බදු වැඩි කළා කිව්වට තවම යහපාලන කාලේ ගහපු ගැහිල්ල ගහලා නෑ.  

Monday, 05 September 2022 11:49

පවතින ආර්ථික අර්බුදය, ලොකු කුඩා සැමටත් දුප්පත් හා පොහොසත් අයටත් පොදුවේ සහ වෙන වෙනමත් අහිතකර ප්‍රතිවිපාක ගෙන එන්නකි. බොහෝ කාලයක් පැවති, සාර්ව ආර්ථික දර්ශකවල අහිතකර ඇඟවීම් නිවැරැදිව කියවා නොගැනීමත්, එදා වේල බේරා ගැනීම මිස, ස්ථිරසාර කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති කිසිවක් නො වීමත් ආර්ථිකයේ පවතින උපන්ගෙයි දෝසයෝ ය.

මේ පසුබිම තුළ කල්පවත්නා ආර්ථික ප්‍රතිපත්ති උදෙසා පදනමක් සැපයීමට අවශ්‍ය මූලික වැඩ කටයතු වෙනුවෙන් ගෙන එන ලද අතුරු අය වැය ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය ආදායම් වර්ධනය සඳහා එමගින් කළ යෝජනා සහ එයට පූර්වගාමීව කළ බදු සංශෝධන බදු ගෙවන්නන්ට සැබවින්ම පීඩනයක් එක් කළේ ද යන්නත් විමසා බැලීම මේ සටහනේ අරමුණයි.

දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව, 2021 සියයට 8.2ක් දක්වා අඩු වූ රාජ්‍ය ආදායම 2025 දී සියයට 15ක් දක්වා වැඩිකර ගැනීම අතුරු අය වැයේ එක් ප්‍රමුඛ ඉලක්කයකි. පසුගිය කාලයේ රාජ්‍ය ආදායමට සාපේක්ෂව රාජ්‍ය වියදම අධික වීමෙන් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට දරන පුනරාවර්තන වියදම හෝ පියවා ගැනීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීය.

එහෙත් ඉදිරිපත් කළ අතුරු අය වැය මගින් 2025 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2 ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් බිහිකර ගැනීමට යෝජනා කර තිබේ. එමගින් රාජ්‍ය ණය ගැනීම් අවම කර 2025 දී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 100 වඩා රාජ්‍ය ණය පහළ මට්ටමකට ගෙන ඒම ඉලක්කය වේ.

ඉහත තත්ත්වය හමුවේ, ක්ෂණිකව ගත හැකි කෙටි කාලීන උපාය මාර්ගයක් වන්නේ, බදු ආදායම වැඩි කිරීමය. ආදායම් බදු, එකතු කළ අගය මත බදු, විදුලි සංදේශ බදු සහ ඔට්ටු හා සූදු බදු සඳහා පසුගිය මැයි මාසයේ සිට ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබේ. ඒ අතරින් සමහරක් දැනටමත් ක්‍රියාත්මක වන අතර තවත් සමහරක් ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

යෝජිත නව බදු වෙනස් කිරීම් මගින් ඍජු සහ වක්‍ර බදු යන දෙඅංශයේම සංශෝධන සිදුකර තිබේ. පවතින බදු පදනම පුළුල් කිරීමටත් බදු පැහැර හැරීම් පාලනයත් උදෙසා ඉතා වැදගත් යෝජනාවක් අතුරු අය වැයෙන් ඉදිරිපත් කර තිබේ. දැනට පවතින අවශ්‍යතා අනුව සෑම තැනැත්තෙක්ම බදු සඳහා ලියාපදිංචි වීමක් සිදු නොවේ.

එහෙත් නව යෝජනාව අනුව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18ට වැඩි සියලු වාසික පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. ඉන්පසු අදාළ බදු ගෙවිය යුතු ආදායම් උපයා ගන්නා අවස්ථාවේ සිට වගකීමකින් එහා ගිය, රට වෙනුවෙන් ඉටුකරන යුතුකමක් ලෙස සිතා බදු ගෙවීමට ජනතාව යොමුවන්නේ නම් ජාතියක් ලෙස ඉදිරි පියවරක් තැබීමට එය උපකාරි වන බව නොඅනුමානය.

