නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” කෘතිය එළි දැක්වේ Featured

Wednesday, 24 July 2024 13:18

නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නදීරා මඩුගල්ල තමන් විසින් විසි වසරක් තුළ සමීපව ලත් අත්දැකීම් සහ එකතු කරගත් දැණුම තුළින් පාඨක ලෝකයට එක් කරන “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විදහාපාන අපූරු කැඩපතකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මාධ්‍යයට, සමාජ මාධ්‍යයට හසු නොවු කරුණු කාරණා රටට හෙළිදරව් කරන්නට රූප, ශබ්ද මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වරින් වර උත්සාහ කර ඇති කතුවරිය මෙම ග්‍රන්ථය හරහා එහි තවත් එක් පියවරක් තබා තිබේ.

නදීරා මඩුගල්ල, දේශපාලන විද්‍යාව පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. ජනමාධ්‍යවේදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් ඇය ගුවන් විදුලිය රූපවාහිනිය සහ පුවත්පත යන මාධ්‍යත්‍රයේම ප්‍රවීණ ජනමාධ්‍යවේදනියක් වන අතර පාර්ලිමේන්තු විෂය කෙරෙහි ද අත්දැකිම් බහුල මාධ්‍යවේදිනියෙකි. ඇය මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.

කෘතියේ පළමු පිටපත නදීරා මඩුගල්ල මහත්මිය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගැන්වූ අතර අනතුරුව ඇයගේ දෙමාපියන් වෙත සහ මැති ඇමතිවරු ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් වෙත කෘතිය පිළිගැන්වීම සිදු විය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විසින් සිදු කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් පිළිබඳවත් “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” කෘතිය මඟින් රසවත් ලෙස ජනතාවට සමීප කර ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සමාජයට හොඳ විවරණයක් ලබාදීමටද නදීරා මඩුගල්ල කතෘවරිය මෙම කෘතිය මඟින් උත්සාහ දරා ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මෙසේද පැවසීය,

නදීරා මඩුගල්ල විසින් ලියූ “පාර්ලිමේන්තුවේ බලහත්කාරය” කෘතියේ දොරට වැඩීම වෙනුවෙන් ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මා දකින ආකාරයට සාහිත්‍ය යනු බොහොම රසවත් නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්. නිර්මාණ, භාෂා හා කලාවන්ගෙන් සාහිත්‍ය පෝෂණය වෙනවා. නදීරා මඩුගල්ල අද ඉදිරිපත් කර තිබෙන කෘතිය සාහිත්‍ය තවත් පොහොසත් කරන නිර්මාණයක් ලෙස මා දකිනවා. ඇයගේ භාෂා හැසිරවීමේ සහ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ඉතිහාසයේ සිදුව පැවති සිද්ධීන් ජනතාව වෙත අලංකාර ලෙස ගෙන හැර දක්වා තිබෙනවා. ඇගේ මෙම කුළුඳුල් කෘතිය මඟින් පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් විවරණයක් සමාජයට ලබාදීමට ද උත්සාහ දරා තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් බොහොමයක් මෙම කෘතියට ඇතුළත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පවතින විවිධත්වය නිසාම එහි පවතින විවාද තුළත් ඉන් මතුවන රසවත් කාරණා සම්බන්ධයෙනුත් ලංකාවේ සාහිත්‍යයට නව පෝෂණයක් එකතු කිරීමට මෙම කෘතිය සමත්ව තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී උරුමය ඉදිරියට ගෙන යාමට මෙම කෘතියෙන් හොඳ ආදර්ශයක් සපයනවා.

පාර්ලිමේන්තුවේ තොරතුරු ජනතාවට සමීප කරවීම සම්බන්ධයෙන් නදීරා මඩුගල්ල කතෘවරියට මා ස්තූතිවන්ත වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,

පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සමාජයයි. පරමාධිපත්‍ය බලය මගින් පුරවැසියා විසින් තමාව නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට නියෝජිතයකු පත්කර යවනු ලබනවා. එම නියෝජිතයා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වන්න පුළුවන්. උදාහරණයක් ලෙස විජයානන්ද දහනායක මහතා අමුඩයක් ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණීම ගත හැකියි. සමහරුන් කතානායකවරයාගේ නිවේදනයට අවනත නොවී ක්‍රියාකිරීම නිසා පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට සිදුවූ අවස්ථා තිබෙනවා.

මෙම කෘතියේ යෙදී ඇති ‘බලහත්කාරය’ යන වචනය විවිධ ලෙස භාවිතයට ගත හැකියි. ඒ නිසා මම ඒ ගැන අවධානය යොමු කරනවා. 88-89 කාලයේ තිබුණු බලහත්කාරය ගැන සමාජය තුළ තිබෙන්නේ වෙනත් අදහසක්.

