ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ සිටම රට ගැන කරන ඉගැන්වීමේදී මේ මුතු ඇටේ කතාව අනිවාර්යෙන්ම කියැවේ.
මේ ඇටේ ගැන මතකය වයෝවෘද්ද වුවත්, කෙතරම් පරිණත වුවත්, මොන වෘත්තික භාවයක් තිබුණත්, උගත් වුණත් බුද්ධිමත් වුණත් අත් හැරෙන්නේ නැත. ඇටේ තමා ලොකු. ඊයෙ පෙරේදා දේශපාලන පළිගැනීම පිළිබඳ වූ කොමිසම නිකුත් කළ වාර්ථාව පටන් ගන්නේද මේ ඇටේ මතක් කරමිනි.. ඇටේ එතරම්ම වැදගත්ය.
නමුත් මේ කියන්න යන්නේ මේ රටට ද හෙණ ගහලා තියෙන්නෙත් මේ ඇටේ නිසාය කියාය. මුතු ඇටයකින් වර්ණ ගන්වන්නේ යමක තිබෙන වටිනාකම ගැන කියන්නය. ශ්‍රී ලංකාවට එය ගැලපෙන්නේ ලෝකයේ බහුතරයක් රටවල නැති මහා සම්පත් තොගයක් මේ රටේ තිබෙන නිසාය. අපට වතුර හිඟ නැත, ගස් කොළන් පිරි සදාහරිත වැසි වනාන්තර, ඇලදොල ගංගා වන සිව්පාවුන් හීඟ නැත, කවදාත් මේ රටේ කෙනෙකුටට බඩ ගින්නේ මැරෙනන් වී නැත, ගහක කොළයක් ගෙඩියක් හෝ ආහාර ලෙස පවතී. අව්ව වැස්ස සම සමව ලැබේ. ප්‍රියමනාප දේශ ගුණයකි. කාලගුණික දේශුණික මෙන්ම ගිනිකඳු භූමිකම්පා වැනි ස්වභාවික ආපදා අවමය. ඒවගේම ඛනිජ සම්පත් ආදිය රට පුරාම විසිර පවතී. තෙල් හා ගෑස් තිබෙන බවත් කියවෙති. රත්තරන් නිධි ගැනද කියවේ. ලෝකයේ ඉහළම ගුණාත්මක මිනිරන් ඇත්තේද මෙහෙය. පොස්පෙට් ඉල්මයිට් නිධි ගැනද කතාව එහෙමය. මුතු මැණික් ගැන අපට සොයා ගත හැකි ඉතිහාසයේ අන්තිම කොනේ සිටම ලෝක ප්‍රසිද්ධ සම්පතකි. රට වටේ මහ මුහුදය. මහා මත්ස්‍ය සම්පතක්ද අපට තිබේ. මේ වගේ තව ලොකු ලැයිස්තුවක් රටේ සම්පත් ගැන තිබේ. ඊටත් වඩා මෙහෙ වසන මිනිස්සු ප්‍රිය මනාපය, සාමකාමීය, සිනා මුසුය, කාටවත් කරදරයක් නැතිව පාඩුවේ විසීමේ පුරුද්ද තිබේ. ආගන්තුක සත්කාරයෙහි කෙළ පැමිණියෝය.
ඒ අනුව මේ රටට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කීමෙහි වරදක් නැත.
එහෙත් මෙතරම් වටිනාකම් තියාගෙන අද ශ්‍රී ලංකාව ලෝකයට රු. ට්‍රිලියන 13 ක පමණ ණය කන්දරාවකට හිරවී සිටින්නෙමු. හැම පුද්ගලයෙක්ම ලෝකයට රු ලක්ෂ හත අටකින් ණයය. ඒ ණය ගෙවන්න ණයම ගන්නවා විනා ඒ මුදල රට තුලින් උපය ගන්නට නොහැකිය. දකුණු ආසියානු හෝ අග්නිදිග ආසියානු කලාපය සමඟ හෝ සසඳන විට ඒ සෑම රටකටම පෙර දියුණු සංවර්ධනයක් අත්පත් කරගැනීමේ වැඩිම හැකියාව තිබූ රට ශ්‍රී ලංකාවය. ඒ සඳහා වඩාත්ම වාසිදායක භූ පිහිටීමද ඇත්තේ ලංකාවටය.
