ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන පවා සරත්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පසුබිමක විජේවීරගේ පැමිණීම පිළිබඳ කියැවීම් ගණනාවකි. පළමුවැන්න ඒ කාලයේ විජේවීර ආරක්ෂක අංශ වලට අසු නොවී සැඟ වී සිටි පුද්ගලයෙකි. දෙවැන්න සරත් මුත්තෙට්ටුවේගම විජේවීරගේ කැරළිකාර දේශපාලනය ප්‍රතික්ෂේප කර තිබීමය. තෙවැන්න සරත්ගේ පවුල් පසුබිම අනුව ප්‍රභූ දේශපාලනය විජේවීරලාට නයාට අඳු කොළ මෙන් වීමය.
මියගිය සරත් වෙනුවෙන් රත්නපුරයේ මඟ දෙපස තිබුණ බොහෝ බැනර්වල සඳහන්ව තිබුණේ 'සරත් අප්පෝ බුදුවේවා' කියාය. ඒ සරත් අප්පෝ වාසියට මැති ඇමතිකම් ගෙන තමන් නො රැවටූ නිසාය. විජේවීර සිය ආරක්ෂාව නොතකා සරත් මුත්තෙට්ටුගමගේ අවමගුලට සහභාගි වුණේ සරත් කෙරෙහි පැවති ගෞරවය නිසා නොවේ. තමන් නිදහසේ සැරි සරමින් ජීවත්වන බව පෙන්නා ආරක්ෂක අංශ උපහාසයට ලක් කිරීමටය.
වෘත්තිය සමිති නායකයන් වූ ඇල්.ඩබ්ලිව්. පණ්ඩිත, ජෝර්ජ් රත්නායක, ඇත්ත මාධ්‍යවේදී හෙන්රි පමුණුව, බී.වයි. තුඩාවේගේ පුතා ආදී පළාත් සභා ක්‍රමයට පක්ෂවූ වාමාංශික ක්‍රියාධරයන් 88-89 කාලයේ ජවිපෙ වෙතින් ඝාතනය වුණේ පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි නිසාය. එසේම වාසුදේව නානායක්කාරලා හා රාජිත සේනාරත්නලාට පවා 88-89 කාලයේදී විජේවීරගෙන් පණ බේරා ගැනීමට සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂාව ලබා ගැනීමට සිදුවිය. මේ කියන භීෂණ කාලයේ අනුර කුමාරලා ලාල් කාන්තලා ටිල්වාන් සිල්වාලා ජවිපේ ක්‍රියාධරයන්ව සිටියේය.
සරත් මුත්තේටුටවේගම නම් විශිෂ්ට මිනිසාගේ මරණය පවා සිය උජාරුව පෙන්වීමට යොදා ගත් විජේවීරගේ ගෝල බාලයන් සනත් නිසාන්තගේ මිනිය සිය දේශපාලන වාසියට යොදා ගැනීම ගැන පුදුම විය යුතු නැත. ජවිපෙ මාලිමාව වුණාට තවමත් විජේවීරගේ යල් පැන ගිය ක්‍රම වේදයෙන් පිට නව චින්තනයක් ගැන අනුර කුමාරලා තුළ විශ්වාස නැත. එසේම ප්‍රමාණික බුද්ධිමතෙකු ලෙස රට දන්නා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මා මිත්‍ර අමරකීර්ති ලියනගේ, සනත් නිසාන්තගේ අභාවය ගැන තැබූ සටහනද මාලිමාව අනුගත විජේවීර චින්තනයට බෙහෙවින් සමීප වේ.
88-89 භිෂණයට ගොදුරු වූ බොහෝ අයගේ දේහයන්ට දුකට පත් නෑ මිතුරන්ට නිසි බුහුමන් දැක්වීමට ඉඩ නො දුන් විජේවීරගේ පෙරළිකාර නියෝග අදටත් අනුර කුමාර දිසානායකලා තම දේශපාලන වාසියට අනුගමනය කරන බවට මියගිය සනත් නිසාන්තට දුන් තක්සේරුවෙන් පැහැදිලි වේ. මරණය මගුල පවා දේශපාලනයට පටලවා ගත් ජවිපෙ ක්‍රියාධරයන් තමන්ට එකඟ නැති කිසිවෙකුට සමාව නොදීම යනු මාලිමාව බලයට පත් දවසක රටට හිමිවන ඉරණම ගැන සහතිකයකි.
