ගෝඨා ගෝ ගම, රාජපක්ෂලා රකින්නේ ඇයි? Featured

Sunday, 24 April 2022 17:08

මේ වන විට රට පුරා තැනින් තැන මතුවෙන ජනතා විරෝධයන් හී ප්‍රමුඛම සටන් පාඨය වී ඇත්තේ 'ගෝ හෝම් ගෝඨා' ( #GoHomeGota) නැතිනම් ගෝඨා ගෙදර පළයන් යන්නය. ඊට යටත් කර අනෙක් ඉල්ලීම ප්‍රදර්ශනය වේ. විවිධ ජන ස්ථර මුහුණ දෙන අර්බුද හමුවේ ඉල්ලීම වල වෙනස්කම්ද දකින්නට ලැබේ. දේශපාලන කණ්ඩායම් අනුව ඔවුන්ගේ සටන් පාඨයන්ද වෙනස් ව තිබේ. එහෙත් 'ගෝ හෝම් ගෝඨා' යන්න සියලු දෙනා ඉහළින්ම තබා ගෙන සිටින සටන් පාඨය නිසා මේ තැනින් තැන විවිධ වුවමණාවන් මත මතු වෙන විරෝධයන් පොදු ජනතා අරගලයක් බවට පත්ව තිබේ.

අර්බුදයන්ට විසඳුම කුමක් වූවත් ඊට වගකිව යුත්තේ පාලක පංතිය නැතිනම් පාලකයා බවට පත්වීම සාමාන්‍ය ස්වභාවයයි. විශේෂයෙන්ම සාමාන්‍ය පොදු ජනතාව හිතන්නේ කල්පනා කරන්නේ පාලකයා මේ සියල්ලට වැරදිකරු බවයි . ඉතිහාසය පුරාමත් මේ තත්වය දකින්න ලැබුණකි. මැතිවරණ දේශපාලනයේදී පාලකයා වෙනස් කිරීමට හෝ තවදුරටත් තබා ගෙන සිටීමට ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේත් මේ පුද්ගල චරිත වෙනස් වූවාම අර්බුදය විසඳේය යනුවෙන් කල්පනා කරන නිසාය. නවසිය තිහේ දශකයේ සිටම ජනතාව මෙසේ ඔලුගෙඩි මාරු කර කර අත්හදා බැලීම තොගයක් කර තිබේ. ඒත් තවමත් එයම නැවත නැවත පරික්ෂා කිරීම සිදුවෙයි.. අද #GoHomeGota කියන සටන් පාඨයට ලඝු වී සිටින්නෙත් මේ පුරුද්ද සහ අර්බුද විසඳා ගැනීමට පාලකයා විසින් සකසා දී ඇති පවතින ක්‍රමවේදයත් එයම පමණක් නිසාය.

එහෙත් හැමදාමත් මේ අර්බුද පැටවු ගසමින් වර්ධනය වීම පමණක් අත් විඳිමින් සිටී. අර්බුධයක් යටපත් කිරීම වෙනුවෙන් පාලකයා කළේ තවත් අර්බුදයකට ඒ යටත් කිරීමය. එය දැන හෝ නොදැන කරන දෙයකි. උදාහරණයකට කිවහොත් රටේ ණය ගෙවනන් තවත් ණය ගැනීම හැර වෙනත් විකල්ප ‍තෝරා ගැනීමට හෝ ‍තෝර ගත්තත් ඒ සාර්ථක කරගැනීමට සමත් වී නැත. විවිධ ආර්ථික මුලෝපායයන් ක්‍රියාත්මක වීම මේ රටේ ඉතිහාසය මුලුල්ලේ සිදුව තිබුණත් සියල්ල තවත් අර්බුදයන් රැසක් ගොඩනැගීමට ඉඩ කඩ විවර කිරීමක් හැර වෙනකක් වී නොමැත.

