ඒ අනුව ද්විපාර්ශ්වික ණය හිමියන් 2027 වසර තෙක් ණය අය කරගැනීම අතිහිටුවා ඇති අතර 2028 සිට 2032 දක්වා කාලය එම ණය ගෙවීම සඳහා කාලයක් සහ සහනයක් ලබා දී ඇත. එමෙන්ම 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මත, 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් ද.දේ.නි.යෙන් 4.5%කටත් අඩු වෙන බවත් 2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6කි. එය 2027 – 2032 කාලය සඳහා සියයට 13කට වඩා අඩු වෙන බවත් ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ ප්‍රකාශයේදී පවසා තිබිණි. මෙලෙස ලැබුණු සහනය රටේ සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් යොදා ගැනීමේ පහසුව දැන් රටට ලැබී තිබේ.
කොහොම නමුත් මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට වසරක පමණ කාලයක් වෙහෙසෙන්නට රජයට සිදු වූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන වෙනුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමට සිදු විය. එහි තවදුරටත් ඉදිරි අදියරක් ඉතිරිව තිබේ.
මෙරට වර්ධනය වූ ආර්ථික අර්බුදය හමුවේ මේ සහනය ලබා ගැනීමට ශ්‍රි ලංකාව ඉල්ලුම් කළ යුතුව තිබුණේ 2021 වසරේ දී බව එවකට මෙරට ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. එසේම එවකට මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ පවා දිගින් දිගටම ගෝඨාභය පාලනයට බලකර කියා සිටියේ වහාම මුල්‍ය අරමුදලට ගොස් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට මාර්ගයක් පාදාගන්නා ලෙසය. එය නෑසූ කන්ව සිටියා පමණක් නොව මුල්‍ය අරමුදලට යන්නෙම නැතැයි දැඩි මතයක්ද එවක ආණ්ඩුවේ ප්‍රධානින් විසින් පිළිතුරු ලෙස කියා සිටියේය. එහෙත් නියමිත කාලයේදී මුල්‍ය අරමුදලේ උපදේශ, නිර්දේශ මත මෙරට ආර්ථිකය සකස් කිරීමට ගෝඨා පාලනය විසින් පියවර ගත්තා නම් ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණයකට ගියා නම් අදත් රටේ ජනාධිපති ගෝඨාභය විය හැකිව තිබිණි. නමුත් මුග්ධ ආර්ථික ප්‍රතිපත්තීන් මත ගත් තීන්දු තීරණ මත රටේ ආදායම් අහිමි කරගනිමින් විදේශ සංචිත අවසන් කරගනිමින් රට බංකොලොත්ම වෙන තැන දක්වා පත්විය. රට යළි ගොඩනැඟුමක් ගැන සිතන්නවත් බැරි තරම් ආගාධයකට රට ඇද වැටිනි.
මේ තත්වය තුළත් ඉතිරිව තිබූ එකම විසඳුම වූයේ මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමම පමණි. පසුව අගමැතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ලෙසත් පත් වුණේ රනිල් වික්‍රමසිංහ නොවන්න අදත් මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමක් වන්නේ නැති බව සහතික කර කිව හැකිය. එල්ලවූ බලපෑම් හමුවේ ප්‍රමාද වී හෝ ගෝඨාභයගේ අවසන් කාලය තුළ මුල්‍ය අරමුදල වෙත යෑමට උත්සහ ගත් නමුදු එම ආණ්ඩුව තුළ තිබුණු මත ගැටුම්, ගෝඨාභය රාජපක්ෂගේ අනවබෝධයන් සහ ඔහුගේ සහයට විශ්වාසවන්තයන් නොසිටිම ආදිය නිසා මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට යෑම හෝ නිශ්චිත වූයේත් නැත. ඒ කෙසේ වෙතත් මුල්‍ය අරමුදල විසින් මෙරට ආර්ථිකය නිවැරදි කරගැනීම වෙන්වෙන් ලබාදෙන නිර්දේශයන් කිසිසේත්ම ඉටු කරගැනීමට හැකියාවක් නොලැබෙනු ද ඇත. මන්ද ගෝඨාභය පොරොන්දු වූ ආර්ථිකයට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තීන්ට හදිස්සියේ තබා, සෙමින් ක්‍රමිකවවත් මාරු වීමේ හැකියාවක් එම පාලනයට නොතිබිණි. ඒ අනුව එම පාලනය අවසන් වීමත් තාර්කික අවශ්‍යතාවයක් ඉටුවීමකි.
