අනුර කුමාරලා ආණ්ඩු කරලම නැද්ද? Featured

Sunday, 26 May 2024 22:51

“මේ රටේ මිනිස්සු එක කාලයක් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගියා, තවත් කාලෙක දුප්පතාගෙ හිතවතා පස්සෙ ගියා, පින්වත් ජනාධිපති පස්සෙ ගියා, විහාර මහා දේවි පස්සෙ ගියා, දුටුගැමුණු පස්සෙ ගියා, එයාගෙන් පස්සෙ පොළොන්නරුවෙ ගැමියා පස්සෙ ගියා, අපේ රණවිරුවා පස්සෙ ගියා. මේ හැම කෙනා පස්සෙන්ම ගිහින් මේ රට අද බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා. ඒ නිසා මේ 76 වසරක ශාපය අපි අවසන් කරන්න ඕන.’’

මේ අනුර කුමාර දිසානායක ඇතුළු ජ.වි.පෙ. නායකයන් මේ දිනවල වේදිකාවේ කියන කතාවක්ය. මේ නොකියා කියන්නේ නිදහසින් පසු කිසිවකුගේ පසුපස නොගිය නොඉඳුල් කණ්ඩායම ජ.වි.පෙ. බවය. එබැවින් ඔවුන් ජනතාවගෙන් ඉල්ලන්නේ මෙතෙක් පාලන බලයට සම්බන්ධ නොවූ තම පක්ෂයට මෙවර බලය දී වෙනසක් කරන ලෙසය.
ඇත්තටම ජවිපෙ මේ කියන කතාව ඇත්තක්ද? ඔවුන් කිසිදින ආණ්ඩුකරණයට හවුල් වී නැද්ද?

1965 දී ලංකා ලයින් ලෙසද, ජනතා විමුක්ති පෙරමුණ ලෙසද, බොල්ෂෙවික් පක්ෂය ලෙසද, නැවත ජ.වි.පෙ. ලෙසද නාමකරණය වූ මේ පක්ෂය දැන් ප්‍රචලිත කෙරෙන්නේ ජාතික ජන බලවේගය ලෙසය. කෙසේ වුවද දැන් මේ ව්‍යාපාරය වසර පනස් නවයක් දේශපාලන බිමේ ගතකර අවසන්ය.

ඒ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ ධනවාදී හා ලිබරල් යැයි ඔවුන් විසින්ම හංවඩු ගැසූ ආණ්ඩු ගණනාවකටම මුක්කු ගැසූ බව අනුර කුමාරලාට අමතක වීම හරිම පුදුමය. ඇතැම් ආණ්ඩු පිහිටුවීමටද, කඩා වැටීම නවතාලීමටද, කොටස්කරුවන් ලෙසටද මේ දශක හයක කාලය තුළ ජ.වි.පෙ. සිය මූලෝපායන් හා ශ්‍රමය කැපකර ඇති බව දේශපාලන අතීතය දන්නා අයට අමතක වීමට හේතුවක් නැත.

ජනතා විමුක්ති පෙරමුණ පළමු වරට ධනවාදී පක්ෂයක නායකයකු රාජ්‍ය නායකයා කිරීමට ක්‍රියාන්විතයක් ආරම්භ කළේ 1977 දීය. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධනට ආණ්ඩුව පිහිටුවීමට සහාය වෙමින්ය. මෙම ක්‍රියාන්විතය මෙහෙයවුවේ රොනී ද මැල් ය.

“මම ජේ.ආර්. ට කියලා ඔබ ඇතුළු ඔබේ පක්ෂයේ සියලුම දෙනාට පොදු සමාවක් අරන් දෙන්නම්. ඒ වෙනුවෙන් ඔබේ පක්ෂයේ පරම සතුරා (ශ්‍රීලනිප සහ බණ්ඩාරනායක මැතිනිය) පරාජය කරන්න අපිට උදව් කරන්න.’’

