ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් පරිසර සංවිධාන වලින් සහ මෙරට පුරවැසියාවෙතින් එල්ල විය. මේ තීන්දුව ගැනීමේදී, ඊට පෙර වැලි පස් මැටි කැපීම ප්‍රවාහනය සම්බන්ධයෙන් බලපත්‍ර ක්‍රමයක් පනවා ඒවා සීමා කිරීමට කටයුතු කර තිබුණේ ඇයිද යන්න ගැනවත් නොසිතා සියලු තහංචි ඉවත් කරනු ලැබීම සිදු විය. සිදුවෙමින් පවතින විනාශය සහ විරෝධය හමුවේ රජයට එම තහංචි නැවත පැනවීමටත් සිදු විය.
මේ අතර රක්ෂිත වනාන්තර ප්‍රදේශ හෙළි කිරීමගැන දිගින් දිගටම වාර්තා විය. එය සිංහරාජ වනාන්තරයටත්, සංරක්ෂිත කර තිබෙන රැම්සා තෙත් බිම් ආදියත් ඊට ගොදුරු වෙමින් පැවැතිනි. අද මේ මොහොත වන විටත් මෙය බරපතල ප්‍රශ්නයක්ව පවතින අතර මෙම කැලෑ බිම් එළිකරමින් ඉඩම් අල්ලා ගැනීම, වගාවන් කිරීම, හොටල් ඉදිකිරීම ආදිය සිදුවෙමින් පවතින බව වාර්තා වෙමින් තිබේ.
වරක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද වනාන්තර හෙළිකිරීම සිදුවන බවත් ඒවා පාලනයකින් තොරව සිදුකෙරෙන බවත් පවසා තිබිණි. මේවා වැලැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔහු සපත කර තිබුණද එහි ප්‍රමාණවත් බවක් පෙනෙන්නටද නැත. ඇතැම් තැනක ආරක්ෂක අංශ යොදවා රැකීමට කටයුතු කර ඇති නමුත් එය දීර්ඝ කාලීනව ප්‍රයෝගික පියවරක් වනනේ නැත.
එසේම පරිසරය රැකගැනීම තම ප්‍රතිපත්තිය බවත් පරිසරයට හානි කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති ගෝඨාභය ද කිහිප වරක්ම පවසා තිබිණි. එහෙත් එහි සාධනීය ප්‍රතිපලයක් තවම දකින්නට නැත. ඔහු ඇතැම් තැනකදී රක්ෂිත තුළ සාම්ප්‍රදායික ගොවිතැන් පවත්වාගෙන යෑමට ලබා දුන් අවසරයක් පවා වැරැදි ලෙස යෝදාගෙන රක්ෂිත වනාන්කර මහා පරිමාණයෙන් එළිකර වගාවන් සඳහා යොදවාගෙන තිබෙන බවත් වාර්තා වී ඇත. කොහොම නමුත් මේ ප්‍රශ්නයේ සමස්ථය හඳුනාගෙන නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයාගේ අනුග්‍රහය ලැබිය යුතුව තිබේ.
මෙලෙස පරිසර සංවේදී කලාප විනාශ කිරීම ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් බරපතල තත්වයකි. වනාන්තර ප්‍රතිශතය සීග්‍ර ලෙස අඩුවීම, රටේ ජෛව විවිධත්වයට හානිවීම, අනාගත පාරිසරික ප්‍රශ්න උග්‍රවීම ආදි අතොරක් නැති දේ සිදු වියහැකිය.
කෙසේ නමුත් මේ තත්වයන්ගේ වර්ධනයවීමේ ප්‍රවණතාවය නිසා අද විපක්ෂයට ආණ්ඩුවට එරෙහි සටන් පාඨ පහසුවෙන් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබී තිබේ. අද සමාජ මාධ්‍ය පුරා සැරි සරන්න ආණ්ඩුවේ පරිසර විනාශය ගැන පුවත්ය. මෙහිදී සත්‍ය තොරතුරු මෙන්ම අතිශයෝක්තියෙන් හුවා දක්වන තොරතුරුද, සත්‍යයෙන් තොර තොරතුරුද ප්‍රචාරය වෙමින් තිබේ.
බොහෝ විටම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විධිමත් ආණ්ඩු විරෝධයක් දක්වා මේ තත්වයන් ඉදිරියේදී වර්ධනයවීම ඉක්මනින්ම දකින්න ලැබෙනු ඇත. ඊට ආණ්ඩුවට මුහුණදීමට සිදුවෙනු ඇති අතර ඒ සඳහා සූදානමක් ආණ්ඩු පාර්ශ්වය තුළ ඇති බව මෙතෙක් පෙන්වා ද නැත.
