කළ අපේ අත් දෙකත්, නිරෝගී දරුවකු ලෙස නැගී සිටීමට උදව් කළ අපේ ශරීරයත් හිටි හැටියේම අක්‍රිය වුවහොත් ඔබට මොනවගේ හැඟීමක් ඇති වනු ඇත්ද? මොහොතක් සිතන්න... ජීවිතයෙන් සමුගැනීමට පවා ඔබට සිතෙනු ඇත. ජීවිතයේ නොසිතූ නිමේෂයක අත් පා සතරේ වාරුව නොමැති වී ගතින් සහ සිතින් ද දුබල වූ කුඩා දරුවකු දිරියෙන් නැඟිටිමින් පහ වසර ශිෂ්‍යත්ව විභාග ඉලක්‌කය ජය ගැනීම සුළුවෙන් තැකිය නොහැක්‌කේ මේ නිසාය.
රිඡ්වේ ළමා රෝහලේ භෞත චිකිත්සක අංශයට ගොඩ වැදුණු මාගේ පළමු විමසීම වූයේ "ගිලන්බාරේ සින්ඩ්‍රෝම්" ලෙසින් හඳුන් වන රෝග තත්ත්වය පිළිබඳවයි.
"ගිලන්බාරේ සින්ඩ්‍රෝම්" එහෙමත් නැත්නම් "ගිලන්බාරේ සහලක්‌ෂණය" යනුවෙන් හඳුන්වන්නේ අපේ ශරීරයට විෂබීජයක් ඇතුලුවීමෙන් පසු ඇති වන ප්‍රතිදේහ ප්‍රතික්‍රියාවක් නිසා පර්යන්ත ස්‌නායු පද්ධතිය දුර්වල වීමටයි. මෙහිදී සුෂුම්නාවෙන් පැන නගින පර්යන්ත ස්‌නායු දුර්වල වී ශරීරයේ සංවේදීතාව අඩුවීමත්, මාංශපේශි දුර්වලවීමත් සිදු වෙනවා. සුෂුම්නාවේ ඉහළ ස්‌නායු දුර්වල වූ විට අත් සහ පාද පණ නැති වීම සිදු විය හැකි අතර ඇතැම් දරුවන්ට මේ නිසා හුස්‌ම ගැනීමේ අපහසුතා ඇති වීමෙන් ජීවිතක්‌ෂය පවා සිදු වෙනවා.
ඉන්පසුව මා හට රෝහලේදී මෙම දරුවාට අකුරු කරන්නට දිරිය දුන් ගුරුතුමිය සමඟ අදහස් බෙදා ගැනීමේ අවස්‌ථාව උදා විය. ඇය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රිඡ්වේ ආර්යා ළමා රෝහල සඳහා අනුයුක්‌ත කර ඇති වින්ධ්‍යා ජයරත්න ගුරුතුමියයි.
"මම ශ්‍රී ලංකා ගුරු සේවයට අයත් ගුරුවරියක්. විද්‍යා පිඨයෙන් පිටවීමෙන් පස්‌සේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මාව කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය සඳහා අනුයුක්‌ත කළා. මගේ අනුයුක්‌තය පසුගිය අගෝස්‌තුවේ අවසන් වුණා. නමුත් මම එය වසර 2 කට දීර්ඝ කර ගත්තා. එහෙම කරන්න මුල්ම හේතුවක් වුණේ අපේ සඳගිරි. සඳගිරි මට හමුවන්නේ 2014 ජනවාරි 14 වැනිදා. මට ඒ දවස අද වගේම මතකයි. දවසක් මේ රෝහලේ වාට්‌ටු අංක 06 න් කෝල් එකක් දීලා මට කිව්වා ඉගෙන ගන්න ආස දරුවෙක් ඉන්නවා, හැබැයි එයාගේ අත පය හතරම පණ නැහැ, ටීචර් කැමැතිද එයාව බලන්න එන්න කියලා.