මේ, රොනී ද මැල් විජේවීරගෙන් එදා කළ ඉල්ලීමය. රොනී වෙනුවෙන් යාපනයේ බන්ධනාගාරයට ගොස් විජේවීරට මෙම යෝජනාව කළේ රොනීගේ බිරිඳ මල්ලිකා ද මැල්ය. 1976 දී මේ ඉල්ලීමට රෝහණ විජේවීර එකඟ වන සමයේ අනුර කුමාර දිසානායක තඹුත්තේගම ඉස්කෝලේ තුනේ කැලෑසියේය.

ඒ වන විට විජේවීර ඇතුළු ජ.වි.පෙ. වැඩි ප්‍රමාණයක් සිටියේ විවිධ බන්ධනාගාරවලය. ඒ, මහනඩුවේ තීන්දුවට අනුව 1971 කැරැල්ලේ චූදිතයන් ලෙස ය. එබැවින් ජ.වි.පෙ. චූදිතයන්ගේ පවුල්වල ඇත්තෝ තම දරුවන් බේරා ගැනීම වෙනුවෙන් ජේ.ආර්. ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී වැඩ කළහ.

“අපි යූ.ඇන්.පී. එකට එනවට කෝට්ටේගොඩ පරණ යූ.ඇන්.පී. කාරයො විරුද්ධ වුණා. ඒ බව අපි මැල් මහත්තයාට කිව්වම එයා කිව්වා ජේ.වී.පී. එකේ අය වෙනමම රැස්වීම් සංවිධානය කරන්නය කියලා. ඒ අනුව අපි ‘මැල් පෙරමුණ‘ කියලා ලියාපදිංචි නොකළ පක්ෂයක් හදාගෙන එක්සත් ජාතික පක්ෂය දිනවන්න කැන්වසින් ගියා. හැබැයි රැස්වීම්වලට නිදහස් පක්ෂෙ අයගෙන් විවිධ තර්ජන ආවා. ශ්‍රී ලංකා කාරයො අපේ රැස්වීම් වේදිකා කුඩු කරලා, අපි දාපු කොළ කොඩි කඩා දමන්න ගත්තා. ඒ වෙලාවෙ අපේ ආරක්ෂාවට අපිට තුවක්කු දුන්නෙ පියසිරි මහත්තයා.’’

මේ කතාව කලකට පෙර අපිට කිව්වේ විජේවීර එවකට පදිංචිව සිටි මාතර, කෝට්ටේගොඩ ගමේ එවකට ජ.වි.පෙ. ක්‍රියාකාරිකයකු වූ මිල්ටන් මහින්දසිරිය. පසු කලෙක ඔහු රොනී ද මැල්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙසද කටයුතු කළේය. මෙහි පියසිරි මහත්තයා යනු, ප්‍රේමදාස ආණ්ඩුවේ කම්කරු රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ දික්වැල්ලේ එච්.ආර්. පියසිරිය.

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ලෙස එවකට කටයුතු කළ ලයනල් බෝපගේගේ පවුලේ ඇත්තන් 77 මහමැතිවරණයේදී කැන්වසින් ගියේ වැලිගම එ.ජා.ප. අපේක්ෂක, මොන්ටේගූ ජයවික්‍රම ජයග්‍රහණය කරවීමටය. බෝපගේගේ නිවස අයත් වුණේ වැලිගම මැතිවරණ කොට්ඨාසයේ වල්ලිවල ග්‍රාමයේය. මේ අයුරින් 77 මැතිවරණයේදී රතු කොඩිය අතහැර රටේ සෑම තැනම ජ.වි.පෙ. පවුල්වල ඇත්තෝ කොළ කොඩිය අතට ගත්හ.

එදා ජේ.ආර්. පොරොන්දු වූ පරිදි 1977 සිය ආණ්ඩුව පිහිටවූ සැණින් විජේවීර ඇතුළු ගෝලයන් ඔක්කොටම පොදු සමාවක් හිමි වුණේය. ඒ සඳහා විජේවීර එක්සත් ජාතික පක්ෂයට කොතරම් කෘතවේදී වූයේද යත්, තවත් මහඟු උපකාරයක්ද ජේ.ආර්. වෙනුවෙන් කළේය. ඒ, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - ගමනක අවසානය” යනුවෙන් දේශන මාලාවක් රට පුරා සංවිධානය කරමින් බණ්ඩාරනායක පරපුර පතුරු ගැසීමය. විජේවීර ඇතුළු ජ.වි.පෙ. නායකයන් කතිකයන් වූ මෙම ජනහමු මාලාවට අවශ්‍ය ශාලා හෝ පිට්ටනිද, ශබ්ද විකාශන යන්ත්‍ර, ගමන් වියදම්, වේදිකාව, ආහාර පාන ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයුවේ රටපුරා එ.ජා.ප. ආසන සංවිධායකයන්ය.

