එසේම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීමේ නෛතිකමය ක්‍රියාවලියක් සිදුවන බවක්ද පෙනෙන්නට නැති නිසා මේ සීනි වංචාව ගැන විපක්ෂය සිතන්නේ මේ ආණ්ඩුව පෙරැළීමට තරම් බරපතල චෝදනාවක් කරගත හැකි බවය.
කොහොම වුණත් බැඳුම්කර ගනුදෙනුව ගැන ජවිපෙ නිල මතය කෝප් කමිටුව හරහා ප්‍රකාශයට පත් වූ නමුත් එය වංචාවක් ලෙස හැඳින්වීමට එහිදී කටයුතු කළේ නැත. එදා කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති එළියට ඇවිත් කීවේ එය නිත්‍යානුකූල වංචාවක් බවය. නීත්‍යානුකූල වංචාවන් කියා දෙයක් තිබිය නොහැකිය. රටේ නීතියට ක්‍රියාපටිපාටියට ඒ ගනුදෙනුව සිදුවී ඇත්නම් එය නිත්‍යානුකූලය. ඒ තුල වංචාවක් සිදුව නොමැතිය. මේ බැඳුම්කර ගනුදෙනුව ගැන එම ගනුදෙනුවේ ස්වභාවය දන්නා මුල්‍ය විශ්ලේෂකයන් බොහොමයක් පෙන්වා දෙන්නේද ඒ තුල වංචාවක් සිදුව නොමැති බවය. නමුත් රජයට වූ පාඩුව වැඩි බව පමණක් ඒ තුල පෙන්වා දී තිබේ.
බැඳුම්කර ගනුදෙනුවේ ස්වභාවය අනුවම එය රජය පොලියට මුදල් ගැනීමක් ලෙස සරළව හැඳින් වියහැකිය. ඒ අනුව එම පොලී මුදල පාඩුවක් ලෙස අර්ථකතනය වේ. මෙහිදි සිදුව ඇත්තේද පොලි අනුපාතය යම් ප්‍රමාණයකින් ඉහළ යෑමය. මුදල් ණයට දෙන්නාට වාසියක් වන සේ එම පොලි අනුපාතයන් ඉහළ දැමීමට කටයුතු කිරීමක් සිදුව ඇති බව එල්ල කළ හැකි සාධාරණ චෝදනාවය. එහෙත් ඒ සඳහා අදාල නිලධාරීන්ට අවසරයක්, ඉඩක් ලැබී තිබුණේ නම් එම පියවර ගැනීම ගැන ඔවුන්ට වගකීමෙන් නිදහස් වියහැකිය. මෙහිදී පවත්නා නීතියක් යටතේ රජයට හිතා මතා පාඩුවක් සිදු කළ බවට දූෂණ චෝදනාවක් නැගිය හැකි වූවද ඒවායෙන් ගැලවී යන්නට අවශ්‍යකරන වෙනත් නෛතික ප්‍රතිපාදනයන් තිබේ නම් ඒ චෝදනාවලින්ද පළක් වන්නේ නැත. එහෙම තත්වයත් තිබෙන්නේ නම් බැඳුම්කර ගනුදෙනුව වංචාවක් කියා හැඳින්වීම නිවැරදි නැත. පවතින ක්‍රමවේදයේ ඇති ලිහිල් බව නිසා මෙවැනි යම් යම් පාඩු රජයට සිදුව තිබේ නමි ඊට පිළියම් ලෙස කළ හැක්කේ පවතින ලිහිල් තත්වයන් ඉවත් කිරීමය. මෙම සිදුවීමෙන් පසුව බැඳුම්කර සම්බන්ධයෙන් අලුත් නීති රීති ගනනාවක් හඳුන්වාදෙමින් මේ බැඳුම්කර වෙළදාම තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය පියවරයන් ද ගෙන තිබිණි. කොහොම නමුත් මේ ගැන අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඊට සිදුවෙන දෙය අනාගතයේදි දැකගත හැකි වනු ඇත.
