පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු වලට බලධාරීන් සාධාරණයක් කළාද?     Featured

Monday, 24 June 2024 15:04

එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සිදු වූ අති දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය 2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයයි.

සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතකයින් 08දෙනෙක් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර වැළකින් 270කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. බරපතල ලෙස තුවාල ලැබූවෝ අදටත් විවිධ ආබාධිත තත්ත්වයන්ට ගොදුරුව සිටිති. ත්‍රස්ත ප්‍රහාරයේ කේන්ද්‍රස්ථාන වී තිබු‍නේ කතෝලික පල්ලි හා සංචාරක හෝටල්ය. දේශීය මෙන්ම විදේශිකයෝද ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූහ.

මේ වන විට ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර 5ක් ඉක්මව ගොසිනි. මේ සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ඇතුළු විවිධ කොමිසන් සභා 3ක් මගින් විමර්ශන කටයුතු කීපයක් සිදුකෙරිණි. එහෙත් අද වන තෙක් ඒවායින් හෙළි වුණු දේවල් මෙන්ම හෙළි නොවුණු දේවල් පිළිබඳව ගැටළු සහගත තැන් පවතී. විශේෂයෙන් මෙම කොමිෂන් සභාවලින් ලබා දී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක වී ඇති ප්‍රමාණයන් පිළිබඳව සෑහීමකට පත්විය හැකි දැයි විමසිය යුතුය. මේ වන විට ප්‍රහාරයෙන් පසු 750කට වැඩි පිරිසක් ප්‍රහාරයට අනුබල දීම,මතවාදය පැතිරීම,මුදල් ලබාදීම, ප්‍රචාරණය කිරීම,පුහුණුවීම, ඔත්තු බැලීම ආදී විවිධ හේතූන් මත අත්අඩංගුවට ගෙන මේවන විට 25දෙනෙක් හට මහාධිකරණයේ නඩු ගොනුකර තිබේ. එමෙන්ම මහාධිකරණ 12ක සැකකරුවන් 80කට එරෙහිව නඩු කටයුතු විභාගවෙමින් පවතී.

වර්තමානයේ වුවද ලෝකයේ විවිධ ස්ථානවල ත්‍රස්ත ප්‍රහාරයන් සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. එය ශ්‍රී ලංකාවටද පොදුය. විශේෂයෙන් ස්ලාමීය රාජ්‍යයක් පතන IS දැඩි අන්තවාදී ස්ලාමීය කණ්ඩායම් ලොව පුරා සිටිමින් ඔවුන්ගේ අරමුණු කරා ගමන් ගන්නා බව රහසක් නොවේ. ඒ නිසා ඉදිරියේදී ඇතිවිය හැකි කුමන වර්ගයක හෝ ත්‍රස්ත ප්‍රහාරයන් කුමන හෝ ආකාරයෙන් වළක්වා ගැනීම ආරක්ෂක අංශවල පරම වගකීමද වෙයි.

ප්‍රධාන වශයෙන් ප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශවලට වැඩි වගකීමක් පවතී. එමෙන්ම එම ප්‍රහාර වළක්වා ගැනීමට ආරක්ෂක බුද්ධි අංශවලින් ලබාදෙන බුද්ධි තොරතුරු ඉතා සැලකිල්ලෙන් විමර්ශනය කර ප්‍රහාර වළක්වා ගැනීමට අදාළ භූමීය මෙහෙයුම් යුහුසුළුව ක්‍රියාත්මක කිරීම අනෙකුත් විමර්ශන කණ්ඩායම්වල ප්‍රමුඛ වගකීමද වෙයි.

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයන් ක්‍රියාත්මක වීමේදී විවිධ හමුදාවන්වල බුද්ධි අංශ පැවතියත් ප්‍රධාන බුද්ධි අංශ දෙකක් පවතී. ඒ,රාජ්‍ය බුද්ධි සේවාව (SIS) සහ යුද හමුදා බුද්ධි අංශයයි. විශේෂයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව මූලික කටයුතු සිදුකරනුයේද මෙම බුද්ධි සේවාවන් දෙකයි.

