ලංකාවේ ඩිගෝල් ! Featured

Sunday, 28 July 2024 20:38

දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක මුව විටය. එම ජනාධිපති වරණයෙන් රනිල්ට විය හැක්කේ කුමක්ද? රනිල් බලයට පත්වු වහාම වාගේ ඔහු රටේ නායකයන් අතර සිටින ස්මාර්ට්ම නායකයා වන බවට මා කළ ප්‍රකාශයක් මහජන කථා බහකට හේතුවී තිබුණි.

83 කළු ජූලියෙන්, ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් හා එල්ටීටීඊ යුද්ධයෙන් රටට සිදුවූ හානියේ ප්‍රමාණය ඩොලර් බිලියන 200 ක් බව මා ප්‍රකාශ කළේද එම සාකච්ඡා වේදීය. එයද මහජන අවධානයට යොමු වූ වැදගත් කරුණක් වන අතර එය රටේ ඇතිවී තිබෙන බිඳ වැටීම ඊට බලපෑ හේතු ගැන කෙරෙන කථිකාවට එකතු කෙරුණ නව මානයක් ලෙසද සැලකිය හැකිය.

ජනාධිපතිවරණයට රට ගමන් ගනිමින් තිබෙන අවස්ථාවක ඇතිවී තිබෙන අධිකරණය හා පාලක පක්ෂය අතර ඇති වී තිබෙන ගැටුමද මහජන කථාබහට හේතුවී තිබෙන උණුසුම් මාතෘකාවකි. ජනාධිපති රනිල්ගේ කැමැත්ත තිබෙන බව පෙනෙන්නේ පාර්ලිමේන්තුවට උත්තරීතර තත්වයක් ලබා දෙන වෙස්ට් මිනිස්ටර් දේශපාලන ක්‍රමයට කිසියම් ප්‍රමාණයකට සමාන ජනාධිපති ක්‍රමයකි. සොල්බරි ව්‍යවස්ථාවෙන් ලැබී තිබුණ ක්‍රමය කොල්වින් සිය පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් වෙනස් කොට පාර්ලිමේන්තුවට උත්තරීතර තත්වයක් ලැබෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කළේය. ඉන් පසු ජේආර් ජයවර්ධන ඇමරිකානු ජනාධිපති ක්‍රමය වෙනුවට ඩිගෝල් ඇති කළ ප්‍රංශ ක්‍රමය ආදර්ශයට ගනිමින් ඇති කරන ලද ජනාධිපති ක්‍රමයේදි ද ජනාධිපති උත්තරීතර කොට අධිකරණය ඊට පහලින් තිබෙන ආයතන ක්‍රමයක් බවට පත් කළේය. ඒ ක්‍රමය යටතේද අධිකරණයට ලබා දෙන ලද්දේ නීතියෙන් නියම කළ ඉතාමත් සීමිත විමර්ශන බලයක් මිස පූර්ණ විමර්ශන බලයක් නොවේ. මගේ මතය වන්නේ අධිකරණයට පුර්ණ විමර්ශන බලයක් ලබා දිය යුතු බවය.

එහෙත් එම අයිතිවාසිකමට පෙර අධිකරණය සිය වුවමනාවෙන් ම ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කරගැනීමට හේතුවන අභයන්තර විපර්‍යාසයකට යායුතුය. ඉංදියාව සමග ගත්විට ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය තිබෙන්නේ ප්‍රමාණවත් තරමේ ඉදිරි ගාමි තැනක නොව පසුගාමි තැනකය. ලංකාවේ සිදුවී තිබෙන ව්‍යවස්ථාව උල්ලංඝනයක් ගැන සොයා බලන තැනකට ගිය හොත් අධිකරණයද ජනාධිපති හා ව්‍යවස්ථාදායකය සමඟ කල්ලී ගැසී ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථා දැකිය හැකිය. එවැනි වැරදි නිවරදි කරගැනීමේ වගකීමක් අධිකරණයට ද ඇත්තේය. ඒ සඳහා අධිකරණයද තමන්ගේ කටයුතු දෙස විවේචනාත්මක ආපසු හැරී බලන තැනකට යායුතුය. විටින් විට පාලකයා හා අධිකරණය අතරද ගැටුම් ඇති විය හැකිය. එවැනි ගැටුම් අස්වභාවික නැත. එම ගැටුම් විටෙක පොදු යහපතටද තවත් සමහර විට පොදු අයහපතටද හේතු විය හැකිය.