මම එදාම ගියා සඳගිරිව බලන්න. සඳගිරි නිසෙල්මනේ ඇඳේ වැතිර සිටියා. ඇඟිල්ලක්‌වත් සෙළෙව්වේ නැහැ. බෝල ඇස් දෙකෙන් එක පාරක් මගේ දිහා බලලා එකපාරටම අහක බලා ගත්තා. මාත් එක්‌ක එක වචනයක්‌වත් කතා කළේ නැහැ. සඳගිරිගේ ඒ අහිංසක බැල්ම මට තාමත් හොඳට මතකයි. ඒ බැල්මේ තිබ්බේ මහා අසරණ කමක්. ලොකු දුකක් වගේ හැඟීමක්. මම ඒ මොහොතේම තීරණය කළා මේ දරුවා කොහොම හරි නැගිට්‌ටවන්න උදව් කරන්න ඕන කියලා. හැබැයි මට කොතැනින් පටන් ගන්න ඕනේද කියලා හිතා ගන්න බැරි වුණා. මම මුලින්ව කළේ ටිකක් වෙනස් මේ දරුවා හඳුනා ගන්න පටන් ගත්ත එක. ඔන්න ඔහොම තමයි මේ පුංචි සඳුට සඳගිර උඩට නගින්න මම උදව් කරන්න පටන් ගත්තේ.
එදා මම නාලාන්දාවේ ප්‍රාථමික අංශයේ උගන්නවන්න පටන් ගත්තා නම්, ළමා රෝහලට ගිහිල්ලා උගන්වන්න කැමැතිද කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අහපු දේ බාර නොගත්තා නම් මේ සඳුට මේ තරම් සතුටක් අද ලබන්නත්, සඳුගේ පාසලට සහ අපේ රෝහලට ගෞරවයක් අද නොලැබෙන්න ඉඩ තිබුණා. ටිකෙන් ටික මම සඳුව හඳුනා ගත්තා. සඳු කියන්නේ කොහොමටත් හිනා වෙනවා අඩු, අපි බොහොම වෙහෙසිලා හිනා ගස්‌සන්නට ඕන, කතා බහ අඩුවෙන් කරන බොහොම කුළෑටි දරුවෙක්.
මම එයාව බලන්න වාට්‌ටු අංක 6 ට ආපු මුල් දවස්‌වල නම් මම කළේ විහිළුවක් දෙකක් එහෙම කරලා එයාව යාළු කර ගන්න පුරුදු වුණ එක. ඒත් එයා මුලින්ම කට කොනකින් විතරයි මාත් එක්‌ක හිනා වුණේ. දවස් තුන හතරක් ගත වෙනකොට සඳු ටිකක් මාත් එක්‌ක යාළු වුණා. තවත් දවස් ටිකක් ගත වෙනකොට එයා මට කලින් විහිළු කතා කියන්න පටන් ගත්තා. ඒ වෙන කොට ඇඳේ වැතිර සිටිය සඳුට පාඩම් වැඩ පටන් ගන්න හොඳ පරිසරය මම හදා ගෙන තිබුණා. අපි දෙදෙනාගේ අධ්‍යාපන මාධ්‍ය වුණේ වාචික භාෂාව විතරයි. ඔහුට පෑනක් පැන්සලක් අල්ලන්න බෑ. පාසල් විෂය නිර්දේශයට අදාළ බොහෝ දේවල් මම වාචිකව සඳුට ඇහෙන්න කිව්වා. ඔහු ඒවා හොඳින් අහගෙන සිටියා. සමහර විෂය කරුණු ඔහුගේ මතකයේ රඳවන්න තවත් කතා සියයක් මට කියන්න සිද්ධ වුණා. පස්‌සේ පස්‌සේ සඳු මාත් එක්‌ක තර්ක කරන්න, විෂය කරුණු පිළිබඳව ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිස්‌තක අංශයේ අමාලි මිස් සහ සුමාලි මිස් සඳුට අවශ්‍ය භෞත චිකිත්සක ප්‍රතිකාර අඛන්ඩව ලබාදෙමින් සඳුගේ අත් සහ කකුල් ක්‍රම ක්‍රමයෙන් නගා සිටුවන්න බොහෝ දේ කළා. ඒ විතරක් නෙමෙයි වාට්‌ටු අංක 06 බාරව ඉන්න සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග සහ පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය මොනිකා ද සිල්වා මහත්මිය, වාට්‌ටු අංක 06 එහි කාර්ය මණ්‌ඩලය අපට ගොඩක් උදව් කළා. සඳුට සාමාන්‍ය පෑනක්, පැන්සලක් අල්ල ගන්න බැහැ. ඒ සඳහා අපි විශේෂිත පැන්සලක් නිර්මාණය කර ගත්තා. මුල ඉඳලම අකුරු ලියන්න පුරුදු කරවන්න මම පටන් ගත්තා. එයාගේ අම්මා ලොකු කැපවීමක් කළා මේ දරුවා වෙනුවෙන්.