එමෙන්ම ත්‍රස්ත විමර්ශන ඇතුළු විමර්ශන කණ්ඩායම් දෙස බැලීමේදී මෙරට ක්‍රියාත්මක ප්‍රධාන විමර්ශන කණ්ඩායම් දෙක වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හා ත්‍රස්ත විමර්ශන ඒකකය(TID)යි.විශේෂයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් හා අධිකරණ කටයුතු මෙහෙයවීමේ වගකීම ඇත්තේද CIDයට හා TIDයටයි. මෙම ආයතන දෙකම පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතී.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සැලකීමේ දී බුද්ධි සේවාවන් හා විමර්ශන කණ්ඩායම් කෙසේ ක්‍රියා කළේද යන්න පිළිබඳවද මේ දිනවල විවිධ මතයන් පළවෙමින් පවතී. ඇතැම් ඒවා දේශපාලන වේදිකාව තුළත් කතා බහට ලක්විය. වසර 5ක් තුළදී විවිධ අවස්ථාවල විවිධ කරුණු ඉදිරිපත් කරමින් විවිධ පුද්ගලයන් කරළියට එමින් ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා ද පාස්කු ප්‍රහාරය හා ඊට අදාළ විමර්ශන ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ ආකාරයන් යොදාගත් බවක් පෙනෙන්නට තිබිණි.

වර්තමානයේ ද පාස්කු ප්‍රහාරයට අදාළව තවත් විමර්ශන කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. එම කමිටුව පිහිටුවා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම අරමුණු කරගෙනය.

විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ.ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව එම විමර්ශන කමිටුව පත් කර තිබේ. කමිටුවේ වාර්තාව ද සැප්තැම්බර් මස 15වැනිදාට පෙර ලබා දිය යුතුව ඇතැයිද පැවසේ.

ඉන්දීය බුද්ධි අංශ වෙතින් ලබා දුන් බුද්ධි තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වවුනතිව්හිදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණයන් පිළිබඳවද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.

රටක ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකීමේ දී යම් යම් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විවිධ කෝණවලින් බැලීම අත්‍යවශ්‍ය කරුණකි. විවිධ කණ්ඩායම් වෙන් වෙන් වශයෙනුත් එකට ඒකාබද්ධ වෙමිනුත් කරුණු විමර්ශනය කිරීමද වැදගත් දෙයකි. යම් කණ්ඩායමකට හසු නොවුණු කරුණු වෙනත් කණ්ඩායමකට හසුවිය හැකිය. ඒ නිසා මෙම නව කමිටුවෙන් හෙළිවන තොරතුරු හා ඔවුන්ගේ නිර්දේශ ද විශේෂයෙන්ම ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඉවහල් විය හැකිය. ඒ නිසා අදාළ කමිටුව පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයේ වරදක් දැකිය නොහැකිය.

එහෙත් මෙම කමිටුව සම්බන්ධයෙන් කතෝලික සභාවේ මතය ප්‍රකාශ කළ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා තුනක් විසින් නිකුත් කළ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොකර තිබියදී තවදුරටත් තවත් කමිටුවක් පත්කිරීම විහිළු සහගත හා මහජන මුදල් නාස්තියක් බවය. ඒ නිසා එම කමිටුව කතෝලික සභාව පිළිනොගන්නා බවය.

කෙසේ වෙතත්, මෙම නව කමිටුවේ කාර්ය භාරය ලෙස දක්වන පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව ගත් ක්‍රියාමාර්ග කවරේද යන්න විමර්ශනය හා වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතන සිදුවීමේදී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකළ අනාවරණයන් කවරේද යන්න විමර්ශනය වන බැවින් අදාළ සිදුවීම් දෙස විමසා බැලීම වැදගත් දෙයකි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාවේ IS මතවාදය දැරූවන් පිළිබඳව බුද්ධි අංශ දැන සිටියාද? පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉන්දීය බුද්ධ් අංශය, ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරු වලට අනුව ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවාද? වව්නතිව් ඝාතනය සිදුවීම පිළිබඳව යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරු නිසා පාස්කු ප්‍රහාරය සිදුවීම වළක්වා ගැනීමට නොහැකි වූවාද? බුද්ධි තොරතුරු නිසි ලෙස විමර්ශන නිලධාරීන් අතට නිසි වේලාවට පත්කළාද? එසේ පත්කළා නම් අදාළ විමර්ශන නිලධාරීන් ඉටුකළ කාර්ය භාරය කුමක්ද? භූමි අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුතු CIDය සිදුකළ කාර්යභාරය කුමක්ද? යන ගැටළු රැසකට අදාළ කමිටුවෙන් පිළිතුරු ලබාගැනීමට හැකිවනු ඇත.