විසැඳුම් මාර්ග දෙකයි

අද මේ අර්බුද තවත් අර්බුදයකින් වසා දැමීමට නොහැකි තරමට අර්බුද මහ කන්දක සේ නැගී සිටියි. රටේ සෑම පුරවැසියකුම මේ අර්බුදවල ගොදුරු බවට පත්ව තිබේ. පාලක පංතියත් දැන් ඉන්නේ අර්බුදයකය. ඉදිරි කාලය මේ තවදුරටත් මෝරා වැඩෙනු ඇති බවට අණාවැකිද පළවී ඇත.

දැන් අර්බුද විසැඳීම වහාම විය යුතු බව ගැන තවදුරටත් විවාදයක් නැත. නමුත් මේ අර්බුදයන් විසඳන්නට පෙර අර්බුදය විසඳා ගැනීමට ගත යුතු මාර්ගය ‍තෝර ගත යුතුය. මාර්ග දෙකක් අප ඉදිරියේ තිබේ. ඒ දෙකෙන් එකක් අප තෝරා ගත යුතුය. එනම් තව දුරටත් මේ අර්බුද මොරා වැඩෙන්නට ඉඩ නොදී මෙතැනින් හෝ මේ වලක්වා ගෙන තාවකාලික අස්වැසිල්ලක් ලබාගෙන ඉදිරියට යනවා ද ? නැතිනම් මේ තවදුරත් මෝරා වැඩෙන්නට දී සියල්ල මහා ඛේදවාචකයකින් අවසන් කර නැවත මුල සිට ආරම්භයක් ගන්නවා ද ? කියන ප්‍රශ්න දෙකෙන් එකක් තෝරාගෙන ඊට විසඳුමක් සොය ගැනීම විය යුතුව තිබේ. දේශපාලනික සවිඥානකත්වයක් ඇතිව සංවිධානය වී ඇති කණ්ඩායම් වලට ඔවුන්ගේ දේශපාලනික වුවමණාවන් අනුව මේ ප්‍රශ්න දෙකෙන් එකක් තෝරා ගත හැකිය. රට මුහුණ දී තිබෙන අර්බුදයන් විසැඳීමට නම් මුලින්ම මේ ප්‍රශ්න දෙකෙන් එකකට 'ඔව්' යන පිළිතුර දිය යුතුය.

එහෙත් මේ මොහොතේ අර්බුදයේ ගොදුරු වෙමින් පිඩාවට පත් වෙමින් සිටින පොදු මහජනතාව ඉල්ලා සිටින්නෙ මේ එකක්වත් නොවේ. තම තමන් එදිනෙදා මුහුණ දෙන පිඩාවන් වලට විසඳුම්ය. රටේ තැනින් තැන විවිධ ස්වරූපයේ උද්ඝෝෂණයන් පැන නැගුනේ ඒව නිසාය. වැ‍ටුප් ප්‍රශ්න, දීමනා ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, තෙල් ප්‍රශ්න, විදුලි ප්‍රශ්න, පොහොර ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, බඩු මිල ප්‍රශ්න, ආහාර හිඟය , ඖෂධ හිඟවීම, ඖෂධ මිළ වැඩි වීම, ව්‍යාපාර බිඳ වැටීම්,කර්මාන්ත බිඳ වැටීම්, ආදායම් අහිමිවීම්,.... යනාදි වශයෙන් තම තමන් එදිනෙනා ජීවිතය පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටළු සියගනනක් සමඟ මිනිස්සු උද්ඝෝෂණයට පෙළඹිණි.

GoHomeGota කිව්වේ කවුද?

