අනුරලා දේශපාලන පළිගැනීම් කළ බවට හොඳම සාක්ෂිය ඇත්තේ නිශ්ශංක ළඟය. Featured

Wednesday, 27 January 2021 14:19

යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් 22 කට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට යහපාලන සමයේ වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසම නිර්දේශ කර තිබීම ගැන සියල්ලටම පෙර ජනතා විමුක්ති පෙරමූණ තමන්ගේ විරෝධය පළකර ඇත.

ටිල්වින්ගේ මරු කියවීම

පසුගියදා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් කැඳවමින්,
".. කොමිසමෙන් චූදිතයන් කර සිටින නම් ලැයිස්තුවේ අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ නමත් තියෙනවා. මේකට අපේ නම් දැම්මට අපි බය නැහැ..."
"..මේ වගේ කොමිෂන් වාර්තාවලට අපේ නම් දාලා අපිව බය වද්දන්න ආණ්ඩුවට බැහැ. වංචා-දූෂණවලට එරෙහි සටන අපි නවත්වන්නේ නැහැ. දූෂිතයන්ට සහ දූෂිතයින් ආරක්ෂා කළ පුද්ගලයින්ට අනුර දිසානායකත් ජවිපෙත් විශාල බාධාවක් වෙලා. ඒ නිසා බය වද්දන්න උත්සාහ කරනවා..."
"...අනුර දිසානායක සහෝදරයා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. අපේ පක්ෂයේ නායක අනුර සහෝදරයාත් කටයුතු කරන්නේ පක්ෂයේ තීන්දු තීරණ අනුවයි. වෙන පක්ෂ වගේ නෙවෙයි. අපි තනි පුද්ගලයෝ නෙවෙයි. අපේ පක්ෂයේ තනි තනි පුද්ගලයින් බියවැද්දීමට සූදානම් වෙනවා නම් අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා.."
"..සියලු දෙනාම අපි ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව පෙළ ගස්වනවා. මේ විරෝධය ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙනියන්න අපි සූදානම්..."
යනාදී වශයෙන් කොමිසමෙහි නිර්දේශවලට එරෙහිව යුධ ප්‍රකාශ කර තිබිණි.

යම-පාලන දඩයම් කමිටුව

දේශපාලන පළිගැනීම් පිළිබඳ මෙම කොමිසම පත්කරනු ලැබුවේ 2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා කාලසීමාවේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසා බලා අගතියට පත්වූවන්ට සාධාරණය ඉටුකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශයන් රජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් මිස නඩු අසා දඬුවම් කිරීමට නොවේ.

මූලිකවම මෙම නිර්දේශවලට අනුව යහපාලන යුගයේ දේශපාලන දඩයම වෙනුවෙන් පවත්වාගෙන ගිය අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලය ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළ යුතු බව කියයි.

මෙම දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අයද කමිටුවේ සාමාජිකයෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම,නීතිඥ ජේ.සී.වැලිඅමුණ, ආනන්ද විජයපාල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

මෙම වගඋත්තරකරුවන් 22 දෙදෙනා.මේ වෙනුවෙන් අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන ඇත. පොදු දේපළ පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපළ අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

එසේම දේශපාලන පළිගැනීම් මත පදනම්ව පවරා ඇති නඩු බවට හඳුනාගත් නඩු 79ක් ඉවත් කිරීම වියයුතු බව කොමිසම නිර්දේශ කරන අතර මේ නඩුවලින් චූදිතයන් කර ඇති අයට සහන සැලසීමත් ඔවුන්ට නඩු පැවරූ අයට දඬුවම් දීමත් නිර්දේශ කර තිබේ.

ජවිපෙ බය ඇයි?

