මේ වන විට රටේ යම් ආර්ථික ක්‍රියාකාරිත්වයක් වේ නම් ඒ සියල්ල සිදුවන්නේ විදේශ ණය ආධාර මත පදනම්වය. රාජ්‍ය ආදායම් සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇත. රටේ නිශ්පාදන ක්‍රියාවලිය දිනෙන් දින අඩපණ වීම මත රාජ්‍ය ආදායම් ලැබෙමින් තිබූ මාර්ග පවා අවහිර වෙමින් තිබේ.
රාජ්‍ය ආදායම මුළුමනින්ම පාහේ බදු ආදායම් මත රැඳි පැවැතුණු අතර එම බදු ආදායම් හෝ මීට දෙතුන් වසරකට පෙර තිබූ තත්වයට වඩා විශාල ප්‍රමාණයකින් අඩු වී ඇත. ආදායම් ඉපැයූ රාජ්‍ය ආයතන වල ආදායම් අඩු වෙමින් ඒ පාඩු ලබන ආයතන බවට පත්වෙමින් තිබේ. දේශීය ආදායම් බදු ,රේගු, සුරා බදු වැනි වැඩිම බදු ආදායම් ප්‍රමාණයක් ගෙන දුන් ආයතන වල ආදායම් අඩු වීම බරපතල ලෙස රටේ ආර්ථිකයට බලපා තිබෙන බව මේ වන විට හෙළිවෙමින් තිබේ.
පෞද්ගලික අංශයේ ව්‍යාපාර එක දිගට කඩා වැටෙමින් පවති. බැංකු ආදී මුල්‍ය වෙළඳපොළට සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාරික ආයතන කිහිපයට ආර්ථික අර්බුද හමුවේ ලැබී තිබෙන අනියම් වාසිදායක තත්වයන් මත ලාබ ලබමින් පැවතීම හැර අනෙකුත් ක්ෂේත්‍ර වල ඇත්තෙ කඩා වැටීමකි. මේ නිසා ඉදිරියේදී තවදුරටත් දේශීය බදු ආදායම් විශාල වශයෙන් අහිමි වීමක් දකින්නට ලැබෙනු ඇත.
අරගලය දියාරුද ඒ හැටිද ?
රාජ්‍ය ආදායම් අහිමි වීම මත රාජ්‍ය පවත්වාගෙන යෑම සඳහා රුපියල් මුදල් මුද්‍රණය කිරීමට රජයට සිදු වේ. මුදල් මුද්‍රණය යනු තවත් රාජ්‍ය ණයකි. නිශ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධයන් නැතිව මුදල් උපදවීම නැතිනම් මැවීම නිසා ආර්ථිකයට සිදුවන් අතිශය නරක බලපෑම උද්ධමනය ලෙසින් මතු පිටට පැමිණෙන අතර එමඟින් සාමාන්‍ය ජන ජීවිතය පවත්වගෙන යෑමට සාමාන්‍ය බහුතර ජනතාවට ඉතා අසීරු වෙනු ඇත.
මේ වන විටත් ප්‍රකාශිතව ඇති තත්වයන් අනුව රටෙන් අඩකට වඩා තුන් වේල කෑමේ හැකියාව අහොසි වී ඇත.මන්දපෝෂණය වර්ධනය වෙමින් පවති. දරිද්‍රතාවයට පත් වෙමින් සිටින් පවුල් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. පහළ මධ්‍යම පංතිය නියෝජනය කළ පවුල් වැඩිවන ජීවන වියදම් හමුවේ අඩු ආදායම් ලාබීන් බවට පත් වෙමින් පවතී.
කුමක් හෝ වාසනාවකට හෝ අවාසනාවකට මෙරට පුරවැසියන් තිබෙන අවම තත්වයන්ට හුරු වීම සහජයෙන්ම සිදුවීම මත රාජ්‍ය පාලනයට එරෙහිව එල්ල වන විරෝධයන් ද අවම තත්වයක පවතින බවත් නිරීක්ෂණය වේ. ලෝකයෙ වෙනත් රටවල අත්දැකීම් අනුව නම් ජනතාව ස්වයං කැරලිකාරිත්වයකට පැමිණිමට හෝ මේ හේතු වුවමණාවටත් වැඩිය.
