එය සංකල්පයක් ලෙස ඉතා වැදගත් වන අතර රටක් ලෙස අභියෝගාත්මක තීන්දුවකි.
ඒ අනුව රසායනික පොහොර තහනම ගැන මේ දිනවල වැඩි අවධානයක් යොමුවී ඇති අතර ඇතැමුන් ඊට කණස්සල පළ කරද්දී තවත් පිරිසක් කාබනික පොහොර භාවිතයේ වටිනාකම ගැන මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරති. අප ලංකාව තුල වගා කටයුතු බොහෝ කලක සිට සිදුකරන ලද්දේ රසායනික පොහොර මගිනි. මෙම රසායනික පොහොර යොදා කරනු ලබන වගාවන්වල අස්වැන්න වැඩිය, පෙනුමෙන් විශාලය. එම නිසා වෙළද පොළට හොඳ බරකින් යුතුව අස්වනු ඉරිදිපත් කළ හැකිය. එසේම එම අස්වනු බොහෝ විට පැහැයෙන් සිත්ගන්නා සුළු වර්ණයන් ගෙන් යුක්තය. එම නිසාද පාරිභෝගික ආකර්ෂණය වැඩිය. නමුත් රසායනික පොහොර භාවිතයෙන් වගා කරන අස්වනු ගුණාත්මක භාවය අතින් ඉතා පහළ අගයක් ගනී. එපමණක් නොව අද වන විට සොයාගෙන ඇති පරිදි මෙම රසායනික පරිභෝජනයන් නිසා ලංකාවේ ජනගහනයෙන් සැලකියයුතු ප්‍රමාණයක් පිලිකා වැනි විවිධ බෝ නොවන දරුණු රෝගාබාධයන්ගේ ගොදුරක් වී හමාරය. එසේම අනාගතයේදී මිනිස් ජනගහන වර්ධනය කෙරෙහිද මෙය බරපතල තර්ජනයක් වන බවත් වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.
ඒ අනුව මෙම රසායනික පොහොර වගාව කිසිවිටෙකත් සාධාරණය කළ නොහැකි කරුණක් බවට පත්ව ඇත. එහෙත් එය දේශපාලනික කෝණයකින් බලන බොහෝ පිරිස් මෙය සාධාරණය කිරීමට උත්සහාගන්නා බව පෙනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වස විසෙන් තොර ශ්‍රීලංකාවක් යන මැයෙන් ශ්‍රීලංකාව තුළ රසායනික පොහොර වගාවන් තහනම් කොට කාබනික පොහොර වගාවන් රට තුල ව්‍යාප්ත කිරීම වත්මන් රජයේ අරමුණ වී ඇත. එහෙත් බොර දියේ මාළුබාන ඇතැම් කණ්ඩායම් මෙම ව්‍යාපෘතිය අසාර්ථක කිරීම උදෙසා මේ වන විටත් උත්සහයන් දරමින් සිටි. ඔවුන්ගේ මතය වී ඇත්තේ කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කටයුතු කිරීම ආර්ථිකමය වශයෙන් අසාර්ථක කරුණක් වන බවත් එය ගොවි ජනතාවගේ ජීවනෝපායට දරුණු පහරක් එල්ල කරන බවත්ය. එහෙත් ඒ චෝදනා සියල්ල පුස්සක් බව ඔප්පු කරමින් මේ වන විටත් කාබනික පොහොර වගාවන් තම ප්‍රධාන ජිවනොපයන් කරගත් පිරිස් අපට දැකගත හැකිය.