එහිදී ජීවිත නැතිවන තැනටම බලහත්කාරය ගෙන ගියා. නමුත් පාර්ලිමේන්තුවේ බලහත්කාරය යන්න ප්‍රජාතන්ත්‍රවාදී කාරණයක් බව කිව යුතුයි. නදීරා මඩුගල්ල විසින් උත්සාහ දරා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලහත්කාරය යන ප්‍රජාතන්ත්‍රවාදී කාරණය පිළිබඳ ජනතාවට විවරණයක් ලබාදීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ,

ජනමාධ්‍යයත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිබඳ විශේෂ කැමැත්තක් තිබෙන පුද්ගලයෙක් ලෙස මෙහි ආරාධිතය දේශනය සිදු කිරීමට ලැබීම මා මහත් භාග්‍යයක් කොට සලකනවා. මේ කෘතියේ සඳහන් බොහොමයක් කරුණු මේ භූමිය තුළ සිදුවුණු දේවල්. මේ දොරෙන් තමයි හැම මන්ත්‍රීවරයෙක්ම එළියට අරන් ගිය බලහත්කාරය සිදු වී තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව දේශපාලනයේ සිටි හිත හොඳ දේශපාලනඥයෙන් පිළිබඳව මේ කෘතියේ සඳහන් වෙනවා. ඒ හැම මන්ත්‍රීවරයෙක්ම රට වෙනුවෙන් යම් මෙහෙවරක් සිදු කර තිබෙනවා. කථානායකවරයාට අවනත නොවී දිගටම කතා කරමින් සිටියදී දොරෙන් එළියට දැමීම තමයි මේ බලහත්කාරය කියා කියන්නේ. සෝමවීර චන්ද්‍රසිරි, රොබට් ගුණවර්ධන, විජයානන්ද දහනායක වැනි චරිත ගැන මේ පොතේ සඳහන් වෙනවා. වාමාංශික ව්‍යාපාරවල අය තමන්ගේ විරෝධය පෑවේ කෙසේද යන්නත් මෙම කෘතියේ මනාව සඳහන් වෙනවා. මන්ත්‍රීවරුන්ව ඔසවාගෙන එළියට දැමූ පනත් සම්බන්ධයෙන් සොයා බැලුවොත් එම පනත් රටට බරපතල බලපෑමක් කළ පනත් ලෙස දැක ගත හැකියි.

1956 වසරේදී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පනත, දෙමළ භාෂාවට සමාන තැන ලබාදීමේ පනත,වැනි රටට විශාල බලපෑමක් කළ හැකි පනත් හමුවේ බලහත්කාරය සිදුව තිබෙනවා. එම නිසා මෙම පනත් පිළිබඳව කියවීමට ජනතාවට කුතුහලයක් ඇති කිරීම මෙම කෘතිය මඟින් උද්දීපනයක් කර තිබෙනවා. මෙම කෘතිය කියවීමෙන් පසුව ඒ ඒ අදාළ පනත් සම්බන්ධයෙන් හැන්සාඩ් වාර්තා කියවීමටද යම් කුතුහලයක් පාඨකයාට ඇතිවෙනවා.

සමානුපාතික මැතිවරණ ක්‍රමයේදී ප්‍රශ්නය තිබෙන්නේ ඡන්ද ඉල්ලන කෙනාට මිස ඡන්දය ලබාදෙන කෙනාට නොවෙයි . ශ්‍රී ලංකාව වැනි රටකට සමානුපාතික මැතිවරණ ක්‍රමය අවශ්‍ය බව මගේ අදහසයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, විධික්‍රමික ප්‍රජාතන්ත්‍රවාදය හා සාංගමික ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණා තුනම රටක් තුළ තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන හරයාත්මකගුණය වැඩි කිරීමට ඩිජිටල් මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු විය යුතුයි. භෞතික පැවැත්ම කොතරම් ගුණාත්මක වුවත් ඩිජිටල් පැවැත්ම නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉදිරියට ගෙනයා නොහැකියි. මේ ග්‍රන්ථයෙන් රසබරව ජනතාවට ලබාදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රස මුසු තැන් සමාජ විවරණයක් බවට ඉදිරියේදී පත්වනු ඇතියි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නදීරා මඩුගල්ල,

මේ රටේ සෑම පුරවැසියෙකුටම පුරවැසි යුතුකමක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ තමයි තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම. පුරවැසියාගෙන් එම යුතුකම ඉටු නොවන්නට අපගේ මව්බිම අනාරක්ෂිත වෙනවා. අප මේ රට ආරක්ෂා කරන්න නම් ලෙන්ගතුබව හා විනය කියන කාරණා වඩා වැදගත් වෙනවා.

ලොකයේ විවිධ රටවල දේශපාලනය පිළිබඳ විවිධ ක්‍රම, මත, සංකල්ප, මෙන්ම ආකල්ප තිබෙනවා. මේ අතරින් වැදගත්ම සංකල්පය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඕනෑම රාජ්‍යයක් පුරවැසියාට සුරක්ෂිත වීමට නම් ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න අවශ්‍යයි වගේම එය ජනතාවට දැනෙන්න අවශ්‍යයි. එහෙත් එම ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුත්තේ පාර්ලිමේන්තුව පමණක් නොවෙයි. එහිදී පුරවැසියන් ලෙස ඔබටත් මටත් විශාල වගකීමක් පැවරෙනවා. මා මෙසේ සිදු කරන්නේ ඒ පුරවැසි යුතුකමයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මගේ පුරවැසි යුතුකම ලෙස ‘පාර්ලිමේන්තුවේ බලහත්කාරය’ නමින් මගේ කුළුඳුල් ග්‍රන්ථය එළිදක්වනවා. වසර 20කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරමින් ලත් අත්දැකීම් සහ දැනුම කැටි කරමින් මෙම කෘතිය පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස මෙසේ ජනගත කරනවා.

 

Last modified on Wednesday, 24 July 2024 13:21

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us