මෙයට අමතරව පසුගිය දා යෝජනා කළ ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන පුද්ගල ආදායම් බදු සංශෝධන මගින්, පැවති බදු පදනම පුළුල් කර තිබේ. එහෙත්, එය බදු ගෙවන්නාට දැඩි පීඩනයක් ඇති නොකරයි. උදාහරණයක් ලෙස 2018-2019 තක්සේරු වර්ෂයේ රුපියල් ලක්ෂ 30 ශුද්ධ ලාබයක් උපයාගත් ව්‍යාපාරිකයකු ගැන සලකමු.

එම ලාබයෙන්, ලක්ෂ 5ක් බද්දෙන් නිදහස් විය. ඉතිරි ලක්ෂ 25 සඳහා සියයට 4, සියයට 8, සියයට 12, සියයට 16 සහ සියයට 20 යන අනුපාත යටතේ රුපියල් 260,000 ක ආදායම් බද්දක් ගෙවන ලදී. එය ව්‍යාපාරිකයාගේ ශුද්ධ ලාබයෙන් දළ වශයෙන් සියයට 9කි. මේ බදු ගෙවන්නාගේ ශුද්ධ ලාබය 2020-2021 තක්සේරු වර්ෂයේ ද රුපියල් ලක්ෂ 30ක් වූයේ නම්, කිසිදු බද්දක් ගෙවිය යුතු නොවේ.

එයට බලපෑවේ, 2019 අගභාගයේ කළ බදු සංශෝධනයෙන්, රුපියල් ලක්ෂ 30 ක් ආදායම් බද්දෙන් නිදහස් කිරීමය. එමගින් ව්‍යාපාරිකයාට රුපියල් 260,000 ඉතිරියක් ද රජයට එම ප්‍රමාණයේ පාඩුවක් ද ඇති විය.

එළැඹෙන ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන සංශෝධන අනුව, ලක්ෂ 30 ක ශුද්ධ ලාබයක් උපයාගත් තැනැත්තෙක්ට ලක්ෂ 18ක බදු නිදහසක් හිමිවේ. ඉතිරි ලක්ෂ 12 සඳහා පමණක් සියයට 4 අනුපාතයෙන් රුපියල් 48,000 ක බද්දක් වර්ෂයකට ගෙවිය යුතුය. මෙය ශුද්ධ ලාබයට සාපේක්ෂව සියයට 1.6 ක ප්‍රතිශතයකි. එය ද සිව් වාරිකයකින් ගෙවිය හැකිය. මේ අනුව වර්තමාන සංශෝධනයෙන් පසු, ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා මහා බදු බරක් පටවා නොමැති බව පැහැදිලි වේ.

කෙසේ වෙතත් ඉහළම ආදායම් ලබන තනි පුද්ගලයන්ට වැඩි බදු වගකීමක් පැවරී තිබේ. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂ 200ක ශුද්ධ ලාබ සහ ආදායම් උපයන පුද්ගලයෙක්, 2018-2019 තක්සේරු වර්ෂයේ ආදායමෙන් සියයට 22 ක ප්‍රතිශතයකින් බදු ගෙවන ලදී. එය 2020-2021 සියයට 13 ක් දක්වා අඩු විය.

මෑතක දී කළ සංශෝධන හේතුවෙන් නැවත 2023-2024 දී ආදායමෙන් සියයට 22ක බද්දක් ගෙවිය යුතුය. ඉහළම ආදායම් උපයන්නන් ගෙවිය යුතු බදු වැඩි වීම, දිළින්දන් පවා ගෙවන වක්‍ර බදු පීඩනය අවම කිරීමට උපකාරී වේ. එය රටට වාසිදායක වේ.

