තුන් වැනි බලවේගයක ජයග්‍රහණයක් ගැන විශාලම බලාපොරොත්තුවක් තැබුණේ 1982 දී පැවැති ජනාධිපතිවරණයේදීය. එහෙත් ඒ පරාජය වීමෙන් පසුව සාම්ප්‍රදායිකව තුන්වැනි හෝ හතර පහ හයේ සිට 35 දක්වාම දැන් අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ හරියට දෙදෙනෙකු අතර චෙස් ඇදීමක් වෙන කොට, වට පිටාවේ ඉඳන් අරම ඇදපන් මෙහෙම ඇදපන්..මන් ඇද්දානම් අදින්නෙ මෙහෙමය කියන චෙස් ඔස්තාර්ලාගේ අඩුව පිරවීමට මෙනි.
කොහොම නමුත් මේ ජනාධිපතිවරණයේදී දකින්න තිබෙන අලුත් අපූර්වත්වය නම්. තුන් වැනි අපේක්ෂක්යා ලෙස වඩා ඉදිරියෙන් සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට උර දී සිටින අලුත් කණ්ඩායමේ දඟර නැටුම්ය.
ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටින සාමාජිකයා හිතවතා ඒ අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටීම විය යුතු සාමාන්‍ය දෙයකි. තමන්ගේ අපේක්ෂක්යා කූජිත වෙන්න පරදින බව දැන දැනත් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ ඔවුන්ගේ දේශපාලනික තේරීම ගැන කාටවත් මොකවත් කියන බැරිය. ජවිපෙ මෙවර වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ග අනුව නිවැරදි දෙයක්ද විය හැකිය. එසේ නොවී මෙවරත් පැත්තකට මුක්කු ගැසීම ජවිපෙ දේශපාලනය තව දුරටත් අකා මකා දැමීමට හේතුව වන බව ඔවුන් තේරුම් ගෙන තිබෙන බවත් විශ්වාස කළ හැකිය. ඒ නිසා ජවිපෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන කිසිදු කහටක් නැත. එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තව දුරටත් ශක්තිමත් කරන්නක් ලෙසද හඳුන්වා ඒ පියවර අගය කිරීමද කළ හැකිය.
එහෙත් ගැටලුව තිබෙන්නේ.. ජවිපෙට හේත්තු වී ඇති අලුත් පිරිස ගැන තිබෙන අවුලය. කලක් ජවිපේ දේශපාලනයට සම්බන්ධ වී එය වම ඇත්හැරියා කියමින් විවේචනය කරමින් පක්ෂය කඩාගෙන ගෙන එළියට ගිය පිරිසක්ද , පෙරටුගාමී සහ වෙනත් වාමාංශික කණ්ඩායම් වලද නැතිනම් ප්‍රගතිශිලී කියන වෙනත් දේශපාලන ක්‍රියාකාරකම් වලද යෙදී සිටි පිරිසක් අනුර දිනවිය යුතු බව කියමින් එතැනට ගාල් වී සිටී.
මේ අයට එහෙම වුණේ ඇයි ?
ජවිපෙට අනුරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් දහසකුත් හේතු ඉදිරිපත් කළ හැකිය. ඒ සියල්ල ඒ පාක්ෂිකයා පිලිගන්නේ ඔවුන්ගේ ඇති දේශපාලනික පක්ෂපාතිත්වය හෝ සාමාජිකත්වය නිසාය.
ඒත් මේ අලුත් කණ්ඩායම එහෙම ජවිපේ සාමාජිකයන් නොවේ. ජවිපෙ දේශපාලනය සමඟ එය පිළිගෙන සිටින අයද නොවේ. ඒ බොහො අය ජවිපෙ වාමාංශික භාවිතාව ප්‍රතික්ශේප කර එළියට ගිය අයය. නැතිනම් එළියේදී විවේචනය කළ අයය..එසේම පසුගිය කාලයේ රාජපක්ෂ රෙජීමය පැරැද වීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි අයය. එදා ජවිපෙද පැත්තකින් හිඳ ඒ වෙනුවෙන් වෙහෙසුනේය.
මේ අයගේ විශේෂත්වය නම් දේශපාලන ආර්ථික සාමාජීය සංස්කෘතික ආදී ක්ෂෙත්‍රවල වන සෙලවීම් ප්‍රශ්න කරමින් යෝජනා කරමින් තමන්ගේ මතයක් ප්‍රකාශයට පත් කිරීමය. එය කුඩා කණ්ඩායම් අතර සාකච්ඡාවට ගත්තේය. පක්ෂ පාට මත බෙදයක් ඒවාට නැත. ඒතබා ඒවා කොහෙටවත් මුල් ඈඳුනු සාම්ප්‍රදායික මත කඳවුරුවලට ද අයත් නැත. රැඩිකල් මතයක් තමන් නියෝජනය කරනවා කියන කාරණය වෙනුවෙන් පමණක් ඔවුන් පෙනී සිටී.. පක්ෂයක කණ්ඩායමක ඓන්ද්‍රීය සම්බන්ධයක් ඔවුන්ට නැත. නමුත් දේශපාලන සහ සංස්කෘතික මතවාදයක් නඩත්තු කරනවාය කියන රැඩිකල් ප්‍රතිරූපයක් ඇත. පසුගිය වතාවේදී සිරිසේනගේ ජයග්‍රහණයට උර දීම නිසා තමන්ගේ ඒ රැඩිකල් භාවයට හානියක් සිදුවූ බව මේ අයගේ විශ්වාසය වී තිබේ. කන්‍යා පටලයක් ආරක්ෂා කරනවාක් මෙන් රැකි, ඒ රැඩිකල් භාවයට හානිවීම තව දුරටත් දරා ගැනීමේ අමාරුවක් මේ අයට තිබිණි.