කොමිසමේ නිර්දේශයන් සම්බන්ධයෙන් ජවිපෙ සියල්ලට පෙර බිය වීම සාධාරණය මන්ද මේ පවරනු ලැබූ නඩු වලිත් බහුතරයක මුල් පැමිණිලිකරුවා වී ඇත්තේ ජවිපෙය. එසේම දූෂණ විරෝධි කමි‍ටුවෙහි වාඩී වී තමන්ගේ පාර්ශ්වයෙන් ලබා දුන් පැමිණිලි අනුව නඩු පැවැරීම සඳහා නීතිපතිවරයාත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියත් මෙහෙයවීමට කර තිබෙන බලපෑමත් සුලු ප‍ටු නොවන නිසාය. චෝදනා විමර්ශනය හා චූදිතයන්ට නඩු පැවැරිය යුත්තේ පවත්නා නීතිය තුල පනවා ඇති ක්‍රමවේදයන් අනුවය. එය මගහැර වෙනත් සටකපටනම් වලට නීතියේ ඉඩක් නැත. එසේම නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යන ස්වාධීන ආයතනවලට බලපෑම්කර ඔවුන්ව දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් යොදාගැනීමත් මුළුමනිම අයුක්තිසහගත ක්‍රියාවලියකි. මෙම දූෂණ විරෝධි කමි‍ටුව නීති විරෝධී ආයතනයක් වන විට තත්වයන් තවත් බරපතලය.

ඇවන්ට් ගාර්ඩ් හෙළිකළ යම-පාලන දඩයම

නීතිපතිටත් අල්ලස් කොමිසමටත් එල්ල වූ දේශපාලන බලපෑම් ගැන පසුගිය කාලයේ තොරතුරු රැසක් හෙළිව තිබිණි. අන්දෝලනාත්මක සිදුවීමක් වූ ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය මේ ගැන හොඳම උදාහරණයක් වේ. ඇවන්ට් ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් සමාජ මාධ්‍යවලට මුදාහරිනු ලැබූ එක් හඬපටයක කතා නායිකාව වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ දිල්රුක්ෂි ඩයස් ඔහු හා කරන පෞද්ගලික සංවාදයේදී අපුරු හෙළිදරව් කිරීම් කිහිපයක් කරයි. ඇවන්ට් ගාර්ඩ් ආයතයට නඩු පැවැරීමට තරම් හේතුවක් නොමැති නිසා නඩු පැවැරීමට අපේක්ෂා නොකළ බවත් එය දේශපාලනික බලපෑමක් මත සිදුවූ බවත් ඇය පවසයි. ඒ වෙනුවෙන් සමාව ඇයැදීම ද ඇය සිදුකිරීම සුවිශේෂි කරුණකි.

දිල්රුක්ෂිට වජිර උගන්නපුවා

මේ අතර ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට ලැබුණු තවත් තොරතුරකින් කියැවුණේ මෙම හඬ පටය තුල දිල්රුක්ෂි ඩයස් එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම සගයා වූ හිටපු ඇමැති වජිර අබේවර්ධනගෙන් දේශපාලනය ඉගෙන ගන්නා බවත් පවසා තිබෙන බවය. තවත් ඒහා බරපතල කරුණු කාරණා රැසක් ඇය එහිදී හෙළි කර ඇතැයිද පැවැසේ. සම්හර විට මේ සම්පුර්ණ හඬ පට නුදුරේම ප්‍රසිද්ධ වෙනු ඇත.

මෙහිදී ස්වාධීන කොමිසම් සභාවක අධ්‍යක්ෂ ජනරාල්වරිය ආණ්ඩුවේ ඇමැතිවරයකුගෙන් දේශපාලනය ඉගෙනීම යනුවෙන් අදහස කරන්නේ කුමක්ද කියන එක පැහැදිලිය. එනම් ආණ්ඩුවේ වුවමනාවන් අනුව දේශපාලන දඩයමෙහි යෙදෙන්නේ කොහොමද කියන එක ගැන දැනගැනීම මිසක් දේශපාලන විද්‍යාව ඉගෙනීම නොවේ.