ඇමරිකාවේ සියළුම ජනාධිපතිවරුන් අතරින් ශ්‍රේෂ්ඨමයා ලෙස සැලකෙන ඒබ්‍රහම් ලින්කන්ට අගවිනිසුරු රොගර් සමගත් ශ්‍රේෂ්ඨාධිකරණය සමගත් ලොකු ගැටුමක් තිබුණි. ජනාධිපති ලින්කන් සිවිල් යුද්ධයට ගියේ හේබියස් කෝපර්ස් ( Habeas Corpus) ආඥාව( නීති විරෝධි ලෙස රඳවා තබාගැනීමක් හෝ සිරගත කිරීමක් වලකන ආඥා ක්‍රමය) බලරහිත කෙරෙන ජනාධිපති ආඥාවක් පණවමිණි.එය ව්‍යවස්ථා උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ ද ජනාධිපති ලින්කන් සිය ස්ථාවරය සිවිල් යුද්ධය අවසන් වන තෙක්ම වෙනස් කලේ නැත.

සංකේතාත්මක අර්ථයෙන් ලංකාවේ දේශපාලන ක්‍රමයේ මහා බිද වැටීමක් ඇති වූයේ ගෝඨාභ රාජපක්ෂ ජනාධිපතිවරයාට තනතුර අත්හැර පලා යන්නට සිදුවූ 2022 මාර්තු 15 වනදා සිදුවූ මහජන නැගිටීමත් සමඟය. එහෙත් එම අරගලය නව විකල්ප දේශපාලන ක්‍රමයකට උත්පත්තිය ලබාදෙන ඓතිහාසික අවස්ථාවක් ලෙස ක්‍රියා කළේ නැත. නව උපතක් පිළිසිඳ ගැනීමකට අවශ්‍ය කරන සරු ගැබක් ලංකාවට නොතිබුනේය. ඒ නිසා ඇතිවූ විශේෂ දේශපාලන වටපිටාව සියළු පරණ දේශපාලන පක්ෂ වලට තිබුණ පිළිගැනීම දුර්වල කොට එම සියළු දේශපාලන පක්ෂ අඩුවැඩි ප්‍රමාණයකට යල්පැන ගිය හා ගන්ධබ්බ තත්වයකට පත් කිරීමට හේතු විය.

එක පාර්ලිමේන්තු නියෝජනයක් පමණක් තිබුණු රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමද එම අරගලයේ අතුරු ඵලයක් වශයෙන් සිදුවුවක් ලෙස සැලකිය හැකිය. අරගලය රනිල් වික්‍රමසිංහට බලය දෙන ලෙස ඉල්ලා සිටියේ නැතත් අරගලය විසින් ඇති කර තිබුණ ප්‍රශ්න විසඳා ගැනීම සඳහාත් අරගලය ඇති කිරීමට හේතුවී තිබුණ ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහාත් පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහට රාජ්‍යය බලය ලබා දුන්නේය.

ලංකාවේ පාර්ලිමේන්තුව රට මුහුණ දී තිබු අර්බුදය විසඳා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට බලය පවරන ලද අකාරයත් ප්‍රංශ පාර්ලිමේන්තුව 1958 දී ප්‍රංශයට මුහුණ දෙන්නට සිදුවී තිබූ අර්බුදය විසඳාගැනීම සඳහා චාර්ල්ස් ඩිගෝල්ට බලය දුන් අකාරය අතරත් අපූරු සමාන කමක් පවතී. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ ෆැසිස්ට් හමුදා ප්‍රංශය යටත් කරගැනීමට සමත් විය. ජර්මන් ෆැසිස්ට් ආධිපත්‍යෙන් ප්‍රංශය නිදහස් කරගැනීමේ සටනට නායකත්ව දුන්නේ ඩිගෝල්‍ ය.1945 දී ජර්මන් ආධිපත්‍යයෙන් ප්‍රංශය නිදහස් වීමෙන් පසු 1946 දී ජෙනරල් ඩිගෝල්ගේ නායකත්වයෙන් තාවකාලික ප්‍රංශ රජයක් ඇතිවී මැතිවරණයක් පවත්වා හතරවන සමූහාණ්ඩුව (1946-1954) ඇති කරගන්නා ලදී. ඒ සමග ඩිගෝල් විශ්‍රාම ගියේය.