ආදායම් බදු කාණ්ඩයටම අයත් සමාගම් ආදායම් බදු අනුපාත ද සංශෝධනය කර තිබේ. 2019 සංශෝධනවලට පෙර තක්සේරු වර්ෂයක ශුද්ධ ලාබයෙන් සියයට 28 ක් බදු ගෙවන ලදී. පසුව සියයට 24 ක් දක්වා අඩු වූ එය, යෝජිත වෙනස්කම් මත ඉදිරියේ දී සියයට 30 ක් දක්වා වැඩි වේ. එය ද 2010-2011 තක්සේරු වර්ෂයේ පැවති සියයට 35 හා සසඳන විට තවදුරටත් අඩු අනුපාතයකි.

තවද සමාගම් ලාබ උපයා ගැනීමට කළ සියලුම වියදම් අඩු කළ පසු ශුද්ධ ලාබයෙන් අය කරන මේ බද්ද, ජාතියක උන්නතියට ගෙවන්නක් බැවින් එයට අනුකූලතාව දැක්වීම වගකිවයුතු බහුතර සමාගම් සිදුකරනු ඇතැයි අපේක්ෂිතය.

සහන අවශ්‍ය ක්‍රියාකාරකම්වල නිරත වන සමාගම් සඳහා නිරතුරු සහන අනුපාත ක්‍රියාත්මක වේ. එලෙස ඉඩදුන්, සහන අනුපාතය ද සියයට 14 සිට සියයට 15 ක් දක්වා කුඩා ප්‍රතිශතක වැඩි කිරීමක් පමණක් සිදුකර තිබේ. මෙය ගෝලීයව ක්‍රියාත්මක අවම ආදායම් බදු අනුපාත සමග, මෙරට සමාගම් බදු අනුපාත අනුකූල කිරීමට ගත් උත්සාහයකි. එම නිසා නව බදු සංශෝධන මගින් සමාගම් සඳහා ද ලොකු පීඩනයක් ඇති කර නොමැත.

මෑතක දී කළ සංශෝධනයේ දී රඳවා ගැනීමේ බදු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබේ. ප්‍රමුඛතම රඳවා ගැනීමේ බද්දක් වන උපයන විට ගෙවීමේ බද්ද යළි බලාත්මක කරනු ලැබීය. ඉහත හඳුනාගත් තනි පුද්ගලයන්ට අදාළ වූ තත්ත්වයම මේ තැනැත්තන්ට ද අදාළ වේ. ඒ අනුව සේවා නියුක්තිකයන් මේ සංශෝධනයෙන් පසුව ද ගෙවිය යුතු බදු ප්‍රමාණය, 2018-2019 තක්සේරු වර්ෂයේ ගෙවන ලද බදු ප්‍රමාණයට වඩා අඩු වේ.

මෙයට අතිරේකව පොලී මත සියයට 5 ක්, ලාභාංශ මත සියයට 14 ක්, රුපියල් ලක්ෂය ඉක්මවන කුලී සඳහා සියයට 10 ක් සහ වෙනත් ඕනෑම අවස්ථාවක ගෙවීම් මත සියයට 14 ක් පරිදි, රඳවා ගැනීමේ බදු අය කරනු ලැබේ. මේ බද්ද පැනවීමෙන් බදු පැහැර හරින්නන්ගේ තොරතුරු ලබා ගැනීමටත්, යම් බදු මුදලක් කලින්ම රජයට උපයා ගැනීමටත් හැකි වීම වාසියකි. පොලී සහ ලාභාංශ මත රඳවා ගන්නා බදු පමණක් අවසානාත්මක බදු වේ. අනෙකුත් රඳවා ගැනීමේ බදු ඉදිරියේ දී ගෙවිය යුතු බදු සඳහා හිලව් කිරීමේ හැකියාව පවතී.

අතුරු අය වැයට සමගාමීව ක්‍රියාත්මක වන මෑත දී කළ සංශෝධන මගින් එකතු කළ අගය මත බදු පදනම පුළුල් කර තිබේ. ඒ අනුව 2019 අගභාගයේ කළ සංශෝධනයෙන් කාර්තුවකට මිලියන 3 ක සිට මිලියන 75 ක් දක්වා වැඩි කළ බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 30ක් දක්වා අඩු කිරීම කැපී පෙනේ.

