ඒ අතර විපක්ෂ පාර්ශ්ව වැඩිපුරම කතා කරන්නේ ආණ්ඩුව පරාජය කිරීම ගැන. ආණ්ඩුවේ වැරදි අඩුපාඩු ගැන. නමුත් සාමාන්‍යයෙන් බලය අපේක්ෂා කරන කණ්ඩායම්, රාජ්‍යය පාලනය කරන්නේ කොහොමද කියන සාකච්ඡාවට වැඩි අවධානයක් යොමු කරනවා දකින්න නැහැ.
මැතිවරණ වේදිකාවල දෙන ජනප්‍රිය පොරොන්දු වලින් ආණ්ඩු කරන්න බැහැ කියන එක අපි අත්දැකීමෙන් දන්නවා. රාජ්‍යය පාලනයේ දී ආණ්ඩුවක් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති තියෙනවා. මුලධර්ම තියෙනවා. ප්‍රමුඛතා තියෙනවා.
ඒ ගැන ඉතා හොඳ විග්‍රහයක් බ්‍රිතාන්‍යයේ මයිකල් බාබර් සාමිවරයා 2015 දී නිකුත් කළ How to Run A Government - So that Citizens Benefit and Tax Payers Donzt Go Crazy කෘතියේ අඩංගු වෙනවා. ඔහු අපිට වැදගත් කරුණු හතරක් පෙන්වා දෙනවා.
වෙළඳපොළ අසමතුලිතතාවය දුරු කිරීම, රාජ්‍ය ආදායම් එකතු කරගැනීම සහ වියදම් කිරීම, භූ-දේශපාලන අභියෝග ජය ගැනීම, රජය ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම හෝ නොවීම. මේ කරුණු බොහොම වැදගත්.
ආණ්ඩුවකට මුහුණ දෙන්න වෙන ප්‍රධාන අභියෝගයක් තමයි පවතින සෑම ආකාරයකම වෙළඳපොළ සමතුලිතතාවය පවත්වාගෙන යෑම. මුල්‍ය වෙළඳපොළ, නිවාස වෙළඳපොළ, ඉඩම් වෙළඳපොළ ලෙසින් මේ වෙළඳපොළ ක්‍රමයන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ වෙළඳපොළ ක්‍රියාත්මක වීමේ දී, ඒ ගනුදෙනු ජනතාවට දරාගත හැකි මට්ටමක තිබිය යුතුයි. නිවාස වෙළඳපොළ ගත්තොත් මේ රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවකට වත් ඒ මිළ දරා ගන්න බැහැ. නිවාස ඉදිකර ගැනීමේ හැකියාවක් නැහැ. ඉඩම් වල, අමුද්‍රව්‍ය වල මිල වැඩියි.
ඉඩම් පරිහරණය ගත්තත් එහෙමයි. මේ රටේ ඉඩම් වලින් සියයට විස්සක පමණ ප්‍රමාණයක් විතරයි ජනතාවට පරිහරණය කළ හැකිව තිබෙන්නේ. ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් ඉඩම් සීමා සහිතයි. අනෙක් රජයේ ඉඩම් වුවත් හිතු මනාපයට නිදහස් කිරීම කරන්න බැහැ. මේ නිසා ඉඩම් වෙළඳපොළ තුල අසමතුලිතතාවයක් ඇති වෙනවා. ඉඩම් මිළ දී ගැනීම හැමෝටම එක විදිහට කරන්න බැහැ. මෙහි සාධාරණත්වය ඇති කරන්නෙ කොහොමද කියන එක ආණ්ඩුවකට එන ප්‍රශ්නයක්. ශ්‍රම වෙළඳපොළ ගත්තොත් පුහුණු, නුපුහුණු, උපාධිධාරී වැනි ශ්‍රම බලකායන්ගේ මට්ටම් තිබෙනවා. එතකොට රැකියා පිළිබඳ ගැටලුවේ දී මේ හැම දෙනාටම සමානව සාධාරණව අවස්ථා ලැබීම වෙන්නේ නැහැ.