හතර වැනි සමූහාණ්ඩු කාලය ප්‍රංශය අවුල් වියවුල් වලින් පිරුණු අස්තීර භාවය රජ කළ කාල පරිච්චේදයක් විය. එම සමුහාණ්ඩුව පැවති වසර 8 ක කාලය තුළ ආණ්ඩු පෙරලි 5 ක් සිදුවූ අතර විටින් විට ඇති කර ගත් ඇමති මණ්ඩල සංඛ්‍යාව 25 කි. ප්‍රංශයේ පැවති දේශපාලන අස්ථාවර භාවයට අතිරේඛව මොරොක්කෝව, ටියුනීසියාව හා ඉන්දුචීනය ප්‍රංශයට අහිමිවූ අකාරයට ඇල්ජීරියාවද ප්‍රංශයට අහිමිවන තත්වයක් ඇති වෙමින් තිබුණි. ඇල්ජිරියානු කැරැල්ල පැවතියේ බිහිසුනු දිග්ගැසුන කැරැල්ලක තත්වයකය. ප්‍රංශය මුහුණදී තිබුණ අර්බුද ජය ගැනීම සදහා ඩිගෝල්ට පාලන බලය පවරා දිය යුතු බවට පාර්ලිමේන්තුට ඉදිරි පත්වූ යෝජනාවකට මුළු මන්ත්‍රීවරුන් 329 කින් 224 ක් පක්ෂව ජන්ද ලැබී ඩිගෝල් 1958 මැයි 1 වන දින ප්‍රංශයේ නම් කළ අගමැති බවට පත්විය. එවිට ඔහු ගේ වයස අවුරුදු 68 ක් විය. ඔහු හය මාසයක් වැනි කෙටිකාලයක් තුල දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට හේතුවන නව ව්‍යවස්ථාවක් ගෙනවිත් එය ජනමත විචාරණයකින් සම්මත කරගනිමින් පස්වන සමූහාණ්ඩුව ඇති කළේය.

ඩිගෝල් එම සමුහාණ්ඩුවේ වසර දහයක් ( 1959-1969 දක්වා)එක දිගට ජනාධිපති ධුරය දැරූ වේය. ඔහුගේ එම පාලන කාලය තුල හතරවැනි සමූහාණ්ඩු කාලය තුල හොඳටම අබල දුබල තත්වයකට පත්ව තිබුණ රාජ්‍යය හා දේශපාලන ක්‍රමය නව හා බලසම්පන්න තත්වයකට පත් කිරීමට හේතු විය. දුබල තත්වයකට පත්ව තිබූ ආර්ථිකයද ශක්තිමත් තත්වයකට පත්වී ප්‍රංශය නැවත බලවත් රටක් බවට පත් විය.

රනිල් වෙනත් බොහොමයක් දේශපාලන නායකයන්ට නැති ලංකාවේ දියුණුව සඳහා වන සිහින පොදියක් ඇතිව සිටි නායකයෙකි. එහෙත් ඔහු ඔහුගේ එම සිහින පොදියත් සමග ඔහු ලංකාවේ දේශපාලන සමාජය විසින් නොවැදගත් කොට සලකා ඉවත දමනු ලැබූ තත්වයක සිටි නායකයෙකු ලෙසද සැලකිය හැකිය. ඔහු 1994 සිට ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂයවී තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී සිටියද රාජ්‍ය බලය හිමිකර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙන හැම අවස්ථාවාදී ම එම ජයග්‍රහනය අහිමි කිරීමට ඔහුට පාලනය කල නොහැකි අහම්බ හේතුවක් බලපෑවේය.

