පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගෙන අයින් වෙන්න..සිරෝ.. රනිලෝ..! Featured

Friday, 26 November 2021 21:53

වසර 2005 ත් 2010ත් යන දෑ අවුරුදේදිම රට පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 වසරේ තෙවන වතාවටත් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද 2015 ජනවාරි 8 වන දින මහින්ද රාජපක්ෂට ජනවරම අහිමි කර ''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්'' යන තේමා පාඨය ඔස්සේ මෛත්‍රීපාල සිරිසේනව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් කළේය.

ඕනෑම දේශයක ජනතාව ජන වරම ලබා දී රටක පාලන බලය ලබා දෙන්නේ තම රටෙහි වගවීම වෙනුවෙන් කැපවන දේශපාලන නායකත්වයක් පිළිබද විශ්වසනීයත්වයකින්ය . 2015 වසරේද එම විශ්වාසය මත වෙනසකට නායකයෙක් පත් කර ගත්තද 2019 අප්‍රේල් 21 කිතුණු බැතිමතුන් ඉලක්ක කොට ගෙනසිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමග රටෙහි නායකත්වය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සම්පුර්ණයෙන් නැති කිරීමට සමත් විය.

දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙයය. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව 300 කට ආසන්නය. මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන්ය. එමෙන්ම විදේශිකයන් තිස් අට දෙනෙකුත් ඒ අතර විය. ප්‍රහාර සිදුව දෙවසරකට වැඩියෙන් ගත වී ඇතත් නැවත නැවතත් අපට මේ පිළිබදව කතිකාවතන් ගොඩ නැගීමට සිදු වී ඇත්තේ එදා ආණ්ඩු බලයේ සිටි කණ්ඩායමට මෙම ප්‍රහාරය සිදු වුයේ තම බලය තිබු කාල වකවානුවේ බව අමතක වී ඇති හෙයින්ය. ඒ නිසාම යහපාලනයට පෙර තිබු රාජපක්ෂ යුගය ගැනත් අපට නැවතත් සිහි කැඳවීමට සිදුව ඇත.

අප ජීවිත කාලය තුළ මේ රටේ විශාල ඛේදවාචකයන් සිදු වූ අඳුරු යුග ගණනාවක් අප පසුකොට තිබේ. උතුරේ මෙන්ම දකුණේත් ත්‍රස්තවාදි ක්‍රියා නිසා දශක ගණනාවක් තිස්සේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වී පවුල් ගණනාවක් අසරණ වී තිබුණි. විශේෂයෙන්ම කොටි ත්‍රස්තවාදයේ රුදුරු පීඩනය වසර 30 කට ආසන්න කාලයක් අපේ රටට බලපෑවා යැයි කිව හැකිය. 2009 ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වූ විට යළි කිසි දිනක ජාතික ආරක්ෂාවට හානියක් නොවන ලෙස ඉතා විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙළක් හා එයට සහාය දීමට ශක්තිමත් බුද්ධි අංශයක් සහිත රාජ්‍ය ආරක්ෂක යන්ත්‍රණයක් එදා සිටි මහින්ද රාජපක්ෂ රජය විසින් ස්ථාපිත කරනු ලැබුවේ ඒ නිසයි.

2010 සිට ආරක්ෂක මණ්ඩලය විසින් ජාතික ආරක්ෂාව පිළිබඳව පස් අවුරුදු සැලස්මක් සකස් කළ අතර එහිදී බ්‍රිගේඩියර් සලේ වැනි දක්ෂ බුද්ධි අංශ ප්‍රධානින් විශාල දායකත්වයක් දුන් බවද මතක් කරන්නෙමු. එදා ඔවුන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්ෂේත්‍ර කිහිපයක් ප්‍රමුඛතා අනුපිළිවෙළට හඳුනාගනු ලැබිය . 2013 -2014 කාලයේ බුද්ධි අංශ විසින් මේ සම්බන්ධයෙන් ඉතා හොඳ අධ්‍යයනයක් කොට ආගමික අන්තවාදය නිසා සිදු විය හැකි තර්ජනය පාලනය කිරීම පිලිබඳ යෝජනා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කොට තිබුණි. නමුත් අවාසනාවකට වගේ 2015 බලයට ආ යහපාලන රජය විසින් මේම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුයේ නැත. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට පෙර සිදු වූ බරපතළ සිද්ධින් දහයක් පිළිබඳවම නිසි විමර්ශන කොට වරදකරුවන් අත්අඩංගුවට ගන්නටද යහපාලන ආණ්ඩුව අපොහොසත් විය.

