නව ප්‍රතිපත්තිය අනුව බංග්ලාදේශ නිදහස් සටනට සම්බන්ධ වූවන්ගේ පවුල්වලට සියයට තිහක කෝටාවක් ලැබෙන අතර අවවරප්‍රසාදිත පළාත්වලට, කාන්තාවන්ට, සුළු ජනවර්ගවලට සහ ආබාධිත පුද්ගලයන්ට තවත් කෝටාවන් හිමිවනවා. සමස්ථයක් ලෙස රජයේ රැකියා සඳහා සියයට 56 ක කෝටාවක් මෙසේ විවිධ පාර්ශ්ව වෙත බෙදී යනවා.
රජය මෙම පියවර ගත්තේ රජය මුහණ දී තිබෙන රැකියා ගැටළුවට සමාජ සාධාරණත්වය පදනම් කරගෙන කළමණාකරණය කරගැනීමට වෙන්න පුළුවන්.
නමුත් ලංකාවේ වගේම, වාමාංශිකයන් ජාතිකවාදීන් රජයේ රැකියා උත්පාදනය වැඩි කිරීම සහ අධ්‍යාපන කුසලතා මට්ටම් අනුව සියළු පුරවැසියන්ට රජයේ රැකියාවක් ලැබිය යුතුය කියන මුග්ධ මතවාදය පතුරුවමින් සිටිනවා.
නව රැකියා ප්‍රතිපත්තියට විරුද්ධව විශ්ව විද්‍යාල සිසුන් අරගල කළේ උපාධිධාරීන්ට රජයේ රැකියා සීමාවීම පදනම් කරගෙන. මෙහේ වගේම එහෙත් උපාධියක් ලැබීම, රජයේ රැකියාවක් ලැබීමේ සුදුසුකමක් බවට පත්කරගෙන තිබෙනවා. උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම දේශපාලනික ජනප්‍රියත්වය වෙනුවෙන් පාවිච්චි වුණා.
ලංකාවේ රාජ්‍ය සේවය විශාල වෙලා ඒ නඩත්තුවට රටේ ආදායම් පවා ප්‍රමාණවත් නැතිව රටට උහුල ගන්න බැරි බරක් බවට රාජ්‍ය සේවය පත් වීම අද මේ රටේ සංවර්ධන ගමනට තිබෙන විශාල බාධාවක් බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. නමුත් ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂත් ලාබ ජනප්‍රියත්වය සොයන විපක්ෂයේ සෙසු පක්ෂත් තවමත් රාජ්‍ය ආයතන වැඩි වශයෙන් ආර්ඹබ කිරීම වෙනුවෙන්, රජයේ රැකියා පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටින්වා. සියළු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම විය යුතු බව කියනවා.
බංග්ලාදේශයෙන් මේ සිසු අරගල වල පදනමත් ඒක. වාමාංශික සහ ජාතිකවාදී කොටස් තමන්ගේ අයිතිවාසිකම් අහෝසි වෙනවා කියලා මේ සිසුන්ව අවුළුවා තිබෙනවා.
නමුත් මේ රැකියා කොටා ක්‍රමය අලුත් දෙයක් නෙවෙයි. 1971 සිට 2018 දක්වා ක්‍රියාත්මක වේච්ච පිළිවෙතක්. ඒත් පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් ගොනුකළ නඩුවක් නිසා එය 2018 දී අත්හිටෙව්වා. සත්‍ය ලෙසම රජයේ රැකියා සඳහා එහෙම කෝටාවක් තිබීම පුරවැසි අයිතිවාසිකම් මැඩ පැවැත්වීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
සල්ලි තිබුණට සැලසුමක් නෑ
බංග්ලා දේශය මෑතකදී ආර්ථිකමය වශයෙන් විශාල ජයග්‍රහණයන් වාර්ථා කළත් ඒ් සිදු කළේ විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය වැනි ලාබ ශ්‍රමය පදනම් කරගත් විදේශ ආයෝජන කර්මාන්ත වල පිහිටෙන්. නමුත් ඉහළ අධ්‍යාපනයක් ලබන පිරිසට රැකියා උත්පාදනය වන පෞද්ගලික අංශයේ හෝ ව්‍යවසායකත්වන් ගොඩ නඟන හෝ තිරසාර වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. කළේම උපාධිධාරීන්ට හෝ ඉහළ අධ්‍යාපනයක් ලැබුවන්ට රජයේ රැකියා ලබා දීම. මේ නිසා අධ්‍යාපනයක් ලබන හැම කෙනාම බලාගෙන හිටියේ රජයේ රැකියාවක්. ඒ රැකියා මාර්ගයට සීමාවන් වැටුනාම මේ අය කළබල වෙන එක අමුතු දෙයක් නෙවෙයි.