ඉන් අනතුරුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස සමයේ එ.ජා.ප.ය හා ජ.වි.පෙ. සිවිල් අරගලයක දෙපැත්තේ සිටි දෙකොටසක්ය.

“දැන් ලංකාවෙ ආණ්ඩු තුනක් තියනවනේ. සියඹලාණ්ඩුවයි, ලංකාණ්ඩුවයි, පුංචි ආණ්ඩුවයි.’’

මේ 1987-1989 සමයේ මෙරට එක්තරා පුද්ගලයකු මෙම ලියුම්කරුගේ කනට කොඳුරා කී උපහාසාත්මක කතාවක උදෘතයක්ය. මෙහි ‘පුංචි ආණ්ඩුව‘ යැයි ඔහු සඳහන් කරන්නේ එකී සමයේ නිල නොවන අයුරින් රට පාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ගැනය.
ජ.වි.පෙ.ට 1987-1989 සමයේ ‘පුංචි ආණ්ඩුව‘ යැයි කීමට ඔහුට සාධාරණ හේතු ගණකාවක්ම විය. එනම්, නීත්‍යනුකූල ආණ්ඩුවක් සතු බොහෝ ගුණාංගවලින් එම සමයේ ජ.වි.පෙ. සමන්විතව පැවතීමය. රජයේ සන්නද්ධ හමුදා භාවිත කරන සෑම වර්ගයේම අවි ආයුධත්, තමන්ටම කියා වූ හමුදාවක්, තමන්ගේම වූ නීතිය පසිඳලන උසාවි හා විනිශ්චයකාරවරුන්, බදු අයකරගැනීමේ (කප්පම් ලෙස) ක්‍රමවේදයක්, තමන්ගේම වූ සන්නිවේදන ජාලයක්, තුණ්ඩුවක් යැවූ පමණින් ඕනෑම රාජ්‍ය ආයතනයක් හෝ වෙළෙඳ සලක් වැසීමට මෙන්ම ඇරීමට හැකියාවක්, ඇඳිරි නීතිය පැනවීමට හා ඉවත් කිරීමටද, (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අණ දෙන නිලධාරී) කීර්ති විජේබාහු නමැත්තකුගේ ප්‍රධානත්වයෙන් යුතු දඬුවම් දීමේ යන්ත්‍රණයකුත් ජ.වි.පෙ. සතුවිය.

එකල මධ්‍යම ආණ්ඩුවේ ඇඳිරි නීතිය ජනතාව එතරම් ගණන් නොගත්තද, පුංචි ආණ්ඩුව විසින් පනවන ඇඳිරි නීතිය නම් ජනතාව අකුරටම පිළිපැද්දේය. ඒ, පුංචි ආණ්ඩුවේ නියෝග කඩ කිරීම මරණ දණ්ඩනය හිමිවීමට හේතුවක් වන නිසාය.

අනතුරුව ආණ්ඩුවක් බිහිකිරීමට ජවිපෙ සක්‍රියව දායක වුණේ 1994 දීය. ඒ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට විධායක ජනාධිපති වීම සඳහාය. එම ජනපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජවිපෙ නම් කළේ නිහාල් ගලප්පත්තිය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තම අපේක්ෂකයා ඉවත් කරගෙන චන්ද්‍රිකාගේ ජයග්‍රහණය සඳහා ජ.වි.පෙ. ඡන්ද දෙන බව ඔවුන් කියා සිටියේය. එම ඉල්ලීමට චන්ද්‍රිකා එකඟ වූවාය. එබැවින් ගලප්පත්ති ජනපති තරගයෙන් ඉවත්වී චන්ද්‍රිකාගේ ජය වෙනුවෙන් කැපවී ක්‍රියා කළේය.