කොහොම නමුත් රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ සිටියේය. ඔහු කඩිනමින් ගත් දේශපාලනික සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා නිසා වසරක් ඇවෑමෙන් හෝ මුල්‍ය අරමුදලේ සහයත් රටේ ආර්ථික නිවැරදි මාර්ගයේ ගමන් කරනවාය කියන අරමුදලේ සහතිකයත් ලබාගැනීමට හැකි විය. ශ්‍රි ලංකාව තරම්වත් ආර්ථික අර්බුදයකට මුහුණ නොදුන් පකිස්ථානය 2019 වසෙරේ සිටම මුල්‍ය අරමුදලෙ ණය සහනයක් අපේක්ෂාවෙන් කටයුතු කළත් තවමත් කාර්ය මණ්ඩල මට්ටමෙ හෝ එකඟතාවකට පැමිණිමට නොහැකි විය. ඒ අතර කාලය තුළ ආණ්ඩු පාලන දෙකක්ද පකිස්ථානයේ බිහි විය. පාලකයන් වෙනස් වූවා කියා රටවල ප්‍රශ්න විසදෙන්නේ නැත. පාලකයාට ජනවරමක් තිබුණා කියා ප්‍රශ්න විසඳෙන්නේ නැත. එය කළ හැක්කේ නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙලවල අඛන්ඩව ක්‍රියාත්මක කළ හැකි නම් පමණි. එවැනි නිවැරදි ක්‍රමවේදයකට මාරු වීම සම්බන්ධයෙන් ශ්‍රිලංකාව මේ මොහොතෙ ලෝකයට වැදගත් ආදර්ශයක් සපයා ඇතැයි කීමද නිවැරදිය.
එහෙත් මුල්‍ය අරමුදලේ සහය ලැබූ පමණින් රටක් ගොඩ දැමිය හැකිද කියන ගැටලුව තිබේ. තවමත් විපක්ෂ කොටස් එම සැකසංකා අතර සැරි සරන්නේ ඒ නිසාය. එහෙත් පසුගියදා ජාතිය අමතමින් ජනාධිපතිවරයා පෙන්වා සිටියේ ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ මුල්‍ය අරමුදලේ වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙවර සිදුව ඇති බවය.
පසුගිය කාලයේ විපක්ෂය කියමින් සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වුණාම, ජනවරමක් නැති ජනාධිපතිවරයකුට, ජාත්‍යන්තර සහය නොලැබෙන බවය. ජවිපෙ මුල සිටම කියමින් සිටියේ අරමුදලේ සහය ලැබුණාට රට ගොඩයන්නේ නැති බවය, මීට කලින් 16 වතාවක් ණය ගත්තත් රට ගොඩගියාද අසයි. ඩොලර් බිලියන 56 ක ලෝක ණයක් තිබියදී අරමුදලෙන් ලැබෙන බිලියන 2.9 න් රට හදන්න පුළුවන්ද අසයි. මේ ලැබෙන මුදලත් පාලකයෝ කොල්ල කණු ඇති බව කියයි. ණය වාරික එකක් දෙකක් ගෙන නැවත පරණ විදිහටම ආර්ථිකය අයාලේ යන බවත් කියයි. ආර්ථික ප්‍රතිසංස්කරණයන් කරන්න නැතියිද රට ආපහු වළපල්ලට යනවා..ආදි වශයෙන් කතන්දර රැසක් විපක්ෂ වේදිකා වල, ඔවුන්ගේ සමාජ ජාලා ප්‍රචාරක වැඩ වල ඉහලින්ම තිබිණි.
එමෙන්ම රනිල් චීනයට එරෙහි බටහිර ගැත්තකු නිසා චීනයේ සහය හිමි නොවන බව කීවේය. එසේ කියමින් අනෙක් අතට රනිල් චීනය සමඟ මිතුරු නිසා අමරිකාවේ සහය නොලැබෙන බවත් කිවේය. අරගල උද්ඝෝෂණ ආදිය මර්දනය නිසා, මැතිවරණය කල් දැමීම, ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් නිසා අරමුදලේ හෝ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය රටට නොලැබෙන බවත් ඊයේ පෙරේදා වෙන තුරුත් විපක්ෂයේ කියමින් සිටියේය. නමුත් මේ සහය නියමාකාරයෙන් ලැබෙන්නේ තමන්ව බලටය ගෙනාවොත් පමණය කියමින් ජනතාව නොමඟ යවමින් සිදු කළ සියළු ප්‍රකාශ අද බොරුවක් වී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සත්‍ය වී ඇත.