දවසක් මම සඳු බලන්න වාට්‌ටුවට එන කොට එයා හොඳටම අඬනවා. මම අම්මගෙන් ඇහුවා ඇයි ඒ කියලා. එයාගේ අම්මා කිව්වා ශිෂ්‍යත්ව විභාගේ කරන්න බෑ කියලයි මේ අඬන්නේ කියලා. ඒ වෙනකොට මේ දරුවගේ මානසිකත්වය හොඳටම වැටිලයි තිබුණේ. මම සඳු එක්‌ක කතා කළා. විභාගය කියන්නේ ජීවිතය නෙමේ කියල කියා දුන්නත් පාස් වුණත් ෆේල් වුණත් විභාගයට ලියන එක තමයි ජයග්‍රහයණය කියල මම සඳුට අවබෝධ කරලා දුන්නා. සඳුගේ කඩා වැටිලා තිබුණු පුංචි සිත වෙනස් කරවන්න මට පුළුවන් වුණා. අපේ රෝහලේම ප්‍රතිකාර ලබමින් ඉන්න එයා දන්න කෙනෙක් ගැන කවදාවත් ඇවිදිය නොහැකි තරුෂිකා දුව ගැන කියලා පුතේ ඔයා තරුෂිට වඩා වාසනාවන්තයි දැන් ඔයාට අතින් ලියන්න පුළුවන්. අල්ලන්න පුළුවන් වගේ දේවල් කියල ඔහුව ශිෂ්‍යත්ව විභාගය ලියන්න කැමති කරවා ගත්තා.
මැයි 19 වැනිදා ඉඳලා සතියකට දවස් 2 ක් සඳු පාසල් යන්න ගත්තා. ඒ වෙනකොට අපි තීරණය කරලයි තිබුණේ ශිෂ්‍යත්ව විභාගය වැනි තරඟකාරී විභාගයක් ජය ගැනීම සඳහා රෝහලේදී මම කියලා දෙන පාඩම් පමණක් ප්‍රමාණවත් නොවන බව. සඳු පාසල් යැවීම සඳහා අපි ගිහින් ඔහුගේ පන්ති භාර ගුරුතුමිය, ප්‍රාථමික අංශයේ ප්‍රධාන ගුරුමහත්මිය, උප විදුහල්පති යන සියලු දෙනාම හමුවෙලා දරුවාගේ අවශ්‍යතාව කියලා ඒ සඳහා ගත යුතු පියවර ගත්තා. ටිකෙන් ටික සඳු පාසල් යන දින ගණන වැඩි කළා. පෙර මෙන් ඔහුට සාමාන්‍ය දරුවන් වගේ ක්‍රියාකළ නොහැකි නිසා සඳුගේ අම්මා දිනපතාම සඳු ළඟ පන්ති කාමරයේ රැඳී සිටියා. එයාගේ පන්තියේ කවුරුත් රෝද පුටුවෙන් ඉස්‌කෝලේ ආපු මේ යහළුවට උදව් කළා.
පාසල් වේලාවෙන් පස්‌සේ ඒ කියන්නේ දහවල් එක හමාරින් පස්‌සේ අපි රෝහලේදී අමතර පාඩම් වැඩ කළා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කළා. සමහර දවසකට සඳු මගේ ළඟට එන්නේ දාඩිය දාගෙන. මොකද එය භෞත චිකිත්සක ප්‍රතිකාර කරලා හරිම මහන්සියෙන් තමයි පාඩම් වැඩ වලට ආවේ. වෙලාවකට අද පාඩම් කරන්න බැහැ මැඩම් මට හරිම මහන්සියි කියනවා. මම කොහොම හරි පාඩම් වැඩ කරන්න එයාට කැමති කරව ගන්නවා. මම හැමවෙලාවෙදීම සඳුට ප්‍රශ්න පත්තරවලට දුන්නේ අවම ලකුණුයි. මැඩම් මගේ ළකුණු වලට හොර කරනවා කියලා එයා මාත් එක්‌ක රණ්‌ඩු කළ අවස්‌ථා ඕන තරම් තිබුණා. මම එහෙම කළේ එයා තව තවත් උනන්දු කරන්න ඕන නිසා. ආන්නද විද්‍යාලය මාර්ගයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉල්ලුම් පත්‍ර අපි දැම්මා. සඳුව සම්මුඛ පරීක්‌ෂණයට භාජනය කළ ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කළ යුතු දරුවන් කාණ්‌ඩය යටතේ අමතර කාලයක් ලබා දෙමින් ආනන්ද විද්‍යාලයේදී ශිෂ්‍යත්ව විභාගය ලිවීමේ අවස්‌ථාව සඳුට සලසා දුන්නා. මම දැනගෙන සිටියා සඳු ශිෂ්‍යත්ව විභාගය සමත් වෙනව කියල. නමුත් ළකුණු 186 ක් තරම් ලොකු ලකුණු ප්‍රමාණයක් අර ගනිවී කියලා හිතුවේ නැහැ.