පාස්කු ප්‍රහාරයට පෙර IS අන්තවාදී ක්‍රියාකාරකම්
පිළිබඳව බුද්ධි අංශ දැනුවත්ව සිටියාද?

පාස්කු ප්‍රහාරයට වසර ගණනාවකට පෙර සිට ශ්‍රී ලංකාවේ IS මතවාදය දරන පුද්ගලයන් රැසක් පිළිබඳව තොරතුරු ආරක්ෂක බුද්ධි අංශ විසින් හඳුනාගෙන විමර්ශනය කර තිබිණි. විශේෂයෙන් රාජ්‍ය බුද්ධි අංශය එහි මූලිකත්වය ගෙන කටයුතු කළ කණ්ඩාම වූයේය. රාජ්‍ය බුද්ධි අංශය විසින් රැස්කරගත් තොරතුරු වලට අනුව අවස්ථා ගනනාවකදී ඉස්ලාම් අන්තවාදී අදහස් දරන්නන් පිළිබඳව හා ස්ලාමීය රාජ්‍යයක සිහින දකිමින් සිට සිරියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ද ඉතා සවිස්තරාත්මක තොරතුරු හෙළිකර ගෙන තිබූ බව පැහැදිළිය. අවම වශයෙන් බුද්ධි වාර්තා 250කට වැඩි ප්‍රම්ණයක් එසේ ලබාදී තිබේ. ඒවා කාලානුරූපීව එවකට සිටි පොලිස්පතිවරුන් වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වෙතත් ඉතා පැහැදිලි ලෙස දන්වා ඇති බව විමර්ශනවලදී පැහැදිලි වන කරුණකි.

උදාහරණයක් ලෙස දක්වතොත් පාස්කු ප්‍රහාරයට සමගාමීව දෙහිවල %ට්‍රොෆිකල් ඉන්^ හෝටලයේ දී ස්වයං ඝාතකයා වූ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නමැත්තා පිළිබඳව බුද්ධි අංශ විමර්ශනයක නියැලී ඇත්තේ 2015 වසරේ සිටය. ජමීල් ගේ ක්‍රියාකාරකම් පිළිබඳව 2015.08.27 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 5603/2015 ලිපිය, 2016.07.31 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 3102/2016 ලිපිය, 2017.10.31 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 3700/2017ලිපිය ( මෙම ලිපියෙන් ජමීල් ඇතුළු ස්වයං ඝාතන මාලාව එල්ල කළ පුද්ගලයන් කීපදෙනෙකු ඇතුළු අන්තවාදීන් 94 දෙනෙක් පිළිබඳව දක්වා තිබේ),

2017.11.08 දිනැති රාජ්‍ය බුද්ධි සේවාවේ ලිපි අංක S 3666/2017ලිපිය යනාදී වශයෙන් ලිපි 05කින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයා වෙත දක්වා තිබේ.

මේ පිළිබඳව 2017.11.8 වැනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යැවුණු පිටු 3ක රහසිගත වාර්තාවෙන් අදාළ පුද්ගලයා පිළිබඳව සවිස්තර වාර්තාවක් ද යවා තිබේ. එමගින් ජමීල් නමැත්තා IS මතවාදය ඉතා දැඩි ලෙස අදහන්නෙක් බවටත් IS සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියදී 2015.07.12 වැනිදා ගුවන් ප්‍රහාරයකින් සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකිකයා වන මෙහොමඩ් මුහුසින් සර්ෆාස් නිලාම් නමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකු බවටත් බටහිර ආහාර පාන ඇඳුම් පවා ප්‍රතික්ෂේප කරමින් දැඩි ලෙස අන්තවාදී මතයන් දරමින් සිටින්නෙකු බවටත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මොහු සිරියාවට යෑමේ අදහසින් තුර්කියට ගොස් නැවතත් පැමිණ කොළඹ ස්ථාන කීපයක සිට තරුණයන් අතර අන්තවාදී මතවාදයන් පළකමින් IS සංවිධානයට සහාය දක්වමින් සිටින බවත් එහි දක්වා තිබේ. එමෙන්ම අදාළ වාර්තා පදනම් කරගෙන පාස්කු ප්‍රහාරයට වසරකට පෙර එනම් 2018.04.12 වැනිදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ජමීල් නමැත්තාව එම කොට්ඨාසයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන නිසි විමර්ශනයක් නොකර එදිනම මුදාහැර තිබීමද විශේෂ කරුණකි.