එසේ කීවේ මෙරට මිනිස්සු කැරළි, අරගල නොකරනවා කීම නොවේ. එහි පොළා පැනීම පසුගිය මැයි මාසයේදී උපරිමය පෙන්වා දී ඇති නමුත් එහි වර්ධනයක් නොමැති කමගැනය.ඒ කෙමෙන් දුරවල වීම ගැනය. මෙරට සංස්කෘතිය විසින් ඇති කරන බලපෑම හමුවේ බහුතර ජනතාව නිහඬව සියල්ල දරා ගන්නා තැනක ඇත.මේ දරා ගැනීම තුළ මෙරට මහ ලොකු අර්බුදයක තවමත් ඇතිව ඇති වගක් මතු පිටට නොපෙනේ.
උත්තර නැති ප්‍රශ්න
ඒ කොහොම නමුත් මේ කෙරෙහි බලපා ඇති අනෙක් කාරණය නම් පවතින අර්බුදයට විසඳුමක් කිසිවකු සතුව නොමැති බව ජනතාව වටහා ගෙන ඇති බවය. යම් ඉල්ලීමක් කළ හැක්කේ ඒ ඉටු කිරීමේ සාධාරණ හැකියාවක් තිබෙන බව පෙනෙන්නේ නම් පමණි. ඉබ්බන්ගෙන් පිහටු ඉල්ලා වැඩක් නැත, කියන්නා සේ ජනතාව මුහුණ දෙමින් තිබෙන ගැටළු හමුවේ කෙතරම් ඉල්ලිම කළද ඒ ලබා දීමේ හැකියාව සත්‍ය ලෙසම රජයට නොමැත.
තෙල් ගෑස් ආහාර බෙහෙත් පොහොර යනාදී සියල්ලෙ සැපයුම රැඳි ඇත්තේ මෙරට විදේශ විනිම සංචිත අනුවය. විදේශ සංචිත නොමැති වීම තුළ දිගින් දිගටම ඒ අවශ්‍යතාවයන් විදේශයන්ගෙන් ණයට ගැනීමට සිදුව තිබේ.
ආදායමක් නැති. නිශ්පාදන ක්‍රියාවලියක් සක්‍රීයව නැති, මතුවට හෝ ආදායම් උපයා ගැනීමේ හැකියාවක් හෝ පෙන්නුම් නොකරන කෙනෙකුට තව කෙනෙකුගෙන් ණයක් ගැනීමේ හැකියාවක් නැත. අද රට ඇත්තේ එතැනය.
අද ඉන්දියාවෙන්, චීනයෙන්, ඔස්ට්‍රෙලියාවෙන්, ජපානයෙන්, අමරිකාවෙන් හෝ යම් රටකින් දෙයක් ණයට ලැබෙමින් පවතින්නේ හරියට යාචකයකු කෙරෙහි අනුකම්පාවෙන් ලබාදෙන දෙයක් සේය. නමුත් ඒ පිනටත් නොවේ, ණයක් ලෙසය. ඒවා ද යම් දිනෙක ගෙවිය යුතුය. රට මෙතෙක් ලබා ගෙන ඇති ණය කන්දරාව ගෙවා ගැනීමට නොහැකිව සිටියදී තවත් ණයක රටකට ලැබෙන්නේ ඉතා සුළු හෝ විශ්වාසයක් රටේ පාලනය ගැන තිබේ නම් හෝ වෙනත් අනියම් වාසියක් හෝ ලැබේ නම් පමණි.
පාලකයන්ගෙන් උත්තර ඉල්ලීම
රාජ්‍ය පාලනයෙහි යම් ස්ථාවර බවක්, අනාගත සැලසුමක්, ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් සැලස්මක්, ඒ වෙනුවෙන් අවංක කැපවීමක් සහ අධිෂ්ඨානශිලී ක්‍රියාකාරිත්වයන් පෙන්නුම් නොකරන්නේ නම් ලැබෙන්න නියමිත අනුකම්පා ණයවත් ලැබීමේ ඉඩ ඇහිරෙණු ඇත. රට බංකොළොත් කර විනාශ කිරීමට යමෙකු අපේක්ෂා කරනවා නම් මේ කියන කරුණු ඉටු නොවෙන තැනට කටයුතු කළ හැකිය. අවාසනාවතට අද එහෙම උත්සාහයන්ද පෙනෙන්නට තිබේ.
