2024 න් ඉවත්වෙන්න ගෝඨාභයට අයිතියක් නෑ.. Featured

Friday, 05 March 2021 13:42

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවට පොදු ජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අනෙක් පක්ෂ නායකයන් හා පැවැති සාකච්ඡාවකදී පැවැසූ බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් ලෙස ප්‍රකට ලංකා සී නිව්ස් හී ඊයේ පුවතක් පළ කර තිබිණි.

මීට පෙරද ජනාධිපතිවරයා මෙවැනි අදහසක් දැක්වූ බවට ඔහුට සමීප පිරිස් පැවසූ බවට පුවත් වාර්තා වී තිබිණි.

මේ තොරතුරුවල ඇත්ත නැත්ත කුමක්වූවත් අවධාරණයකර පැවැසිය යුත්තේ ජනාධිපතිවරයාට 2024 දී ඉවත්ව යෑමට යම් කිසි අදහසක් ඇතිනම් ඒ වෙනස් කරගැනීමට සිදුවන බවය. මන්ද ඔහුට එහෙම හිතුවක්කාරී තනි තීන්දු ගත නොහැකි නිසාය. ඔහුට එහෙම අයිතියක් නැත.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති පු‍ටුවේ හිඳගැනීමට අවස්ථාව ලැබුණේ ඔහුගේ තනි කැමැත්තකට හෝ එපා පවුලේ කැමැත්තකට නොවේ. එහෙම රටක ජනාධිපතිවන්නට නොහැක. ජනාධිපතිවරයාව තොරාපත් කරගන්නේ රටේ ජනතාවගේ බහුතර කැමැත්තෙනි. ඒ තබා ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභයට ලැබෙන්නේද ඔහුගේ ඉල්ලීමකටවත් ඔහුගේ හෝ එම පවුලේ තීරණයක් නිසා නොවේ. පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කර ගතයුත්තේ කාවද යන්න ගැන වන ප්‍රශ්නයට උත්තරය ලෙස ඒකමතිකව ගෝඨාභය රාජපක්ෂගේ නම යෝජනා වූයේ මේ දේශපාලන බලවේග සමඟ සිටි මහ ජනතා බලවේගවල ඉල්ලීමක් ලෙසය.

මේ ඉල්ලීමත් හුදු දේශපාලන පාක්ෂිකභාවයකට එහා ගිය බලාපොරොත්තු කන්දක් සමඟ වූ මානුෂික ඉල්ලීමක් ලෙසද හැඳින්විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බව ජනතාව හමුවේ පැවසූවේ ශ්‍රී ලංකාව රටක් විදිහට ඉතාම අනතුරුදායක අඩියකට වැටී සිටින මොහොතකය. රටේ ආර්ථිකය බංකොලොත් වී සාමාජීය සංස්කෘතික සහ බරපතල දේශපාලන වියවුලකට රට ඒ මොහොත වන විට ගමන් කර තිබිබිණි. ඒ සිල්ලටම වඩා අතිශය බරපතල කාරණාව වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සමඟ මේ රටේ සියලූම පුරවැසියා තමන්ගේ ජීවිතය ‍රැකගෙන, මේ රට ‍රැකගෙන තවදුරටත් ජීවත් වීමේ හැකියාව පිළිබඳ භිහිසුණු අර්බුදයකට මුහුණ දෙමින් සිටීමය. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය අන් සියලු ප්‍රශ්න යටපත් කරමින් වහා විසඳිය යුතු අර්බුදය බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසන් අඩසියවස පුරාම අතිශය සංත්‍රාස ජනක අත්දැකීම් රැසකට රට වැසියා මුහුණ පා තිබිණි. එය දේශපාලන ඝාතනවලින් පිරුණු ඉතිහාසයක් විය. දකුණේ ලේවැකි කැරලිකාරිත්වයන් දෙකක් විසින් ලක්ෂයකට වඩා ජීවිත අහිමි කර තිබිණි. තිස් අවුරුද්දක් පුරා පැවැති උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී යුද්ධය තවත් ලක්ෂයක්ගේ පමණ ජීවිත නැතිකර තිබිණි.

