මේ දින වල ලොකුම ප්‍රශ්නය ක්‍රිකට්ය. එයද වැසිකිලි වළක් කඩා ගත්තා වගේ තත්වයක් බවට පත්ව අයවැය ගැන කතන්දරද ක්‍රිකට් වසුරු ගොඩට යටවී ඇත. ඒ කොහොම වුණත් වැසිකිලි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ නොවැදගත් ප්‍රශ්නයක් ලෙස හැමදාම තිබිණි. කොටින්ම ඒ සනීපාරක්ෂිත වැසිකිලි පාවිච්චිය මේ රටේ පුරුද්දක් නොවුණු නිසාය. බැඩවැටියට, වැව් තාවුල්ලට හෝ වැල්ලට ගිහින් වැඩේ කරගෙන ඒම තිබුණු පුරුද්දය. අනුරාධපුර යුගයේ කැටයම් දාපු වැසිකිලි ගැන පුරාජේරු කතා තිබුණද ඒවා අඩුම තරමින් මේ රටේ සාමාන්‍ය මහජනතාව පාවිච්චි කළා තබා ඒවා පසුකාලීනව නටබුන් ලෙස දකිනකම්ම දැක තිබුණු ඒවාත් නොවේ. යම් රජ්ජුරුවන් වහන්සේ කෙනෙකුගේ පාවිච්චියට බොහෝ විට විදේශ ශිල්පීන් ලවා නිර්මාණය කරගත් ඒවා විය හැකිය. හෙළ ශිල්පීන් වැසිකිලි හැදුවා නම් එහෙම සනීපාරක්ෂක සංස්කෘතියක් මේ රටේ තිබිය යුතු විය.
ඒ කොහොම නමුත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සාමාජික ඩබ්ලිව්.ඩී.රොෂාන් කුමාර පසුගියදා පෙන්වා දෙනු ලැබුවේ ‘සනීපාරක්ෂක වැසිකිළියක්’ ඇත්තේ රටේ නිවාස 20කින් එකකට පමණක් බව, එම සංගමය විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වුණ බවය. එමෙන්ම මෙය විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අපද්‍රව්‍ය මගින් රෝග පැතිරීමට හා භූගත ජලය දූෂණය වීමට දායකවී ඇති බවද පවසයි.
එමෙන්ම පාසල් වල සනීපාරක්ෂක පහසුකම් වල තත්වය ඉතා ශෝචනීයය. ඒවා රෝග වාහක උපදවන දරුවන්ට ඉතා අනාරක්ෂිත ස්ථානයන්ය. මේ අතර නොවැම්බර් 15 බදාදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අනතුරු ඇඟවූයේ දිවයින පුරා පිහිටි පාසල් ගොඩනැගිලි 74ක් සිසුන්ට 'අනාරක්ෂිත' බවට සොයාගෙන ඇති බවයි. කොළඹ වැල්ලම්පිටිය තදාසන්න ප්‍රදේශයේ පාසලක 15 බදාදා තාප්පයක් කඩා වැටීමෙන් 6 හැවිරිදි දැරියක් මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ සිද්ධියේ දී මෙන් සනීපාරක්ෂාව නොමැතිකම මේ මොහොතේ ඇති බරපතල ගැටළුවකි.
මේ අනුව ශ්‍රී ලංකාවේ මෑත වසරවල අඩු ආදායම්ලාභී ජනතාවට වැසිකිලි ඉදිකිරීම සඳහා රජයේත් ජාත්‍යන්තර සංවිධාන වලත් ආධාර වැඩසටහන් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වුවද නිවාස 20 කට තවමත් හරිහමන් වැසිකිලි ඇත්තේ 1ක් නම් මෙතුවක් කල් පාරම්බාන සංස්කෘතිය හෝ අභිමානය තිබුණේ පශ්චාත් බාගයේද කියා ඇසුවාට වැරදි නැත. නමුත් ලෝකය ගැන කතාකරද්දීත් මීට නොදෙවෙනිම නැත. මෑත වසරවලදී ලොව පුරා ඇති වූවා යැයි කියන සංවර්ධනයේ ප්‍රගතිය තවදුරටත් විශ්වාස කළ නොහැකි බොරුවක් වන්නේ බිලියන 4.2 ක පමණ ජනතාවකට තවමත් ආරක්ෂිතව කළමනාකරණය කළ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය නොමැති වීම තුළය. මේ ගනන් හිලව් එක්සත් ජාතින්ගේය.
එක්සත් ජාතින්ගේ මෙවර ලෝක සනීපාරක්‍ෂක දිනයේ තේමාව වන්නේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම, අභිමානය සහතික කිරීම සහ ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා මෙම පහසුකම්වල සහජ වටිනාකම අවධාරණය කරමින් 'සනීපාරක්ෂාව අගය කිරීම' යන්නයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පවසන්නේ ශ්‍රී ලංකාවේ තත්වය දකුණු ආසියාවේ නරකම තත්වයත් නොවන බවය. නමුත් සමහර රටේ ඇතැම් ප්‍රදේශවල ජනගහනයෙන් සියයට 90කට තරම් මෙම සනීපාරක්ෂක සේවාවන් සඳහා ප්‍රවේශය නොමැති බවත් හඳුනාගෙන ඇත.
swj