ආර්ථිකය ගැන හිතපන් ගොනෝ (It’s the economy stupid)   Featured

Monday, 16 September 2024 15:26

ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය ලබන සතියේ, 2024 සැප්තැම්බර් 21 වන දින, පැවැත්වීමට නියමිතය. තරඟ වදින අපේක්ෂකයින් තිස් අට දෙනා අතරින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජාතික ජන බලවේගයේ) නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අපේක්ෂකයින් ලෙස සැලකේ

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, හිටපු මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතා සහ ව්‍යවසායක හා මාධ්‍ය ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ඇති බව පෙනේ.

රනිල් වික්‍රමසිංහ නම් ජනාධිපතිවරයා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "ඩේලි එෆ්ටී" පුවත්පතේ කර්තෘ නිෂ්ටාර් කාසිම් මහතා සමඟ මේ සතියේ මුල් භාගයේ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. මෙම විශේෂ සම්මුඛ සාකච්ඡාව සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රශ්න දෙකකින් ආරම්භ විය. පළමු ප්‍රශ්නය වූයේ:
"දැනට සිදුවෙමින් පවතින මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබ ඇසූ දුටු දේ මොනවද? ඔබව පුදුමයට පත් කළ දේ මොනවාද?"

රනිල් මහතාගේ පිළිතුර මෙසේ විය:

"මේ මැතිවරණය තවමත් විවෘතව තියෙනවා. ජනතාවඅනාගතය ගැන තමන්ගේ තේරීම් සලකා බලමින් අපේක්ෂකයෝ කියන දේ හොඳින් අහගෙන ඉන්නවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, කාන්තා සවිබල ගැන්වීමේ නීති, සමාජ යුක්ති කොමිසමක්, පාර්ලිමේන්තු ප්‍රමිතීන්, ප්‍රියසාත් ඩෙප් කොමිසමේ නිර්දේශ 87 ක්‍රියාත්මක කිරීම, කෘෂිකර්මය නවීකරණය කිරීම වැනි අලුත් අදහස් ඉදිරිපත් කළ එකම කෙනා මම විතරයි. කවුරුවත් මේවට සමාන දෙයක් හෝ මේවා ගැන කතා කරලවත් නෑ. ඔවුන් කරන්නේ එක්කෝ තත්ත්වය එලෙසම තියාගන්න එක, නැත්නම් මුහුණු මාරු කරන එක විතරයි"

ඊළඟ ප්‍රශ්නය වූයේ - "මාසයකට පෙර තත්ත්වයට සාපේක්ෂව ඔබේ මැතිවරණ ව්‍යාපාරය කෙතරම් ශක්තිමත් වී තිබේද?"

රනිල් මහතාගේ පිළිතුර මෙසේ විය:

"දැන් මගේ වැඩ පිළිවෙල හොඳට ක්‍රියාත්මක වෙනවා. මගේ මුළු උපාය මාර්ගයම වුණේ නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පස්සේ තමයි සක්‍රීයව මැදිහත් වෙන්න, ඊට කලින් නෙවෙයි. අනිත් අය කලින් පටන් අරන් දෙපාරක් ප්‍රචාරක වැඩ කළා. ඒත් තාමත් ඔවුන්ට අලුතින් කියන්න දෙයක් නෑ.."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රශ්න දෙකට දුන් පිළිතුරු මගින් පෙනී යන්නේ මැතිවරණ ප්‍රතිඵලය තවමත් විවෘතව පවතින බව පිළිගනිමින්, තම ජයග්‍රහණය පිළිබඳව ඔහු තුළ පවතින විශ්වාසයයි.
"එෆ්ටී" සම්මුඛ සාකච්ඡාවේදී රනිල් මහතා දැක්වූ ප්‍රතිචාර තුලින් ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ පෙන්නුම් කරන ශාන්ත බව හ ආත්ම විශ්වාසය පිළිබිඹු කෙරේ. දිවයිනේ උතුරු, බටහිර, දකුණු, නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ඔහුගේ රැස්වීම්වලට සහභාගී වූ ජනතාවටද රනිල් මහතා ගේ සුහද, මිත්‍රශීලි බව කැපී පෙනුණි.