සීනි වංචාව කියා දැන් හඳුන්වනු ලබන දෙය තුළදී ද ඇත්තේ වංචාවක් නොවේ. එම ගනුදෙනු නිත්‍යානුකූලව සිදුව ඇත. මෙහිදී රුපියල් බිලියන 15.9 ක වංචාවක් සිදුවු බව කියන්නේ ඇත්ත වශයෙන්ම එම මොහොතේ රජයට සිදුවූ පාඩුවක් ගනනය කරය. එම පාඩුව ගනනය කළේ සීනී සඳහා කලින් පනවා තිබු තීරු බද්දේ වටිනාකම අනුව සහ එය අඩු කිරීමෙන් වූ හිඩැස ගනනය කරය. ඒ සීනි කිලෝවක් සඳහා පැවැති රු 50 ක බද්ද ශත 25 ක දක්වා අඩු කර ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව රට තුලට ගෙන ආ සිනී ප්‍රමාණව අනුව අහිමි වූ බදු මුදලයි. රජය විසින් යම් කිසි භාණ්ඩයකට පනවා එති බදු මුදල් අඩු කිරීම රජයට පාඩුවක් ලෙස අර්ථකතනය කිරීම කළ හැකි වනවිට රජය පනවන බදු මුදල් රජයට ලාබයක් වන බවත් පිළිගන්න සිදුවේ.
දැන් මේ පාඩුව වංචාවක් කියමින් චෝදනා නගන වුන්ට අනුව රජය සීනි පමණක් නොව ඕනෑම භාණ්ඩයක් සඳහා පනවන බදු මුදල ලාබයක් බව පෙන්වා දියහැකිය. ඒ අහිමි කරගැනීම නොවිය යුතු බවත් රජය මේ ලාභය වැඩි කරගැනීමට තව තවත් බදු ගැසීම මොවුන්ට අනුව වරදක් විය නොහැකිය. එහෙත් ගැටලුව තිබෙන්නේ මේ අයම රජය භාණ්ඩ සඳහා බදු පනවන විට එයට එරෙහිව කෑමොර දීමයි. උදාහරණයක් ලෙස ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල අඩුවෙලාය.. මෙන්න මේ ගානට ඉන්ධන ලබා දියහැකිය.. රජයේ ලාබය ගනන් හදා පෙන්වමින්.. රජය ජනතාව සූරා කනවා කියමින්.. රට පුර පොස්ටර් ගසමින්.. උද්ඝෝෂණය කරමින්.. ආණ්ඩු පෙරළන්න යන්නේත් මේ සීනි බද්ද අඩු කිරීමෙන් රජයට පාඩුවක් නැති නම් වංචාවක්කර ඇති බව කියන වුන්මය. සීනි බදු පැනවීම රජයට ලාබයක් නම් ඉන්ධන බදු පැනවීමත් රජයට ලාබයකි.
විපක්ෂයට තවත් වාසියක් වූයේ ආණ්ඩුවට පක්ෂපාත යැයි කියන දැවැන්ත ව්‍යාපරිකයකු සීනි වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙනවිත් තිබීම නිසාය. මේ නිසා බදු සහනය දුන්නේ ඔහුට වැඩිපුර ආදායමක් ලබාගැනීමටය කියන මතය ප්‍රචලිත කරන්නට හැකිවිය. නමුත් මේ බදු සහන යටතේ සීනි ලංකාවට ගෙන ආවේ මේ ව්‍යපාරිකයා පමණක් නොවේ. කොහොමටත් ව්‍යපාරික හැකියාව අනුව ඒ ඒ ව්‍යාපාරිකයන් තමන්ට දැරිය හැකි මට්ටමින් භණ්ඩ ආනයනය කිරීම සිදුකරයි. ව්‍යාපාරිකයට අවශ්‍ය වන්නේ ලාබයය. ඒ වෙනුවෙන් ඇති සෑම අවස්ථාවක්ම ඔවුන් පාවිච්චි කරයි. එය වරදක් යැයි කිව නොහැක. ව්‍යාපාර සම්බන්ධයෙන් ඕනෑවට වඩා සීමාවන් නීති රීති දමන්න ගියහොත් ව්‍යාපාරිකයන් අනවශ්‍ය කරදර විඳගෙන එම කටයුතුවල නියැලෙන්නේ ද නැත. ලංකාව ව්‍යාපාර කරන්න, ආයෝජනය කරන්න හිතකර රටක් නොවන බවට අද ජාත්‍යන්තරවත් මතයක් රෝපණයවන්නේ දැනටමත් තිබෙන නිිති රිති පහසුවෙන ව්‍යාපාරවල නියැලෙන්න බාධාකාරී නිසාය. මේ බාධාවන් ඉවත් කරන්න ගන්නා විට ඊට එරෙහිවත් විපක්ෂ කොටස් විරෝධය දැක්වීම සුලබ දෙයකි. ලංකාවේ සංවර්ධනය පසුපසට යෑම ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රටක් විදියට ගතයුතු ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට පටු දේශපාලන වුවමනාවන් හරස්වීම බව ඒ ඉතිහාසය හදාරණ විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන දෙයකි.
