පොලිස්පතිවරයාගේ පත් වීම අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් විභාගයට ගනිමින් අධිකරණ විනිසුරුවරුන් ලබා දු තීන්දුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව එම තනතුරෙන් ඉවත් කරන ලෙස නියෝගයක් ලබා දීමක් සිදුව නොමැත. එහිදී නිකුත් කර අතුරු තහනම් නියෝගයෙන් පොලිස්පතිවරයාට අදාල පෙත්සම් විභාගය අවසන් වන තුරු එම තනතුරේ නිල බලය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමක් පමණක් එහිදී දන්වා තිබේ. එමෙන්ම ඒ වෙනුවෙන් වෙනත් පොලිස් නිලධාරියකු පත් කිරීමක් සිදු කරන ලෙස ද නියෝග කිරීමක් සිදු කර නොමැත.
එම නියෝගයේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් වෙනත් නිලධාරියකු පත් කිරීම ගැන සලකා බැලිය හැකි බවය.
නමුත් මේ වන විට මැතිවරණයක් කැඳවා ඇති බැවින් සහ ජනාධිපතිවරයා අපේක්ෂකයකු වන බැවින්ද රජයේ පත් කිරීම් සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ දී ඇත. මන්ද එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දක්වා මැතිවරණ පෙත්සම් ඉදිරිපත් වීමේ අනතුරක් ඇති බැවිනි.
කෙසේ නමුත් මෙය ජනාධිපතිවරයා සිය වගකීම් පැහැර හැරීමක් බව විපක්ෂය චෝදනා කර සිටියත් රටේ පවතින නීතිය අනුව ගැටළුවක් තිබේ.
මේ අනුව ජනාධිපතිවරයා කිසිදු විටෙක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොසලකා හැර කටයුතු කිරීමක් සිදුව නොමැති බව පැහැදිලිය.
කෙසේ නමුත් මේ වන විට පොලිස්පතිවරයාට සිය නිල තනතුරේ රාජකාරි කටයුතු තහනම් කිරීම නිසා මේ වන විට මැතිවරණ රාජකාරී වෙනුවෙන් පොලීසිය යෙදවීමට අදාල නියෝගයන් පොලීසියට ලබා දීමේ නීතිමය ගැටළුවක් ඇතිව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තිය අනුව මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන් රාජකාරී වල යෙදවීමට අදාල නියෝගයන් ලබා දීම සිදු විය යුත්තේ පොලිස්පතිවරයා විසිනි. පනවා ඇති අතුරු තහනම් නියෝගය මත එම නියෝග ලබා දීමේ හැකියාවක් පොලිස්පතිවරයාට නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය පැනවීමේදී ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ කටයුතු සිදු වීම පිළිබඳව සලකා බැලීමක් සිදු කර නොමැත. ඒ සම්භන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය හෝ අවධානයක් දැක්වූ බවත් දැන ගන්නට නොමැත.
ජනාධිපතිවරයා පසුගියදා හෝමාගම පැවැති රැස්වීමකදී මේ වන විට පැන නැඟී ඇති තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති පෙන්වා දෙමින් පැහැදිලි කිරීමක් කර තිබිණි.
''.. පොලිස්පති පත් කළ ක්‍රමවේදය වැරදියි කියා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අභියාචනා නඩුවක් ගොනු කිරීමටයි. සම්ප්‍රදාය අනුව අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරනවා කියලා. ඒ ගැන කරුණු තිබුනේ නැහැ. නමුත් එය කියවූ විට තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි. බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි පොලිස්පත්වරයා පිළිබඳ තීන්දුව ලබා දී තිබෙන්නේ.
ඉන් පසු දින විපක්ෂ නායකවරයා එය පාර්ලිමේන්තුවේදී මතු කළා. එදා කථානායකවරයා සිටියේ නැහැ. කථානායකවරයා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා එය ඒ අයුරින් මතු කළා. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් නිසා ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ අධිකරණයට විභාග කළ නොහැකි බවත්, ඒ අනුව මේ පත්වීම නිත්‍යානුකූල බවත් එහිදී කථානායකවරයා තීන්දුවක් ලබා දුන්නා
ශ්‍රෙෂ්ඨාධිකරණය කියනවා මෙම පත්වීම නිත්‍යානුකූල නැහැ තහනම් කරන්න කියලා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා මෙය නිත්‍යානුකූලයි කියලා. මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 දිනට දින ලබා දී තිබෙනවා. මෙය විශාල අවුලක් බවට පත්විය හැකියි.
මම මෙම ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකල්පයකින්.
පොලිස්පතිතුමාගේ පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ද මම බලන්නේ නැහැ. මැතිවරණය කියන්නේ මහජන පරමාධිපත්‍යයයේ කොටසක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් වෙනවා. එම ජනතා පරමාධිපත්‍ය අප ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වන වගන්තිය අනුව රටේ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ කාලය ආරම්භ වූයේ ජූලි 17 වනදා සිටයි. මෙම නිදහස් සහ ස්වාධීන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහාය ලබාදීම අප සියලු දෙනාගේ පරම යුතුකමයි.
මනුෂ නානායක්කාර මැතිතුමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසුවා මෙම වේදිකාවේ මගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්ද කියලා. එය ඉවත් කරන්න කියලා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මේව අපි මේ අයුරින් කථා කරන්න ඕන, වාද විවාද කරන්න ඕන. නමුත් අපි මේ අයුරින් කටයුතු කරන විට මැතිවරණ කොමිසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඇ වන වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි. නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි.
පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබා ගන්නේ කොහොමද. අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕන. පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්.
එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ. මැතිවරණය කල් දානවට මම කැමති නැහැ. සැප්තැම්බර් 21 වනදා වඩා මැතිවරණය ඉදිරියට ගෙන යාමට මම කිසිසේත් සූදානම් නැහැ.
කෙසේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට මම තීරණය කළා. ඔබ කැමති ඕනෑම අයෙකුට ඡන්දය ලබා දෙන්න. එය ගැටලුවක් නොවෙයි. ඒ අයිතිය ඔබ සතුයි.
දැන් අධිකරණයට යන එක අපි නවත්වමු. දැන් තිබෙන්නේ විසඳුමක් සෙවීමටයි. මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද, එය නිශ්ක්‍රීය කරනවද කියන තීරණය අප ගත යතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ. මෙය කොටස් වශයෙන් ගලවා නිශ්ක්‍රීය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කථානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා.
මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය දඩුවම් කළේ රට ආරක්ෂා කළේ නැහැ කියලා. රට ආරක්ෂා කරන්න පොලිසිය අවශ්‍යයි. බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක විය යුතුයි. මේවා නැති වුණොත් මොකක්ද වෙන්නේ.
මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නව ව්‍යාපාරයක් මේ සතියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය ආරම්භ විය යුතුයි. ඒ නිසා කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා සැප්තැම්බර් 21 දින මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි අන්දමින් කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා..''