2018 මැයි මාසයේ 19 දා හිටපු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යහපාලන රජයේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට රහස් වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව එහි පැහැදිලිව ඉල්ලා තිබෙන්නේ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් කියන අන්තවාදී දේශකයා ජිහාඩ් මතවාදය ලංකාව තුළ ප්‍රචාරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කර ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කරන ලෙස මුස්ලිම් තරුණයන් පොළඹවන බවත් ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ කලහකාරී හැසිරීම හා පහරදීම් පිළිබඳව අධිකරණය මඟහරිමින් සිටිනා අයෙක් බවත් පවසා ඔහුව විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් හෝ යොදවා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය .ඒ පාස්කු ප්‍රහාරයට මාස 10කට පෙරය. එහෙත් අපට අද විපක්ෂයෙන් ඇසීමට සිදුව ඇත්තේ ඒ පිළිබද රජයක් ලෙස ගත් පියවර කුමක්ද කියාය. මහජන ආරක්ෂාව පිළිබඳ ජාතික වගකීම එදා සම්පූර්ණයෙන්ම පැහැර හැර ක්‍රියා කළ වත්මන් විපක්ෂය අද දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ගැන බොරු චෝදනා ඉදිරිපත් කරමින් සිටි.

2015 බලයට පත් යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම මතවාදී ඒකාග්‍රතාවක් නැති, මධ්‍යගත සංවිධාන ව්‍යුහයක් නැති, ඕපපාතිකව නිදැල්ලේ හැසිරෙන, වගකීම් විරහිතව කටයුතු කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය වී තිබුණි. එම නිසා එම ආණ්ඩුවේ උපතේම තිබෙන දුබලතාව, එම ස්වාභාවය මෙම පාස්කු ප්‍රහාරයට මංපෙත් විවර කොට තිබුණා යැයි කිව හැකිය.

මුස්ලිම් සමාජය තුළ ගොඩනැ‍ඟෙමින් තිබුණු අන්තවාදී ක්‍රියාදාමය හෙළිදරව් කරමින් එය පරාජයට පත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් සාම්ප්‍රදායික මුස්ලිම් නායකයින් ගේ පැත්තෙන් ගෙන නොතිබුණු තරම්ය. ඔවුන් නිදැල්ලේ මේ ජාතිවාදී ප්‍රවණතාවය වර්ධනය වෙන්නට ඉඩකඩ ලබා දෙමින් තිබුණි. නිදැල්ලේ වර්ධනය වන අන්තවාදී ප්‍රවාහය තමන්ගේ දේශපාලන වුවමණාවන් වෙනුවෙන් යොදාගන්නා ආකරයද පෙනෙන්නට තිබුණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාරණා අතරින් පළමු වැන්න පාස්කු ප්‍රහාරය හා ඒ දක්වා ආපු දේශපාලන ගමන්මඟත්, දෙවැනි කොටසින් ප්‍රහාරයක් වළක්වා ගැනීමට යහපාලනය අසමත් වීමත් ලෙස හැදින්විය හැකිය.

රටෙහි ජනතාව දේශපාලන නායකත්වයක් සඳහා ජන වරමක් දෙන්නේ රට තිබෙන තත්වයට වඩා යහපත් තැනක් කිරීම සදහාය. ජනතාව දුන් වගකීමෙන් ඔවුන්ට අත්මිදිය නොහැක. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම ප්‍රධානම හේතු වුයේ එදා යහපාලන රජය මේ රට පාලනය කළ වගකීම් විරහිත මන්දබුද්ධික වැඩ පිළිවෙළ නිසා බව කිව යුතුය.

වත්මන් නායක ගෝඨාභය රාජපක්ෂයන් එදා ආරක්ෂක ලේකම් හැටියට අපේ රටේ කිසිවෙකුට කිසිම ජාති භේදයක් නැතුව සමස්තයක් ලෙස සියලු ජනතාවට ආරක්ෂාව ලබා දුන්නේය. රටේ බෝම්බ බිය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට කටයුතු කිරීමට එදා රාජපක්ෂ ආණ්ඩුව සමත් විය . එහෙත් යහපාලනය ඒ උඩු යටිකුරු කළේය. ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂට රටේ ජනතාව බලය ලබා දුන් අතර එදා ජනතාව බලාපොරොත්තු වූ ජාතික ආරක්ෂාව ගොඩනගමින් රට ගෙන යාමට එම නායකත්වය අද සමත් වී ඇත.

