තව සංකිර්ණව පැවැසුවහොත් ඕනෑම ප්‍රපංචයක වර්ධනය තීරණය කරනු ලබන මූලික ප්‍රතිවිරොධයක් (ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක අන්තර් ක්‍රියාකාරීත්වය) පවතින නමුත්, ප්‍රපංචයක් අධ්‍යනය කිරීමේ දයලෙක්තික ක්‍රමය යනු එම ප්‍රතිපක්ෂවල ගැටුම පමණක් සැලකිල්ලට ගැනීම නොව ප්‍රපංචයකට අදාළව සියලු ප්‍රතිවිරෝධතාවයන් (මූලික සහ මූලික නොවන, අභ්‍යන්තර හා බාහිර, පතීගතික හා ප්‍රතීගතික නොවන) හා සියලු සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් එම ප්‍රපංචයට අදාළව ඓතිහාසික විෂයමූලික හා වෙනත් ප්‍රපංචයන් සමග පවතින අන්තර් සම්බන්ධතාවයන් සියල්ලද සැලකිල්ලට ලක් කිරීමකි.
‘‘මෙතෙක් පැවති සියලූ සමාජවල ඉතිහාසය පංති අරගලයන්ගේ ඉතිහාසය වන්නේය’’ යනුවෙන් මාක්ස් - එංගල්ස් ,සිය අග්‍රගන්‍ය ලියවිල්ල වන කොමියුනිස්ට් ප‍්‍රකාශයෙහි සඳහන් කළේ එබැවිනි.
මෙය වැරදි නොවේ..ලෝකය පවතින්නේම මේ ප්‍රතිපක්ෂයන්ගේ සහසම්භන්ධය සහ ගැටුම මතය. බුදුන් වහන්සේ සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය යැයි කීවෙත් මේකටමය. කිසිවක් ඒ තිබෙන ආකාරයෙන් පවතින්නෙ නැත. වෙනස් වේ. වෙනස් වීම වන්නේ එකිනෙක මත වන සහසම්භන්ධය සහ ගැටුම නිසාය.
දේශපාලනයේදී මේ සත්‍යය නිරනතරයෙන් අත්විඳීමට සිදුවෙයි. දේශපාලනය යන්නම එකක්, අනෙකක් හා කරන බලය හා සම්බන්ධ ගැටුමකි. මේ නිසා හැම විටම අර්බුදයක් ඉදිරියෙහි මවා තිබේ. ඒ අර්බුද හා ගැටීම සිදුවෙයි. එයින් නව අර්බුද මතුවේ. නැවත නැවත මෙයම සිදුවෙයි.
මෙරට දේශපාලනය තුළ කවර කලෙක වුව සිදු වූයේද මෙයය. අද සිදුවෙමින් පවතින්නේද මෙයය. හෙට සිදු වන්නේද මෙයය. දේශපාලනයේදී ජයග්‍රහකයා තීරණය වන්නේ මේ ගැටුම කළමනාකරණය කර ගැනීමට දක්ෂ වන පාර්ශ්වයයි.
අද මේ රට මුහුණ දෙමින් තිබෙන තත්වයන් මීට පෙර තත්වයන් විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. වත්මන් පාලනය වෙරවීර්ය කරන්නේ ඒ අර්බුදයක් නොවන තැනට කලමනාකරණය කර ගැනීමටය. විපක්ෂය කරමින් සිටින්නේ ඒ කලමනාකරණයට බාධා කරමින් අලුත් අර්බුද හදමින්, අලුත් ගැටුම් හදමින් තත්වයන් කලමනාකරණය කිරීමේ හැකියාව තමන් වෙතට ගැනීමටය. එමඟින් ඔවුන්ගේ පාලන බලයක් බිහි කර ගැනීමටය.