පළමු ධුරකාලයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ චන්ද්‍රිකා, 1999 දී දෙවැනි වරටද ජනාධිපතිවරණයට තරග කර ජය ගත්තාය. එනමුත් තම පක්ෂයට වූ පොරොන්දුව කැඩුවේ යැයි කියා ජවිපෙ චන්ද්‍රිකාට කරන උදව් අත හැරියේ නැත.
ඇයගේ ආණ්ඩුව පවත්වාගෙන යාමට අභ්‍යන්තර අරගල හේතුවෙන් පහසු නොවීය. ඇමැතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම නිසා විපක්ෂ මන්ත්‍රි සංඛ්‍යාව 115 ක් දක්වා වැඩිවූහ. ආණ්ඩු පක්ෂයේ ඉතිරිවූයේ 109 තරම් සුළුතරයක්ය. මේ නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩා වැටීමේ අවදානමක් ඇතිවිය.

චන්ද්‍රිකා මේ අර්බුදයෙන් බේරා ගැනීමට පෙරට ආවේ ජ.වි.පෙ. සහෝදරවරුන්ය. ඒ අනුව, ජ.වි.පෙ. මන්ත්‍රි සහාය චන්ද්‍රිකා කුමාරතුංගට දෙමින් ගිවිසුම් ගත වුණේය. එදා පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේනත්, ජ.වි.පෙ. වෙනුවෙන් ටිල්වින් සිල්වාත් ගිවිසුමට අත්සන් තැබුවෝය. ඒ අනුව බිහිවූ ආණ්ඩුව ප්‍රචලිත වූයේ ‘පරිවාස ආණ්ඩුව’ යනුවෙන්ය. මේ දේශපාලන දීගයේ කපුවා වූයේ මංගල සමරවීරය. චන්ද්‍රිකා ආණ්ඩුවට ජවිපෙ මුක්කු ගැසූ සිදුවීම් මාලාවේ තිරය පිටුපස මේ සත්‍ය කතාව නිහාල් ජගත්චන්ද්‍ර ලියූ, ‘ඛේමාගේ කොලුවා - මංගල’ පොතේ සටහන්ව ඇත්තේය.

අනතුරුව 2004 මහ මැතිවරණයේදී ජවිපෙ චන්ද්‍රිකා ආණ්ඩුවට සක්‍රියව එක්විය. ඒ, චන්ද්‍රිකා කුමාරතුංගගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් තරග කරමින්ය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජවිපෙ මන්ත්‍රිවරයෙක් ලෙස විමල් වීරවංශ, සුනිල් හඳුන්නෙත්ති, ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වුණේ ඒ අනුවය. එම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය යටතේ තරග කළ විජිත හේරත්, සිරිපාල අමරසිංහ, අන්ජාන් උම්මා ගම්පහින් පාර්ලිමේන්තු ගියේද, කළුතර දිස්ත්‍රික්කයෙන් නන්දන ගුණතිලක, ජයන්ත සමරවීර සහ පියසිරි විජේනායක පත් වුණේද, මහනුවර දිස්ත්‍රික්කයෙන් දිමුතු අබේකෝන්ද ජය ගත්තේද එසේමය. ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද්‍රසේන විජේසිංහ, අජිත් කුමාර සහ තිලකරත්න විතානාච්චිද, මාතර දිස්ත්‍රික්කයෙන් ජිනදාස කිතුලේගොඩ, ප්‍රේමසිරි මානගේද, හම්බන්තොටින් නිහාල් ගලප්පත්ති, විජිත රණවීර පාර්ලිමේන්තුවට එන්නේද බුලත් කොළයෙන්ය.

එපමණක් නොව, අද ජාතික ජන බලවේගයේ හා ජ.වි.පෙ. නායක, අනුර කුමාර දිසානායක 2004 මැතිවරණයේදී කුරුණෑගලින් තේරී පත් වූයේද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය යටතේ තරග කරමින්ය. ඊට අමතරව බිමල් රත්නායක, නාමල් කරුණාරත්නද, පුත්තලමෙන් වීරකුමාර දිසානායක පාර්ලිමේන්තු අවේද, අනුරාධපුරෙන් කේ.ඩී. ලාල් කාන්ත හා රණවීර පතිරණ පාර්ලිමේන්තු ගියේද බුලත් කොළයෙන් තරග කරමින්ය.