කොහොම නමුත් වාර්තා වන ලෙස වැඩි වශයෙන්ම වනාන්තර විනාශ කරමින් සිටින්නේ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලකයන් හෝ ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ය. ඇතැම් ඇමැතිවරයකුත් මේවාට සෘජුවම සම්බන්ධ වෙමින් තිබෙන බවත් දැනගැනීමට තිබේ. තමන්ගේ හිතුමතේට වනාන්තර හෝ අවශේෂ වනාන්තර හෝ රක්ෂිතයන් හෝ කපා විනාශ කිරීම හැකියාවක් කිසිවකුට නැත. මේ සම්බන්ධයෙන් නීති රීති අණ පනත් රැසක් තිබේ. මේව රැකගැනීම සඳහා බලය පැවැරුණු නිලධාරීන්ද සිටී. එහෙත් ඒ කවර බාධක තිබුණත් නීතිය අභිබවා මේ විනාශකාරී කටයුත්තෙහි යෙදෙන්නන්ට ආණ්ඩු හිතවාදීබව, එම දේශපාලන බලය පැහැදිලිවම යොදා ගනිමින් තිබෙන බව පැහැදිලිය. මෙය වැලක්වීම වියයුතුව ඇති නමුත් ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකත්වය ඒ ගැන අවධානයක් යොමුකර ඇති බවද නොපෙනේ.
මේ නිසා කවුරු කොහොම වනාන්තර විනාශයට සම්බන්ධ වූවත් ඒ සියල්ල ආණ්ඩුවේ ගිණුමට බැර වීම අනිවාර්යයක් වී ඇත. එසේම මෙය ජනාධිපති ගෝඨාභය ඉලක්ක කරගත් දේශපලනික ප්‍රහාරයක් බවට අද පත්ව තිබේ.
මේ තත්වය ජනාධිපතිවරයාට ආණ්ඩුවට එරෙහිව තවදුරටත් වර්ධනයවීම යහපත් නැත. පසුගිය ආණ්ඩුවට එරෙහිව විල්පත්තු සංහාරය ගැන චෝදනාව බරපතලව බලපැවැත්වූ බවද සිහි කළ යුතුය. එසේම වත්මන් ආණ්ඩුව බලයට ආවේද ඒ විලපත්තු විනාශයට වගකිව යුත්තන්ට දඩුවම් දෙනවා කියාගෙන සහ මේ රටේ පරිසරය රැකගැනීම ගැන ඉහළ තහවුරුවක් සමඟය. ඒ අනුව වත්මනෙහි වන පරිසර විනාශය සුළු බව පෙන්වා දිය හැකි වූවත් එහි බලපෑම ඉතා විශාල බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.
මෙහිදි තවත් නිරීක්ෂණය වූ දෙයක් නම් මෙම පරිසර විනාශයන් ගැන හෙළිදරව් කරන පුද්ගලයන්ට එරෙහිව එල්ල කරන මඩ අපහාස තර්ජනයන්ගේ වර්ධනයයි. එසේම ඔවුන් තහවුරු කරන ලද තොරතුරු පවා අසත්‍ය බව කියමින් කරන ප්‍රචාරයන්ය. එමගින් පරිසර විනාශය සාධාරණීයකරණය කිරීමක් ද සිදුව ඇත. එමෙන්ම ඇත්ත ප්‍රශ්නය පිළිගෙන ඊට පිළියම් යොදනවා වෙනුවට අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට යෑමත් වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය අඩු වීමට හේතුවක් වී තිබේ. අසත්‍ය තොරතුරුවලට එරෙහිව, පිළිගත හැකි සත්‍ය තොරතුරු තහවුරුවක් ඇතිව පෙන්වා එය නිශේධය කිරීම වන වා වෙනුවට වෙනත් මඩ අපහාස කිරීම් ආදී පටු විවේචන මතු කිරීම නිසා වන්නෙත් අසත්‍ය තොරතුරුම සත්‍යය සේ සමාජ ගතවීමය.
ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් මේ තත්වයන් නියමාකාරයෙන් තේරුම් ගෙන ජනතාවට සත්‍යය පෙනවා පරිසර විනාශය වැලැක්වීමෙහි කඩිනම් පියවරයන් ගැනීම නොවුණහොත් එය අනාගත දේශපාලන පරාජයකට තවත් එක හේතුවක් වියහැකිය.
රටේ සංවර්ධනය වියයුතු සේම අත්‍යාවශ්‍යයෙන්ම පරිසරයත් රැකීම විය යුතුව තිබේ. ඒ ගැන විවාදයක් නැත. එහෙත් මේ සමබරව සිදු විය යුතුය. තිරසාර සංවර්ධනයක අත්පත් කරගත හැක්කේ එමඟිනි.
- සුජය