මේ නිසා නිරන්තරයෙන් අර්බුධ මැවීම සිදු කළ යුතුයි. නැති අර්බුද මතුකර භයානක නරක සිහිනයක් මවා පෑ යුතුයි. අද මෙම තත්වයන් වෙන කවදාකටවත් වඩා හොඳින් දකින්නට ලැබේ. දිනපතා අර්බුද මැවෙයි. මේවා සමඟ ගැටෙන්න පාලක පක්ෂයට සිදුවෙයි. දේශපාලනයේදී ඒ මඟ හැරිය නොහැක. රාජ්‍යය සංවර්ධනය කිරීම ගැන මොන පොරොන්දු දුන්නත්, ඒවා ඉටු කිරීම සඳහා කවර ක්‍රියාමාර්ග ගත්තත් අනෙක් පාර්ශ්වයේ බාධා කිරීම මඟ හැර යා නොහැක. විපක්ෂය මවන අර්බුද සත්‍ය ලෙසම අර්බුදයක් නොවන බව පුරවැසියාට සහතික කර පෙන්වා දීම ආණ්ඩු පාර්ශවයෙන් සිදු විය යුතුය. එමඟින් ගැටුම් සමතයකට පත් කර ගැනීමට දක්ෂ විය යුතුය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පත් වීමෙන් පසුව විපක්ෂ පාර්ශ්වලින් එල්ල වන අභියෝගයන් පරාජය කිරීමට ආණ්ඩුව සමත්වීම හෝ නොවීම මත ආණ්ඩුවේ පැවැත්ම තීරණය වෙනු ඇත. කොහොම නමුත් මෙතෙක් ඒවායේ මහා සාර්ථකත්වයන් නම් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් වී නැතත් එහි වාසිය ගැනීමට තවමත් විපක්ෂයද අසමත්ය. මේ නිසා තවම ඇත්තෙ ගල උඩ සටනකි.
මෙම මොහොත වන විට රටේ අර්බුද ලෙස පෙන්නුම් කරන බොහෝ කාරණාවන් අතර මුලික වී ඇත්තේ ආර්ථික අර්බුදයයන්ය. ආර්ථික අර්බුදය මත එකිනෙකින් වෙලී පවතින තවත් අර්බුද ගනනාවක් ගැන කියවෙයි, ආහාර හිඟය, ඖෂධ හිඟය, ඉන්ධන හිඟය, විදුලි බල උත්පාදනය ආදී වශයෙන් ගැටළු රැසකි, එමෙන්ම දේශපාලන අර්බුදයන් රැසක් ගැනද කියැවෙයි.නුදුරේම ආණ්ඩු බලය පෙරළන කතා ඇසේ. ආණ්ඩුවේ කණ්ඩායම් සීසී කඩ යන කතා ඇසේ. කොහොම නමුත් ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන රටේ ගැටළු රැසක් තිබේ. ජනතාව විසින් ආණ්ඩුවක් පත් කරගන්නෙම මෙම ගැටළු විසැඳීමටය. ගැටළු යථාර්තයකි. ගැටළු නැතැයි කියා ආණ්ඩුවට කිව නොහැක. එහෙත් ගැටළුව තිබෙන්නෙ මෙම ගැටළු විසැඳීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග වල සාර්ථක අසාර්ථක භාවයෙහිය.
විපක්ශ කොටස් සතියෙන් සතිය දවසෙන් දවස අර්බුද මවා පාමින් කරන සෙලල්මට රටේ බහුතර ජනතාව ද නිරන්තරයෙන්ම අසුවේ. ජනතාව එදිනෙදා මුහුණ දෙන පිඩාකාරිත්වයන්ට හේතුව වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය යන්න විපක්ෂය ඔවුන්ට ලබා දෙන දේශපාලනික අධ්‍යාපනය වේ. ඒ නිසා විපක්ෂය මවන අර්බුද යාථාර්තය ලෙස පිළිගන්නා බහුතර ජනතාවක් රටේ සිටින විට ආණ්ඩුව කවරක් සිදු කළත් එහි වරදක්ම මිස නිවැරද්ද දකින්නෙ නැත.
