රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවක් ලබා තිබිය යුතු බවත්, වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බවත්, ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳ පොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා අවධාරණය කරන කාරණය අතිශය වැදගත්ය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් මෙරට පවතින් සාම්ප්‍රදායික විරෝධය විකාරයක් බව පැහැදිලි කාරණයකි. නිදහස් අධ්‍යපනය සහ නොමිලයේ අධ්‍යාපනය යනු දෙකකි. මේ දෙකම මෙරට පුරවැසියාගේ අයිතිවාසිකම්ය. නිදහස් අධ්‍යාපන අයිතිය, නොමිලයේ අධ්‍යාපන අයිතියට යටත් කර අධ්‍යාපන නිදහස වලක්වාලීම නොවිය යුත්තකි. අධ්‍යාපනය ලැබීමේ කවර හෝ නිදහස් අවස්ථා සමාජයෙ සෑම තරාතිරකම පුරවැසියන්ට ඔවුන්ගේ හැකියාව අනුව ලැබීමට හැකියාව සකසා දීම රජයේ වගකීමකි. නොමිලයේ අධ්‍යාපනය ලබාදීම මඟින් රජය ඉටු කරන්නේ අවම හැකියාවන් සහිත දරුවන්ට එම අවස්ථා පූර්ණ කරදීමක් මිසක් සෑම සියලු දෙනාම රජය ලබාදෙන නොමිලයේ අධ්‍යාපනය ලබාගැනීම පමණක් බුක්ති විඳිය යුතු බවට වන නියෝගයක් පැනවීම මත නොවේ.
නොමිලයේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් රජය දැවැන්ත ආයෝජනයක් කරමින් ඉටු කරන වගකීම රටේ අභිවෘද්ධිය පිණිසය. ඒ අධ්‍යාපනය වෙනුවෙන් දරණ බර රජයට දැරීම පහසු තත්වයකුදු නොවේ. මුදල් ගෙවා තමන්ට කැමති අධ්‍යාපනයක් ලැබීමේ හැකියාවක් සහිත පිරිස් වෙතට එම අවස්ථාවන් ලබා දීම කිසිසේත් වැරදි පියවරක් වන්නෙ නැත. පෙර යුගයේදී තිබුණේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත යුතු තත්වයකි. එමඟින් ආර්ථික හැකියාවන් අඩු පුරවැසියන් සම්බන්ධයෙන් වන අසාධාරණ තත්වය පිටු දැකීම වෙනුවෙන් නොමිළයේ අධ්‍යාපන අවස්ථාවක් ලබා දීම සුද්දාගේ කාලයේ පටන් යම් තරමකට හෝ ක්‍රියාත්මක වූවකි. පසුව එය රජයේ ප්‍රතිපත්තිය බවට පත්කරගෙන නවසිය හතලිහේ දශකයේ සිට රටේ සියලු දරුවන් වෙනුවෙන් ඒ ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. එහෙත් පටු දේශපාලනික වුවමණාවන් මත එම නොමිළයේ අධ්‍යාපන ප්‍රතිපත්තියම පමණක් ක්‍රියාත්මක කිරීම නිසා අධ්‍යාපනය ලැබීමේ නිදහස් අවස්ථා යම් තරමකට සීමා විය. එය කෙමෙන් වර්ධනය වී පෞද්ගලික අධ්‍යාපනය මුළුමනින්ම අත්හිටුවන තැනකට මතවාදී සහ උද්ඝෝෂණ ක්‍රියාවලියන් සිදු වූයෙ මුළුමනින්ම පටු දේශපාලනික සටන් පාඨයක් ලෙස මිස මෙරට අධ්‍යාපනය නගා සිටුවීමේ කාර්යභාරයක් ලෙස නොවේ.
අද ජනාධිපතිවරයාට අමුතුවෙන් වෙහෙසක් ගෙන මතවාදී අරගලයක නිරතව මෙම තත්වය පිටු දැක මෙරට නිදහස් අධ්‍යාපනය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට සිදුව තිබේ. මෙය නිවැරදි තීරණයකි. මීට පුරවැසියන් ලෙස සහයෝගය ලබාදිය යුතුය. කොහොම නමුත් මෙරට නැති අවස්ථාවන් සොයා විදේශ ගත වන සිසුන් ප්‍රමාණය, මේ වෙනුවෙන් දරණ වියදමද සුළු පටු නොවේ. විදේශයනට ඇදී යන මේ විශාල මුදල මෙරට තුල ඉතිරි කරගෙන ඊට වඩා අඩු වියදමකින් අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව ස්ථාපිත කිරීම රටේ ආර්ථිකය පැත්තෙන්ද යහපත් පියවරකි. මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වෙත විදේශ සිසුන් ගෙන්වා ගැනීම මඟින් විදේශ විනිමය රටට එකතුවීමද සිදුවෙනු ඇත.
එසේම මෙහිදී අනෙක් වැදගත් කරුණ නම් අධ්‍යාපන නිදහස, අයතා ලෙස භාවිතා කිරීමට ඉඩ නොදි රජයේ නිසි නියාමනයක් අධීක්ෂණයක් සහිතව ක්‍රියාත්මක කිරීමේ ශක්තිමත් ක්‍රමවේදයක් ද ස්ථාපිත කිරීමට රජය පියවරයන් ගත යුතුවීමය. එය වඩාත්ම අවධාරණය කරන්නේ අද මේ අධ්‍යාපනය ලබාදීම ද ජාවාරමක් බවට පත්කර ගැනීමට ඇතැම් ආයතන කටයුතු කිරීමය.
-the novemberist