සමාජය කවර අනතුරක් හමුවේ තිබුණද තමන්ගේ රැඩිකල් කන්‍යාභාවයට හානියක් කර නොගෙන ඒ අනතුරු ගැන කතා කිරීම, ඊට එරෙහිව පෙනී සිටීම මොවුන්ගේ මෙවර අපේක්ෂාවයි. මේ නිසා කිසිදු දේශපාලන පක්ෂයකට හේත්තු නොවී සිටීම විය යුතු විය.
රාජපක්ෂ රෙජීමය යළිත් වතාවක් පරාජය වීම විය යුතු බව මේ අය ගේ හැඟීම වූවද ඒ වෙනුවෙන් අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව සහිත එකම අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ඔවුන්ට නැත. සජිත් කියන්නෙ ගොබ්බයෙක් බවත් සිරිසේන පන්නයේම දේශපාලන විකාරයක් බවත් ඔවුන්ට පෙනෙන දේය. එතැනින් එහා දේශපාලනිව දකින්න මේ අය සමත් නැත. මේ නිසා සජිත්ගේ ජයග්‍රහණයට උර දෙන්න ඔවුන්ට නොහැකිය. ඒ, සියල්ලට වඩා තමන්ගේ රැඩිකල් කන්‍යාභාවය රැක ගත යුතු බැවිනි.
ලිබරල් දේශපාලන ආර්ථික ක්‍රමය ගැන තිබෙන ගැටලුව මඟ හැර වාමාංශික හැව ද ඉවත්කර අනුර පෙනීසිටීමත් ජවිපෙ තමන්ගේ මුහුණුවර වෙනස් කරගෙන නම පවා වෙනස් කරගෙන පොදු බලවේගයක් ලෙස පෙනී සිටින්නට තීරණය කිරීමත්, මේ අයගේ අස්වැසිල්ලට හේතු විය. තමන්ගෙ රැඩිකල් ප්‍රතිරූපයත් රාජපක්ෂ විරෝධයත් එක සැරේ ආරක්ෂාකර ගැනීමේ හැකියාව ද ඒ තුලින් ලැබී තිබේ.
වෙනස දැන් සැපද ?
අවසාන විග්‍රහයේදී සජිත් හෝ ගෝටා දෙදෙනාගෙන් කවුරු ජය ගත්තත් ඉන් පසුව වන විකාර වලට වන වගකීමෙන් මිදී සිය රැඩිකල් ප්‍රතිරූපය රැකගෙන සුවසේ සිටින්නට ඔවුන්ට ඇති හැකියාව ගැන මිස වෙන කිසිවක් ගැන, මේ අය කල්පනා කර නැති බව පැහැදිලි කාරණාවය.
මන්ද මේ අයගේ වුවමනාව එයය. පසුගිය වතාවේ දී සිරිසේනගේ ජයග්‍රහණට උර දීමේ විපාක නිසා.. වෙන එව්වො 'වෙනස දැන් සැපද ? ' කියා අසන විට විලි ලැජ්ජාවෙන් ඇඹරීමට සිදුව තිබීම මේ අයට වූ බරපතලම ගැටලුවය. ඊට උත්තරයක් දීමට තරම් හැකියාවක් මේ අයට තිබුණේ නැත. ඒ දේශපාලනික නොමේරූකම සහ මහ පොළවේ අඩි තබා නොගැනීම නිසා ඇතිවූ තත්වයකි.
මෙවර සජිත් හෝ ගෝටා කවුරු දිනුවත් එහෙම ප්‍රශ්නයක් ඔවුන්ට එන්නෙ නැත. සජිත් පැමිණ මොන විකාරය කළත් ගොටා පැමිණ මොන මජර පාලනයක් ගෙන ගියත් ඔවුන්ට අදාල වෙන්නේ ඔවුන්ට කතා කළ හැකි පෙනී සිටිය හැකි සීමාවේ සිට මොන මොනවා හෝ කර තමන්ගේ රැඩිකල් ප්‍රතිරූපය රැක ගැනීම දක්වා පමණි.
දෙපැත්තක් අතර සටනක් වන විට පැත්තක් තෝරා ගැනීමෙන් වැලකී වෙන බයිලා ගසමින් සිටීම තමන්ගේ ජීවිත ආරක්ෂාවට, ප්‍රතිරූපය ආරක්ෂ කර ගැනීමට, තමන්ගේ සනිප පවුල් ජීවිත ආරක්ෂා කර ගැනීමට, තමන්ගේ ජොබ් එක ආරක්ෂා කර ගැනීමට, වඩා හොඳම දේ එය බව ඔවුන් තීරණය කර තිබේ.
වෙනත් විදිහකින් තේරෙන්න කියනවා නම් මේ දේශපාලන මොහොතේ අමුම අමු තක්කඩි තෝරා ගැනීම කර ඇති පිරිස මොවුන්ය.