බංග්ලාදේශ රජය මේ කෝටා ක්‍රමයට යා යුතුව තිබුණේ රට තුළ සෑම තරාතිරකම අයට රැකියා සහ ආදායම් අවස්ථා සුලබ කිරීමක් එක්ක.
බංග්ලාදේශ රජය රැකියා සුලබ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා රැකියා අර්බුදය ඇතිව තිබුණා. සෑම තරාතිරකම ප්‍රජාවගෙන් ඒ ගැන විරෝධය ආවා. මේක තාවකාලිකව කළමණාකරණය කර ගන්න තමයි රජයේ රැකියාවන්ට කෝටා ක්‍රමය නැවත ගෙන එන්නේ. මේකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියත් හිමිවුණා.
කොහොම නමුත් මේ වන විට විරෝධතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් සටන්කරුවන්ගේ පවුල්වලට හිමි රජයේ රැකියා ප්‍රතිශතය 5% දක්වාත් අනෙක් කොටස් වලට 2% ක් දක්වාත් අඩු කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන කුසලතා අනුව 93% ක්ට රජයේ රැකියා ලබා දීම සිදු වෙනවා. මේ විසඳුම අරගල කරුවන් පිළිගන්නවාද නැද්ද යන්න තවම වාර්ථා වී නැත.
නමුත් බංග්ලාදේශය මුහුණ දෙන රැකියා අර්බුදයට විසඳුම මේක නෙවෙයි. පෞද්ගලික අංශයේ රැකියා සුලබ කිරීම, සේවා නිශ්පාදන ආර්ථිකයක් වර්ධනය කිරීම, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් ගොඩනැඟීම, ව්‍යවසායකත්වයන් ගොඩ නැගීම..සහ රජයේ රැකියා සම්බන්ධයෙන් තිබෙන සමාජ ආකල්ප වෙනස් කිරීම. අධ්‍යාපන ක්‍රමය වෘත්තීමය ඉලක්කයන් වලට හැරවීම..වැනි ක්‍රියා මාර්ග ගත යුතුව තිබුණා. ඒකටත් ලංකාවෙන් ගත හැකි ආදර්ශය තිබෙනවා. ලංකාවෙත් මෙම ප්‍රශ්න ටිකම කාලයක සිට පැවැතුණා. නමුත් අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ගැනීම තුළ මෙය අර්බුදයක් වීම වලක්වා ගැනීමට මෙරට රජයන් සමත්ව තිබෙනවා.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩ පිළිවෙල තුළ මෙවැනි ගැටළු පැන නැගීම තවදුරටත් අවසන් වෙනවා. මේ වන විට පමණක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2003 කාලයේදීත් ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැනි වැඩ සටහන් වලත් මේ ඇතිවිය හැකිව තිබු අර්බුදයන් වලක්වා ගැනීමේ විසඳුම් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් එදා ඒ ක්‍රියාත්මක වූවානම් මේ වන විට ඇතිව තිබෙන ගැටළුත් පැන නඟින්නේ නැහැ. 1981 ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව තුළිනුත් යෝජනා කළේ මේ රැකියා ප්‍රශ්න ඇති නොවෙන්න රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. යහපාලන යුගයේදී ව්‍යවසායකත්වයන් වර්ධනය කරන්න පියවර ගත්තෙත් ඒ නිසා. නමුත් මේ විසඳුම් ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම ජවිපෙ වැනි අන්තගාමී වාමාංශික ජාතිකවාදී සංවිධාන ඉඩ දුන්නේ නැහැ.
කොහොම වුණත් අද ජනාධිපති රනිල් මේ ගැටළු තිරසාරව විසඳන තැනක සිටිනවා. පසුගිය වසර දෙක තුළදී ගත් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තුළ රැකියා සුලබ කිරීම සහ පුරවැසියාගේ ආදායම් මට්ටම ඉහළ දැමීමේ ක්‍රියාමාර්ග රැසක් අඩංගුයි. අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙනවා. ඉදිරි වසර දෙක තුන තුළදී මේවායේ ප්‍රතිපළ සමාජයට අත් විඳීමේ හැකියාව ලැබෙනවා.
අරගලය මර්දනය කිරීම
ඊගාවට කතා කළ යුතු දෙය නම් මේ බංග්ලාදේශය තුළ පැන නැගුණු ප්‍රචණ්ඩ අරගලය මැඩපවත්වන්න එම රජය ගත්ත ක්‍රියා මාර්ග ගැන. අරගලය මර්දනය කරන්න රජය අවි බලය පාවිච්චි කළා. එකසිය පනහකට කට වැඩි පිරිසක් මිය ගියා. විශාල විනාශයක් කර ගත්තා.