රට ගොඩ ගන්නා ක්‍රමය ගැන ඇසූ විට මාලිමා නායකයන් ආඩම්බරයෙන් දෙන උත්තරය අපි ඇවිත් කරලා පෙන්වන්නම් කියාය. දීමනා කපා නාස්තිය අඩු කිරීමට මාලිමා පාලනයක් පියවර ගනිද්දී ඊට එරෙහි මතු විය හැකි අරගල විරෝධාතා ගැන විමසූ අවස්ථාවක හරිනි අමරසූරිය කීවේ අපේ අයට විනයක් ඇති නිසා අරගල නො කරන බවය. හරිනිලා කියන අපේ අය වසර තිස් අට වසරක් පුරා මුළු රටෙන්ම සියයට තුනකි. හෙවත් අනුර වටා වර්තමානයේ රොක්වී සිටින බව කියන හැට ලක්ෂයෙන් සියයට හයකි. එයින් බහුතරයක් කියන්නේ අපි මාලිමා නොවේ. ඒත් දීලා බලනවා කියාය. මාලිමාවට දිලා බලන කිසිවෙකු හරිනි කියන විනය රෙගුලාසි වලට අනුගත නැත. කැමැත්ත දිලා බලන්න නැමති අයය. පීඩනය නිසා ඇතිවන අරගල වලට මුහුණ දෙන හැටි අනුරලා රටට හෙළි කළ යුතුවේ.
නැවත ලිපියේ ප්‍රස්තුතයට යයි නම්.... තව එක් වහලෙකු රාජපක්ෂලාට නැති වුණා යයි මාලිමා ෆේස්බුක් ක්‍රියාකාරියෙකුගේ සටහන ඊට එක් නිදසුනකි. වහලුන් හෝ ජීවිත පරිත්‍යාගයෙන් රාජපක්ෂලා අතහැර නොයන අනුගාමිකයන් නිර්මාණය වුණේ සුනාමි මුදල් කොල්ල කෑ නඩුවක විත්තිකාරයෙකුවූ මහින්ද රාජපක්ෂ ඇති කරගත් ආකර්ශනය නිසාය. එකී නඩුව විභාග වන අතර 2005 ජනාධිපති මැතිවරණායේ වමේ අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමේ පටන් ජයග්‍රහණය තෙක් ඔහුව ඔසවා ගෙන ගොස් ආරක්ෂා කොට ජයග්‍රහණය තෙක් දේශපාලනිකව රැක බලා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ අර්ථයෙන් සනත් නිසාන්තලාගේ තක්කඩි දේශපාලනයට පාර කපන ලද්දේ අනුර කුමාරලාම විසිනි.
එසේ මහින්දලාට මෙන්ම සනත් නිසාන්තලාටත් අවකාශය නිර්මාණය කළ අනුර කුමාරලා ලාල් කාන්තලා රටේ දේශපාලන සදාචාරයට කළ විනාසය, සනත් නිසාන්ත කළ විනාසයට අඩුද වැඩිද යන්න ජනතාව තීරණය කළ යුතුවේ. සනත් නිසාන්ත වැලි ජාවාරමට බාධා කළ නිලධාරින්ට පහර දෙනු දැක දැක මනාප හැට හැත්තෑ ගණන් ලබා දෙමින් අඛණ්ඩව ඔහුව තෝරා පත් කර එවූ පුත්තලම් වාසින්ට සමගාමීව, මියගිය සනත් නිසාන්තට අපහාස කිරීමට එරෙහිව පෙනී සිටි පුද්ගලයන්ට මාලිමා අනුගාමිකයන් එල්ල කරන තර්ජන ගර්ජන වලින් අප තේරුම් ගත යුත්තේ මාලිමාව යනු සනත් නිසාන්තලා පවත්වා ගෙන ගිය රාජපක්ෂ පන්නයේ තක්කඩි දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින තවත් ඡන්ද සලකුණක් හෙවත් මර උගුලක් පමණක් බවය. එය හරියටම සීනුව වෙනුවට මාලිමාව තෝරා ගත්තා වාගේය.
මෙහිදී ජනප්‍රිය මාතෘකාවක් වන ජන වරමක් නැති රනිල් සහ මනාප අසූ දහස් ගණනක් ලබා ගත් සනත් නිසාන්ත එක පෙළට තැබූ විට ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? අනුර කුමාරලා රනිල්ගෙන් සනත් නිසාන්ත වෙන් කර දක්වන්නේ කෙසේද? බිත්තරයක් රුපියල් 12ට, පැට්‍රල් ලීටරය රුපියල් 117ට, ඩීසල් ලීටරය රුපියල් 105ට, ගෑස් සිලින්ඩය රුපියල් 1250ට අලෙවි වීම රනිල්ගෙන් ගෝඨාභය රට භාර ගත් දවසේත් පැවති ආර්ථිකය බිඳ වැටීමෙන් ඇතිවූ අර්බුදයට පිළියමක් ලෙස ගෝඨා ලබා ගත් ජන වරම නැවත රනිල්ට රට භාරදීම යනු ජනප්‍රිය දේශපාලනය ප්‍රතික්ෂේප වීමකි. හෙවත් රටේ ජනතාවට නැති කැවුම් ලබාදීමට ජනප්‍රිය සටන් පාඨ වලට නොහැකි බව තහවුරු වීමකි.