1999 ජනාධිපති වරණයේ ඔහු ගේ පරාජය කෙරෙහි ඔහු ගේ ප්‍රතිවාදිනිය වූ ජනාධිපති චන්ද්‍රිකා තුවාල කිරීමට හේතු වූ ටවුන් හෝල් බෝම්බ සිද්ධිය බලපෑවේය. ඉන් පසු පහසුවෙන් ජය ගත හැකි තත්වයක තිබූ 2005 ජනාධිපතිවරණයේ පරාජය කෙරෙහි ප්‍රභාකරන් අවසාන මොහොතේදී ක්‍රියාවට නගන ලද ජන්ද වර්ජන ව්‍යාපාරය බලපෑවේය. ඉන්පසු 2015 දී පොදු අපේක්ෂකයෙකුට මිස රනිල්ට මහින්ද පරාජය කළ නොහැකි බවට රනිල් විරෝධි කණ්ඩායමක් ඉතා සියුම් හා බලවත් ලෙස සමාජ ගතකරන ලද මතවාදයක් නිසා ජනාධිපති වරණයට තරඟකිරීමේ අවස්ථාව රනිල්ට අහිමි වී පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමේ අයිතිය පක්ෂයට කිසිම සම්බන්ධයක් නොතිබුණු මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට සිදුවිය. මෛත්‍රීපාල සිරිසේන ප්‍රදාන කොට එජාප ජන්දවලින් ජනාධිපති ධූරයට තේරි පත් විය. (2015 දී මෛත්‍රීපාල වෙනුවට රනිල්ට එම තනතුරට පත්වන්නට ඉඩ දුන්නේ නම් රට බංකොලොත් තත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි.) ඉන්පසු 2019 ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අයිතියද රනිල්ට අහිමිවී අවසානයේ දී 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළද පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නොහැකි විය.

ඉන්පසු රනිල් පාර්ලිමේන්තුවට ආවේ එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි. රටේ ඇතිවූ මහා කඩා වැටීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවු මහජන නැගිටීම ඉදිරියේ තනතුර අතහැර පලා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුව රනිල් ව ජනාධිපති ධූරයට පත්කරන අවස්ථාව වන විට රනිල්ට පාර්ලිමේන්තුවේ තිබුනේ ඔහු නියෝජනය කළ පාර්ලිමේන්තු ආසනය පමණය. ඒ සමග රට ඇද වැටී තිබුණ අරාජක හා බංකොලොත් තත්වයෙන් රට ගොඩ ගැනීම සදහා ඔහු විසින් ක්‍රියාවට නගන ලද වැඩ සටහන ප්‍රායෝගික, වර්ණවත් හා අසම සම වැඩ සටහනක් වී යැයි කිව හැකිය.

රාජ්‍යයේ ඇති වී තිබුණ බිඳ වැටීම හා එහි ඇති වී තිබුණ අරාජකත්වය ජයගැනීම රනිල් පළමුවෙන් ජයගත යුතුව තිබුණ දුෂ්කර ම අභියෝගය වී යැයි කිවහැකිය. ගෝල්ෆේස් පිටිය සිය ප්‍රධාන බල ප්‍රදේශය බවට පත් කරගෙන සිටි සාමකාමි අරගල කරුවන්ට අගමැති මහින්ද රාජපක්ෂ බලන්නට පැමිණි දේශපාලන ආධාර කරුවන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් නිසා ප්‍රති ප්‍රාහාර එල්ලකරන තත්වයක් ඇතිවී කොළඹට පැමිණි ආණ්ඩු පක්ෂ ආධාර කරුවන්ට නැවත ගම් ප්‍රදේශවලට ආපසු යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බස් රථ නවතා පහරදීම් සිදුවූ අතර ඒ ගැටුම අවසන් වූයේ ආණ්ඩු පක්ෂයේ දේසපාලකයන් 70 වගේ පමණ නිවාස ගිනි තබා විනාශ කිරීමෙනි. රනිල් වික්‍රමසිංහගේ කොළඹ පුද්ගලීක නිවසද ගිනි තබා විනාස කර තිබුණ අතර ජනාධිපති මන්දීරය, අරලිය ගහ මන්දීරය හා ආගමැති කාර්‍යාලය ඇතුළු සංකේත වැදගත් කමක් ඇති රජයේ මර්මස්ථාන ගනනාවක් අරගල කරුවන් අල්ලා ගෙන සිටියේය. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ බලවත් තර්ජනයක්ද පාර්ලිමේන්තුවට එල්ලවී තිබුනි. බිහිසුණුම දේ පොලීසිය හා ආරක්ෂක හමුදා විශාල ප්‍රමාණයකට ආත්ම විස්වාසය අහිමි කරගනිමින් නිෂ්ක්‍රීය තත්වයකට පත් ව සිටීමය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය වෙලාගෙන තිබු එම අරාජක තත්වය නැතිකොට රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය කිසියම් විශාල ප්‍රමාණයකට යාථා තත්වයට ගෙනාවේ අරගල කරුවන් පැහැර ගෙන ගොස් අතුරු දහන් කිරීම් වලින් හෝ ඔවුන් ගේ ජීවිත විනාශ කිරීම් වලින් හෝ ඔවුන්ට බිහිසුණු ලෙස පහරදී තුවාල සිදු කිරීම් වලින් හෝ තොග ගනනින් ඔවුන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් වලින් තොරවය.