එයට අමතරව, පැවති සියයට 8ක බදු අනුපාතය සියයට 12 ක් දක්වා වැඩි කර තිබේ. පසුව අතුරු අය වැය මගින් බදු අනුපාතය සියයට 15 ක් දක්වා වැඩි කර තිබෙන අතර එය සැප්තැම්බර් 01 සිට බලාත්මක වේ. මෙය 2019 සංශෝධනවලට පෙර පැවති සියයට 15 අනුපාතයට නැවත ගෙන ඒමකි. එම නිසා එකතු කළ අගය මත බදු සඳහා කළ සංශෝධනයෙන් පාරිභෝගිකයන්ට විශාල පීඩනයක් ඇති කර නොමැත.

භාණ්ඩ හා සේවා මත වැට් බදු පතිත වන බැවින්, මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව අවිවාදිතය. එහෙත් අනවශ්‍ය පරිභෝජන පාලනය, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට සහ රජයට ආදායම් උපයා ගැනීමටත් මේ බද්ද උපයෝගී කර ගනී.

කවුරු කෙසේ කීවද, බදු අය කිරීමකින් තොරව ලොව කිසිදු රජයකට පැවතිය නොහැක. එහිදී අඩු ආදායම්ලාභීන්ට අහිතකර විය හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ වක්‍ර බදුවලින් නිදහස් කිරීම හෝ අඩු අනුපාත හඳුන්වා දීම කළ හැකිය.

බදු අය කිරීම් විවේචනය කරන්නන්ගේ මූලික තර්කයක් වන්නේ, උද්ධමනාත්මක බලපෑමය. එහි සත්‍යතාවක් නැතිවා නොවේ. එහෙත් බදු අය කිරීමෙන් ඇති වන උද්ධමනයට වඩා ඉහළ උද්ධමනයක්, මහ බැංකුවෙන් ණය ගැනීමෙන් ඇති වේ. එය බදු අඩු කළ පසුගිය කාලයේ අත්දුටු සත්‍යයයි.

2015 ලංකාවේ පටු මුදල් සැපයුමේ වෙනස සියයට 16.8 කි. එය 2020 සියයට 36 කි. මේ තුළ අන්තර්ගත ප්‍රධාන දෑ වන්නේ නෝට්ටු හා කාසිය. මේ ව්‍යවහාර මුදල් ප්‍රසාරණයෙන් වූ උද්ධමනය සහ එහි අහිතකර ප්‍රතිවිපාක අමුතුවෙන් කිව යුතු නොවේ. අපි සැම මේ මොහොතේ ඒවා අත්විඳිමින් සිටිමු.

සමස්තයක් ලෙස ඉහළ යන රාජ්‍ය වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් නොමැති නම්, අය වැය හිඟය පියවීමට නිරතුරුව ණය ගැනීමට සිදුවේ. ණය මගින් රට පත්කළ අසරණ තත්ත්වය කොතෙක් ද යත්, ගත් ණය ගෙවිය නොහැකි බව ලොවටම හඬනගා කීමට සිදුවිය. එය රටේ අභිමානයට ද ගැටලුවකි. ජාතියක් ලෙස වැටී තිබෙන තැනින් ගොඩ ඒම හැර අන් විකල්ප නැත.

එබැවින් නරක අතරින් අඩු නරක තෝරා ගෙන සාධාරණ බදු මුදලක් ගෙවීමෙන් මේ අභියෝගාත්මක අවස්ථාවේ, රටට දායකත්වයක් ලබා දීම බදු ගෙවිය හැකි සෑම පුරවැසියකුගේම යුතුකමකි. ඒ සඳහා ගෙවන බදු, නාස්තියට, දූෂණයට, වංචාවට හසු නොවන බවට, ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම ද අත්‍යවශ්‍ය සාධකයක් බව සටහන් නොකරම බැරිය.

- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ.කේ. සනත් හෙට්ටිආරච්චි

ලංකාදීප

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us