මේ වගේම ප්‍රචණ්ඩ අරගලකාරීත්වයක් 2022 දී මෙරට පැවැතුනත් ජනාධිපති රනිල් උන්ඩ වැය නොකර එය සූක්ෂමව මැඩ පැවැත්වීමට සමත් වුණා. ඒ වගේම අරගලයන් යළි පැන නැගීමට තිබු වාතාවරණයන් අවසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය පාලනය සිදු කළා. ඒ සාර්ථකත්වය නිසා රට මුහුණ දුන් බරපතල තත්වයන් සියල්ල කළමණාකරණය කරගනිමින් අද රට ස්ථාවර කර තිබෙනවා.
භූ-දේශපාලනික බලපෑම මඟහැරීම
තව වැදගත් කාරණයක් මෙතැන තිබේ. ඒ මෙවැනි අරගල පැන නැගීම සඳහා ගෝලීය සහ කලාපීය භූ-දේශපාලනික බලපෑම් කුඩා රටවලට එල්ල වීම සිදු වෙනවා. මෙරට ක්‍රියාත්මක වූ අරගලයට සාධාරණ හේතු තිබුණු බව පෙන්වා දිය හැකි නමුදු එම තත්වයන් ඇති කිරීමට භු-දේශපාලනික බලපෑමක් සිදු ව තිබුණු බවත් බැහැර කළ නොහැකියි. ඒ වගේම මෙම අරගලය ක්‍රියාත්මක වන කාලයේදීත් මේ බලපෑම සිදුව තිබුණා. ශ්‍රී ලංකාව මේ සාගර කලාපය තුළ පිහිටා තිබෙන වැදගත් ස්ථානය නිසා මෙරටට වන බලපෑම අති විශාලයි. ඉතිහාසය පුරාම මේ තත්වයන් පැවැතුණා. නමුත් මේ තත්වයන් කළමණාකරණය කරගනිමින් නොබැඳි පිළිවෙතක සිට සියළු පාර්ශ්ව සමඟ සුහදතාවය රැකගෙන රාජ්‍ය පාලනය ගෙන යාමට සමත් රජයන් සමත් විය යුතුයි. රනිල් වික්‍රමසිංහ පාලනය මෙතැනදීත් අතිශය වැදගත්. ඔහුගේ ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික බව ඉතාම ඉහළින් කැපී පෙනෙන තැනත් මේක. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර, චීන රුසියා කඳවුර සහ කලාපීය බලවතා වන ඉන්දියාව සමඟ ජනාධිපති රනිල් ගනුදෙනු බේරාගැනීමට අනුගමනය කරන පිළිවෙත විශිෂ්ටයි. කිසිදු කඳවුරකට යටත් නොවී, ගැති නොවී සියළු පාර්ශ්ව සමග සුහද ගනුදෙනුවක යෙදෙමින් ඒ සියළු සම්බන්ධතා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂයෙන් මෙරට අර්බුද සමය තුළ මේ සියළු පාර්ශ්ව වල සහය ලබා ගැනීමට හැකි වීමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහය සාර්ථක කරගැනීම තුළ එය කැපී පෙනිනි.
අද බංග්ලා දේශය මුහුණ දෙන තත්වයන් තුළද භූ-දේශපාලනික මැදිහත් වීමක් සිදු වෙමින් තිබෙන බව පැහැදිලියි. චීනය සහ ඉන්දියාව අතර පවතින ගැටුම බංග්ලාදේශය අර්බුදයට තල්ලු කිරීම සිදුව තිබෙනවා. කලාපීය භූ-දේශපාලනයේදී බංග්ලාදේශය, ලංකාව තරම් මර්මස්ථානයක් නොවුවද ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් බංග්ලාදේශයේ චීන මැදිහත් වීම පාලන තත්වයේ පවත්වා ගැනීම ඉන්දියාවට වැදගත් තිබෙනවාට සැක නැත. මේ නිසා එම බංග්ලාදේශ රජය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවී පවත්වාගෙන යෑමේ වුවමණාව මත එම රජයට කරන බලපෑමක් ලෙස මෙවැනි අරගලයන් මතු කිරීමත්, ආර්ථිකමය වශයෙන් ආරවුල් ඇති කිරීමත් විය හැකිය. ඊට ප්‍රතිවිරුද්ධව චීන රජයේ මැදිහත් වීමත් බංග්ලාදේශය දැන් මුහුණ දෙන ගැටටළුවක්. මෙවැනි භූ-දේශපාලනික තත්වයන් රටට හානියක් නොවන ලෙස නිවැරදිව කළමණාකරණට ඒ සඳහා පරිචයක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යය. ඒක ජනාධිපති රනිල්ගෙන්, බංග්ලාදේශයේ පාලකයන් ඉගෙන ගැනීමට තිබෙන තවත් වැදගත්ම පාඩමක්.
- ජයතුංග