එමෙන්ම, මීට අමතරව 2019.01.31 දිනැති රාජ්‍ය බුද්ධි සේවයේ ලිපි අංක S532/2029 දරන ලිපිය යටතේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි සෙනවිරත්න මහතා වෙත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පිටු 4කින් යුත් අති රහස්‍ය ලිපියක් යවමින් IS ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධව සිටි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ද සමග යවා තිබේ.

අදාළ ලිපියෙහි ට්‍රොෆිකල් ඉන් ඝාතක ජමීල් ඇතුළුව එවකට ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත දරන පුද්ගලයන් ලෙස බුද්ධි අංශ හඳුනාගෙන සිටි නැෂනල් තවුහිද් ජමාත් සංවිධානයේ(NTJ) නායක මොහමඩ් කාසීම් මෙහොමඩ් සහරාන් පිළිබඳවත් ඕල් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ(ACTI) ක්‍රියාකාරිකයෙක් වන නියාස් සෙයිඩ් අහමඩ් සිද්ධික් (සිරිජ්) පිළිබඳවත් ශ්‍රී ලංකා ජමාත් ස්ලාම් (SLJI) සංවිධානයේ දේශක මොහමඩ් අලි හුස්ති මුබාරක් පිළිබඳවත් දක්වා ඔවුන් විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල මතවාදයන්ට නැඹුරු විය හැකි අය ලෙස ද හඳුන්වා දී තිබේ.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාව විසින් කලක සිටම IS මතවාදය දරන්නන් පිළිබඳව වගකිව යුතු හා විමර්ශනය කළ යුතු ආයතන හා කණ්ඩායම් වෙත බුද්ධි තොරතුරු නිකුත් කර තිබූ බව පැහැදිළි වන්නකි.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර ස්ලාමීය දැඩි අන්තවාදීන් විසින් රටතුළ සිදුකළ සිදුවීම් මාලාවක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ යුතුය. සිදුවීම් 11ක් පිළිබඳව වාර්තාවී තිබේ. වව්නතිව් ඝාතනයද එම සිදුවීම් 11න් එක් සිදුවීමකි.

අදාළ සිදුවීම් මාලාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයන් කවරේද යන්නද විමසා බැලිය යුතු කරුණකි. මූලික වශයෙන් එම සිදුවීම් පිළිබඳ විමර්ශනයන් සිදු වූයේ CIDය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සිරිවර්ධන මහතා යටතේ එවකට CID අධ්‍යක්ෂ ධුරය හෙබවූ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙනි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයට සෘජුවම අදාළවූ පැහැදිලි බුද්ධි තොරතුරු ඉන්දීය බුද්ධි අංශය විසින් රාජ්‍ය බුද්ධි සේවය වෙත ලබාදී ඇතිබව මේවන විට හෙළිවී ඇති කරුණකි. මෙම තොරතුරු අවස්ථා 6කදී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් CID ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතද පිටපත් යවමින් පොලිස්පතිවරයාත් ජාතික බුද්ධි ප්‍රධානියාවෙතත් දක්වා ඇති බව තහවුරු වී ඇති දෙයකි.

අන්තවාදී කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ට අදාළ සිදුවීම් වන වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ තිබියදී හමු වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය, කාත්තන්කුඩි යතුරුපැදි බෝම්බ සිදුවීම යන සිදුවීම් 2ක පිළිබඳව පමණක් වුවද නිසි විමර්ශනයන් සිදුවී තිබුණේ නම් ඊට වගකිවයුතු සහරාන් කල්ලිය අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබිණි. එසේ වී නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ ඔවුන් සිදුකළ හානිය අවම කිරීමට හෝ අවස්ථාව තිබිණි. එහෙත් අවාසනාවට එම විමර්ශනයන් විධිමත්ව හා විද්‍යාත්මකව නියමාකාරයෙන් සිදු නොවී ඇති බව පෙනීයන දෙයකි.

විශේෂයෙන් ලැක්ටොස් වත්තෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා අදාළ සැකකරුවන් සිව් දෙනා පිළිබඳවත් ලැක්ටොස් වත්තෙන් ඒ වන විටත් රට තුළට ගොස් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳව නිසි විමර්ශනයක් වූවානම් හා රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබාදී තිබූ බුද්ධි තොරතුරු සමග ගලපමින් නිසි ලෙස ඒකාබද්ධ වී විමර්ශනයන් සිදුවූවානම් සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට අවස්ථාව තිබිණි.