ඒ කිසිවකුත් මේ උද්ඝෝෂණයන්ට ආවේ #GoHomeGota කියාගෙන වත් ආණ්ඩුව ගෙදර පලයන් කියාගෙනවත් නොවේ. පාලක දේශපාලන අධිකාරියෙන් තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් සහනයක් ඉල්ලාගෙන මිස මේ මොහොතේ ආණ්ඩු පෙරළන්න ඕනෑ කමකට නොවේ. එහෙත් පුරවැසියා මුහුණ දෙන සකල විධ අර්බුදයන්ට හේතුව වත්මන් පාලකයා බවට මතයක් මේ පාලනයට දේශපාලනික ව එරෙහි කොටස් විසින් මතුකර පෙන්වීම සිදු විය. #GoHomeGota සටන් පාඨය ඒ අනුව නිර්මාණය විය. පීඩාවට පත් මිනිස්සු මේ සටන් පාඨය පහසුවෙන් වැළඳ ගත්තේ. ඒ තමන්ව පීඩාවට පත් කරන නිශ්චිත සතුරකු හමුවීම නිසාය. මේ සතුරා පැන්නිමෙන් තමන්ගේ ප්‍රශ්නය විස‍ඳෙන බව මේ මිනිස්සු විශ්වාස කරයි..කලින් සඳහන් කළ පරිදිම අපේ දේශපාලන පුරුදු සහ අපිට ගත හැකි දේශපාලන ක්‍රියාමාර්ග කලින් සකසා ඇති නිසා මෙ සටන් පාඨයට හොඳ ඉල්ලුමක් සහ පැවැත්මක් ඇති විය.

අනෙක් සියලු උද්ඝෝෂණික වුවමණාවන් යටත් කරගෙන GoHomeGota උද්ඝෝෂණය ප්‍රමුඛ විය. එහි උත්සන්න අවස්ථාව පසුගිය මාර්තු මාසයේ දී මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවහන වටකරමින් කරමින් කාන්තා සංවිධානයක් කළ උද්ඝෝෂණය හැඳින්විය හැකිය. එහිම දිගුවක් ලෙස මාර්තු 30 වෙනිදා යම් ප්‍රචණ්ඩ මුහුණුවරකින් වූ ක්‍රියාත්මක වූ මිරිහාන ප්‍රදේශවාසීන්ගේ නැගිටීමත් වත්මන් 'අරගලය' පැන නැගීමට ගින්දර සැපයීය.

ඇත්ත අරගලය හයිජැක් කිරීම

ඒ අනුව අප්‍රේල් 9 වෙනිදා ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිට උද්ඝෝෂණය සැලසුම් විය..එදින සාර්ථකත්වය මත එය අඛණ්ඩව සිදුකෙරෙන තැනට පත්විය. පාර්ලිමේන්තුව අවටත් මැති ඇමැතිවරුන්ගේ නිවාස ඉදිරියේත් හන්දියක් හන්දියක් ගානෙත් තවතවත් උද්ඝෝෂණ ඇති විය. ඒ සියල්ලේ පොදු ලක්ෂණය GoHomeGota ඉල්ලීම බවට පත්ව මහා ජන බලයක් GoHomeGota වටා ඒකාරාශී වී ඇති බවත් පැහැදිලිව පෙනිනි.

කොටින්ම ජනතාව අතරින් පෙර පැනනුගුණු ඇත්ත අරගලය, මේ GoHomeGota සටන් පාඨය විසින් මේ වන විට කොල්ලකා ඇත.