මෑතදී උමා ඔයේ සිදුර සොයාගත් සමන්ත විද්‍යාරත්න 2004 දී පාර්ලිමේන්තුවට ආවේද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල ලැයිස්තුවෙන්ය. පද්ම උදය ශාන්ත ගුණසේකර මොනරාගලින් පත්වන්නේද, අචල සුරංග ජාගොඩ රත්නපුරෙන් මැතිසබයට එන්නේද, කෑගල්ලෙන් අනුරුද්ධ පොල්ගම්පොලද එදා පාර්ලිමේන්තු ගියේ බුලත් කොළය යටතේය.
එම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර 13 න් එකක් ජනතා විමුක්ති පෙරමුණට දීමටද චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ කාරුණික වූහ. ජවිපෙට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට එදා පත් කළේ වසන්ත සමරසිංහය.
මෙම මැතිවරණ ප්‍රතිඵල මත බිහිකළ එක්සත් ජනතා නිදහස් සන්ධාන නව රජයේ අමාත්‍ය මණ්ඩලයේද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු අට දෙනෙක් ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැති ධුර දැරුවේය.

ඒ අනුව, ජනපති චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් කැබිනට් අමාත්‍යවරයා වූයේ අනුර කුමාර දිසානායකය. අනුර කුමාරගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ බිමල් රත්නායකය. චන්ද්‍රසේන විජේසිංහ ධීවර හා ජලජ සම්පත් කැබිනට් ඇමැතිවරයා ලෙස පත් කෙරුණු අතර, එහි නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ නිහාල් ගලප්පත්තිය. කුඩා හා ග්‍රාමීය කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ, කේ.ඩී.ලාල් කාන්තය. ඔහුගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ සුනිල් හඳුන්නෙත්තිය. විජිත හේරත්ට හිමිවුණේ චන්ද්‍රිකා-මහින්ද ආණ්ඩුවේ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය තනතුරය. එහි නියෝජ්‍ය ඇමැති වූයේ සමන්ත විද්‍යාරත්නය.

“පාර්ලිමේන්තුවට පත්වෙන මහජන මන්ත්‍රිවරු ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නේ කොහොමද, ආණ්ඩුව තුළ පවතින මතිමතාන්තර සාකච්ඡා මගින් නිරාකරණය කරගන්නේ කොහොමද, අමාත්‍යාංශයක් භාර ඇමැතිවරයෙක් එම අමාත්‍යාංශයේ නිලධාරීන් හසුරුවාගෙන ඔවුන් සමග සාර්ථක වැඩපිළිවෙළකට මුහුණදීම, අනෙකුත් අමාත්‍යාංශ සමග සුහදව කටයුතු කරන්නේ කොහොමද කියන දේ ගැන අවබෝධයක්, භාවිතාවක්, අධීක්ෂණයක් ජවිපෙ තුළ නොතිබීම අපි භාරගත්ත අමාත්‍යාංශ අසාර්ථක වෙන්න එක හේතුවක්. උපන් ගෙයි පටන් උරුම වූ දරදඬු දඩබ්බරකම් ඇමැති ධුරවල කටයුතු කිරීමේදී ඉස්මතුව පැමිණීම තවත් ගැටලුවක්. විරෝධාකල්ප ක්‍රියාත්මක කළා මිස වැඩ කරලා පළපුරුද්ද නොතිබීම තවත් හේතුවක්.“

2004 වසරේදී අනුර කුමාර දිසානායක ඇතුළු ජ.වි.පෙ. මැති ඇමැතිවරු සිය අමාත්‍යාංශ කටයුතුවල අසාර්ථක වීමට හේතු ලෙස එම පක්ෂයේම එවකට නායකයාව සිටි සෝමවංශ අමරසිංහ කිව්වේ එවැනි කතාවක්ය. මේ බැව් සඳහන් වන්නේ, උපුල් ජානක ජයසිංහ ලියූ ‘ජවිපෙ-විජේවීර සහ කල්‍යාණ‘ පොතේ 410 පිටුවේය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විධායක ජනපති කළේද ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ අනුග්‍රහය නිසාය. එදා චන්ද්‍රිකා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොහෝ දෙනා කකුලෙන් අදිද්දී මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක, සෝමවංශ හා විමල් කළ මෙහෙවර අතිමහත්ය. මහින්දගේ පෝස්ටර් ව්‍යාපාරය, ප්‍රචාරක යන්ත්‍රණය මෙහෙයවීම පමණක් නොව ජනපතිවරණ වේදිකාවේ හොඳම කතිකයන් වූයේද අනුර සහ විමල්ය.