මුල්‍ය වෙළඳපොළ ගත්තත් දේපොළ හිමි ඉහළ ආදායම් ඇති කොටසට ලැබෙන අවස්ථාව, අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙන්නෙ නැහැ. යම් අසාධාරණයක් වෙනවා. සියයට 60 ක් විතර ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා පීඩාවට පත් වීමත් එහි අතුරුඵලයක්. මේ ජනතාව ප්‍රධාන මුල්‍ය වෙළඳපොළ වෙත අවශෝෂණය කරගැනීම වෙලා නැහැ.
දෙවැනි කාරණය රාජ්‍ය ආදායම එකතු කරගැනීම සහ වියදම් කිරීම නියාමනය කිරීම. අපි වැඩි වශයෙන් කතා කරන්නේ රාජ්‍ය වියදම ගැන. රජයෙන් දේවල් ලබාගැනීම ගැන. නමුත් රජය ඒ දේවල් කරන්න ආදායම් එකතු කරගන්නේ කොහොමද කියන එක ගැන අවධානය අඩුයි. රාජ්‍ය ආදායම සාමාන්‍යයෙන් රඳා පවතින්නේ බදු ආදායම් මත. නමුත් මේ බදු පැනවීම ගැන විපක්ෂ කොටස් වලින් නිතර විවේචන එල්ල වෙනවා.
සමාජයෙන් බොහෝවිට එන ඉල්ලීම වන්නේ ලාබ උපයන ව්‍යාපාරිකයන්ට වැඩියෙන් බදු ගැසිය යුතු බවයි. නමුත් ඒක එහෙම කරන්න බැහැ. සාධාරණ බදු පදනමක්, බදු ප්‍රතිශතයන් යටතේ කලමණාකරණයක් තියෙන්න ඕන. ව්‍යාපාර කියන්නේ රටේ ආර්ථිකයේ ප්‍රධාන සාධකයක්. ව්‍යාපාරයන්ට වැඩි බදු අය කළොත් ඒවා පවත්වාගෙන යෑමේ ගැටලු මත කඩා වැටෙන්න පුළුවන්. එවිට ආර්ථිකය අර්බුදයට යනවා. එයින් නැවත ජනතාවමයි පීඩාවට පත්වෙන්නේ. ව්‍යාපාර රැකගන්න රජය බදු සහන පවා දෙන්නේ ඒ නිසා.
පසුගිය කාලයේ රජය තීරණයක් ගත්තා වැවිලි ක්ෂේත්‍රයේ දෛනික සේවක වැටුප රුපියල් 1700 ක් කරන්න. මේ අයට ලැබුණු වැටුප ප්‍රමාණවත් නොවුනු නිසා රජය මෙම තීරණය ගත්තේ. නමුත් බොහෝ වතු සමාගම් මේකට එකඟ වුණේ නැහැ. ඒ අය කියන්නේ වැඩි වැටුපක් ගෙව්වොත් ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැහැ කියලා. දැන් මේ දෙපාර්ශ්වයටම සාධාරණයක් වෙන්න මේ ගැටලුව විසඳගන්න වෙනවා. මේ වගේ රටේ ආර්ථික යාන්ත්‍රණය සමතුලිතව පවත්වගෙන යෑමට ආදායම් වියදම් නියාමනයක් අත්‍යාවශ්‍යයි.
වර්තමානයේ රජයන් බරපතලව මුහුණ දෙන ගැටලුවක් වෙලා තියෙන්නෙ භු-දේශපාලන බලපෑම. මේක අපි වගේ කුඩා රාජ්‍යකට පමණක් නෙවෙයි, ඇමරිකාව වැනි බලවත්ම රාජ්‍යයකටත් දැන් බලපාන දෙයක්.
ඉන්දියන් සාගරය තුළ ලංකාවේ පිහිටීම නිසා අපිට විශේෂ ප්‍රශ්න ගනනාවකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. චීන-අමරිකා බල කඳවුරු අතර වන ආර්ථික දේශපාලනික ප්‍රතිවිරෝධතා වගේම අපේ ආසන්නම බලවතා වන ඉන්දියාවේ භූ-දේශපාලනික වුවමණාවන් ගැනත් සලකමින් අපිට අපේ දේවල් කළමණාකරණය කරගන්න වෙලා තියෙනවා.
