ජනාධිපතිවරයා මුහුණ දී තිබෙන ගැටළුව නම් සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු ආණ්ඩුවක් නිර්මාණය කිරීමට විපක්ෂයේ පක්ෂ වල සහය නොලැබීම මත වඩාත් ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමට ඇති දුෂ්කරතාවයය. ජනාධිපතිවරයා සමඟ බහුතර කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ සිටියද ඔහුගේ අපේක්ෂාව වූයේ සර්ව පාක්ෂික සාමුහිකත්වයක් තුළින් හොඳම දේ බිහිකර ගැනීමටය.
ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සහ කළේ සර්ව පාක්ෂික එකඟතාවයක් සකසා ගෙන ඒ ඒ පාර්ශ්ව වල වුවමණාවන් බල ගැන්වෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඒ සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් යුතු ව බිහිකර ගැනීමටය. ඊට කඩ සලසා දුන්නද පටු දේශපාලන අභිමතාර්ථයන් නිසා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබය, ශ්‍රී ලනිපය, දෙමල ජාතික සන්ධානය, ජාජබ පක්ෂ සහ ස්වාධීනව සිටිනවාය කියන අනෙක් කණ්ඩායම් ඒ නොපිළිගෙන කටයුතු කරන්නට තීරණය කර තිබේ. නමුත් එම පක්ෂ සහ කණ්ඩායම් වල සිටි යම් පිරිසක් ජනාධිපතිවරයාගේ ඇරයුම පිළිගෙන ද තිබේ.
මේ තත්වයන් හමුවේ බහු පාර්ශ්වීය එකඟතාවයකින් යුතු ආණ්ඩුවක් බිහිකර ගැනීමට සිදුව තිබේ.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා සාර්ථක කර ගැනීමත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ එකඟතාවයන් අනුව කටයුතු කිරීමට රට තුළ ප්‍රබල දේශපාලන ස්ථාවරත්වයක් පවත්වගෙන යෑම අනිවාර්ය තත්වයක් වී ඇත.
එසේ සිදු නොවන්නට මෙම ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීම දුෂ්කර වෙනු ඇත. ජාත්‍යන්තර සහය මේ මොහොතේ වැදගත් වන්නේ රට මුහුණ දී තිබෙන ආර්ථික සහ සාමාජීය අර්බුදයන්ගෙන් ගලවා ගැනීමට සහ රටේ ආර්ථිකය ස්ථාවර කරගත් වැඩ පිළිවෙලක් සමඟ අනාගතයට මුහුණ දීම වෙනුවෙනි. බංකොලොත් වූ රටකට යළි ගොඩ ඒමට වෙනත් විකල්ප නැත. සර්ව පාක්ෂික පාලනයකට එරෙහිව සිටින පක්ෂ කිසිවක් හෝ මේ වන තුරුත් රට මේ අර්බුදයයන්ගෙන් මුදවාගැනීමට යනුවෙන් වෙනත් කිසිදු විසඳුමක් යෝජනා කරද නැත.
සර්ව පාක්ෂික එකඟතාවයකට නොපැමිණෙන පාර්ශ්ව විසින් මේ මොහොතේ සිදු කරන්නේ තවදුරටත් ජනාධිපතිවරයාගේ පාලනය පවත්වාගෙන යෑමට ඉඩ නොදී, රජය දුර්වල කර, ජනතාව තවතවත් පීඩාවට පත් කර, ආණ්ඩු පෙරළියකට වටපිටාව සකසා ගැනීමය. ඒ අනුව මහ මැතිවරණයක් ලබා ගනිමින් තමන්ගේ මන්ත්‍රී ආසන ප්‍රමාණය වැඩි කරගැනීමේ පටු අපේක්ෂාව පමණක් ඔවුන්ට තිබේ.
මහ පැතිවරණයකින් පසුව ස්ථාවර ආණ්ඩුවක් බිහිවනු ඇතැයි කිසිසේත්ම කිව නොහැක. පවතින වතාවරණය අනුව කිසිදු කණ්ඩායමකට බහුතර බලයක් ලැබේ යැයි උපකල්පනයකට පැමිණිය නොහැක. මේ අනුව සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ රට විශාල ආගාධයකට තල්ලු වීම පමණය.
මේ ජනතා ද්‍රෝහී පටු අවස්ථාවාදී දේශපාලනය පරාජය කර, ජනතාව මුහුණ දෙන පීඩාවන් අවම කර, රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත හැකි ප්‍රශස්තම පියවර දැන් ජනාධිපතිවරයා ගෙන තිබේ. පැවැති ඇමැති වරප්‍රසාද කප්පාදු කරමින් හැකිතාක් රජයට බරක් නොවන ලෙස ඇමැතිවරු පත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
කොහොම නමුත් රටේ අභිප්‍රාය දිනවීම වෙනුවෙන්, කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි නිවැරදි දේ සිදු කිරීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ. කොහොම නමුත් ඔහුගේ අවංක කැපවීම රට වෙනුවෙන් බව දැන් පැහැදිලිය.
ඇමැති මණ්ඩලයේ විශාලත්වය පෙන්වමින් ජනාධිපතිවරයාව විවේචනය කරන පාර්ශ්ව සියල්ලම මේ මොහොතේ කරමින් සිටින්නේ රටට ජනතාවට කරන බරපතල ද්‍රෝහී කමකි. විශාල ඇමැති මණ්ඩලයක් පත් කිරීමට සිදුව තිබෙන්නෙ මේ අයගේ බල ලෝභී දේශපාලනය නිසාය. ඊට වගකිව යුත්තේ මෙම මජර විපක්ෂය මිසක ජනාධිපතිවරයා නොවේ.
පක්ෂ ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ වී සර්වපාක්ෂික වැඩ පිළිවෙලකට එකඟ කටයුතු කළා නම් කුඩා අමැති මණ්ඩලයක් සහිතව, හොඳම තින්දු තීරණ සහිතව, රට වැසියා බලාපොරොත්තු වන ආකාරයේ ජයග්‍රහණ පහසුවෙන්, කඩිනමින් රට ගෙනත් දිය හැකිව තිබිණි.
එහෙත් මේ මජර විපක්ෂයට ඊට වඩා වැදගත් වූයේ තමන්ගේ බල පෙරේත කමය. තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමය. රටට හෙණ ගහලා ගියත් ඔවුන්ට කමක් නැත.
සිස්ටම් ඡේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා නම් මේ ජරා ජීර්ණ දේශපාලනයෙන් රට මුදවා ගැනීමත් අද අනිවාර්ය තත්වයකි. තවත් මේ අය සමඟ මේ රට සංවර්ධනය කර ගත හැකි යයි කවුරු හෝ කල්පනා කරනවා නම් ඒ ලෝක විකාරයකි. ඒ වගේම මේ අය බලයට පත් වූවත් කරන්නේ සුපුරුදු බල ලෝබී සාහසික දේශපාලනය මිස වෙනකක් නොවේ. ඔවුන් දන්නේ එපමණක්ම බවත් දැන් පැහැදිලිව පෙන්වමින් ද තිබේ.