මේ කැරැලිකාරිත්වයන්ට , යුද්ධයන්ට සෘජුවම සම්බන්ධ නොවූ, මේ ජාරාජීර්ණ දේශපාලනයට සම්බන්ධ නොවූ, අවි ආයුධ නොදැරූ, අහිංසක සිවිල් වැසියන්ද සිය දහස් ගනනක් මේ කැරැලිකෝලාහලවල ගොදුරු බවට පත්විය. සමාජයේ උගත් බුද්ධිමත් දේශපාලනඥයන්, විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, භික්ෂුන් වහන්සේ පූජකයන් ඇතුලු මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමේ මහගු සක්‍යතාවය ඇති වටිනා මිනිසුන් මේ රටට අහිමි විය. රටේ දේපොළ මිළ කළ නොහැකි අයුරුන් විනාශ විය. රටේ සංවර්ධනය දශක ගනනාවකින් ආපස්සට ගියේය. රටේ අභිමානය කීර්තිය විනාශ වී ගියේය. මේරටේ පුරවැසියකු ලෙස ලෝකය හමුවේ පෙනී සිටීම ලැජ්ජාවට කරුණක් වන තරමට මේවා දුරදිග ගොස් තිබිණි. මේ ඛේදනීය තත්වයෙහි උච්චතම යුගය පසුගිය යහපාලනය යුගයයි. යහපාලනය බලයට ගෙන ආ මිනිසුන්ම යහපාලනය පෙරළා දැමීම සඳහා මාස කිහිපයක් යනකොටම තීරණය කරන තරමට එම පාලනය ජරා ජීර්ණ විය. හැම අතිනම දිනෙන් දින පිඩාවට පත්වූ මිනිසුන් නව විකල්ප නායකත්වයක් රටට අවශ්‍ය බව වේලාසනම තීරණය කර තිබිණි.

කොන්ද පණ ඇති, දැක්මක් ප්‍රතිපත්තියක් ඇති. සෘජු තීන්දුවක් තීරණයක් ගතහැකි, කියන දේ කරන, කයිවාරුවට වඩා වැඩ කරන නායකයෙක් රට ඉල්ලා සිටියේය. පුරවැසියාගෙත් රටේත් සුරක්ෂාව සහතික කළහැකි , බයෙන් ලැජ්ජාවෙන් තොරව ජීවත් වෙන්න වටපිටාවක් සකසා දෙන ජනතාවගේ වීරයෙක් රටට අවශ්‍ය විය. ඒ සිදු කළහැකි බවට පෙන්වා ඔප්පු කර ඇති මිනිසෙක් රටේ ජනාධිපතිවරයා ලෙස තෝරාගත යුතු බව ජනතාව තීරණය කර තිබිණි. මේ තීරණය වෙනුවෙන් නම් කළහැකි සුදුසුකම් ලත් එකම මිනිසා වූයේ ගෝඨාභය රාජපක්ෂය. එය හුදු නම් කිරීමක් නොවේ. දැවැන්ත විශ්වාසයක් ආදරයක් බලාපොරොත්තුවක් සමඟ වූ ගෞරවනීය පිළිගැන්වීමකි. ගෝඨාභය රාජපක්ෂට සිය කැමැත්තෙන්ම ඒ බාරගන්න සිදුවිය. එය ජනතාවගේ මානුෂික ඉල්ලීමයි. දැන් ගෝඨාභයට මේ ඉල්ලීම පසෙකට දමා, බාරගත් වගකීම පැහැර හැර, පලා යා නොහැකිය. ඔහු ජනතාවට දුන් අපේක්ෂාව ප්‍රකාරව ඒ ඉ‍ටු කළ යුතුය. ජනතාව හමුවේ ද්‍රෝහියෙක් විය නොහැක.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ යනු බාරගත් වගකීමක් සියයට සියයක් ඉ‍ටුකර මිසක් නැවත ආපහු නොබැලුවෙක් බව ඔහුගේ ඉතිහාසය පුරාම සාක්ෂි දරයි. හමුදා නිලධාරියකුව සිටියදී කිසිවකුත් බාරගැනීමට බියවූ අභියෝගාත්මක මෙහෙයුම් ජයග්‍රහණයෙන් අවසන්කර පෙන්වූ අවස්ථා ගනනාවක් එම වීරවන්ත හමුදා ජීවිතය තුල තිබිණි. ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු වැඩ බාර ගත්තේ මේ තිස් අවුරුද්දක් පුරා නොවිසැඳී පරාජයන්ම උරුමවෙමින් තිබු යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන බවට දැඩි අධිඨනින් යුතුවය. එය කෙටි කලකින්ම ඔහු කරපෙන්වීය. යළි ත්‍රස්තවාදයකට මේ රට තුල කිසිදු ඉඩක් විවර නොවන තැනට ඔහු රටේ ආරක්ෂාව සහතික කොට තිබිණි.