කිලිනොච්චියේදී දමිළ කාන්තාවක් රටේ ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේදී ජනාධිපතිවරයා ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් කෘතඥතාවයේ සංකේතයක් ලෙස ඔහුට තොප්පියක් පිරිනැමීය. රනිල් මහතා දඹදෙණියේ පැවැති රැස්වීමකදී එය ආඩම්බරයෙන් පැළඳ සියලු දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු කළේය. ඔහු හිතාමතාම අනුර කුමාර දිසානායක මහතා තම මිතුරා ලෙස හැඳින්විය ආධාරකරුවන් හූ හඬ නගා විරෝධය පාන විට රනිල් මහතා සරදමෙන් පිළිතුරු දුන්නේ "හූ කියන්න එපා. එයා මගේ මිත්‍රයා" ලෙසයි.

වත්මන් ජනාධිපතිවරණ සන්දර්භය තුළ මෙසේ නොසැලී, ධනාත්මකව සිටිය හැක්කේ හේතු දෙකක් නිසා පමණි. පළමුව, රනිල් මහතා මෙම ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වන බවට දැඩි විශ්වාසයක් ඔහුතුල ඇත. දෙවනුව, "භගවද් ගීතාවේ" දැක්වෙන පරිදි, අවසාන ප්‍රතිඵලය කෙරෙහි ආධ්‍යාත්මික හා මානසික වශයෙන් අනාසක්තව ඔහු ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිඵල පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තමා අවබෝධ කරගත් පරිදි තම යුතුකම ඉටු කරමින් සිටී.

මෙවර ජනාධිපතිවරණයේ දේශපාලන පරිසරය

රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වන ශාන්ත ආත්ම විශ්වාසය බොහෝ දෙනෙකුට පුදුමයක් වී ඇත්තේ පවතින දේශපාලන වාතාවරණය හේතුවෙනි. කුලියට ගෙන්වන ලද ජනකායන්, පෝස්ටර් හා පත්‍රිකා ප්‍රවාහ, මාධ්‍ය වෙළඳ දැන්වීම් සහ දැඩි සමාජ මාධ්‍ය ව්‍යාපාර නිසා අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින් ලෙස පෙනෙන මායාවක් නිර්මාණය වී තිබේ. අන්තර්ජාලය හා යූටියුබ් වැනි නවීන මාධ්‍ය නිසා බහුල වී ඇති දේශපාලන විශ්ලේෂකයින් රනිල් මහතා තෙවන ස්ථානයට දමති. එහෙත් රනිල් මහතාගේ ආත්ම විශ්වාසය මෙවැනි විග්‍රහයන්ට දැඩි ලෙස අභියෝග කරයි.

මෙම ජනාධිපතිවරණ සන්දර්භයේදී අනුර කුමාර දිසානායකගේ මැතිවරණ සටන් පාඨය වන්නේ "රට අනුරට" යන්නයි. ප්‍රේමදාසගේ සටන් පාඨය "දිනන සජිත්" යන්නයි. මේවාට වෙනස්ව රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ සටන් පාඨය වූයේ "පුළුවන් ශ්‍රී ලංකා" යන්නයි. අනුර රට තමන්ගේ යැයි පුරසාරම් දොඩන විටත්, සජිත් තමන් ජයග්‍රාහකයා යැයි කියන විටත්, රනිල් තමන්ට වඩා රට ඉදිරියෙන් තබා ශ්‍රී ලංකාවට පුළුවන් යැයි පවසයි.

එසේ නම් රනිල් මහතා ජයග්‍රාහකයා වනු ඇතැයි විශ්වාස කරන්නේ කුමන පදනමක් මතද? එය ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි ඇති විශ්වාසය සහ ඔවුන් නිවැරදි දේ කරනු ඇතැයි යන විශ්වාසයයි.

පසුගිය සෑම ජනාධිපතිවරණයකටම ප්‍රමුඛ තේමාවක් තිබිණි. 1994 දී චන්ද්‍රිකා සාමය සහ වෙනස පොරොන්දු වෙමින් ජයග්‍රහණය කළාය. 2010 දී මහින්ද එල්ටීටීඊය පරාජය කිරීමේ ශක්තිය මත ජයග්‍රහණය කළේය. 2015 දී මෛත්‍රීපාල රාජපක්ෂ පරපුරට විකල්පයක් ලෙස පැමිණියේය. 2019 දී ගෝඨාභය ජාතික ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල සහ සුළු ජාතීන්ට එරෙහි හැඟීම් හේතුවෙන් ජයග්‍රාහකයා බවට පත්විය.