එහෙත් විලිලජ්ජාවක් නැති විපක්ෂය තම කුණු වසන් කරමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරය නිසා බවත්, මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි වුයේ ඒ මතින් බවත් යැයි කියමින් තම මඩ සෝදා ගැනීමට උත්සාහ කරනු බව පෙනේ.. එහෙත් අපට මතක් කිරීමට සිදුව ඇත්තේ 2018 පළාත් පාලන ඡන්දය තිබියදී පාස්කු ප්‍රහාරයක් නොතිබුණ බවත්, එහිදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සහයත් නොමැතිව බවත් මතක් කරන්නෙමු. .ඒ නිසා පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වශයෙන් වාසියක් ගත්තා යැයි කියන කාරණය සම්පූර්ණයෙන්ම විකාරයකි.

පාස්කු ප්‍රහාරය නවතාලීමට එවකට පැවතී යහපාලන රජයට ඕනෑවටත් වඩා ඉඩ කඩ තිබුණි. ප්‍රහාරයක් සිදු විය හැකි යැයි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්ව තිබුණු නමුත් ඒ කිසිවක් කෙරෙහි යහපාලන රජය උනන්දුවක් දැක්වුයේ නැත.

අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් විසින් 2019 අප්‍රේල් 21 ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ සිදුවීම් පිළිබඳ බීබීසී සිංහල සේවය කළ පසු විපරමක් පහතින් උපුටා දක්වමි. සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳ පළමුවරට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ 2019 අප්‍රේල් මස ආරම්භයේදීය. පහත දැක්වෙන්නේ එතැන් පටන් අප්‍රේල් 21 දක්වා ඒ පිළිබඳ නිකුත් කෙරුණු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ ගමන් මගය.

''2019 අප්‍රේල් 04
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත සිය මූලාශ්‍රයක් ඔස්සේ 'WhatsApp' හරහා මුල්ම පණිවුඩය ලැබී ඇත. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වෙනිදා ඔහුට ලිඛිතව ලැබී තිබේ.

2019 අප්‍රේල් 07
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එම තොරතුර ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලබා දී ඇත.

2019 අප්‍රේල් 08
ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එම ලිපිය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබේ.

2019 අප්‍රේල් 09
පොලිස්පතිවරයා විසින් එම ලිපිය:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත - නන්දන මුණසිංහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, සංවිධානාත්මක අපරාධ, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාස සහ විශේෂ කාර්ය බලකා - කමාන්ඩර් එම් ලතීෆ්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව භාර - ප්‍රියලාල් දසනායක
ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ - වරුණ ජයසුන්දර
යන නිලධාරීන් වෙත යොමු කරනු ලැබ තිබේ.

2019 අප්‍රේල් 10
තමා වෙත අදාළ තොරතුර ලැබීමෙන් පසු සහරාන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බව පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පවසයි.

සහරාන් විසින් පවත්වාගෙන යනු ලැබූ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.

2019 අප්‍රේල් 11
ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ මෙදින ජනාධිපතිවරයා දැනුවත් කරන ලද බවට මාධ්‍ය වාර්තා (ප්‍රහාරයෙන් පසුව).

2019 අප්‍රේල් 14/15/16
සහරාන් හෂීම් සහ ඔහුගේ සහායකයන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට ඇත.

2019 අප්‍රේල් 16
කාත්තන්කුඩි ප්‍රදේශයේ දුරබැහැර ස්ථානයක යතුරු පැදියක් පුපුරා ගොස් තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්‍රදේශයේය. කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරි ගෙය ලෙස සැලකේ.

2019 අප්‍රේල් 18
කාතාන්කුඩි ප්‍රදේශයේ පිපිරීම සහරාන් හෂීම් විසින් සිදු කරන ලද බවත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි.

2019 අප්‍රේල් 19
රාජ්‍ය බුද්ධි සේවය විසින් හමුදා බුද්ධි අංශ වෙත එම බුද්ධි තොරතුරු දන්වනු ලැබ ඇත. රාජ්‍ය බුද්ධි සේවය විසින් බුද්ධි තොරතුරු පිළිබඳ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා දැනුවත් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. (පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව)

"අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන 19/04/20 දින සවස 05:00 ට පමණ ඇමතුමක් ලබා දී ප්‍රහාරයක් සිදුවන බව දන්වා සිටියේය. ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශය රැස් කරගෙන ඇති බුද්ධි තොරතුරු මොනවාදැයි පොලිස්පති ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වෙතින් විමසීය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ එය විදේශ ප්‍රභවයෙන් ලැබෙන තවත් තොරතුරක් යන්නයි," (පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පරිදි)