ඉංග්‍රීසින් විසින් මේ රටේ වටිනාකම අවබෝධ කරගෙන මේ රට සංවර්ධනය කිරීමට උත්සුක වූයේය. ඔවුන්ගේ අනෙක් යටත් විජිතයන්ට පෙර බොහො සංවර්ධන ව්‍යාපෘතීන් මෙරටට ලැබුණේ ඒ නිසාය. ඉංග්‍රීසින් මේ රටේ වටිනාකම් සම්පත් ගැන කර තිබෙන අධ්‍යනයන්, ලියා ඇති පොත්පත් ප්‍රමාණය තරම් වෙනත් යටත් විජිතයක් ගැන සිදුකර නැති බවත් සැකයකින් තොරව පැවැසිය හැකිය. ඔවුන්ට එතරම වටිනා කියන දේ මේ මුතු ඇටෙන් ලැබී තිබිණි. ඒත් ඉංග්‍රීසි කරයාද අන්තිමට මේ වටිනාකියන රට අත්හැර දැමුවේය. ඒ ඇයිද කියන එක ගැන නොසොයා අපි අපේ නිදහස් සටනක් ගැන 73 අවුරුද්දක් තිස්සේ වගාඩම්බර දොඩමින් සිටිමු. 2500ක අභිමානවත් ඉතිහාසයක් ගැන නන්දොඩමින් සිටිමු. ඉන්දියන් සාගරේ මුතු ඇටය මේ යැයි කියා මොකක්ද විනෝදයක්ද ලබමින් සිටිමු.
එහෙත් අද අපි ඇයි මේ කලාපයේ දුප්පත් පසුගාමී රාජ්‍යයක් වී ඇත්තේ කියන එක ගැන කතාවක් නැත. සිංගප්පුරුකාරයාට සිංගප්පුරුව ලංකාව වගේ කරන ඕනෑ යැයි කියා කීවේ මීට අවුරුඩු 50 කටත් කලින්ය. අද අපිට ඇත්තේ තව අවුරුදු 50 කින් හරි මේක සිංගප්පුරුවක් වෙනු ඇතැයි කියන අහිංසක සිහිනයක් ගැන සිතමින් කල් ගෙවමින් සිටීමේ විනෝදය පමණය.
මෙහෙම වුණේ ඇයි ? බොන්න වතුර ටිකවත් නොතිබුණු සිංගප්පුරුව ලෝකයේ දියුණුම රාජ්‍යයක් වන විට ලෝකයේ හැම සම්පතක්ම පාහේ තිබෙන ශ්‍රී ලංකාව දුප්පත්ම රාජ්‍යයක් වූයේ ඇයි ?
හේතුව අර මුතු ඇටේ කතාවය. මොකද අපිට හැම දෙයක්ම තිබෙනවාය. ඒ නිසා කිසි දෙයක් අත්පත් කර ගැනීමේ වුවමනාව අපට නැත. ලෝකයේ කම්මැලිම ජාතියක් ලෙස මේ රටේ බහුතරය වන සිංහලයාව හැඳින්වීමට ඉංග්‍රීසිකාරයා නිවැරදි වූයේ අපිට අමුතුවෙන් වැඩකර අත්පත්කර ගැනීමට දේවල් තිබෙන බව නොසිතීම නිසාය. ඒකාට රට දාලා යන්න ලොකු හේතුවක් වූ කාරණයකි එය. අපි හම්බු කර ගත්තොත් කෑවා කියා එදා වේලට මොනවා හෝ එකතුකරගත්තා මිස අනාගත අත්පත් කරගැනීම් ගැන සැලසුම් සමාජයක් ජාතියක් රටක් විදියටම තිබුණේ නැත. බහුතරයක්ගේ පිළිගැනීම වන බුදු දහම අනුවත් අප අභ්‍යාස කළේ නොඇලීම සහ අත්හැරීමය. ඒ අනුව තිබෙන දෙයක් නැති වුණොත් ඒ ලබා උපන්න හැටි යැයි කියා එය කරුමයට බාර දීමේ ඓතිහාසික පුරුද්ද අපට ඇති විය. මේ සියල්ල අපිව වැඩ කිරීමට පෙළඹෙව්වෙ නැත.