මේ තත්වයන් කළමණාකරණය කරගැනීමට මේ ජාත්‍යන්තර දේශපාලනය ගැන පරිචයක් සහ සෑම පාර්ශ්වයක් සමඟ සුහද ගනුදෙනුවක් පවත්වා ගැනීමේ හැකියාව පාලකයාට තිබිය යුතුයි. අද අපේ රට සම්බන්ධයෙන් ගත්තොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ භු-දේශපාලනික තත්වයන් කළමණාකරණයේ දී සුවිශේෂී හැකියාවක් පෙන්වා තිබෙනවා. මේ නිසා ලෝකයේ සෑම රාජ්‍යයකම සුහදතාවය අපිට තියෙනවා. රට ආර්ථික අර්බුදයෙන් කෙටි කලක් ඇතුලත මුදාගන්න පුළුවන් වෙන්නෙත් ජනාධිපතිවරයාගේ මේ හැකියාව නිසා.
බලයට පත් වූ ආණ්ඩු අවුරුදු 76 ක් තිස්සේ මොකුත් කරලා නැහැ කියලා ජනප්‍රිය චෝදනාවක් තියෙනවා. නමුත් මේ ඉතිහාසය අරන් බැලුවොත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම විශාල වැඩ කොටසක් කරල තියෙනවා. අවශ්‍ය ප්‍රතිපත්ති, තීන්දු තීරණ, වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තිබෙනවා.
නමුත් කණගාටුවට කරුණ තමයි ආණ්ඩු මොන තීන්දුවක් ගත්තත් මේවා නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නෙ නැති එක. සාමාන්‍යයෙන් රජයක් ගන්නා ක්‍රියාමාර්ග වල දී ප්‍රතිපත්තිමය තීරණ වලට හිමි වෙන්නේ සියයට 10 ක වැදගත් කමක්. ඉතිරි සියයට 90 ම වෙන් වෙන්නේ තීරණ අනුව ක්‍රියාත්මක වීම කියන දෙයට.
ආණ්ඩුවක තීන්දු කෙතරම් නිවැරදි වුණත් ක්‍රියාත්මක වීම වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය තුළින්. නිලධාරීන් එය සිදු කළ යුතුයි. මේ නිසා රජය ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වීම, ප්‍රමාද වීම, විකෘති වීම හෝ සිදු නොවීම වෙන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන විදිහ අනුව. දැන් රටේ ක්ෂුද්‍ර මුල්‍ය ණය ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමෘද්ධි බැංකු 1053 ක් තියෙනවා. නිලධාරීන් 25,000 ක් පමණ ඉන්නවා. ඒ වගේම රජය මේ යන්ත්‍රණය පවත්වාගෙන යන්න වාර්ෂිකව රුපියල් බිලියන 5 ක් පමණ වැය කරනවා. මේ බැංකු හරියාකාරව ක්‍රියාත්මක වුණා නම් ක්ෂුද්‍ර මුල්‍ය ණය මේ තරම් ගැටලුවක් වෙන්න බැහැ.
මේ වගේ ඕනෑම රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය තියෙන්නේ රාජ්‍ය යන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය මතයි. ඒ අතර වෘත්තීය සමිති දේශපාලනය වගේ දේවල් නිසා තත්වයන් තවත් බරපතල වීම වලක්වා ගන්න ඕන.
මේ අභියෝග හතර ජය ගැනීම තමයි රාජ්‍යය බලය දිනාගන්න කටයුතු කරන ඕනෑම දේශපාලන කණ්ඩායමකම මූලික වගකීම වෙන්නේ. මේවාට තමන්ගේ විසඳුම් තියෙන්න ඕන. එහෙම නැතුව රාජ්‍ය බලය අතට ගැනීම ලොකු විනාශයකින් කෙළවර වෙන්න පුලුවන්. එහෙම අත්දැකීම් අපිට තිබුණා. මැතිවරණ සමයක දී මේ ගැන කල්පනා කිරීම අතිශය වැදගත්.
- සාගල රත්නායක
මතාන්තරය
ඉරිදා ලංකාදීප
04-08-2024