මෙතනදි වැදගත්ම ප්‍රතිසංස්කරණයක් තමයි මේ රටේ අධ්‍යාපන ක්‍රමය, මේ රටේ අනාගත සංවර්ධනයට සහ ලෝකය සමඟ සමගාමී ගමනක් යන්න සුදුසු තරමට වෙනස් කරගන්න එක.
අධ්‍යාපනය ගැන කතා කොළොත් අපි දන්නව අපේ අධ්‍යාපන ක්‍රමය වර්තමානයට ගැලපෙන්නේ නැහැ කියලා. අධ්‍යාපනඥයන් සහ ඒ සම්බන්ධ විද්වතුන් නිතර පෙන්වලා දීලා තියෙනවා දශක තුනක්වත් පරණ අපේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට ලක් නොවී එක තැන පල් වෙමින් තිබෙනවා කියලා.
මේ තත්වයන් වෙනස් කරන්න වර්තමාන රජය උත්සාහයක යෙදී සිටිනවා. මේ වන විටත් මේ ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. කොහොම වුණත් මෙහෙම අධ්‍යපාන ප්‍රතිසංස්කරණයන් ගැන සාකච්ඡාවන් රටට අලුත් දේවල් නෙවෙයි. නිදහසෙන් පස්සේ අවස්ථා කිහිපයක්ම ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් සාකච්ඡා පැවැත් වුණා. ඒ අනුව ප්‍රතිසංස්කරණයන් කරන්න උත්සහ කළා. නමුත් ඒ හැම මොහොතකම ඒ බලාපොරොත්තු වූ පමණින් සාර්ථක වුණේ නැහැ.
විශේෂයෙන්ම මේ ප්‍රතිසංස්කරණයන්ට එල්ල වුණු විරෝධයන් නිසා හැම ආණ්ඩුවකටම මේවා හකුල ගන්න සිදු වුණා. මේ ක්ෂේත්‍රය ලෙහෙසියෙන් වෙනස් කරන්න බැරි තත්වයක තියෙන්නේ. වෙනස් කරන්න දෙන්නේ නැහැ, මේක දේශපාලනික කාරණයක් කරගෙන ප්‍රතිසංස්කරණ වැලැක්වීම සිදුවුණා. යුනෙස්කෝ ආයතනය අධ්‍යාපනය ප්‍රධාන කුලුනු හතරක් මත තබා විග්‍රහයක් කරනවා. ඒ හතර වෙන්නේ සරළව කිව්වොත් විෂය දැනුම ලබා ගැනීම වෙනුවෙන් ඉගෙන ගැනීම, යමක් කිරීමට ඉගෙන ගැනීම, සහජීවනයෙන් ජීවත් වීමට ඉගෙන ගැනීම සහ පුද්ගල පෞර්ෂය ගොඩ නඟා ගැනීමට ඉගෙන ගැනීම.
නමුත් ලංකාවේ සිදු වන්නෙම මේ පළමු කාරණය වන විෂය දැනුම වෙනුවෙන් ඉගෙන ගැනීම පමණයි සිදුවෙන්නේ කියන එක වැරදි නැහැ. තරගකාරී විභාග වලට මුහුණ දීම අධ්‍යාපනයේ එකම අරමුණ වෙලා තියෙනවා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් තමයි අධ්‍යාපනයේ ජය ගත යුතු ඉලක්ක වෙලා තියෙන්නේ.
අපේ රටේ අධ්‍යාපනය ලෝකයට නොගැලපෙන එකක් වෙන්නේ මේ දැනුම කේන්ද්‍රීය, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා. රටක සංවර්ධනය පුළුල් වෙන්න නම් අධ්‍යපනයේ වපසරියත් පුළුල් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ලෝකය පිළිගන්න ක්‍රමවේදය තමයි වසර දහයකට වරක්වත් අධ්‍යාපන ක්‍රමය, ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන කියන එක. නවීන ලෝකයට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරගන්න සමත් වුණොත් තමයි අධ්‍යාපනයේ නියම ප්‍රතිඵලය රටට ලැබෙන්නේ.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පුළුල් වෙනසකට ලක් කරන්න 1972 දී උත්සාහයක් ගත්ත. ඒ අවුරුදු 50 කට පෙර පැවැති අධ්‍යාපනය එවකට පැවැතුන වැඩ ලෝකයට නොගැලපීම නිසා නවීකරණය කළ යුතු වුණා. නමුත් එය සාර්ථක කරගන්න ලැබුණේ නැහැ. විවිධ සමාජ පංති බෙදීම් පදනම් කරගෙන විරෝධතා ආවා. එදා එම ප්‍රතිසංස්කරණයන් යම් තරමකට හෝ වුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අදාලව පමණයි. මේ ප්‍රතිසංස්කරණ යෝජනා එවකට පැවැති ආණ්ඩු 1977 දී ලැබු මැතිවරණ පරාජයටත් ප්‍රබල හේතුවක් වුණා.
පසුව 1979 දීත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ගෙනාව. එයත් විරෝධය එල්ල වෙලා හකුලගන්න සිද්ද වුණා. ඊට පස්සේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු විශාලම යෝජනාවලිය විදිහට 1981 දී එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව හඳුන්වන්න පුළුවන්. මේ යෝජනාවලිය සමාජයේ සෑම තරාතිරකම කොටස් සමඟ පුළුල් සංවාදයකට ගැනීමෙන් පසුව හොඳම යෝජනාවලියක් සකසන්න සැලසුම් කළත් ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල වුණා. බොහෝ විරෝධයන්ට පදනමක් තිබුණෙත් නැහැ. ඒත් ඒක හුදු දේශපාලනික විරෝධයක් බවට පත් වුණා.