ඒ අතර යම් යම් පිරිස් මේ GoHomeGota උද්ඝෝෂණය සැබෑ ජනතා අරගලය ලෙස අර්ථ කතනය කර, ඒ අරගලයේ හැඩය, සීමාවන් තීරණය කරන ලදී. 'ගෝඨා ගෝ ගම' ද එහි ප්‍රතිපලයකි. එසේම අරගලයේ එකම වලංගු සටන් පාඨය GoHomeGota පමණක් බවට පත්කරන ලදී. ඊට වැඩි මනත් එකතු වූයේ ගෝඨා නම වෙනුවට රාජපක්ෂලා යන්නද එකතු කිරීම පමණි. වෙනත් සටන් පාඨ වලට දේශපාලනික කණ්ඩායම් වලට මේ 'ගෝඨා ගෝ ගම' තහනම් කලාපයක් විය. ඉහත සටන් පාඨය පිළිගතයුතු අතර එසේම දේශපාලන පාර්ශ්වික සළුපිළි ගලවා ඊට ඇතුලු විය යුතුය. එය නිර්පාර්ශ්වික, නිර්දේශපාලනික බවට වන යෙදුමක් සමඟ ප්‍රකාශයට කරන ලදී. එසේම ඇතැම් පිරිස්වලට මෙතැනට පැමිණිමට ගමේ ප්‍රධානින්ගෙන් අවසර ගත යුතු තැනට පත්ව තිබිණි. විටෙක ඇතැම් මාධ්‍ය ආයතනවලටද මේ තහනම් කලාපයක් විය. මේ අනුව යම් බලහත්කාරී පාලනයට මේ 'අරගලය' මේ වන විට යටත්කර තිබෙන බව ඉතා පැහැදිලිය. කොහොම නමුත් 'ගෝඨා ගෝ ගම' නොපෙනෙන, අප්‍රකාශිත, සැඟවුණු නායකත්වයක් විසින් හසුරුවනු ලබන බව කිසිදු ගැටළුවකින් තොරව ඒ කටයුතුද මේ දක්වා සිදු වෙමින් පැවැතීමෙන් විශ්වාස කිරීමට හැකිය.

ගෝඨා ගියාම ඔක්කොම හරි

දැන් මේ ' අරගලය' විසින් ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර අත්හැර ඉවත්විය යුතු බවය. එය සිදුවීමෙන් පසුව අර්බුද අවසන් වෙන බවට මතයක් අරගලකරුවන් අතර මෙන්ම පොදු මහජනතාව අතර ගොඩනැගී තිබේ. එතැන වෙනත් දේශපාලනික මතයක් සාකච්ඡාවටවත් අවසරයක් නොලැබෙන විට, රට අද මුහුණ දෙමින් සිටින සගළ විධ අර්බුදයන්ට එකම විසඳුම වන්නේ ගෝඨා ඉවත්වීම පමණක් බව මතය තහවුරු වීම පුදුමයට කරුණක් නොවේ.

ගෝඨා ගෝ ගමෙන් එපිට සිට යම් උද්ඝෝෂණයක නිරතව සිටින කොටස් ගෝඨා ගෙදර යැවීමෙන් ඔබ්බට ගොස් විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින් තිබුණද ඒවා සාකච්ඡාවට ගැනීමෙන් තොරවම ප්‍රතික්ෂේප කරන තරමට මේ ගෝඨා ගෝ ගම අරගලය ඉදිරීන්ම තිබේ. එයට එක හේතුවක් වී ඇත්තේ ඒ අනෙක් යෝජනා හෝ අනෙක් උද්ඝෝෂණ 'ගෝඨා ගෝ ගම' අරගලය හයිජැක් කිරීමක්, විනාශ කිරීමක්, වෙනුවෙන් කරනු ලබන දේශපාලන කුමන්ත්‍රණ බවට මත රෝපණය කරමින් පවතින නිසාය. සමාජ මාධ්‍ය හරහා ගෝඨා ගෝ ගමේ අයිතිකරුවන් ලෙස පෙනී සිටින බලපෑම් සහගත පුද්ගලයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් කරනු ලබන ප්‍රචාරයන් නිසා එම මතය වෙනුවෙන් වන ඒක රාශී වීම් විශාලව වේගයෙන් සිදුවෙයි. මේ තත්වය දිගටම පවත්වාගෙන යන්නේ මේ අයිතිකාර පාර්ශ්වවල හුදු සාමාජීය හා ආර්ථික පැවැත්ම පිළිබඳ ප්‍රශ්න නිසාය. ඒ ගැන වෙනම හෙළිදරව් කළ යුතුය.