මේ අතර මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර සිටම මෙරට ආර්ථිකයද වඩාත් යහපත් තැනකට තල්ලු විය. ඒ අනුව ඩොලරයේ රුපියල් අගය අඩු විය. උද්ධමන තත්වයන් සියයට 70 ක තරම් ඉහළ මට්ටමක සිට සියයට දශම ගනනක් දක්වා සීග්‍රයෙන් අඩු විය. විශේෂයෙන්ම ආහාර මිල ගනන් අඩු විය. ආර්ථික වර්ධන වේගය ධන අගයක් බවට පත්වූ අතර මේ වසරේ මුල් කාර්තුව තුළ සියයට 5 ඉක්මවිය.
එහෙත් විපක්ෂයට අනුව තවමත් මේවා ඉලක්කම් විජ්ජාය. කෘතිමව කළ මවාපෑම්ය. පදනම් විරහිතය වංචනිකය. ඒ අනුව ඩොලරය තව කෙටි කලකින් ඉහළ නගිනු අත. නැවත බඩු මිල ඉහළ යනු ඇත. විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාගේ දැක්ම නැතිනම් වුවමණාව ප්‍රකාශවන්නේ එසේය. එහෙත් රජය ගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වල යහපත් ප්‍රතිපළ මේ මොහොත වන විට ජනතාව බුක්ති විඳිමින් තිබේ. ණය ප්‍රතිව්‍යුගත කිරීම සමඟ ඇතිවන තත්වයන් තුළ පවතින අනෙක් පීඩාකාරිත්වයන් බොහොමයක් ඉදිරි මාස කිහිපය තුළදී පහව යනු ඇත.
මුල්‍ය අරමුදලේ සහය ලැබෙන්නේ නැතැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ නොහැකි බව කියපු විපක්ෂය රට ලබූ ජයග්‍රහණය හමුවේ දැන් සිටින්නේ තක්කු මුක්කු වී බව පැහැදිලිය. මේ දින කිහිපය තුළ නැටු නාඩගම් අනුව එය ඔවුන්ට දරා ගත නොහැකිව තිබෙන බව පැහැදිලිය. වැඩ වර්ජන විරෝධතා සහ සමාජ මාධ්‍ය තුළ ආණ්ඩු විරෝධය සක්‍රීය කිරීමට දැරු උත්සාහයයන් ඒ බව පෙන්වයි. නමුත් ඒ ගැන ජනතාවය වගේ වගත් නැති බවත් පෙන්නුම් කර ඇත. මේවාට ජනතාවගේ ප්‍රතිචාරයන් අවම විය.
කොහොම නමුත් මුල්‍ය අරමුදලේ ණය ලැබුණු පලියට රටක් ගොඩයන්නෙ නැත. රට ගොඩ යන්න නම් ආර්ථිකය නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් මත අඛන්ඩව ක්‍රියාත්මක කළ යුතුය. ලෝකයේ ගොඩ ගිය රටවල් නැති නම් සංවර්ධිත රටවල් මුල්‍ය අරමුදල වෙත ගියේ නැත. ඒ තමන්ගේ ආර්ථිකය නිවැරදි පිළිවෙත් අනුව ක්‍රියාත්මක කිරීම නිසාය. පැහැදිලිම සත්‍යය එයය. මේ අනුව රටේ ආර්ථිකය නිවැරදිව කළමණාකරණය කරගැනීමට නොහැකි නම් කොහෙන් කොහොම ණය ආධාර ලැබුණත් රටවල් ගොඩදාන්න නොහැකිය.
අයාලේ ගොස් නන්නත්තාර වූ ගිය ශ්‍රි ලංකාවේ ආර්ථිකය නිවැරදි මඟට ගැනීමට පසුගිය වසර දෙක තුළදී කළ දේවල් සරළ නැත. මන්ද ණය මුදල ලැබීමෙන් පමණක් මේ ගැටලු කිසිවක් විසඳෙන්නේ නැති බව රජය හොඳාකාරවම දැන සිටි බැවිනි. ඒ අනුව දුෂ්කර ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසක් රජයට ගැනීමට සිදු විය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මුලිකවම සිදුවන කටයුත්ත වන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය ඇතිවීමය. එය අතිශයින්ම වැදගත්ම දෙයය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කර ඇති නිසා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම ආයතන මේ මොහොතේ ශ්‍රි ලංකාවට අවශ්‍ය ඉහළ සහතිකය ලබා දීමට සිදු වෙනු ඇත. ඔවුන් රට බංකොලොත් බාවයට පත්වූ බව නිවේදනය කළේ මෙරට විසින් ණය ගෙවීම අත් හිටුවීමෙන් පසුවය. ඒ අනුව ණය ගෙවීමේ හැකියාව සහතික කර ගැනීම මත අදාල ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම සිදුවෙනු ඇත.