පාසල් අධ්‍යාපනයේ පළමු පරිච්ඡේදයේ පටන්ම මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය. මෙකෙ නැති දෙයක් නැත. තියෙන දේවල් ලොවෙත් නැතය...කියමින් ඔළුගෙඩි පිරවීම සියවස් ගනනාවක් මුලුල්ලේ සිදුවීම මත මේ පාසල් වලින් පිටවන සාතිශය බහුතරය අලුත් යමක් උපදවන්න උත්සහ නොකරයි. අද රජයේම රැකියාම ඕනේමයි කියමින් සොයමින් වසර ගන්න රස්තියාදු ගසන උපාධීධාරීන් බිහිවන්නේත් මේ මුතු ඇටේ ආකල්පය නිසා ඇති කර තිබෙන තත්වයකි. ඒ වැඩක් නොකර ගතමනාවක් ලබා ගැනීමේ පහසුකම එහි තිබෙන බැවිනි.. එසේම සමෘද්ධි සහනාධාරයේ සිට තවත් සහනධාර කප්පරක් රජයට ලබා දීමට සිදුව ඇත්තේ ද මේ අවුල නිසාය. නිකම් ලැබෙනවා නම් දෙමළ පත්තරය උනත් කමක් නෑ කියා සිංහලයාම තමන්ට පදයක් හදාගෙන ඇත්තේද ඒ නිසා විය යුතුය.
ඊටත් වඩා භායානක තත්වයක් නම් ශ්‍රි ලංකා රජයද මේ ආකල්පයන්ගේ ගොදුරක් බවට පත්ව තිබීමය. අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී යැයි මුණිදාසයන් ලියා තිබුණද මේ රටේ කිසිදු පාලන තන්ත්‍රයක් මේ අලුත් අලුත් දෑ වෙනුවෙන් ඉඩක් වෙන් කළේ නැත. නවොත්පාදකයන්,ට නව ව්‍යවසායකයන්ට අවශ්‍ය පෙළඹවීම හෝ පහසුකම් ලබා දුන්නේ නැත. තාක්ෂණික ආධාර, බැංකු ණය පහසුකම්, බදු සහන, විදේශ වෙළඳ පොළ සොයාදෙන්න, ඊට පහසුකම් සලසා දෙන්නට රජයන් කටයුතු කර නැත. මේ රටේ සම්පත් පාවිච්චි කර එහි උපරීම ප්‍රයෝජනය ගන්නට කිසිදු රජයක් සමත් වූයේ නැත.
නැත...නැත.. කියා කියන්නේ නැතිම නිසාම නොවේ. එවැනි පහසුකම් සලසා දීමට යැයි කියමින් කෙරුණු වැඩ තිබේ. එහෙත් ඒවා වැඩකට නැති හෝ නොගිණිය හැකි තරම් නොවටිනා දේය. නැතිනම් බොරු සංදර්ශනයන්ය. ඒ නිසා සමස්තයක් ලෙස රජයන් මොකුත් කර නැති බව කීම සාධාරණය. දේශපාලකයන් විසින් රටේ දුර්වලකම් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තක්කඩි ලෙස යොදාගැනීමද මේ රටට අනාගතයක් නැති කිරීම කෙරෙහි දැඩි බලපෑමක් කර තිබෙන බවත් කිව යුතුය. එසේම රටේ ප්‍රමුඛ ආගමික සංස්ථාව වන බුද්ධාගම විසින් විශාල හානියක් සිදුකර තිබෙන බව පැවැසීම වැරැද්දක් නොවේ. එය බුද්ධාගමේ වරදක් නොවේ. ඒ එහි අයිතිකරුවන් බූදල්කරුවන් වී සිටින බහුතරයක් සංඝයාගේ කුප්පකම් නිසාය. මේක ලෝකෙන් උතුම් රටය, බෞද්ධ රාජ්‍යයය, ඉන්දියන් සාගරයෙ මුතු ඇටේය තමන්ගේ අවසරයෙන් මිස ඒකට කාටවත් ඇඟිලි ගහන්න ඉඩදෙන්නේ නැතැයි කියමින් එ් රැකීම පරම යුතුකමය කියමින් මේ රටේ මිනිසුන්ගේ ආකල්ප අන්ධාගමිකකරණයට ලක්කර සිතන්න පුලුවන් හැකියාව මොට කරන්න මේ සංඝයා විශාල බලපෑමක් සිදු කර ඇත. සිදු කරමින්ද තිබේ.
මේ ආදී කරුණු කාරණා රැසක් නිසා වැඩ කරන්න කියා එන කවර නායකයාටත් අවසානයේ සිදුවන්නේ මේ වැඩ නොකරන තැනට බලකරන සාමාජීය ආකල්ප හමුවේ බකන් නිලාගෙන සිටින්නය. අදත් සිදුවෙමින් පවතින්නේ එයය.
මෙය ජනාධිපතිවරයාගේ 73 වැනි නිදහස් සැමරුම් කතාවෙන් හැඟවෙන තවත් පැතිකඩකි.
-සුජය