එයා ආනන්ද විද්‍යාලයෙන් පළමු තැන සහ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් 45 වැනි ස්‌ථානය ලබා ගනීවි කියලා කීයටවත් හිතුවේ නැහැ. සඳගිරි හරිම ධෛර්යවන්ත දරුවෙක්. ඇත්තටම මම පුදුම සතුටකින් ඉන්නේ." ඇය සතුටු කඳුළු රැදි දිප්තීමත් නෙත් යුඟල සෘජුව මා වෙත යොමු කරමින්ම පවසයි.
මේ නිමේෂයේම භෞත චිකිස්‌තක අංශයෙන් ප්‍රධානී ජාලිය උඩුවැල්ල මහතා මා සමඟ කතා කරමින් කියා සිටියේ ඇත්තටම සඳගිරි පුතා බැලුවේ අමාලි මිස්. අමාලි මිස් ලොකු කැප කිරීමක් මේ දරුවා වෙනුවෙන් කළා. සඳගිරි මට මුලින්ම හමුවුණේ වාට්‌ටු අංක නමයේදී මගේ අඳුරන කෙනකුගේ මාර්ගයෙන්. මම ගිහිල්ලා පුතාව බැලුවා. අපි සියලු දෙනාටම සඳගිරිගේ මේ ජයග්‍රහණය පිළිබඳව හදවතින්ම සතුටු වෙනවා.
කාලය ගත වෙමින් සවස දෙක පමණ වන විට ජයග්‍රාහී දිනයක පාසල නිමවී සඳගිරි නම් මේ අපූර්ව හපනා ඔහුගේ ආදරණීය මව ලංකා බණ්‌ඩාර මහත්මිය සහ පියා ප්‍රියලාල් බණ්‌ඩාර මහතා සමඟ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිස්‌තක අංශයට පැමිණියා. ඒ අතරේ මම කොහොමද සඳු, අද ඔයාට ගොඩාක් සතුටු දවසක් නේද යනුවෙන් විමසා සිටියා. ඔහු මඳ සිනහවක් පාමින් ඔහු "ඔව්" යනුවෙන් පිළිතුරු ලබා දුන්නා.
පේපර් එක ලිව්ව දවසේ මේ තරම් ලකුණූ ගන්න පුළුවන් වේවි කියල ඔයා සිතුවද?
මඳ සිනාහවක් දෙතොලේ රඳවා ගනිමින් ඔහු විනාඩි 45 පේපර් එක කරල දෙවැනි සැරේ අන්තිම ප්‍රශ්න ටික බලන්න වෙලාව මට මදි වුණා. ඒත් පැය 1 යි විනාඩි 15 ප්‍රශ්න පත්තරේ වෙලාව මට ඉතුරු වුණා. ශිෂ්‍යත්වේ පාස් වේවි කියලා මම දැන ගෙන හිටියා. ඉරිදා උදේ 3. 30 ට මගේ ලොකු අයියා( වෙනුර පංචක සපුමල්) තමයි ඉන්ටර්නෙට් එකෙන් බලලා කිව්වේ මට ලකුණු 186 ක් තියෙනවා කියල. මට ගොඩාක් සතුටුයි. මගේ පොඩි අයියා( හේලිය නිතිර ) අම්මා, තාත්තා, ආච්චි, සීයා වගේම ඉස්‌කෝලේ හැමෝටම මගේ ගැන සතුටුයි.
මීළඟට සඳුගේ ගිලන් වූ ජීවිතය නගා සිටුවීම සඳහා නිරන්තරයෙන් ශක්‌තියක් වූ ආදරණීය අම්මා මා සමඟ කතා කළා.