2019 අප්‍රේල් 20 පස්වරු 07:30
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා අමතා එළඹෙන දිනය භයානක බවත් යමක් සිදුවිය හැකි බවත් පවසා තිබේ. පොලිස්පතිවරයා එම අනතුරු ඇඟවීම අදාළ සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දන්වා තිබේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් 2019 අප්‍රේල් 20 වෙනි දින තමන්ට ද එවැනිම තොරතුරු ලබා දී ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටි බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. "මම පොලිස්පතිවරයාට කතා කළා. ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් ඔහුටත් එම තොරතුරු දැනුම් දී තිබුණා,"

2019 අප්‍රේල් 21 පෙරවරු 06:45
එදින භයානක දෙයක් සිදුවනු ඇති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා නැවතත් කියා තිබේ. පොලිස්පතිවරයා නැවතත් අදාළ කණිෂ්ඨ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී ඇත.

2019 අප්‍රේල් 21 පෙරවරු 08:27
"ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්."

එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී ඇති අවසන් බුද්ධි තොරතුර එයයි.

ඒ අනුව ප්‍රහාරය පිළිබදව ඕනෑවටත් වඩා දැනුම් දීම් සිදු කර තිබියදීත් ඒ පිළිබද අබ මල් රේණුවකවත් තැකීමක් නොකර සිටි යහපාලනය නිසා එදා අහිමි වූ මිනිස් ජිවිත මෙන්ම රටට වූ හානිය මුදලින් මැනිය නොහැක. අඩුම තරමින් වෙනත් කිසිවක් කිරීමට හැකියාවක් නැතත් අවසන් තොරතුර ලැබුණ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවා සිදුවිය හැකිව තිබු විනාශය වැලැක්විය හැකිව තිබිණි. එසේම මේ ත්‍රස්තයන් සම්බන්ධ සියළු තොරතුරු බුද්ධි අංශ සතුව තිබූ නිසා ඒ සියළු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාවත් තිබිණි.

රටක් ගෙන යාමට ශක්තිමත් නායකයෙක් සේම ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍යය. එපමණක් නොව ජනාධිපති අගමැති ප්‍රමුඛ නායකයන්ගේ සාමය, සහයෝගිතාවය රටක් ගෙනයාමට අත්‍යවශ්‍ය කරුණු වනු ඇත. එහෙත් අප දන්නා පරිදි යහපාලන යුගයේ අවසන් භාගයේදී ජනාධිපති මෛත්‍රිපාලත් අගමැති රනිල් වික්‍රමසිංහයන් අතරත් එළිපිට යුද්ධයක් පැවතී බව නොරහසකි.

2018 වසරේ ඔක්තෝබර් 26 දා මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ එම ධුරය සඳහා පත් කරනු ලැබුවේද එහි ප්‍රතිපලයක් ලෙසය. එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් අතර රනිල් වික්‍රමසිංහ යලි අගමැති ධුරයේ නැවතත් දිව්රුම් දෙනු ලැබීය. මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපාර්ශවය අතර පැවති මතභේද හමුවේ ඉන් අනතුරුව රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් එදා රට තුළ දක්නට ලැබිණි. එම මත ගැටුම් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට පාර කැපුවා යැයි කිව හැකිය. ඒ අනුව අපේ රටේ දින 51 දේශපාලන අර්බුදයෙන් පසුව පැවතියේ ජනපතිවරයා සහ අගමැතිවරයා අතර නොවිසඳුණු විරසකය නිසා මතුවුණු අතිශයින් කණගාටුදායක තත්ත්වයක් බව කිව යුතුය.

විදෙස් බුද්ධි අංශ ලබාදුන් නිශ්චිත අනතුරු ඇඟවීම ගැන තමා හෝ කැබිනට් මණ්ඩලය දැන සිටියේ නැති බව එවකට සිටි අගමැති රනිල් පළමුව ප්‍රකාශ කළ අතර දින තුනකට පසු රූපවාහිනියෙන් ජනතාව අමතමින් එවක ජනාධිපති මෛත්‍රී ප්‍රකාශ කළේද එබන්දක් ගැන තමා ද දැනුවත් නොවූ බවයි. එම ප්‍රකශය තුළින්ම යහපාලන් ආණ්ඩුවේ වගකීම් විරහිත භාවය පිළිබදව රටට ඔප්පු විය.

මේ නිසා පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරවලින් අහිමි වූ සිය ගණනක් ජීවිත බේරාගත හැකිව තිබුණාද? ,එසේ නොකිරීම ගැන නීතිමය හෝ සදාචාරමය වගකීම බාර ගන්නේ කවුද? යන්න ගැන අපට නැවත නැවතත් විපක්ෂයෙන් ඇසීමට සිදුවීමට සිදුව තිබේ.

-පංචාලි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us