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, අවලස්නව අවිධිමත්ව තිබූ කොළඹ නගරය ඇතුලු රටේ ප්‍රධාන නගරසක් අලංකාරවත්ව විධිමත්ව සකස් කරමින් මේ දකුණු ආසියාකරයේ සුන්දරම නගර තිබෙන රට බවට පත් කළේය. රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින පසුගාමී නැතිනම් නූතනත්වයට නොගැලපෙන ක්‍රමවේදයන් වෙනස් කරමින් සීග්‍ර සංවර්ධනයක් කරා රට ගමන් කරවිය හැකි ලෙස නව ක්‍රමවේදයන් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබීය. ජාතියේ අවසනාවට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස 2015 වසරේදී එම ආණ්ඩු පාලනය පෙරළා නොදමන්නට මේ රට දකුණු ආසියාවේ සුන්දරම රට, සංවර්ධිතම රට බවට පත්විය හැකිව තිබු බවට සැකයක් නැත. එහෙත් මේ ශ්‍රී ලංකාවට යහපාලනය විසින් කළ විනාශය නිසා යළිත් රට ගොඩනැගීම මුලසිටම කළ යුතු බවට පත්කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ වසර ගනනාවක් තිස්සේ මේ රටේ උගතුන් වියතුන් ඒකරාශි කරගෙන යළි රට ගොඩනැගුම වෙනුවෙන් වන සැලසුම, වැඩපිළිවෙල හෙමින් සීරුවේ සකසා එය ' සෞභ්‍යාගයේ දැක්ම' ලෙස ජනතාව හමුවට පමුණුවා එය යථාර්ථයක් කරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු විය. ඒ අනුව ඔහු එම මහා සංග්‍රාමය දැන් ආරම්බ කර තිබේ.

එහෙත් දශක ගනනාවකින් ආපස්සට ගිය රටේ සංවර්ධනය වසරකින් දෙකකින් ගොඩනැගීම කළ නොහැකි බව වටහාගැනීමට මහා බුද්ධියක් අවශ්‍ය නැත. ඊට කාලය අවශ්‍යය. ක්‍රමවේදයන් නියමිත පරිදි විය යුතුය. මුලිකවම පුරවැසියාගේ ආකල්ප මෙන්ම රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට අදාල යල් පැනගිය නීති රීති මෙන්ම අ‍ටුවම් බැහැපු ආකල්පයන්ද වෙනස් කළ යුතුය. විපක්ෂ කොටස් වලින් එන හුදු විරුද්ධවාදී ද්වේශ සහගත සාධාරණ නොවන බලපෑම් මැඩ පැවැත්විය යුතුය. රටේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කළ යුතුය. නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ප්‍රායෝගික වැඩ පිළිවෙලවල් සකසා ගත යුතුය.
රට හමුවේ වන බරපතල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන ණය උගුලෙන් රට මුදවා ගත යුතුය. ඊට මුදල් උපදවා ගතයුතුය, විකල්ප ආර්ථික සැලසුම්වලට යායුතුය. ජාතයන්තරව එල්ල වන ආර්ථිකමය හා දේශපාලනික බලපෑම්වලින් මිදීමේ උපක්‍රම සොයාගත යුතුය. මේවා දීර්ගකාලීන ක්‍රියාදාමයන් වියහැකිය. එහෙත් ඒ අතරතුරේදී ජනතාව මුහුණ දෙන ආර්ථික හා සාමාජීය ගැටලු වෙනුවෙන් කෙටිකාලීන සහනයන්ද ලබාදීමට සිදුව තිබේ. මන්ද පාලකයා මුහුණ දෙන සංකීර්ණ ගැටලු ගැන බහුතර පොදු ජනතාවට සංවේදී වන්නේ නැත. ඔවුන් සිතන්නේ එදා වේල හෝ සොයාගැනීමේ පහසු මාවත්ය. ඒ අහිමි වන විට විරෝධය එල්ලවන්නේ ආණ්ඩුවටය. ඒවා සමනය කරගැනීම විය යුතුය. එසේ නොමැතිවන විට විරුද්ධ බලවේග ඔවුන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් මේ ගැටලු තක්කඩි ලෙස යොදාගනී.