අද විවිධ ඉල්ලිම් කරමින් තැන තැන වන අරගල වල නිරත පිරිස් එම ක්‍රියාමාර්ග වලට පිවිසීම අතිශය සාධාරණය. යුක්ති සහගතය. විශේෂයෙන්ම රජයට, පාලකයන්ට එරෙහිව කවර ක්‍රියමාර්ගයක් මේ අරගලකරුවන් ගත්තත් ඒ වැරැද්දක් නැත. මන්ද රට මේ කාලකණ්ණි තැනට පත් කර දැමුවේ මේ පාලක පක්ෂයයන් නිසාය.
ජනතාවට තමන්ව ඇද දැමූ වළෙන් ගොඩ දාන ලෙස ඉල්ලන්න වෙන්නේත් මේ පාලකයන්ගෙන්මය. ඒ ඉල්ලීම් වලට වෙන විකල්ප නැත. එසේ නොමැති නම් මේ ජනතාව, වත්මන් පාලක පක්ෂය එළවා දමා අලුත් පාලකයන් පත් කර ගත යුතුය. නමුත් අලුත් පලකයන් පත්කර ගත්තා කියා මේ ප්‍රශ්න විසැදීමේ වෙනත් මාර්ගයක් ඇතැයි සිතන්න කරුණු කාරණ තවමත් පෙනෙන්නට නම් නැත. රටක් ආර්ථික දේශපාලනික හෝ සමාජීය වශයෙන් යම් ස්ථාවරත්වයක තිබේ නම් ඉටු නොවෙන ඉල්ලීම් වෙනුවෙන් පාලකයන් වෙනස් කර ඒ ලබා ගැනීමට උත්සහ කිරීම වැරදි නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සකස්කර තිබෙන්නේත් ඒ වෙනුනෙි. එහෙත් අද රට පවතින්නේ එවැනි තත්වයක නොවේ.
විපක්ෂේ නරිවාදම්
කොටින්ම තමන්ට රටේ පාලනය බාර දෙන්න අපි කරලා පෙන්වන්නම් කියන පාලන බලය වෙනුවෙන් මේ මොහොතේ සටන් කරන දේශපාලන පක්ෂ වලට හෝ එහි නායකයන්ට හෝ මේ ප්‍රශ්න හමුවේ ඇති විසඳුම් මොනවාද යන්න මෙතෙක් පෙන්වා දී නැත.
මේ නිසා රටේ බහුතරය, රටේ ප්‍රශ්නයට විසඳුම පාලකයා වෙනස් කිරීම නොවේය යන්න දැන ගෙන සිටීම තුළ, අද මුහුණ දෙන පීඩාව කෙතරම් දරුණු වූවත් කැරළි ගසන්න පාරට එන්නේ නැත. තියෙන විදිහට දේවල් කළමණාකරණය කර ගැනීමට ජනතාව හුරු වෙමින් සිටින්නේ ඒ නිසාය.
විපක්ෂ කණ්ඩායම් පවතින පාලනයට එරෙහිව ඇති පදම් කරුණු කාරණා දක්වනවා විනා කළ යුත්තේ මෙය යැයි කියා පෙන්වා දෙන විසඳුම් නැත. අද ජනාධිපති නිවස, අගමැති නිවස ඉදිරියට ගොස්, ගෝ හෝම් කිය කෑ ගැසුවාට මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බාට එතකින් ප්‍රශ්න විසඳෙන බවට මේ අරගලකරුවන්ට හෝ විශ්වාසයක් තිබිය නොහැකි බව සැක නැත. මන්ද ඔවුන් කරන්නේ බඩගෝස්තරවාදී ඉල්ලීම් පමණි. ගෝ හෝම් පාඨය සමඟ තෙල් දියව්, ගෑස් දියව්, බෙහෙත් දියව්, පොහොර දියව්, කියා කෑ ගැසීම හැර අපි මේවා මෙහෙම කරලා ප්‍රශ්නය විසදගමු කියන්නෙ නැත. මේ හුදු අවේගයන් පිට කිරීමක් පමණක් නොවේ නම් රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් මේ අර්බුදකාරී අවස්ථාව තමන්ගේ දේශපාලන වාසියට පාවිච්චි කිරීමක් පමණි. මෙයට වඩා සාධාරණ කියවීම නම් මේ අවස්ථාවාදයක් බවය.
අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, මුලුමනින්ම කටයුතු කරන්නේ මේ අවස්ථාවාදී වුවමණාවන් පෙරදැරි කරගෙනය. තමන් මුහුණ දෙන පීඩාවන් හමුවේ පාලකයන්ට එරෙහිව දැඩි මහජන විරෝධයක් ඇතිව තිබෙන අවස්ථාවක මැතිවරණයක් කැඳවීමෙන් තමන්ට බලය අත්පත් කරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.
වහා පාලකයන් ඉවත් විය යුතු බවත් මහ මැතිවරණයක් කැඳවිය යුතු බවත් ප්‍රමුඛ සටන් පාඨ ලෙස ගෙන ක්‍රියාත්මක වන්නෙ එබැවිනි. ඇත්ත. ඔවුන්ට ආණ්ඩු බලයක් ලබාගැනීමේ හැකියාවක් නොතිබෙනවා නොවේ. පක්ෂ දේශපාලනයෙ මූලික අරමුණ ආණ්ඩු බලයක් දිනා ගැනීමය. ඒ් වෙනුවෙන් සටන් කිරීම වැරදි නැත.
මහ මැතිවරණයක් තමයි උත්තරය
ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය, ශ්‍රීලනීපය ආදී පක්ෂත් කටයුතු කරන්නේ ඒ හා සමානම වුවමණාවන් සමඟය. ඉදිරියේදී ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා නැතා පාර්ලිමේන්තු ඔලු ගෙඩි ගාන වැඩි කරගැනීමේ හැකියාව මේ මොහොතේ ඇති බව ඔවුන් කල්පනා කරයි. මේ සියලු දෙන බලා සිටින්නේ මහ මැතිවරණයක්ය. ඒ තබා ආණ්ඩු නියෝජනය සහිත පොදුජන පෙරමුණේ ද ඇතැමුන් සිටින්නේ ඒ ස්ථාවරයේය.
එහිදී යම් ජයග්‍රහණයක් ලබාගැනීමට නම් මේ පවතින ආණ්ඩුවට එරෙහිව ගත හැකි සියළු පියවරයන් ගෙන ආණ්ඩුවේ ක්‍රියාකරිත්වය අඩපණ කළ යුතුය. ඒ ක්‍රියාවලියේ නායකත්වය තමන් වෙත තබා ගන්නා තරමට මේ අයට ඡන්ද ගොඩවල් එකතු වෙනු ඇති බව කල්පනා කරන නිසා ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේදී පක්ෂ කණ්ඩායම් අතරද තරග කාරිත්වයක් පෙන්වයි. මේ නිසා එකෙක් පරයා අනෙකා නැගී සිටීමට ගන්නා උත්සාහය තුළදි නරුම ක්‍රියාමාර්ග වලට එළෙඹීමද පැහැදිලිවම දකින්නට ලැබෙයි.
ඩොලර් ආවොත් හබක්
මේ පක්ෂය දේශපාලනය කෙතරම් නරුම තැනකට ඇද වැටී ඇතිදැයි ඔවුන් තෝරණ දේශපාලන ක්‍රියාමාර්ග, සටන් පාඨ වලින් මොනවට පැහැදිලි වෙයි. රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටියදී ඒ ඩොලර් ලැබෙන මාර්ග අවහිර කිරීමට මේ අය කටයුතු කළේය. මෙරටට ඩොලර් නොඑවන ලෙස තවමත් විදේශ ගත ශ්‍රමිකයන්ට පණිවිඩ යවමින් තිබේ. මෙරටට විදේශ සංචාරකයන්ට නොපැමිණෙන ලෙසත් ආවොත් කරදර වලට මුහුණ දෙන්න වෙන බවත් ජාත්‍යන්තරව ප්‍රචාරක කටයුතු සිදු කරයි. වැඩ වර්ජන, උද්ඝෝෂණ සංවිධානය කරමින් පණ ඇද ඇද දුවන මෙරට නිශ්පාදන ක්‍රියාවලිය අඩපණ කිරීම සිදු කරයි. විදේශ ආයෝජකයකුට එන්න දෙන්නේ නැත.