ලැක්ටොස් වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය CIDනිලධාරීන් සොයාගනු ලැබුවේ 2019 ජනවාරි 16 වැනිදා වුවද පාස්කු ප්‍රහාරය සිදුවනතෙක් ගතවූ කාලයේ දී CIDය තනිව සිදුකළ විමර්ශනයන් පිළිබඳව ද පවතින්නේ ප්‍රශ්නාර්ථයකි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබුවේ CIDනිලධාරීන් පමණි. රාජ්‍ය බුද්ධි සේවාව අවස්ථා කීපයකදී අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ඉල්ලා සිටියත් ඒ අවස්ථාව ලැබී තිබු‍ණේ එම වසරේ මාර්තු මාසයේත් අග භාගයේය.

රටේ විවිධ ස්ථානවල සිදු වූ මෙම සිදුවීම් 11 සහ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් CID ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිරිවර්ධන මහතාටද පිටපත් යොමුකරමින් පොලිස්පතිවරයා වෙත දන්වනු ලැබූ වට්ස්ඇප් පණිවුඩ දෙකද ඇතුළත්ව බුද්ධි තොරතුරු 6 පිළිබඳව නිසි සැලකිලක් දක්වා විධිමත්ව විමර්ශනයන් සිදුකළා නම් සහරාන් ඇතුළු ඝාතක කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව පැහැදිලි වන්නකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් මොහමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් බවට %අති රහස්‍යයි^ වර්ගීකරණය යටතේ පොලිස්පතිවරයාට 2019.04.09 දින යැවූ ලිපියේ පිටපතක් CID ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙතද යැවුණත් එම ලිපියට අදාළ බුදිධි තොරතුරු පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයට පෙර එවැනි ප්‍රහාරයක් අන්තවාදී ස්ලාම් පුද්ගලයන් පිරිසක් විසින් සිදුකරන බවට පවතින බුද්ධි තොරතුරු ප්‍රමාණවත් වන්නක් බව සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද වැටහෙන්නකි. එහෙත් සිදු වූයේ වෙනකකි. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය කරන බුද්ධි තොරතුරු තිබියදී එය වළක්වා ගැනීමට භූමියේ දී සෘජුව කටයුතු කළයුතු CIDය ඇතුළු වගකිව යුතු ඒකක වල නිලධාරීන් නිසිලෙස කටයුතු නොකර ඇති බව පැහැදිලිවන කරුණකි. රටක ජාතික ආරක්ෂාව යනු %තනි අතකින් අත්පුඩි ගැසිය හැකි 'හෝ ''මම පොර න්‍යායන්ගෙන්'' සිදුකළ නොහැක්කකි. එය සියලු බුද්ධි අංශ, සියලු විමර්ශන ඒකකයන් දංවැලක පුරුක් මෙන් එකිනෙක බැඳුණු ශක්තිමත් දම්වැලක් විය යුතුය.

පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ අන්තවාදී සිදුවීම් 11

01. 2017.03.10 - මෙදින කාත්තන්කුඩි අලියාර් හංදියේ සාම්ප්‍රදායික මුස්ලිම් ආගමික සංවිධානයක් වූ ඉස්තිහාද් අහ්ලුල් සුන්නත්තුල් වල් ජමාත් සංවිධානයේ සාමාජිකයින් පිරිසකට ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් පහරදීම. දෙපාර්ශ්වයේ පුද්ගලයින් 05 දෙනෙක් තුවාල වීම. මෙම ගැටුමට අදාළව ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 08ක් හා සාම්ප්‍රදායික සංවිධානයේ දෙදෙනෙක් කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම.

02. 2017.05.17 - ජාතික තවුහිද් ජමාත් සාමාජිකයෙක් වන මොහමඩ් කලීල් මොහමඩ් මස්පි නමැත්තා 2017.03.10 දා කාත්තන්කුඩිහිදී දෙපිරිසක් අතර සිදුවූ ගැටුම පිළිබඳව පොලීසියට තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම. මීට පෙර අවස්ථා දෙකකදී මොහු පහර කෑමට ලක්ව ඇති අතර තවත් අවස්ථාවකදී තරජනයට ලක්ව තිබේ.