ඒ කොහොම වුවත් කන්න ඕන වුණාම කබරගොයාත් තලගොය කරගන්න මේ අවස්ථාවාදී තක්ඩියන් මේ වන විට මේ සීනි ප්‍රශ්නය ගැන පට්ටපල් බොරු සමාජගත කරමින් රටේ ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇත. ඒ කොහොම නමුත් මේ අවස්ථාවාදීකම එක කණ්ඩායමකට පමණක් අදාල චෝදනාවක් නොවේ. ආණ්ඩු බලය තිබෙන විට එකකුත්, නැති විට එකකුත් යනාදී වශයෙන් මේ අවස්ථාවාදී භාවිතාවන් කා අතිනුත් මතුව තිබේ. මේ රටේ දේශපාලනය ජරා ජීර්ණ වී ඇත්තේ මේ අවස්ථාවාදී තක්කඩිකම් නිසාය.
එහෙත් ඇත්ත වශයෙන්ම සීනි බදු මුදල් අඩු කිරීමට ගත් පියවරෙහි අරමුණ වෙනතක ගොස්, යම් අවාසියක් වූයේ පාරිභෝගික ජනතාවට යන්න පිළිගැනීමට සිදුවේ. මන්ද රජය සීනි බද්ද අඩු කිරීමට පියවර ගැනීමේදී කීවේ කොරෝනා තත්වයන් හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට හේතු භුත වන කරුණු කාරණා යෙදී තිබු බැවින් සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩුකර යම් වාසියක් ජනතාවට ලබාදීම විය යුතු බවය. ඒ වෙනුවෙන් ගැසට් පත්‍රයන්ද නිකුත්කර නව පාලන මිලක් හඳුන්වා දෙනු ලැබීය. එහෙත් එම පාලන මිලට අනුව වෙළඳපොළෙන් සීනී ලබාගැනීමේ අවස්ථා ඉතා විරළ විය. හැම තැනම දකින්නට ලැබුණේ පාලන මිලට වඩා සීනි මිල අධික බවය. සීනි බදු අඩු කිරීමෙන් පාරිභෝගික ජනතාවට ලැබිය යුතු වු වාසිය නොලැබීම ගැන නම් රජය වගකිව යුතුය.ඒ චෝදනාවෙන් රජයට ගැලවීමක් නැත.
තත්වය එසේ වූවද ඒ ගැන කළ යුතු අවධාරණය පසෙක තබා ආණ්ඩුවේ බලධාරීන් සීනි වලින් රු බිලියන 16 ක ගසා කා ඇති බවට අභූත කතන්දරයක් ජවිපෙත් අනෙක් විපක්ෂ කණ්ඩායමුත් මතු කිරීම මොවුන්ගේ සටකපට තක්කඩිකම විනා වෙනකක් නොවන බව රටේ ජනතාව තේරුම ගත යුතුය.
-the novemberist