පට්ට සෙනඟක් ගෝඨා එළවන්න ඇවිත්

කොහොම නමුත් මේ තත්වයන් මත සිදුව තිබෙන දේ පැහැදිලිය. රට පුරා ජනතාව කෙරෙන් ස්වෙච්ඡාවෙන් පැන නැගුනු උද්ඝොෂණ සියල්ල දැන් ගෝඨාගෝ ගමට ගෙනවිත් ඇත. වෙනත් නගරවලද මේ ආදර්ශය අනුගමනය කිරීම දකින්නට ද තිබේ. දැන් අරගල භූමිය එතැනය. එතැනින් අවසරය අනුමැතිය නැතුව කිසිවකු උද්ඝෝෂණය කිරීම වරදකි. කුමන්ත්‍රණයකි. ඒ අවසරය ඇතිව හෝ කරන මොක උනත් ගෝඨා ගෝ ගම් ප්‍රධානින්ගෙන් ටියුෂන් අරගෙන ඒ කියන විදිහට කළ යුතුය.

දැන් සති දෙකකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මේ අඛණ්ඩ උද්ඝෝෂණය සිදු වෙමින් තිබේ. එයට බරපතල බාධාකිරීමක් පාලකයාගෙන් පැත්තෙන් මෙතෙක් සිදු නොවේ. විටින් විට ජන සහභාගිත්වයේ අඩු වැඩි වීම් වූවද එදිනෙදා කරන කියන නව ක්‍රියාකාරකම් හරහා මෙයට නැරඹුම්කරුවන් ලෙස හෝ සෙනඟ ගෙන්වා ගැනීමට සමත්ව තිබේ.

මෙතැනට පැමිණෙන සෙනග යනු කුමක් හෝ පිඩාවකට පත්ව සිටින පිරිස් බවට විවාදයක් නැත. එහෙත් ඒ එන්නේ ගෝඨා එළවීම මේ ගැටළුවට විසඳුම බව විශ්වාස කරගෙන ද විය හැකිය. එහෙම නොවිය ද හැකිය.. එහෙත් ඒ කිසිදු අදහසක් හෝ නැතිව විනෝදය පිණිස, අවේ නැතිනම් සමාජයෙන් කොන් වෙයි කියන තේරුමෙන් එන පිරිස වැඩියි කීවත් වැරදි නැත. එසේම මේ වන විට නිරීක්ෂණය වී ඇති දෙයක් නම් විශේෂයෙන්ම කොළඹ නාගරික වතු ජනතාව/ තාවකාලික නවාතැන්කරුවන් මෙයට පවුල් පිටින් සහභාගී වීමේ ප්‍රවණතාවයයි. ඒ ගෝඨා පැන්නීමටවත් වෙන දේශපාලන වුවමණාවක්වත් වෙනුවෙන් නොවේ. ඒ අරගල බිමේදී නොමිළේ ලැබෙන බත් පාර්සලයක්, රෝස්පාන් ගෙඩියක්, බනිස් ගෙඩියක් කා, තේ කහට එකක් හෝ බී තමන්ගේ වේලක් පිරිමසා ගැනීමට හැකි වීම මතය. රාත්‍රිය මේ මිනිසුන්ගෙන් පිරී යති.