මම මුලින් වැඩ කළේ ආනන්ද විද්‍යාලයේ කාර්යාලයේ. සඳගිරි මගේ තුන් වැනි දරුවා. මට තවත් පුතාල දෙන්නෙක් ඉන්නවා. පුතුගේ රෝගී තත්ත්වයත් එක්‌ක මම රස්‌සාවෙන් අස් වුණා. මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්. දැනට අපි පදිංචි වෙලා ඉන්නේ බොරැල්ලේ. අපේ ගම මීගමුව. ගිය අවුරුද්දේ දෙසැම්බර් 26 වැනිදා රෑ පුතා කකුල් රිදෙනවා කිව්වා. එයාට උණත් තිබ්බා. නිදාගෙන පහුවෙනිදා උදේ එයා ඇඳෙන් නැඟිටින්න බැහැ කකුල් දෙක පණ නැහැ කිව්වා. ඇත්තටම මගේ දරුවට ඇඳෙන් නැඟිටින්න බැරි වුණා. කකුල් දෙක විතරක් නෙමෙයි මුළු ඇඟම පණ නැතිවෙලා තිබුණා. එදා උදේ දැකපු මේ දෙයින් මගේ මුළු ඇඟටම පණ නැති වෙනවා වගේ දැනුණා. ඊට කලින් දවසත් පුතා හොඳට ඇවිද්දා. මාස 09 ක් කුසේ දරා ගෙන ඉඳලා ලේ කිරි කරලා පෙව්ව දරුවගේ අම්මා මමයි. මේ වගේ තත්ත්වයක් මම කොහොම ඉවසන්නද? ඇය සුසුම් හෙළමින් කිව්වා.
අපි ඉක්‌මනට පුතාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා. පුතාව පෙන්වූ පළමු වෛද්‍යවරයාට රෝගය හරිහැටි හඳුනා ගැනීමට නොහැකි වුණා. දෙවැනියට පුතුව පෙන්වූ වෛද්‍ය ප්‍රියාරා රත්නායක මහත්මිය රෝගය හඳුනා ගත්තා. ඒ රෝහලේ ඇම්බියුලන්ස් එකකින් පුතාව රිඡ්වේ ආර්යා ළමා රෝහලට එව්වා. මගේ දරුවා විශේෂඥ වෛද්‍ය පුංචි හේවා මහත්මියගේ වාට්‌ටුවට ඇතුළත් කළා. මුල් දවස් 5 ඇතුළත විතරක් මගේ සිතේ විදිහට රජය පුතාගේ ප්‍රතිකාර වලට විතරක් ලක්‌ෂ 18 ක මුදලක් වියදම් කළා. මූලික ප්‍රතිකාර වලින් අනතුරුව වාට්‌ටු අංක 6 ට දරුවා මාරු කළා. වාට්‌ටු අංක 6 දී තමයි වින්ධ්‍යා මැඩම්ව අපට හමුවුණේ. ඇය තමයි සඳුගේ කඩා වැටිලා තිබුණු පුංචි සිත ඉගෙන ගන්න ඕන කියන තැනට හැදුවේ.
වාට්‌ටු අංක 9 සහ වාට්‌ටු අංක 6 සියලු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්‌ඩලය, භෞත චිකිස්‌තක අංශයේ සියලු දෙනාම විශේෂයෙන් එහි අමාලි පහළවිතාන මිස් ඇතුළු සියලුදෙනා මගේ පුතාගේ ජීවිතය ගොඩ ගැනීම සඳහා උදව් කළා. විශේෂයෙන්ම ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමිය දමයන්ති කොඩිකාර මහත්මිය අපට ගොඩක් උදව් කළා. සඳගිරිගේ පන්තිය තිබුණේ තට්‌ටු පහක ගොඩනැගිල්ලක ඉහළම මාලයේ. පුතුගේ අසනීප තත්ත්වය නිසා මේ තරම් උසක් ඔහුට නැගිය නොහැකි හෙයින් අපි කළ ඉල්ලීමකට අනුව එස් 5 සංකල්පයට සකස් කර තිබූ ඉහළ මාලයේ තිබූ පන්ති කමරය පහළ මාලයකට රැගෙන එමින් දරුවාට අවශ්‍ය පහසුකම් සැපයීමට ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධාන ගුරුමහත්මිය කටයුතු කළා. ඒ සියලු දෙනාගේ සහයෝගය සහ පුතුගේ කැපවීම නිසයි අම්මා කෙනෙක් වශයෙන් අද මම මේ තරම් සතුටක් සහ ගෞරවයක් ලබන්නේ." තම ආදරණීය පුතුව සෙනෙහසින් තුරුලු කර ගනිමින් මේ අම්මා අවසාන වශයෙන් පවසා සිටියා.
(දිවයින- හරින්දී ලියනගේ)
ඡායාරූප සුජාතා ජයරත්න