සාමාන්‍යයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට විරෝධය එල්ල වුණේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හරහා. ඇතැම් විටෙක ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධයන් එල්ල වුණා. නමුත් මේ විරෝධයන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් යොදා ගැනීම නිතර සිදු වුණා. ධවල පත්‍රිකාව නියමාකාරයෙන් සාකච්ඡාවකට නොගෙනම ඉවත් කිරීමට මේ නිසා සිදු වුණා. නමුත් පසුව ජාතික අධ්‍යාපන ආයතනය බිහි වීම, පොකුරු පාසල් ක්‍රමය ඇති වීම වැනි මෙහි යෝජනා කිහිපයක් රජය ක්‍රියාත්මක කළා. ධවල පත්‍රිකාවෙන් ශා්‍රස්ත්‍රාලීය, තෘතීක සහ වෘත්තීය අංශ තුනෙහිම ප්‍රතිසංස්කරණ යෝජනා කළේ අනාගත ලෝකයට ගැලපෙන විදිහට අලුත් ක්‍රමවේදයක අවශ්‍යතාවයත් එක්ක.
නමුත් අධ්‍යාපනය විකුණන්න හදනවාය, මුදලාලිකරණය කරන්න හදනවාය, නැති බැරි දුප්පත් ජනතාවට අධ්‍යාපනය අහිමි කරන්න යනවාය වගේ අභූත චෝදනා බොහොමයක් එදා කළා. නැවත 1990 දී තරුණ අසහන කොමිසම විසින් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජන කළා. ඒ අතර ජාතික අධ්‍යාපන කොමිසම බිහිකර ගැනීම වැදගත්ම පියවරක්. මෙම කොමිසම මඟින් හැම අවුරුදු දහයකටම වරක් ප්‍රතිසංස්කරණ යෝජනා කර වාර්තාවක් ජනාධිපතිවරයාට ලබා දෙනවා. නමුත් ඒ පළමු වාර්තාවේ සිටම මේ දක්වා එම යෝජනා කිසිවක් ඉටු කර නැහැ. අත්‍යාවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති නිවැරදි කරගන්න වුණේ නැහැ. 1995 දී ජනාධිපති කාර්යසාධක බලකායක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පත් කළත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විශාල විරෝධයක් මතු කරලා එය ක්‍රියාත්මක නොවෙන තැනට පත් කළා.
නමුත් ආධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටකට අත්‍යාවශයි. මොකද ලෝකයේ දැනුම වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් අනුව අපි වෙනස් වෙන්න ඕන. උදාහරණයකට කිව්වොත් වසර 2000 දී තිබුණු රැකියාවන් ඊට වසර 10 කට පස්සේ සියයට 60 කින් විතර වෙනස් වීමකට ලක් වුණා. මේ වෙනස් වීම් භාරගන්න අලුත් පරම්පරාව අධ්‍යාපනිකව සූදානම් කර නොතිබුණොත් බරපතල පරාජයකට මුහුණ දෙන්න වෙන්නේ. අද ඩිජිටල් තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි නව තාක්ෂණය සමඟ ලෝකයේ රැකියා වෙනස් වෙන්න අරගෙන. බොහෝ පිරිසකට තමන් කරමින් සිටි රැකියා අහිමි වීමේ විශාල අනතුරක් නිර්මාණය වෙලා. ඒක රටක ආර්ථිකයටත් බරපතල ප්‍රශ්නයක් වෙනවා.
එහෙම නොවෙන්න නම් මේ නව අවස්ථාවන් ජය ගැනීමට අලුත් දැනුම, වෘත්තීය හැකියාවන් ආදිය අධ්‍යාපනයට එකතු විය යුතුයි. පරණ ක්‍රමයට අලුත් ගමන යන්න බැහැ.
ලංකාවට මේ වෙනස් කමේ වුවමණාව තියෙනවා. හැමෝම ඒ ගැන ඕනෑ තරම් කතා කරනවා. ඒත් පටු දේශපාලන උවමනාවන් මත සිදුකෙරෙන ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරී මැදිහත්වීම් මෙම අධ්‍යාපන වෙනස්කම් යථාර්ථයක් බවට පත් කරගැනීමට එල්ල වන බාධාවක් වෙලා තියෙනවා.
කොහොම වුණත් මේ රට ඉදිරියට ගොඩනගන්න නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. නවීකරණය විය යුතුයි. හැම කෙනෙක්ම වගේ ඊට එකඟත්වයකින් යුතුව දායකත්වය සැපයිය යුතුයි. එහෙම නැතිව පටු පාර්ශ්වීය උවමනාවන් ගැන පමණක් සලකලා කටයුතු කොළොත් අපිට රටක් විදිහට අපේ අනාගත පරපුර නිසි තැනට යොමු කරන්න අපහසු වෙන බව, අපි රටක් විදිහටම පරාජයට පත් වෙන එක, පසුගාමී වෙන එක වැලැක්විය නොහැකි බව අපි මේ මොහොතේ තේරුම් ගත යුතුමයි.
- සාගල රත්නායක
‘මතාන්තර’
ඉරිදා ලංකාදීප
2024 ජුනි 30