අර්බුදයන් කලමනාකරණය කරගැනිමට වත්මනෙහි ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ගැනත් පදනම් විරහිත චෝදනා එල්ල කිරීම්, ඒවා විහිළුවට ගැනීම සිදු කරයි. රටක් විදිහට ජනතාව අවධිකර මේ අර්බුදවලින් ගැලවීමට යම් කැපකිරීමක් කළ යුතු බව කියනවා වෙනුවට තව දුරටත් ජනතාව ඊට එරෙහිව මෙහෙයවමින් තිබේ. මේ දේශපාලන පක්ෂ වලට තිබෙන හැකියාව අනුව අඩුම තරමින් දවස් කිහිපයක් තුළ රටම වගා බිමක් කළ හැකිය. එහෙත් හුදු ප්‍රචාරක සංදර්ශන වලින් එහාට මේ අය යන්නේ නැත. මන්ද රටේ ආහාර ගැටලුව විසඳුනහොත් තමන්ගේ බල දේශපාලන ව්‍යාපෘතිය ඉන් අවසන් වන නිසාය. අර්බුද පැටව් ගසමින් වර්ධනය වීම පමණක් මේ පක්ෂය අපේක්ෂා කරයි. ජනතාව දවසින් දවස පීඩාවට පත්වීමට ඉඩ හැර එහි ප්‍රතිපලය තමන්ගේ වාසියට හරවා ගැනීම ගැන පමණක් මේ අය කල්පනාකරනවා කියන කාරණය අද ඉතා පැහැදිලිය.
තවත් ණයට කකා ඉන්න බෑ
කොහොම නමුත් දැන් රට මුහුණ දෙමින් තිබෙන අර්බුදයන්, රටේ පවතින ආර්ථික සහ දේශපාලනික තත්වයන් සමඟ තව දශකයකටවත් විසඳේ යැයි බලාපොරොත්තු තැබිය නොහැකි. තවදුරටත් ණයට කකා ඉන්නවා විනා වෙන විසැඳුමක් දැනට නැත.
එයින් ගැලවී රටට ආදායම් උපදවා ගැනීම ගැන කවර ආණ්ඩුවක් කවර ක්‍රියාමාර්ග ගත්තත් ඊට පක්ෂ විපක්ෂ සියල්ලේ සහයෝගය නොලැබේ නම් ඒ කවර ආණ්ඩුවක් කවර දේ කළත් වැඩක් වන්නේ නැත. වටු කුරුළු රැළ දැල උසුලාගෙන් ගොස් ජීවිත බේරා ගත්තේ එහි නායක වටුවාගේ ශක්තියෙන් නොව සියලු දෙනාගේ ශක්තියෙනි. නායකයකුට අර්බුදයේ තරම, අර්බුදයෙන් ගැලවීමේ මාර්ගය කියා දිය හැකිය. එහෙත් අර්බුදයෙන් සියළු දෙනා ගැලවීම තනිවම කළ නොහැක. සාමුහික ප්‍රයත්නය ඊට අවශ්‍යය.
මේ නිසා අද අරගලය විය යුත්තේ ඉල්ලිම් කරමින්, ගෝ හෝම් කියමින් කෑ කො ගසමින් තැන් තැන් වල ලැග සිටීම නොවේ. අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ගයන්ට එළඹ ඒ ජය ගැනීමය. ණයට කෑමේ හැකියාව හැමදාම තියෙන්නේ නැත. අද අපි ණයට කෑවාට හෙට ඒ ණය ගෙවන්න වෙන්නේ අපේ දරු පරපුරටය. අද ණයට හරි කෑම, ගෙනත් දියෝ කියන මිනිස්සු කරන්නේ තමන්ගෙම දරුවන් ඔවුන්ට වඩා බරපතල ණයකරුවන් කිරීමය. ණයට නොකා, ආදායම් උපදවමින් බඩගෝස්තරය සොයාගැනීමට හෝ ක්‍රමවේදයන් සොයාගැනීම අද අරගලය විය යුත්තේ ඒ නිසාය. ඒ බව දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත් අවබෝධ කර ගත යුතුය.
-the novemberist