මේ එවන් ධෛර්යමත් තරුණ ව්‍යවසායකයෙකු වන ජාගොඩ මහතාගේ කතාවයි. (ජයාරූප සහිතයි)
මෙම තරුණ මහතා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ගාල්ල කොටුව පෙඩ්ලර් විදියේ විදේශිකයන් සදහා සිලෝන් ටී සහ නිමි ඇදුම් සාප්පුවක් විවෘත කර ඇත. ගාල්ල කොටුව යනු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන විදේශික සංචාරකයන්ගේ පරාදීසයකි. මෙරට ආර්ථිකයට සුවිශාල විදේශ විනිමයක් උපාය දෙන තෝතැන්නකි. ඒ අනුව මෙම තරුණ ව්‍යවසයකයා තම සප්පුවේම කොටසක් වෙන්කර ඇත්තේ කාබනික පොහොර යොදා නෙළාගන්නා එළවලු පළතුරු විකිණීමටය. මෙය අද ඊයේ සිදු කරන ලද ව්‍යාපාරයක් නොවන අතර මෙයට අවුරුදු කිහිපයකට පෙර සිටම මෙම මහතා මෙම ව්‍යාපාරයේ නිරතව ඇත. මේ සියළු කාබනික එළවලු පළතුරු වලින් බහුතරයක් රැගෙන එන්නේ ඔහුගේ නිවසේම කාබනික පොහොර යොදා ගොඩනඟන ලද ගෙවත්තෙන් වන අතර පහතරට වගා කළ නොහැකි එළවලු වර්ග ඔහු සපයා ගන්නේ නුවරඑළිය කාබනික පොහොර වගා බිම් වලිනි. එපමණක් නොව ඔහු පවසන ආකාරයට මෙම කාබනික එළවලු පළතුරු සදහා විදේශිකයන්ගේ ආකර්ෂණය ,දැඩි ප්‍රියතාවය නිසාම ඔහු තම නිවස තුළ විදේශිකයන් හට පිසූ ආහාර සපයන භෝජනාගාරයක් බවටද පත් කොට ඇත. එය සිදුවන්නේ ඔහු පවසන ආකාරයට මෙසේය.
මේ සදහා විදේශිකයන් ඔන්ලයින් ක්‍රමය හරහා ආහාර මෙනු තෝරාගන්නා අතර පැමිණෙන සංඛ්‍යාව ,දිනය වෙලාව ඇතුළත් කරයි. ඒ අනුව මේ සදහා ඔහුගේ නිවැසියන් ඒ සඳහා සුදානම් වේ. එලෙස ආහාර ගැනීම සඳහා පැමිණෙන විදේශිකයන් ඔහුගේ නිවසේ කාබනික වගාව නැරඹීමටද අමතක නොකරන බවයි ඔහු සදහන් කරන්නේ. එහෙත් පාස්කු ඛේදවාචකය සහ කොවිඩ් තත්වය සමග ඔහුගේ ආර්ථිකයට බරපතල කඩාවැටීමක් සිදු වූ නමුත් නැවතත් එය යථා තත්වයට පත්වනු ඇති බවත් ඔහු අපේක්ෂා කරයි. එසේම මෙම කාබනික එළවලු පළතුරු වල ඇති නැවුම් රස ගැන ඔහුට අද්දැකීම් ඇත්තෙකි.
සියල්ලන්ටම කෙටි ක්‍රම සොයන, පදනම් විරහිතව කාබනික පොහොර වගාවන් සම්බන්ධ රජයේ තීන්දුව විවේචනය කරන, හැම වැඩකම හොඳක් නොදකින විවේචකයන්ට මෙම තරුණ ව්‍යවසයකයා ප්‍රායෝගික භාවිතයෙන්ම උත්තරයක් සපයා ඇත.
රසායනික පොහොර තහනමෙන් පසු ඇතිවන අලුත් තත්වයට අනුව අලුත් උපාය උපක්‍රම භාවිතා කරමින් ඊට හැඩගැසිය යුතුය. වෙනස් තත්වයන් තුළ හොඳම ප්‍රතිපළය අත්පත් කරගැනීමට වෙහෙසෙනවා විනා එය විවේචනය කරමින් සිටීම රටක පමණක් නොව පෞද්ගලික ජිවිතයට පවා වැඩක් වන්නේ නැත. අලුත් අලුත් දෑ නොතකන ජාතිය නොනඟී.. කීවේ ඒකය.
-පංචාලි