03. 2018.02.06- 2018 පළාත් පාලන මැතිවරණය සඳහා යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අතිරේක ලැයිස්තුවෙන් තරග කළ කාත්තන්කුඩි පදිංචි අබ්දුල් මජීඩ් මොහමඩ් ෆර්සාන් නමැත්තාගේ නිවසට කාල බෝම්බයක් ලෙස සැකසූ බෝම්බයක් විසිකර අලාබ හානි සිදුකිරීම.

04. 2018.02.12- කාත්තන්කුඩි මුහුදු වෙරළ පාරේ තිබූ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ මැතිවරණ කාර්යාලයට බෝම්බයක් ගසා අලාභ හානි සිදුකිරීම.

05. 2018.06.08 - කාත්තන්කුඩි අලියාර් පාරේ ගංජා විකිණූ ආදම් බාවා මොහොමඩ් ඉස්මයිල් හෙවත් පලනි බාවා නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීම.

06. 2018.08.26 - ආරියම්පති,පාලමුණ පල්බරා ප්‍රදේශයේදී සහරාන් හෂීම්ගේ සොයුරු මොහමඩ් කාසීම් මොහමඩ් රිල්වාන් හෙවත් ජල් අල් කිතාල් සහ අබ්දුල් මනාෆ් මොහමඩ් පිර්දවුස් විසින් බෝම්බ පිපිරවීමක් අත්හදා බැලීමේදී රිල්වාන් තුවාල ලැබීම.

07. 2018.11.30 - වව්නතිව් පොලිස් මුරපොළේ රාත්‍රී රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම.

08. 2018.12.23 සිට 25 - සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත් තුනෙහි ස්ථාන කීපයක බුදුපිළිම ඇතුළු ආගමික ප්‍රතිමාවලට හානි සිදු කිරීම.මේ සම්බන්ධව CIDය පුද්ගලයින් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් තිදෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් සැගව සිට තිබේ.

09. 2019.01.16 - වනාතවිල්ලුවේ පිහිටි අක්කර 75කින් යුත් ලැක්ටොස් වත්ත නමැති ඉඩමෙන් පුද්ගලයින් 4 දෙනෙකු සමග සී. 4 නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 60ක් ඩෙටනේටර් 99ක්, නයිට්‍රික් ඇසිට් ලීටර් 25 කෑන් 6ක්, හිස් කෑන් 2ක් සමග විවිධ උපකරණ රැසක් CID නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීම. අත්අඩංගුවට පත්වූ සිවුදෙනාගෙන් දෙදෙනෙක් නිදහස් වීම.

10. 2019.03.08 – CID තොරතුරු කරුවෙක්ව සිටි මොහමඩ් තස්ලිම් නමැත්තාට ඔහු පදිංචිව සිටි මාවනැල්ලේ නිවසේදී වෙඩි තැබීම.

11. 2019.04.16. - කාත්තන්කුඩි තාලංකුඩා හිදී යතුරුපැදියක් පුපුරුවා හරිමින් ප්‍රහාරයකට සැකසූ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීම.

පාස්කු ප්‍රහාරයට සෘජුවම අදාළව ලැබුණු බුද්ධි තොරතුරු මෙනවාද?

(01). 2019.04.07 - ප්‍රහාරක සැලැස්මක් පිළිබඳ තොරතුරක් වැඩිදුර උපදෙස් පතා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක විසින් ජාතික බුද්ධි ප්‍රධානියා(CNI) වෙත බුද්ධි වාරතාවක් යෙමුකිරීම.

(02). 2019.04.09 -රාජ්‍ය බුද්ධිසේවාවේ S1612/19 දරණ අති රහස්‍යයි නමින් වූ විදෙස් බුද්ධි අංශ විසින් යොමුකළ ඇමුණුමක් ද සහිතව පිටු 3ක ලිපියක් මගින් ජාතික තවුහිද් ජමාත් නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව CID ජ්‍යෙ.නි.පොලිස්පතිටද පිටපත් කර පොල්ස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් යැවීම. එම ලිපියෙන් ප්‍රහාරයේ ඉලක්ක ලෙස මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවටත් අදාළ ප්‍රහාරයට සහරාන් හෂීම්,ශාහිඩ්,සහරාන්ගේ බාල සොයුරු රිලාවාන්, මොහමඩ් මිල්හාන් හා යුද හමුදාවේ හිටපු සෙබලෙක් වන බදුර්දීන් මොහමඩ් මොහිදීන් හෙවත් ආමි මොහිඩීන් යන අය සූදානමින් සිටින බවත් සඳහන් කර තිබේ.