"ආර්ථිකය ගැන හිතපන් ගොනෝ"

වසර එක්දාස් නවසිය අනූ දෙකේ, එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක බිල් ක්ලින්ටන් මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වූයේ "ඉට්ස් ද එකොනොමි ස්ටුපිඩ්" යන්නයි. ක්ලින්ටන්ගේ මැතිවරණ කණ්ඩායමේ ජිම් කාවිල් විසින් නිර්මාණය කළ එම වැකිය “ආර්ථිකය ගැන හිතපන් ගොනෝ” ලෙස (තේරෙන සිංහලට) පරිවර්ථනය කළ හැක.

එම පණිවිඩය එක්සත් ජනපද ඡන්දදායකයින්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත්විය. අවසානයේ බිල් ක්ලින්ටන් ජයග්‍රහණය කළේය.

මෙවැනි සටන් පාඨයක් මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය විය හැකිව තිබිණි. මෙම මැතිවරණයේ ප්‍රමුඛ තේමාව ආර්ථිකයයි. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේ ප්‍රචාරකයින් උත්සාහ කරන්නේ එය එසේ නොවන බව ජනතාවට විශ්වාස කරවීමට සහ ජනතාවගේ අවධානය වෙනත් ගැටලු වෙත යොමු කරවීමටයි. නමුත් ඇත්ත තත්ත්වය නම් වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අපේක්ෂාවන් රටට ඉතා වැදගත් වන ප්‍රධාන ගැටලු වීමයි.

ආර්ථිකය සහ එහි පුනරුදය හෝ නවෝදය රනිල් වික්‍රමසිංහගේ අද්විතීය අනන්‍යතාවයයි. 2022 දී රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකා ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්හ. ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලිය, ඉන්ධන, ගෑස්, ජලය සහ භූමිතෙල් හිඟයක් පැවතුණි. ආර්ථිකය පවත්වාගෙන යාමට විදේශ විනිමය නොතිබුණි. "අරගලය" නමින් හැඳින්වූ විශාල ජන විරෝධතා ව්‍යාපාරයක් මතු විය. දේශපාලනික අරමුණු ඇති පිරිස් "අරගලය" ආවරණයක් ලෙස යොදාගනිමින් මන්ත්‍රීවරුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඔවුන්ගේ නිවාස හා වාහන ගිනි තැබූහ. ජනාධිපති නිල නිවස, "අරලිය ගහ මන්දිරය", පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය අත්පත් කරගැනීමට සහ ඒවා අල්ලා ගැනීමට කුමන්ත්‍රණයක් සිදු කෙරිණි.

මෙවැනි දරුණු තත්ත්වයන් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා පළමුව අගමැති ලෙසත් පසුව ජනාධිපති ලෙසත් රාජ්‍ය පාලනය භාර ගත්තේය. විපක්ෂ නායක ප්‍රේමදාස, හිටපු යුද හමුදාපති ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක දිසානායක යන අය බියගුළුකම හෝ තම නොහැකියාව හෝ ඒ දෙකම නිසා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පසුව පමණක් ඔහු මෙම වගකීම භාර ගත්තේය.