ගොවියාගේ ප්‍රශ්න, කාර්මිකයාගේ ප්‍රශ්න, ස්වයං රැකියාකරුවන්ගේ ප්‍රශ්න, ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න යනාදි වශයෙන් සෑම ක්ෂේත්‍රයකම වන ගැටලු විසඳා දිය යුතුය. සේවා ලෙස ගතහොත් අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සේවා වැනි ක්ෂේත්‍රවල කාලාන්තරයක් තිස්සෙ වන ගැටලු විසඳාගැනීම වියයුතුය. ඒවා රටේ සංවර්ධනයට සෘජුවමදායක වන ලෙස, ප්‍රතිලාබ ගෙන එන ලෙස අලුතෙන් සකස් කිරීමටද සිදුව තිබේ. මේ ආදී වශයෙන් කළයුතු වැඩවල කෙළවරක් නැත. එකින් එක වෙන වෙනම ගෙන මේ විසඳීම ද නොහැක. එකක් අනෙකක් හා ගැට ගැසී ඇති නිසා එකක් විසඳන විට අනෙකක් අර්බුදයට යයි. මේ නිසා මේ සියල්ල තුලනය කරගෙන ඉතා සීරුවෙන්, උපක්‍රමශීලී ලෙස, නිර්මාණශීලී ලෙස කිසිවකුට, කිසිදු ක්ෂේත්‍රයකට අහිතකරව බලනොපාන ලෙස මේ ප්‍රශ්න විසැඳිය යුතුය. එසේම තවත් වැදගත් කාරණයක් වන්නේ රට තුළ පැන නැගෙන අර්බුද සමඟ ඊට සමගාමීව සහ ඒවායේම ප්‍රතිපල ලෙස පැන නඟින ජාති ආගමික ආදී සමාජ අර්බුධයන් විසඳා මේ ශ්‍රී ලංකාවේ ශ්‍රීලාංකික පුරවැසියන් ලෙස සමගියෙන්, සහයෝගයෙන්, අනෝන්‍ය අවබෝධයෙන් ජීවත්වන පුරවැසි ප්‍රජාවක් බිහි කරගැනීමේ අභියෝගයද අද රට හමුවේ තිබේ.

ඒ කොහොම වුණත් ප්‍රායෝගිකව කල්පනාකර බැලුවහොත් මේ සියල්ල මේ වසර 5 ක ජනාධිපතිධුර කාලයක් තුලදී විසැඳීම කළ හැකි නොවේ. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස භාරගත් වගකීමය. ඔහු එය ඉ‍ටුකළ යුතුය. 2024 දක්වා වන කාලය තුල එය කළ නොහැකි නම් එළඹෙන වසර 5 තුළ දී හෝ ඒ ඉ‍ටු කළ යුතුය. මේ රටේ සාතිශය බහුතරයක් වන ජනතාවගේ ඉල්ලීම එයය. යළි මේ රට වෙනත් දුෂ්ඨ බලවේගවලට අත්පත් කර දීමට මේ රටේ ජනතාව ඉඩදෙන්නේ නැති බව විශ්වාසය. යහපාලනය කියා ජනතාවට, රටට ද්‍රෝහී බලවේග විසින් කළ අමු තක්කඩි බොරුව මේ රටේ ජනතාවට අමතක නැත. ඒ නිසා ජනතාව සිටින්නේ රටේ සෞභාග්‍යය වෙනුවෙන් අවංකවම වැඩ කරන තමන් විසින් ‍තෝරා පත්කරගන්නා ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය වගකීම ඉටුකරනු ඇති බවට දැඩි විශ්වාසයකිනි. ඔහු භාරගත් මෙහෙවර අවසන් කරන තුරු ඔහුට සමුගන්නට මේ රටේ ජනතාව කීයටවත් ඉඩදෙන්නේ නැත. ඇතැම් දුෂ්ඨ බලවේගවලට ඔහුව ඉවත්කර ගන්නට වුවමනාව තිබුණද කිසිදු ජන ප්‍රසාදයක් නැති එය සිදුකළ නොහැකි බව සැක නැතිව කිවහැකිය. ඒ නිසා මේ දුෂ්ඨ බලවේගවල කෑ මොරදීම්, කන්කෙඳිරි ගෑම් අළුයම ලූ කෙළ පිඩක් සේ පසෙකට දමා, භාරගත්තු වැඩේ කෙළවරක් වෙන තුරු මිස, විවේක ගැනීමට ජනාධිපති ගෝඨාභයට ජනතාවගෙන් අවසර නම් නොලැබෙන බව අවසන් වශයෙන් පැවසිය යුතුය..

- the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us