(03). 2019.04.18 - රාජ්‍ය බුද්ධි සේවාවේ S1758/2019 දරණ අති රහස්‍යයි නමින් වූ පිටු 2ක ලිපියෙන් කාත්තන්කුඩි පොලිස් වසමේ තාලංකුඩා ප්‍රදේශයේදී 2019.04.16 වැනිදා පැය 21.20ට යතුරුපැදියක් පුපුරුවා හැරීම යනුවෙන් තවත් බුද්ධි තොරතුරු සමූහයක් CID ජ්‍යෙ.නි.පොලිස්පතිටද පිටපත් කර පොල්ස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් යැවීම. එමගින් යතුරු පැදියේ චැසි අංකයද ඇතුළු සියලු තොරතුරුද සහරාන් හෂීම්ට සම්බන්ධ පිරිස් මෙය අත්හදා බැලීමක් ලෙස සිදුකර ඇති බවද පැහැදිලිවම දක්වා තිබේ.

(04). 2019.04.19 - රාජ්‍ය බුද්ධි සේවාවේ S1758/2010 දරණ අති රහස්‍යයි නමින් වූ පිටු 2ක ලිපියෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් පුපුරුවා හැරීමේ සිද්ධියට අදාළ පුද්ගලයෙක් පිළිබඳව සවිස්තර වාර්තාවක් සමග තවත් බුද්ධි තොරතුරු සමූහයක් CID ජ්‍යෙ.නි.පොලිස්පතිටද පිටපත් කර පොල්ස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් යැවීම. එමගින් යතුරු පැදිය හුවමාරු පදනමකට මිලදී ගත් පුද්ගලයා වන සහරාන් හෂීම්ගේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන අබ්දුල් ලතීෆ් මොහමඩ් සාෆි නමැත්තා පිළිබඳව විස්තර දක්වා තිබේ. මෙම පුද්ගලයා 2018.11.01 දින සිට 2019.04.13 දක්වා කාලයේදී විදේශීය දුරකථන අංක 6ක් වෙත ඇමතුම් 125ක් ලබාගෙන ඇති බවත් ඉන් එක් අංකයකට දුරකථන ඇමතුම් 105ක් ගෙන ඇති බවත් දක්වා තිබේ. මෙම ඇමතුම් 124ක්ම ගෙන ඇත්තේ කසකස්ථානයට හෝ රුසියාවට බවත් එක් ඇමතුමක් දකුණු කොරියාවට ගෙන ඇති බවත් සඳහන් කර තිබේ. එමෙන්ම ඔහුගේ කල් ඉකුත්ව තිබූ විදෙස් ගමන් බලපත්‍රය 2019.01.18 වැනිදා එක්දින සේවාවක් යටතේ ලබාගෙන ඇති බවත් සහාරාන්ගේ ජාලයට සම්බන්ධ පුද්ගලයෙක් නිසා මොහු පිළිබඳව විමර්ශන සිදුකිරීමෙන් සහරාන්ගේ ඉදිරි සැලසුම් සහ අදාළ යතුරුපැදිය පුපුරුවා හැරීම පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට හැකි බවට නිරීක්ෂණය වන බවත් දක්වා තිබේ.

(05). 2019.04.20 - &ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් කාසීම් මොහමඩ් සහරාන් නමැත්තා පිළිබඳව& මැයෙන් යළිත් සවිස්තර රහස්‍ය බුද්ධි තොරතුරු සමූහයක් CID ජ්‍යෙ.නි.පොලිස්පතිටද පිටපත් කර පොල්ස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් යැවීම.

(06). 2019.04.20 වැනිදා සහ 21 වැනිදා රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් වට්ස්ඇප් හරහා ප්‍රහාරයට අදාළ තොරතුරු CID ජ්‍යෙ.නි.පොලිස්පති රව් සෙනෙවිරත්න ඇතුළු බලධාරීන් වෙත ලබා දීම. 2019.4.20 වැනිදා 16.54ට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා CID ජ්‍යෙ.නි.පොලිස්පති රව් සෙනෙවිරත්න මහතාට යැවූ වට්ස්ඇප් පණිවුඩය රවි සෙනෙවිරත්න මහතා බලා 16.55ට &ස්තූතියි නිලන්ත& යනුවෙන් ප්‍රතිචාරද දක්වා තිබේ. එමෙන්ම 2021.04.21දා උදෑසන 08.46ට යැවුණු වට්ස් ඇප් පණිවුඩයෙන් උදෑසන 10ට ප්‍රථම මෙතෝදිස්ත පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවත් පොලීසිය සූදානමින් සිටින ලෙසත් දැන්වීම.