රනිල් මහතා තනතුර භාර ගැනීමෙන් වළක්වාලීමේ උත්සාහයක් ලෙස ඔහුගේ නිවස සමඟ ඔහුගේ වටිනා පොත් එකතුව, පුරාවස්තු සහ චිත්‍ර ගිනි තබා විනාශ කරන ලදී. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ විරෝධීන් විසින් දුර්වල "මිස්ටර් බීන්" කෙනෙකු ලෙස හඳුන්වනු ලැබූ මෙම මිනිසා, හමුදා පසුබිමක් සහිත "ශක්තිමත්" ජනාධිපති ගෝඨාභයට වඩා ශක්තිමත් පුද්ගලයෙකු බව ඔප්පු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පීඩනයට යට නොවීය. අධෛර්යමත් වූ පොලීසිය සහ හමුදාවේ ආත්ම විශ්වාසය නැංවීමෙන් ඔහු නීතිය හා සාමය නැවත ස්ථාපිත කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්, විසම්මුතිකයන් සහ කුඩා දේශපාලන පක්ෂවල සමහර අය සමඟ රනිල් මහතා ක්‍රියාකාරී රජයක් පිහිටුවීය. ජාත්‍යන්තර සහාය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආධාර ලබා ගැනීමට ක්‍රියාකළහ. මහ බැංකුව සමඟ එක්ව ආර්ථික පුනරුද ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කළ එම මහතා පියවරෙන් පියවර රටේ තත්වය සාමාන්‍ය කරනය කිරීමට කටයුතු කර තවත් බැමිණිටියා සායක් ඇතිවීම වලක්වන්නට සමත් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පූර්ණ සහයෝගිතාවයෙන් කටයුතු කිරීම තුළින්, වික්‍රමසිංහ රජය ජනතාවට ඉතා අවශ්‍ය වූ ආර්ථික ස්ථාවරත්වය ලබා දුන්නේය. ගනු ලැබූ සමහර පියවරයන් අඩු වරප්‍රසාද ලත් හා අවදානමට ලක්විය හැකි සමාජ කොටස්වලට හිතකර ලෙස බලපා ඇත. රුපියල ශක්තිමත් වී ඇත. උද්ධමනය අඩු වී ඇත. බදු පදනම පුළුල් වී ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. ගෝඨාභයගේ "පොහොර විප්ලවය" නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කෘෂිකාර්මික අංශය යථා තත්ත්වයට පත්ව ඇත. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ වැඩි වී ඇත. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් පවතී.

පෙර පැවති ගැටලුව වූයේ භාණ්ඩ හා සේවා ලබා ගත හැකි වීම සහ ඒවා මිලදී ගැනීමේ හැකියාව යන දෙකම ය. දැන් භාණ්ඩ හා සේවා ලබා ගත හැකි වුවද, බොහෝ දෙනෙකුට ඒවා මිලදී ගැනීමේ හැකියාව විශාල ගැටලුවක් වී ඇත. වික්‍රමසිංහ රජය ආර්ථික බර සැහැල්ලු කිරීමට උපකාර වන කිහිපයක් ආරම්භ කර ඇත. රජයේ සේවයේ නියුතු අයගේ වැටුප් විශ්‍රාම වැටුප් ද ඇතුළුව වැඩි කර ඇත. "අස්වැසුම" යෝජනා ක්‍රමය යටතේ දුගී පවුල්වලට පවුල්වල ප්‍රමාණය හා අවශ්‍යතා මත පදනම්ව මාසිකව රු. 5,000 සිට 17,500 දක්වා දීමනා ලබා දීමට හැකි වී ඇත. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,000 සිට 1,350 දක්වා වැඩි කර ඇත. කළමනාකරණ සමාගම් එකඟ වන්නේ නම් නිෂ්පාදන දිරිගැන්වීමක් ලෙස තවත් රු. 350 ක් ලබා දීමට සැලසුම් කර ඇත. ජනතාවට ඉඩම්, නිවාස සහ මහල් නිවාස/ෆ්ලැට්වල අයිතිය ලබා දෙන "උරුමය" යෝජනා ක්‍රමය ද ක්‍රියාත්මක වේ.

මෙම සියලු සැලකිය යුතු ප්‍රගතිය තිබුණද, රනිල් මහතා, ඔහුගේ ආධාර කරුවන් සහ අනිකුත් ප්‍රබුද්ධ ජන කොටස්, රට ලබා ඇති සහනයේ තවකලිකත්වය පිළිබඳව පුර්ණ අවබෝධකින් පසුවෙති. ආර්ථික වශයෙන් ගත් කල රට තවමත් අර්බුදයෙන් සම්පූර්ණයෙන් ගොඩ ඇවිත් නැත. 2028 වන තෙක් ණය ආපසු ගෙවීම සඳහා මොරටෝරියමක් ලැබී ඇති බැවින්, ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවට අපගේ ණය ආපසු ගෙවීමට අවශ්‍ය නොවේ. ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට කාලය පැමිණෙන විට මෙම ගැටලුව නැවත මතු විය හැක.

ස්ථාවරත්වය - අඛණ්ඩතාවය - වර්ධනය

එබැවින් අවශ්‍ය වන්නේ ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට විශාල වැඩපිළිවලකි. පසුගිය වසර දෙක තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ කාලයක් විය. ඉදිරි වසර හතර ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමේ කාලයක් විය යුතුය. එබැවින් 2024 ජනාධිපතිවරණය අඛණ්ඩතාවය සහතික කළ යුතු අන්තර් කාලයකි. ආර්ථික ස්ථායීකරණ අවධියේ සිට ආර්ථික වර්ධන අවධිය දක්වා මෙම අඛණ්ඩතාවය අධීක්ෂණය කිරීමට රනිල් වික්‍රමසිංහට වඩා සුදුසු කවුද?