ආර්.ප්‍රේමදාස ඝාතනයනේ වසරකට පසුව එළඹි මැයි දිනයේ බල්ලා මැරිලා අවුරුද්දයි. බලු කූඩුව පුල් සුද්ධයි යනුවෙන් මහ පාරට පැන යටි ගිරියෙන් කෑ ගැසුවේ ජනසවි ලාභීන්ය. 1970 මහා ජයග්‍රහණයට පසුව දඹුල්ලේ ගමක ජයග්‍රාහී ආධාර කරුවන් මැතිවරණ ජයග්‍රහණය භුක්ති වින්දේ ප්‍රේමදාස සංකල්පයක්වූ ගමේ පූට්ටු පාළම කඩා දැමීමෙනි. මේ සිද්ධින් දෙකම ප්‍රේමදාස විරෝධය නොවේ. මිනිසුන් තුළ අනපේක්ෂිත බලාපොරොත්තු ඇති කර රටක් අතරමං කිරීමකි.
ප්‍රේමදාසගේ මරණය අසා රතිඤ්ඤා පත්තු කර කිරි බත් කෑම ගැන කතා කළ අවස්ථාවක ගාමිණි දිසානායක කීවේ මිනිසෙකුගේ මරණයක් අසා තවත් මිනිසෙකුට අනේ අපොයි කීමට මළ මිනිසා කාගේ කවුද යන්න අවශ්‍ය නොවන බවය. ඒ ප්‍රකාශයෙහි කරුණු රාශියකි. පළමුවැන්න මිනිසෙකුගේ මරණයක් ගැන තවත් මිනිසෙකුගේ කම්පාව යුතුකමක් වගකීමක් නොව ආත්ම ගත මිනිස්කම විසින් ඇති කරන්නක් බවය. ඒ මිනිස්කම හැඟීම නිර්ව්‍යාජව ඉබේ ඇති වන්නකි. එය හරියටම රිදුණ විට ඌයි කියැවෙනවා වාගේය. ඒ අනුව ප්‍රේමදාසගේ හෝ සනත් නිසාන්තගේ ඛේදවාචකය මරණයක් ලෙස නො දැනුණේ අමනුස්සකම නිසා බවට අමුතු අටුවා ටීකා අවශ්‍ය නැත.
නිසාන්තගේ හදිසි මරණය අසා කාලකන්නි සතුට පළ කළ ප්‍රකාශ ගැන නො සතුටුවූ මගේ ප්‍රතිචාර කියැවූ කෙනෙකු ලියා තිබුණේ තමුසෙටත් එහෙම තමයි කියාය. එහි ඇත්තේ තම මතයට අවනත නො වන්නන්ට කෙරෙන බරපතල තර්ජනයකි. අවනත වීම හෝ නිහඬවීම හැර වෙන කිසිවක් නොවේය යන පණිවිඩය මිනිස් ශිෂ්ඨාචාරයට වලංගු නැත. එයින් නිරූපනය වන ම්ලේචඡත්වය එරෙහි විරෝධය මානව ඉතිහාසයේම කොටසකි. වහල් භාවය ලෝකයම පිළිකුලෙන් බැහැර කර ඇත.
මුසෝලිනී මරා මිනිය පාරේ එල්ලා මිනිසුන් කෙළ ගැසීම තවත් එවැනි අවස්ථාවකි. විජය කුමාරතුංගලා, ප්‍රේමකිර්තිලා, සාගරිකා ගෝමස්ලා මරා දැමුවේ ඔවුන් ප්‍රිය කළ රසිකයන් බිය ගැන්වීමටය. ඒ සියල්ල විසිවෙනි සියවසට මිස විසි එක්වෙනි සියවසට අයත් නොවේ.
පියා අහිමි වූ සනත් නිසාන්තගේ කුඩා දරුවන්ද බිය ගැන්වීමට අනුර කුමාරලා ඒ ම්ලේච්ඡත්වය යොදා ගනිති. මෙහිදී සිහිපත් වන්නේ මව් ඇකයේ කිරි බිබී උන් දරුවන් උදුරා උඩ දමා කඩු මුනත දික් කළ ඉතිහාස කතාවන්ය. ඒ අතීත භීෂණ ඇති කළේ දේශයක් අල්ලා ගැනීමට මිස දේශයක ජනතාව දිනා ගැනීමට නොවේ. අපි බලය ගන්නවා යනුවෙන් අනුර කුමාර කරන ප්‍රකාශයත් එයම නොවේද?
සනත් නිශාන්තගේ බිරියගේ ඇසින් වැගිරෙන කඳුළු ඇයගේ කුඩා පුතු විසින් පිස දැමීම මාධ්‍ය හරහා ලෝකයම බලා සිටියාට සැක නැත. ඒ දරුවාගේ හැසිරීම සමහර විට තම අම්මාගේ කඳුළු දැකීමට ඇති අකමැත්ත හෝ නො හැකියාව විය හැකිය. මට දැනෙන්නේ මියගිය තම ආදරණීය පියාට සාප කරන සමාජයට ඒ නොදරුවා නිහඬව නිකුත් කරන, අපි ශක්තිමත්ය යන අනාගත පරම්පරාවේ ඍජු පණිවිඩය විය හැකිය. රටක් යනු සම්මතයකි.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.