රනිල් ගෙවුම් ශේෂ අර්බුදය ජයගැනීම සඳහා ක්‍රියාවට නඟන ලද වැඩ පිළිවෙළ විශාල ලෙස කථාබහට ලක්වී තිබෙන්නක් වන නිසා ඒ ගැන කථා කරන්නේ නැත. එම වැඩ සටහනද රටේ ඇති වී තිබුණ ඇද වැටීම ඉක්මනින් ජය ගනිමින් යහපත් ප්‍රතිඵල ගෙන දුන් විචිත්‍ර හා ප්‍රායෝගික වැඩ සටහනක් ලෙස සැලකිය හැකිය. මුලදී එය බලවත් විවේචනයන්ට ලක්විය. එම වැඩ සටහන කඩා කප්පල් කිරීමට ලොකු උත්සහායන් ක්‍රියාත්මක වුවද ඒවාට මහජනයා ක්‍රියා කාරි ලෙස සහාය නොදීම නිසා කඩාකප්පල් කාරින්ගේ අරමුණු සඵල වූයේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙවීගිය වසර දෙකක් තරම් කාලය තුළ රට ඇද වැටී තිබුණ අවසනාවන්ත තත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා ඉටුකර තිබෙන කාර්‍යභාරය ඉතාමත් සුවිශාලය. බංකොලොත් භාවයට පත් වෙනත් රටවල් සමඟ සසදන විට ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය තිබෙන්නේ අසම සම තත්වයකය. රනිල් ඒ සියල්ල කළේ තමන්ගේ පාර්ලිමෙන්තු කණ්ඩායමක් පවා නැතිව අනුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සමඟය. රනිල් රඟපෑ එම සුවිශේෂ භූමිකාව තුළ ඔහු ලෝක නායකයින් අතරද කැපී පෙනෙන තත්වයක් හිමිකරගත් නායකයෙකු බවට පත් කළේය. ජනාධිපති රනිල් යටතේ වැඩ කළ කැබිනට් මණ්ඩලයද වර්ණවත් කැබිනට් මණ්ඩලයක් ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වීමට නියමිතය. රනිල් ගේ එම වැඩ සටහන පාර්ලිමේන්තුවේ ක්‍රියා කාරිත්වයද කාර්‍යක්ෂම කිරීමට හේතු විය. එම කාලය තුළ සම්මත කරගත් නව අන පනත් සංඛියාව 100 කට ආසන්නය.

අපි රනිල්ට කොන්දේසි විරහිතව සහාය දුන්නත් රනිල් අපේ පක්ෂය දෙකඩ කලා කියා චෝදනාවක් නාමල් රාජපක්ෂ විසින් ඉදිරි පත්කර තිබේ. පොහොට්ටුව පක්ෂය රනිල් ගේ වැඩ සටහනට කොන්දේසි විරහිතව උදව් කළ බව සැබෑවකි. එසේම රනිල්ට රට මේ තත්වයට ගෙන ඒමට නොහැකිවී තිබුණ අරාජකත්වය තව කලක් පැවතියේ නම් නාමල් වැනි අයගේ තත්වය කුමකින් කුමක් විය හැකිව තිබුනේද? ලංකාවේ අර්බුදය විසින් අර්බුදයට යවා තිබෙන්නේ පොහොට්ටු පක්ෂය පමණක් නොවේ; රටේ සියළු දේශපාලන පක්ෂ තිබෙන්නේ අර්බුදයට ගිය තත්වයකය. ඒ තත්වය තුල පක්ෂ කැබලි වීම නොවැලැක් විය හැකිය. ඒ තත්වය ජයගැනීමට අවශ්‍ය නම් රටේ පවතින ජරාජීර්ණ වී යල් පැනිගිය තත්වකට පත්ව තිබෙන දේශපාලන ක්‍රමය නිර්මාණශීලී ලෙස ප්‍රති නිර්මාණය කරගැනීමට හේතුවන ප්‍රති සංස්කරණ වලට යායුතුය.