රනිල් වික්‍රමසිංහ මහතා දන්නා පරිදි ඔහුට මෙය කළ හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් අතරින් මේ කාර්යය හොඳින්ම කළ හැක්කේ තමන්ට පමණක් යැයි ඔහු සිතයි. ඔහු වැරදි නැත. ශ්‍රී ලංකාවේ ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මෙහෙයවූ ආකාරයටම ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය මෙහෙයවීමට වඩාත්ම සුදුසු සහ හොඳින්ම සන්නද්ධ වූ දේශපාලන නායකයා රනිල් ය. රට මෙහෙයවීමට සහ එහි ආර්ථිකය තවදුරටත් සංවර්ධනය කිරීමට ඔහු තවත් ජනාධිපති ධුර කාලයක් අපේක්ෂා කරයි. මෙය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම් වූ ප්‍රධාන තේමාවයි. රනිල් මහතා වයස අවුරුදු 75ක් වන අතර වසර පහකින් අවුරුදු 80 වනු ඇත. එබැවින් නැවත ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබුවහොත් මෙය ඔහුගේ අවසාන ධුර කාලය විය හැකිය.

එම නිසා වික්‍රමසිංහ ජනාධිපති ධුරය සඳහා තරඟ වදියි. තවත් පෞද්ගලික හේතුවක් ද තිබේ. රනිල් මහතා කිසි විටෙකත් ශ්‍රී ලංකා ජනතාව විසින් සෘජුව ජනාධිපති ලෙස තෝරා පත් කර ගෙන නැත. 2022 දී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් විසින් තෝරා පත් කර ගන්නා ලදී. එබැවින් මෙය ජනතාව විසින් තෝරා පත් කර ගැනීමට ඇති ඔහුගේ අවසාන අවස්ථාව විය හැකිය. ශ්‍රී ලංකා ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගනීවිද? තම ජනතාව තමන්ව පරාජයට පත් නොකරනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
පැත්ත යවාගෙන ඇත්ත කීම

රනිල් මහතාගේ ධනාත්මක ලක්ෂණවලින් එකක් වන්නේ ජනතාවට සත්‍යය පැවසීමේ විවෘතභාවය සහ අසත්‍ය පොරොන්දු ලබා නොදීමයි. ඔහු තමන් යන සෑම නගරයකම කර්මාන්තශාලා ඉදි කරන බවට පොරොන්දු නොවේ. එක්සත් ජනපදයේ නගරවලින් ආධාර ලබාගෙන පාසල් වැඩිදියුණු කරන බවට පොරොන්දු නොවේ. පවුල්වලට මාසික මුදල් වෙන් කිරීම් ලබා දීමෙන් දරිද්‍රතාවය තුරන් කරන බව ඔහු නොකියයි. රනිල් මහතා බදු අහෝසි කරන බව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම සංශෝධනය කරන බව ද නොකියයි. ඒ වෙනුවට වික්‍රමසිංහ මහතා ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ සත්‍යය කතා කර ඇති අතර තමන් කර ඇති දේ සහ අනාගතයේ කිරීමට බලාපොරොත්තු වන දේ පැහැදිලි කර ඇත.

මෙම අවංකභාවය මෑතකදී මාසවලදී ඔහුට ඵලදායි ප්‍රතිපල ලබා දී ඇත. ජනතාව කුපිත කරවන්නන් සහ කඩාකප්පල්කරුවන් විසින් රජයට එරෙහිව දෙවන "අරගලයක්" ඇති කිරීමට දැඩි උත්සාහයන් දැරුවද, එම ක්‍රියාකාරකමි අසාර්ථක වී ඇත. පොදුවේ ජනතාව අතර මේවාට සහභාගී වන්නන් අල්ප ය. ජනතාව අවදානමට ලක්ව ඇති දේ සහ වික්‍රමසිංහ මුහුණ දෙන අභියෝග පිළිබඳව දැන සිටින බව පෙනේ. ඒ අනුව, මෙම අවධානම් අවස්ථාවේ රට මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ඔහු බව ජනතාව හඳුනාගෙන ඇති බැවින් ජනාධිපතිවරණයේදී රනිල් මහතාට සහාය දැක්වීමට ඉඩ ඇත.

රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාවන් පිළිබඳ අවබෝධයක් ඇති විවිධ පුද්ගලයන් සමඟ කතා කිරීමෙන් මා ලැබූ හැඟීම වූයේ ඔහු කර ඇති දේ ජනතාව අගය කරන බවත්, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නිදහස් කිරීමේ තම කාර්යය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් තමන්ව ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ඇතැයි ඔහු සැබවින්ම විශ්වාස කරන බවයි. දැනට ලබා ඇති ස්ථාවරත්වය වර්ධනය බවට පරිවර්තනය කිරීම වැදගත් ය. වෙනත් ආකාරයකින් කිවහොත්, මෙම අදියරේදී සකස් කර ඇති ප්‍රතිපත්ති බාධාවකින් හෝ විකෘතියකින් තොරව ඊළඟ අදියරේදී ක්‍රියාත්මක කිරීමේ අවධියට ළඟා විය යුතුය.

මෙය සාක්ෂාත් කර ගත හැකි පුද්ගලයා තමන් බව රනිල් මහතා අදහස් කරයි. ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදීන් වන ප්‍රේමදාස සහ දිසානායක යන දෙදෙනාට මෙම අභියෝගාත්මක කාර්යය ඉටු කිරීමට නොහැකි බව ඔහු පවසයි. ඇත්ත වශයෙන්ම, ඡන්ද ලබා ගැනීම අරමුණු කරගත් ඔවුන්ගේ සමහර ප්‍රකාශ සහ පොරොන්දු මගින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සංකීර්ණතා පිළිබඳව ඔවුන්ට ඉතා සුළු අවබෝධයක් හෝ දැනුමක් ඇති බවයි. මෙම යථාර්ථය ශ්‍රී ලංකා ජනතාවගෙන් බහුතරයක් හඳුනා ගනු ඇති බවත්, හොඳම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවත් ඔහු විශ්වාස කරයි.

ජනතා විමුක්ති පෙරමුණ (JVP) - ජාතික ජන බලවේගයේ (NPP) අඳුරු පැතිකඩ

ජාතික ජන බලවේගය (NPP) ලෙස නව පෙනුමක් ගත් ජනතා විමුක්ති පෙරමුණ (JVP) දැන් වෙනස් බව ජනතාවට ඒත්තු ගැන්වීමට දේශපාලන ප්‍රතිරූපකරණයක් සිදු කර ඇත. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලාංකික සිංහල ඩයස්පෝරාවේ කොටස් ඇතුළු බොහෝ දෙනා මෙම වෙනස විශ්වාස කරති. අනුර කුමාර දිසානායක මහතා පිළිගත හැකි "මධ්‍යස්ථ" චරිතයක් ලෙස තමන් ඉදිරිපත් කිරීමට විශාල වෙහෙසක් දරා ඇත. ආචාර්ය හරිනි අමරසූරිය වැනි පුද්ගලයින් NPP හි ආකර්ෂණය වැඩිකිරීමට සමත් වී ඇත.

කෙසේ වෙතත්, ලාල් කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති වැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ ජනතාව තුළ සැකයක් හා කනස්සල්ලක් ඇතිකර ඇත. සමාජ මාධ්‍ය ජාලවල JVP හිතවාදී සමහර පුද්ගලයින්ගේ අන්තවාදී හැසිරීම් නිසා මෙම කනස්සල්ල තවදුරටත් උග්‍ර වී ඇත. ඉතිහාසය නොසලකා හරින නව පරපුරක් බිහි වී තිබිය හැකි නමුත්, සාපේක්ෂව වැඩිහිටි පරම්පරාවන් අතර 1971 සහ 1988-90 කාලවල සිදුවීම් පිළිබඳ මතකයන් තවමත් සජීවීව පවතී.