ඒ අනුව දැනට අත් හිටුවා ඇති විදේශීය ආයෝජන මගින් සිදුවන සංවර්ධව කටයුතු යළි ආරම්භ කිරීමත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් තව දුරටත් ණය ලබාගැනීම් ඉල්ලුම් කිරීමේ හැකියාවත් ලැබෙනු ඇත. අලුත් විදේශ ආයොජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකි වෙනු ඇත. කොහොම නමුත් ජාත්‍යන්තරයෙන් ණය සහනයන් ලබාගැනීමට වඩා වැදගත් වන්නෙ රට තුළ රුපියල ශක්තිමත්ව තබාගෙන රටේ ආදායම් උත්පාදනයට පියවර ගැනීමය. එසේම රජයේ වියදම් ආදායමට පහළ අගයක තබාගැනීමය. වංචාව දුෂණය නාස්තිය අවම කරගැනීම ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණයේ බර සැහැල්ලු කිරීම පිණිස මේ වන විටත් රජය ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ සඳහා වන නව නෛතික රාමු පද්ධතීන් පසුගිය කාලයේදී සකස් කරනු ලැබීය. ඩොලර් ආදායම් ලැබෙන මාර්ග වන සංචාරක කර්මාන්තය, අපනයනය, විදේශ ප්‍රේෂණ ක්‍රමයෙන් වැඩි වීම විදේශ සංචිත ඉහළ යෑමට බලපා තිබේ.
මේ ආදී වශයෙන් වර්ධනයන් සිදු වූවද ඉදිරි මාස කිහිපයත් රටේ ආර්ථිකය මෙහෙයවීම අතුරේ යෑමක් මෙන් ඉතා සැලකිල්ලෙන් පරිස්සමට කළ යුතුව තිබෙන්නකි. එම කාලය තුළ ආර්ථිකමය වශයෙන් රජය ගන්න තීන්දු තිරණ ඉතාම අභියෝගාත්මක තත්ත්වයක තිබේ. මේ අනුව රජය මුහුණ දී සිටින තත්වයන් තවදුරටත් සංකීර්ණය. විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා දොඩන කතන්දර තරම් සරළ නැත. මුල්‍ය අරමුදලේ නිර්දේශයන් මත මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංකරණයන් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් නිශ්චිත ඉලක්කයන් දින වකවානු සහිතව නීතිගත කිරීමට රජය බලාපොරොත්තු වන්නේ මෙම ඉලක්ක ජය ගැනීමේ අරමුණු සහිතවය.
කොහොම නමුත් ආර්ථික ප්‍රතිසංකරණයන් අඛන්ඩව ක්‍රියාත්මක වීම සිදු වුවහොත් පමණක් සිහින දකින සුබදායී අනාගතය යථාර්ථයක් වෙනු ඇති බව පැහැදිලිය. ඕනෑම මොහොතක රට යළි බංකොළෙත්භාවයට ඇද වැටීමට එතරම් කාලයක් ගත වන්නේ නැත. පසුගිය කාලයේ ගැලරි චූන් කිරීමට ගොස් රට බංකොලොත් කරගැනීමෙ පාඩම ඉගෙන ගෙන තිබෙන නිසා දුෂ්කර තත්වයන් තුල අමාරු තීන්දු තීරණ සමඟ තවදුරටත් කටයුතු කිරීමට සිදුව තිබේ. ජනතාවට තාවකාලික සහන දෙනවා වෙනුවට දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනිවාර්යයයෙන්ම කළ යුතුව තිබේ.
ඒ අනුව මෙරට ආර්ථිකයේ විප්ලවීය සමයක් ලෙස මේ යුගය හැඳින්විය හැකිය, මෙම පිම්ම පැන ගතහොත් යළි යළිත් මුල්‍ය අරමුදලෙ ණය පස්සෙන් යෑමට අවශ්‍ය නොවනු ඇතිවා මෙන්ම මෙරට ජනතාවට ඉතා යහපත් ආර්ථික තත්වයක් මත තමගේ සිහින සැබෑ කරගැනීම ගැන බලපොරොත්තු තබා ගත හැකිය.