ඇතිවූ මහා අර්බුදයෙන් පසුව බල ලෝභයෙන් හා දේශපාලන කට්ටි වාදයෙන් තොරට සියළු දේශපාලන පක්ෂ එකට එකතුවී එවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සදහා පොදු එකඟතාවයක් ඇති කරගනිමින් එය ක්‍රියාවට නඟන තැනකට ගියේ නම් දැන් ලංකාව තිබෙනු ඇත්තේ දැන් තිබෙන තත්වයටත් වඩා දියුණු තත්වයක නොවේද? දැන් එවැනි ප්‍රතිසංස්ජරණ වැඩ සටහනක් සඳහා තීන්දු කිරීමේ හැකියාව ලැබෙනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය. එහිදීත් රටේ දේශපාලන නායකයින් අතර සිටින ප්‍රතිසංස්කරණ භාෂාව වැඩියෙන්ම තේරෙන නායකයා ලෙස සලකන්න සිදු වන්නේ රනිල් වික්‍රමසිංහය.

නූතන ලංකාව බිහි කළ නායකයින් අතුරින් රට ගොඩනැගීම සඳහා වන ශක්තිමත් ප්‍රායෝගික දර්ශනයක් පෙන්නුම් කර තිබෙන එකම නායකයා ‍රනිල් වික්‍රමසිංහය. ඔහුට තිබෙන දක්ෂතා රට හඳුනාගත්තේ බොහෝ ප්‍රමාදවී මේ අර්බුදය නිසාය. ලංකාව නායකයින් ගෙන් තොර කාන්තාර දේශයකි. ඒ තත්වය කෙරෙහි ලංකාවේ ඇතිවූ ප්‍රචණ්ඩ කැරලිත් එම කැරලි මර්ධනය සදහා රජය යොදා ගැනුණු ප්‍රති ප්‍රචණ්ඩ ව්‍යාපාරත් බල පෑවේය.

රටේ සිටින නායකයින් අතරින් අප කැමති වුවත් නැතත් රටට සිටින ලොකුම හා බුද්ධිමත් නායකයා ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහ ය.ඔහු බංකොලොත් හා අරාජක තත්වයකට පත්ව තිබූ ලංකාව එම අසෝභන තත්වයෙන් මුදා ගැනීම සඳහා ඉතාමත් සුවිශේෂ කාර්‍ය භාරයක් ඉටු කළ නායකයා ලෙස සැලකිය හැකිය. ඒ වෙනුවෙන් ඔහුට ජාතියේ ප්‍රණාමය පලකරන අතර රට වඩා ශක්තිමත් තැනකට ගැනීමට හේතුවන දෙශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරමින් රට එහි ජනයා වඩා ශක්තිමත්, යහපත් හා ප්‍රතාපවත් තැනකට ගැනීම සඳහා ඊලඟ පස් අවුරුද්ද රට පාලනය කිරීමේ වගකීමද රනිල් වික්‍රමසිංහටම බාර දිය යුතුය.

ඔහු මේ ජනාධිපති වරණයෙන් පරාජය වුවහොත් නිසැක වශයෙන්ම ඒ සමඟ රටේ මහජනයාගේ ලොකුම වීරයා වනු ඇතත් ඔහුය. අපි අපව ගලාවගත් මේ මිනිසා පරාජ කළේ ඇයි කියා මහජනයා හඬා වැලපෙන තත්වයක් ඇතිවනු නොවැලැක් විය හැකිය. එහෙත් ඔහුගේ පරාජයත් සමඟ ලංකාව නැවත කඩා වැටෙන තත්වයකට පත්වීමද නොවැලැකිය හැකිය. එවැනි තැනකට ලංකාව ඇද වැටෙන්නට ලංකාවේ මහජනතාව ඉඩ නොදිය යුතුය.

- වික්ටර් අයිවන්

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us