මෙම මහපොළොව යනු මිනිසාට පමණක් අයිතිවන්නා වූ වස්තුවක් නොවන අතර එහි උරුමක්කරුවන් ලෙසට සියලු සත්ව වර්ගයා ද ප්‍රධාන වේ. මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොතෙකුත් අණ පනත් නීති රාමු පැනවුව ද සත්ත්වයන්ගේ අයිතින් වෙනුවෙන් එවැනි අණ පනත් හෝ නීති පැනවෙන්නේ ඉතා මංදගාමීව ය.
සත්ව හිංසනයෙන් තොර රටක් බිහි කිරීම යනු ශිෂ්ඨසම්පන්න සමාජයකට අවශ්‍ය නීති ප‍්‍රතිපාදනයක් ලෙස හැඳින්විය හැකිය. 1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මේ දක්වා සත්ත්වයන්ට ඇති එකම පිළිසරණයි. වසර සියයකට අධික කාලයක් ගතවී ඇතත් අදට ගැලපෙන ලෙස සත්ත්ව අයිතිවාසිකම් නීතියකට ගෙන ඒමට රටක් ලෙස අප අපොහොසත්වී තිබේ.
2016 ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ව සුබසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර ගැනීමට මේ දක්වා තිබු කිසිදු රජයකට හැකිවී නැත. වන සතුන් ගැන විවිධ අණ පනත් අලුත් වූව ද පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය ගැන පැවති රජයන් සිටියේ නිද්‍රාශීලිව ය.
ලොව සියළුම සත්වයින්ට ආරක්ෂිතව ජීවත්වීමට අයිතියක් ඇත. එය මිනිසුන්ට මෙන්ම සෙසු සත්වයින්ටද පොදුය. එහෙත් සත්ව අයිතින් වෙනුවෙන් එවැනි නීතිමය ආරක්ෂාවන් ඇත්තේ ඉතා අවම වශයෙන් වීම නිසා වර්තමානයේ ගෘහාශ්‍රිත සතුන් ඉතා කෘර හා අමානුෂික හිංසනයන්ට හා ඝාතනයන්ට ගොදුරුවන අවස්ථා දක්නට ලැබුණි .
2016 වසරේදී කුස ඇලි මුහුදු උකුස්සෙකු පණපිටින හමගසා මරා දැමීමේ සිදුවීමක් හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තාවූ අතර ඉකුත් වසරේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගම් වැදුණු කොටියෙකු ඉතා අමානුෂික ලෙස පොලුවලින් පහරදී මරා දමන ලද ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. ඉන්පසු මීගමුව, කොප්පරා හංදිය ප්‍රදේශයේදී සුනඛයෙකු ගිනිතබා මරා දැමීම හා බලංගොඩ, මස්තැන්න ප්‍රදේශයේ සුනඛයෙකු දුෂණයකර මරා දැමීම මෙවැනි සත්ව හිංසනයන් සම්බන්ධ ආසන්නතම සිදුවීම් ද්විත්වය වශයෙන් හැඳින්විය හැකිය.
නමුත් අවාසනාවට කරුණ වන්නේ මෙතෙක් මෙරට තුළ සත්වයින් කෘර වද හිංසා වලට ලක්වී මිය යන්නට සිදු වුවද සත්ත්ව සුබසාධන පණත හමස් පෙට්ටියේ දමාගෙන මෙරට සිටි බලධාරීන් මුණිවත රැකගෙන සිටීමය. වනජීවීන් ආරක්ෂණය හා සංරක්ෂණය සම්බන්ධ නීති රීති යම්කිසි ප්‍රමාණයකින් යාවත්කාලීන වූව ද පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය ගැන මෙතෙක් පැවති රජයන්ට ඇත්තේ පසුගාමී අදහසක් බව එමගින් පෙනී යයි.
1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මගින් යම්කිසි සත්ව හිංසනයක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයෙකුගෙන් අයකර ගතහැකි උපරිම දඩ මුදල රුපියල් සියයක් පමණි. එවැනි වරදකරුවෙකු සය මසක උපරිමයකට යටත්ව බන්ධනාගාර ගතකිරීමකට යටත්කල හැකිව පැවතුනද එම දණ්ඩනය පැනවෙන්නේද ඉතා අල්ප වශයෙනි.. මේ අනුව සත්ව සුබසාධනය සම්බන්ධයෙන් ශක්තිමත් පනතක් නීතිගතකිරීම කාලීන අවශ්‍යතාවයකි.
ඒ අනුව සත්ව අයිතීන් වෙනුවෙන් මෙතෙක් පැවති අරගලයන් නිමා කරමින් වත්මන් රජය බොහෝ දෙනා බොහෝ කාලයක් බලාගෙන සිටි සත්ව සුබසාධන පනතට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් රටට ප්‍රකාශ කර ඇත.මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් ඊයේ දින (10) සභාගත කරන ලද කෙටුම්පතට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර එය නුදුරේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නව පනත සම්මත කිරීම මගින් ආකාර කිහිපයකින් අසරණ සතුන්ට සෙත සැලසේ. සත්වයින් සම්බන්ධයෙන් දැනට පවතින නීතිම අර්ථකථනය වඩාත් පුළුල් කිරීම මගින් සත්ව හිංසනයට එරෙහිව වැඩි ආවරණයක් ලැබීම මෙම නව පනතේ ඇති විශේෂත්වයකි. එසේම සත්ව හිංසනයන් හා සතුන්ට නොසලකාහැරීම් සම්බන්ධයෙන් වරදකරුවන්ට ලබාදියහැකි දඬුවම් ඉහළ නැංවීමටද මෙමගින් අවස්ථාව ලැබේ. තවද සතෙකු තම භාරයේ තබාගන්නා පුද්ගලයාට එම සත්වයා රැකබලාගැනීමට නෛතික වගකීමක් පැවරීමද මෙහි ඇති නව සංකල්පයකි. මේ සියළු කරනා සමග වඩාත් ඵලදායී හා කාර්යක්ෂම නීති රාමුවකින් මෙරට සියළු සත්වයින්ට ආරක්ෂාව ලැබීම හා සුබසාධනය තහවුරුවීම සඳහා මෙම පනත මගින් අවස්ථාව උදාකරදී තිබේ.
ඒ අනුව ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහිකිරීමෙහිලා ඇති එක් වටිනා පැති කඩක් මෙලෙස සුරක්ෂා කරමින් වත්මන් ආණ්ඩුව මේ සිදු කරනු ලැබූවේ මිලකළ නොහැකි වටිනා කර්තව්‍යයක් බව කිවයුතුය.
-පංචාලි