මේ බියට එක් වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වුවහොත් කරන්නේ කුමක්ද, නොකරන්නේ කුමක්ද යන්න පිළිබඳ සැක සංකා ය. මෙය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වීමක් සම්බන්ධයෙන් ද අදාළ වේ. දෙදෙනාම පාලනයේ පළපුරුද්දක් ඇති අය නොවේ. ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳව ජනතාව සැකයෙන් පසුවෙති. බොහෝ දෙනාගේ මූලික ඉල්ලීම වන්නේ වත්මන් ආර්ථික තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙන්නට ඉඩ නොදිය යුතු බවයි. එය වැඩිදියුණු නොවුණත්, තවදුරටත් පිරිහීමට ඉඩ නොදිය යුතුය. ගෝඨාභයගේ පාලන සමයේ ජනතාව මුහුණ දුන් දුෂ්කර තත්ත්වය නැවත ඇති නොවිය යුතුය.

ක්‍රියාවෙන් ඔප්පු කළ වැඩපිළිවෙල

මෙම කරුණද රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටී. සජිත් හෝ අනුර මෙන් නොව, රනිල් මහතා වසර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කර ඇත. ඔහුට ප්‍රතිඵල ලබා දිය හැකි බව ඔහු පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩගැනීමේ මූලිකත්වය ගත් ජනාධිපතිවරයා ලෙස රනිල් මහතා ගැන විශ්වාසයක් සමාජය තුල ඇත. අනෙක් අතට සජිත් සහ අනුර යන දෙදෙනා අවදානම් අවස්ථාවක තම වගකීම්වලින් මඟ හැරුණු හෝ මඟ හැර ගිය පුද්ගලයින් වෙති. දැන් ඔවුන් සිංහයා විසින් දඩයම් කරන ලද ගොදුරක කුණුවූ මළ සිරුර වටා රැඳී සිටින සිවළුන් මෙන් කුරුමානම් අල්ලමින් සිටිති. රනිල් ක්‍රියාකාරී නායකයෙකි, සජිත් කයිවාරු කියවන්නෙකි, අනුර සුරංගනා කතා කියන්නෙකි.

කොළඹ සහ අනෙකුත් නගරවල වැසියන්ට ග්‍රාමීය හෝ අර්ධ නාගරික ප්‍රදේශවල අයට වඩා වෙනස් අභිමතාර්ථ තිබේ. ග්‍රාමීය ජනතාව හෝ "ගමේ මිනිසුන්ට" ශක්තිමත් කෘතවේදී හැඟීමක් ඇත. බොහෝ දෙනා ඔවුන්ගේ ගැටලු සැහැල්ලු කිරීමට රනිල් මහතා ලබා දුන් ප්‍රශංසනීය නායකත්වය සම්බන්ධයෙන් කෘතඥ වෙති. මෙය විශේෂයෙන්ම රනිල් මහතා බලයට පත්වීමට පෙර සහ පසු තම තත්ත්වය සංසන්දනය කරන කාන්තාවන් අතර එය දැඩිව පෙනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) බොහෝ මන්ත්‍රීවරුන්ට රාජපක්ෂවරුන්ට එරෙහිව ගොස් රනිල් මහතා සමඟ එක්වීමට සිදුවූයේ බිම් මට්ටමෙන් එල්ලවූ දැඩි පීඩනය හේතුවෙන් බව කියැවේ.

නිහඬ බහුතරය

රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු අනුව "නිහඬ බහුතරය" දැඩි ලෙස වික්‍රමසිංහ මහතාට පක්ෂව සිටිති. "රනිල්ට ඡන්දය දෙන අය ඡන්දෙ දෙනවා කියලා වහල උඩට නැගලා කෑ ගහන්නේ නෑ. ඔවුන් නිශ්ශබ්දව ඡන්ද පොළවල්වලට ගිහින් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දානවා" යැයි ඔහු පැවසීය.

මැතිවරණ දිනයේදී ශ්‍රී ලංකා ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙනු ඇත. ඔවුන් බහුතරය ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙනු ඇත්ද? ඔවුන් එසේ කරනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන්නේ එසේ ප්‍රකාශ කරන ඡන්දය ඔහුට දෙන ඡන්දයක් පමණක් නොව සකළ ශ්‍රී ලංකා වාසීන්ගේ යහ පැවැත්ම උදෙසා දෙන ඡන්දයක් යැයි ඔහු විශ්වාස කරන නිසාය.

(ඩේලි මිරර් පුවත්පතට ඩී.බී.එස්.ජෙයරාජ් ලියූ Why Ranil is so Confident of Winning the Presidential Election ලිපියේ සිංහල පරිවර්තනය)

වින්දන විදුර කුමාර

Leave a comment

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us