මේ අනුව අනුරලාගේ චම්පිකලාගේ රනිල්ලාගේ මංගලලාගේ දැඩි වුමනාව මත ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමි‍ටුව දේශපාලන පළිගැනීම් කළ බවට තවත් උදාහරණ අවශ්‍ය නැත. ඇවන්ට්ගාර්ඩ් ආයතනයට එරෙහිව යහපාලනය නඩු පිට නඩු දමා ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමට ගත් උත්සාහය දේශපාලන පළිගැනීමක් මිස වෙනකක් නොවේ.

රජයේ සාක්ෂිකරුවක් වෙන්න බෑ කිව් නිසා නිශ්ශංකට වෙච්ච දේ

නඩු කොපමණ දැම්මත් ඇවන්ට් ගාර්ඩ් ව්‍යාපාරයට එරෙහිව සාක්ෂි සහිතව චෝදනා කිසිවක් ඔප්පු කරගැනීමට මෙතෙක් නොහැකි වීමෙනුත් මෙය තවදුරටත් සනාත වන්නකි. අල්ලස් කොමිසම ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිව අත්අඩංගුවට ගත්තේ නීති විරෝධී කටයුත්තක් ගැන නිශ්චිත සාක්ෂි කිසිවක් තිබියදී නොවේ. බොරු චෝදනා ගොනුකර අත් අඩංගුවට ගැනීමට පදනම් වූ එකම හේතුව වූයේ රජයේ සාක්ෂිකරුවකු වී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සාක්ෂි දෙන ලෙස කළ ඉල්ලීම ඔහු ඉවත දැමීම මතය. මේ ඇත්ත දිල්රුක්ෂි ඩයස්ට ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. ඇය ඒ සත්‍යය හොඳාකාරව දනී. ඊට සම්බන්ධ හඬ පටයක්ද සේනාධිපති මහතා සතුව තිබේ.

දේශපාලනික වුවමණාවන් මත යහපාලකයෝ කළ අක‍ටයුතුකම් නිවැරදි කළ යුතුය. ඒ නිසාම යමෙක් අගතියට පත් වූවානම් ඊට සාධාරණයක් විය යුතුය. යුක්තිය ඉ‍ටු විය යුතුය.

අනුර දැන්වත් සත්‍යයට මුහුණ දෙන්න

මේ නිසා ජනාධිපති කොමිසම විසින් ලබා දී තිබෙන නිර්දේශ වත්මන් ආණ්ඩුවේ දේශපාලනික වුවමනාවන් මත සිදුකරන්නක් බවට එක එල්ලේ චෝදනා කළ නොහැක. අනුර කුමරලා මෙහිදී නිවැරදිකරුවන් නම් මේ කොමිසමක නිර්දේශ හමුවේ මෙතරම් බියපත් වීමට කළඹල වීමට හේතුවක් නැත. දේශපාලනික පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම පත්කළ මොහොතේ එය නීති විරෝධීය, අපි ඒවාට එන්නේ නැතැයි කියමින් අනුර උසාවි ගානේ බඩගෑවේ ද විය හැකි ප්‍රතිපලය ගැන කලින්ම තේරුම් ගෙන තිබුණ නිසා බව අද ඔවුන් හැසිරීමෙන් පැහැදිලිය.

මේ දූෂණ විරෝධි කමි‍ටු සාමාජිකයන්ට තමන් නිවැරදිව කටයුතු කළබව ඔප්පු කිරීම්ට නව කොමිසම හමුවේත් අවස්ථාවක් ලැබෙනු ඇත. එය මඟහැර පාරට බැස කෑකෝ ගැසීම් නොකර තමන්ගේ සත්‍යවාදී බව ඔප්පු කිරීමට ශිෂ්ඨ සම්පන්න ලෙස පියවර ගන්නේ නම් ඒක ජවිපෙ කප්පන් දේශපාලනයට වඩා වැදගත් පිළිවෙතකි.

-the novemberist

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us