කොවිඩ් වසංගත තත්වය නිසා රටේ ආර්ථික ක්ෂේත්‍රයට වු බලපෑම සාමාන්‍ය ජනතාවට තේරුම් ගත නොහැක. වසංගතයත් සමඟ රටේ ඩොලර් හිඟ වීම කුස්සියට ගෙන එන එළවලු මල්ලේ ගාන වැඩිවීමට බලපාන බව මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත. විපක්ෂය කියන්නෙ ආණ්ඩුවේ වරද නිසා බඩු මිල ඉහළ යන බවයි. රාජ්‍ය යාන්ත්‍රණයෙහි කාලයක් තිස්සේ පවතින දුර්වලතා නිසා සිදුවන පීඩාවන් වලට වග උත්තර බඳින්න වෙන්නේ එවකට සිටින පාලක පක්ෂයටය. ඒවා නිවැරදිවීමට නම් ඒ ගැටළු මතුවිය යුතුය. ගෑස් ප්‍රශ්නය එවැනි එකකි. ඒ ප්‍රශ්නය ඇති නොවෙන්න සිදුව තිබෙන වැරදි යාන්ත්‍රණයෙහි වරද අසුවන්නේ නැත. එහෙත් වැරැද්ද බැර වන්නේ පවතින ආණ්ඩුවටය. මේ නිසා නිතරම ආණඩුව වැරදිකාරයන් වෙයි. මේ නිසා විපක්ෂයට උන් සැප විඳිනවා අපි දුක්විඳිනවා..යන්න සමාජ ගත කරන්න පහසු අවස්ථා නිර්මාණය වෙයි.. දිනෙන් දින මේ ප්‍රශ්න, පීඩාකාරී ලෙස මහජනතාවගේ ඔළු තුළ වැඩි වැඩියෙන් තැන්පත් කිරීමට විපක්ෂය කටයුතු කරයි. දේශපාලනිකව එහිද වරදක් නැත. මන්ද ඔවුන්ගේ අපේක්ෂාව රාජ්‍ය පාලන බලය අල්වා ගැනීම නිසාය.
එහෙත් ආණ්ඩුවකට මේ නොතකා හැරිය නොහැක. ආණ්ඩුව දේශපාලනයෙහි නිරත වනවා නම් මේ තත්වයන් වෙනස් කිරීම සඳහා විපක්ෂ මතය හා ගැටුමකට යා යුතුය. විපක්ෂය මවන අර්බුදයන් පුස් වාග්ප්‍රලාප බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. පළමු කාරණාව ඇත්තටම ප්‍රශ්නයක් පවතින බව ආණ්ඩුව විසින් ජනතාවට පැහැදිලි හේතු සාධක ඇතිව පෙන්වා දීමය. ඊට ඇති විසඳුම ඉදිරිපත් කර ඒ ගැන මහජනතාව සමඟ වන සාකච්ඡාවකට ඉඩ හසර ලබා දිය යුතුය. ඒ මත ගැටුම අලුත් විසැඳුම් ද මතු කරණු ඇත. ඒ වෙනුවෙන් බොරු බේගල් මතවාදයන් පරාජය කෙරුමට අවශ්‍ය සත්‍ය තොරතුරු මහජනතාවට ලබා දිය යුතුය. පවතින්නෙ අර්බුදයක්ද නැතිනම් අර්බුදය විසැඳීමට ගන්නා ක්‍රියාමාර්ගයන්ද යන්න ගැන ජනතාවට වැටහීමක් ලබා ගත හැක්කේ ඒ අනුවය.
මේ රට පාලකයන්ගේ තනි බූදලයක් හෝ පාලිතයන්ගේ තනි බූදලයක් නොවේ. රට සියල්ලන්ගේමය. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ දෙපාර්ශ්වයේම සහසම්බන්ධයත් ප්‍රතිපාක්ෂික ගැටුමත් අවශ්‍යවේ. ප්‍රශ්න විසඳීමට අවශ්‍ය විසැඳුම් ඉපදෙන්නේත් රට ඉදිරියට ගමන් කිරීම සිදුවන්නේත් ඒ අනුවය. සත්‍ය අර්බුදයන් නිර්මාණය වන්නේ ඉදිරියට ගමන් නොකිරීම නිසාය. එහෙත් අද රට එක තැනක නැවතී නැත. එය සියළු බාධාවන් සමඟ සෙමෙන් නමුත් ඉදිරියට යයි. ඒ නිසා සත්‍ය අර්බුදයක් ඇත්තේ නැත. රට ජය ගන්නා යම් මාර්ගයක ගමන් කරමින් තිබේ. ඒ වැලැක්වීමට විපක්ෂය ගැටුම්කාරී එළඹුමකට උත්සහ දරයි. අර්බුද මවා පෙන්වයි. එය පරාජය කර ආණ්ඩුවට ජය ගැනීමේ වුවමණාව ඇතිනම් නම් දේශපාලනික සහ ආර්ථික උපාය මාර්ග නිසි ලෙස සකස් කර ගැනීම විය යුතුය. එලෙස ආණ්ඩුව මේ ගැටුමට මුහුණ දිය යුතුය. දයලෙක්තික මූලධර්මයේ දේශපාලනය එසේය.
-the novemberist