වව්නතිව් පොලිස් නිළධාරීන්ගේ ඝාතනයන් ගැන හමුදා බුද්ධි
අංශ දුන් තොරතුර නිසා CIDය නොමග ගියාද?

වව්නතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය වූයේ 2018.11.30 වැනිදාය. අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරනු ලැබුවේ CIDය විසිනි. මෙම සිදුවීමට සැක පිට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වූ කදිරගාමර තම්බි රාජ් කුමාර් හෙවත් අජන්තන් නමැත්තා මඩකලපුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

2018 වසරේ නොවැම්බර් 27දා එල්.ටී.ටී.සැමරුම් සම්බන්ධයෙන් පොලීසිය සමග ඇතිකරගත් ගැටුම හා මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සබඳතාවක් ඇතැයි පොලීසිය සැකකරනු ලැබීය. එමෙන්ම 2018.12.04 වැනිදා පොලීසිය විසින් බෝක්කුවක් යටින් සොයාගත් ජැකට්ටුවක් මත පදනම්ව පොලිස් නිල සුනඛයකු අනුව ගොස් අජන්තන් නමැත්තාගේ නිවසද පරක්ෂාවට ලක් කර තිබිණි. ඒ අනුව පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිදුවීම එල්.ටී.ටී.ඊ.සාමාජිකයන්ගේ ප්‍රහාරයක් විය හැකි යැයි වන සැකය පොලීසියටද තිබිණි.

මේ අතර, 2018.12.03 වැනිදා පැවති ආරක්ෂක කවුන්සිලයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු බුද්ධි අංශවලට නියෝග කර ඇත්තේ මෙම ඝාතනයට අදාළව ලැබෙන සියලු බුද්ධි තොරුතුරු CIDය වෙත ලබාදෙන ලෙසය. ඒ අනුව යුද හමුදා බුද්ධි අංශය විසින් 2018.12.05 සිට 2019.04.12 දින දක්වා කාලයේ දී අවස්ථා 5ක දී වාර්තා 5ක් මගින් බුද්ධි තොරතුරු කීපයක් ම CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබාදී තිබේ.

අදාළ තොරතුරු තොරතුරු කරුවන්ගෙන් ලැබී ඇති තොරතුරු නිසා අදාළ නම් සඳහන් පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කර විශ්ලේෂණය කර නිගමනයන්ට පැමිණෙන ලෙසද යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා අදාළ ලිපි මගින් දැනුම්දී තිබේ.

හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා CIDය වෙත ලබාදුන් බුද්ධි තොරතුරු අතර අදාළ වව්නතිව් ඝාතනයට අදාළව එකිනෙකට වෙනස් තොරතුරු කීපයක් පිළිබඳව දක්වා තිබේ. පුනරුත්ථාපනය නොවූ සාමාජිකයන්ගේ ක්‍රියාවක් විය හැකි බවට වූ තොරතුරු කරුවන්ගෙන් ලැබුණු තොරතුරු කීපයක්ද එහි පවතී. එමෙන්ම එක් තොරතුරකින් කියැවුණේ ඝාතනයට ලක්වූ එක් පොලිස් නිලධාරියෙක් විවාහක කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත් එම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිට පැමිණ සිටින නිසා ඔහු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකර ඇති බවය.

එමෙන්ම, අවසාන වශයෙන් මෙම බුද්ධි තොරතුරු අතරින් 2019 අප්‍රේල් 12 වැනිදා ලබාදී තිබූ තොරතුරින් අදාළ ඝාතනයන් සිදුකර ඇත්තේ සහරාන් හසීම්ගේ සගයන් බවටත් ඒ සඳහා සහරාන්ගේ සොයුරා වූ රිල්වාන් හා ආමි මොහිදීන් දෙදෙනා සම්බන්ධ බවටත් වාර්තාකර තිබිණි. එමෙන්ම එම ලිපියේම සඳහන් තවත් තොරතුරකින් මාවනැල්ලේ දී තස්ලින් නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයෙකුගේ ඡායාරූපද සහිතව සවිස්තර තොරතුරක්ද දක්වා තිබිණි.

(දුමින්ද සංජීව බාලසූරිය)

[ඉරිදා ලංකාදීප - 2024 ජුනි 23 

Leave a comment

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us