නිර්පාර්ශ්වික වේශධාරීන්

මේ ගමේ පැලපදියම් වී සිටින කණ්ඩායම් අතර විවිධ දේශපාලන පක්ෂ වල නියෝජිතයන්ද සිටී. රටේ ඇතිවන කුමන හෝ අර්බුදයක් තමන්ගේ දේශපාලනික වුවමනාවත් වෙනුවෙන් යොදාගැනීම දේශපලන පක්ෂ විසින් සිදු කිරීම අලුත් තත්වයක් නොවෙයි. මෙතැනත් උගුරට හොරා බොහෙත් බොන්න සේ සිදු වන්නේ එයමය. විශේෂයෙන්ම මෙම අරගලයෙ ජවය පවත්වාගෙන යන්නෙ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැදිහත් වීමෙනි. එම පක්ෂයේ පාලනය යටතේ ඇති අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය සුවිශේෂී මැදිහත් වීමක් සිදුකරමින් තිබේ. එහෙත් මේ ගෝඨා ගමේ GoHomeGota සටන් පාඨයට හෝ ඔවුන්ට කිසිසේත්ම එකඟ විය නොහැකිය. ඔවුන්ගේ දේශපාලකයට එය මුළුමනින් පරස්පරය. නමුත් මෙය නඩත්තු කරගෙන යෑමට පක්ෂයේ බැනරය ඉවත් කර නිර්පාර්ශ්වික වේශයෙන් ඔවුන් සිටී. ඒ කිසිවකට නොව තමන්ගේ පක්ෂ යාන්ත්‍රණය ගොඩනගා ගැනීමට අවශ්‍ය ජව සම්පන්න මානව සම්පත් එකතුකර ගැනීමටය. ඔවුන්ගේ බාසාවෙන්ම කියනවා නම් කොකු ගැසීමටය. ඊට මේ තෝතැනනකි. එලෙස බරපතල ලෙස මැදිහත් වීමක් නැතත් ජවිපෙ කණ්ඩායම් මෙන්ම සජබ එජාප ආදී අනෙක් කණ්ඩායම්ද මෙතැන නිර්පාර්ශ්වික වේශයන් දරාගෙන සිටී. මේ කිසිවක් වැරදි නැත. මෙතැන කුමන වේශයෙන් සිටියත් මෙතැනින් එළියේ මේ අය තමන්ගේ දේශපාලනය කරනවා මිසක් ගෝඨා ගෝ ගම දිනවන වැඩක නැත. ඊට හවුල්වීමත් ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ගෝඨාගෝගම යනු ඕනෑම මොහොතක විසුරුවාලීමට හැකි සෙල්ලම් පිටියකි.

රාජපක්ෂලාගේ වාසනාව

මේ අරගල භුමීයේ අයිතිවාසිකම් කියන්නට, එය කොල්ලකන්නට හෝ එය දැන්ම විනාශකරන්න හෝ කිසිවකු පැමිණෙන්නේ නැත. එසේ වන්නේ මේ අරගල භූමියේ දේශපාලනය රටේ ඇත්ත අර්බුදය විසඳා ගැනීමට බොහෝ මෙහායින් තිබෙන අදේශපාලනික විගඩමක් ( හෝ කුමන්ත්‍රණයක්) නිසාය. අවම වශයෙන් පාලකයා හෝ මේ දැන්ම විනාශ කරන්න කල්පනා නොකරයි. මන්ද මේ අරගලයම තමන්ගේ වාසියට යොදාගැනීමට ඇති හැකියාව ඉතා ඉහළ නිසාය. මෙය පාලක පාර්ශ්වයේ මෙහෙයුමක්දෝ කියා කල්පනා කළ හැකි තරමට මේ ගෝඨා ගෝ ගම ව්‍යාපෘතිය වත්මන් පාලනයට විශාල සේවයක් ඉටුකරමින් තිබෙන බව ඉහත සඳහන් කළ කරුණු කාරණා අනුව පැහැදිලි කර ගත හැක. රටේ කැකෑරෙන පීඩාවන් වේදනාවන් සියල්ල මේ සෙල්ලම් පිටියකට ගාල් කර දියකර හැරීමම ආණ්ඩුවකට කෙතරම් පහසුවක්ද? එය නොතේරේ නම් 69 ලක්ෂයේ බයි ප්‍රජාවට වඩා මේ කියවූ ඔබ වෙනස් නැත.

සමාජ දේශපාලන ආර්ථික වෙනසක් කිරීම තබා ආණ්ඩුවක් පැන්නීම ගැන හෝ හිතන්නවත් එය දේශපාලනිකව කල්පනා කළ යුතුය. එනම් බලයකට එරෙහිව බලය යෙදවීම ගැනය. එය අහිංසක නැත.

 

- සුජය

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us