එදවස ‘මහින්ද චින්තනය’ ලියන කණ්ඩායමේ අනුර කුමාරද සිටිය බව ලියුම්කරුට හොඳට මතකය. පොල් ඉඩම් කට්ටි කිරීම නතර කළ යුතු බව අනුර කුමාර යෝජනාව ගෙනා මොහොතේ ලියුම්කරු එහි සිටියේය. එනමුත් එම යෝජනාවට රෝහිත බෝගොල්ලාගම ඇමැතිවරයා විරුද්ධ වූයේය. ඒ වෙලාවේ අනුර කුමාර සිනාසෙමින් කීවේ එහෙනම් පවුල් ප්‍රශ්න ඇති කරන යෝජනා මහින්ද චින්තනයට ඕනෑ නැති බවය. ඔහු එවැනි කතාවක් කීවේ රෝහිතගේ සොයුරු ජානක බෝගොල්ලාගමද කුරුණෑගල ප්‍රකට ඉඩම් වෙන්දේසි කිරීමේ ව්‍යාපාරිකයකු බැවිනි.

2005 දී ශ්‍රීලනිප තමා අතහැර සිටි මොහොතක ජවිපෙ තමා කළ උපකාරවලට මහින්දද කිසිදු පක්ෂයකට නොකළ තරම් ප්‍රතිඋපකාර රැසක් කළේය. එෆ්.එම්. නාළිකා සංඛ්‍යාතයක් දේශපාලන පක්ෂයකට වෙන්කර දුන් පළමු අවස්ථාව ගැනීමට ඒ යටතේ ජ.වි.පෙ. වාසනාවන්ත විය. වී.එෆ්.එම්. ලෙස නම් වූයේ එම නාළිකාවය. තවද, මහින්ද රාජපක්ෂ දුන් අගනා සහාය නොවන්නට ජ.වි.පෙ.ට බත්තරමුල්ලේ සුවිසල් පක්ෂ මූලස්ථානයක් නැත්තේය.

ඉන් අනතුරුව ජ.වි.පෙ. සහාය දුන්නේ ‘යහපාලන ආණ්ඩුව‘ බලයට ගෙන ඒමටය. ඒ ආණ්ඩුවේ රනිල් අගමැති වන බව සක්සුදක් සේ දනිමින් මෛත්‍රිපාල ජනාධිපති කිරීමට ජවිපෙ පෙරමුණ ගත්තේය. ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂලාගේ දූෂණ සෙවීමට රනිල් වික්‍රමසිංහ විසින් අනුර කුමාර දිසානායකට වගකීම භාර දෙන්නේ ඊට ගරුකිරීමක් ලෙසය. සිය අගමැති කාර්යාලය හා නිල නිවස සහිත අරලිය ගහ මන්දිරයේ ජ.වි.පෙ. අධීක්ෂණය යටතේ දූෂණ විරෝධී කාර්යාලයක් ස්ථාපිත කිරීමටද රනිල් ඉඩ දුන්නේය.

එසේ බලන විට, ධාර්මිෂ්ටට සමාජය සමගද, විහාරමහා දේවීය, දුටුගැමුණු, පොළොන්නරු ගැමියා මෙන්ම ලිච්චවීන් සමගද සමඋපකාර ලීලාවෙන් කල්ගෙවා ඇති ජවිපෙ හැත්තෑ හතරක ශාපයට බැණ වදින්නේ නම් අඩු වැඩි වශයෙන් ඔවුන්ද ඊට සම්බන්ධ වූ බව අමතක කළ යුතු නැත.

 

උපුල් ගලප්පත්ති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Sathiaga Aruna 19 May 2024

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us