මංගල ඇමතිතුමෝ, අතුරුදන් වූ පවුල් වෙනුවෙන් රු. 6000ක් ඇතිද? Featured

Monday, 09 September 2019 18:31

"අවාසනාවන්ත යුද්ධයේ ගොදුරු බවට පත් වුණාට මේ හැම කෙනෙක්ම අපේ ම සහෝදර සහෝදරියන්. සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන්. යාපනයේ ජනතාව දුක් වින්දා ඇති. ඔවුන්ද මේ රටේ සෙසු ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳිය යුතුයි.

ඒ නිසා තමයි අපි උතුරේ ජනතාව වෙනුවෙන් මෙතරම් කැපවෙලා කටයුතු කරන්නෙ. මට අතීතයට වගකියන්න බෑ. නමුත් අනාගතයට වගකියන්න පුළුවන්. ඒ නිසා තමයි අතුරුදන් වූ පවුල් වෙනුවෙන් මේ නොවැම්බර් 01 ඉඳල රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දෙන්න තීරණය කළේ."

මේ පසුගියදා මුදල් ඇමැති මංගල සමරවීර සිදුකරනු ලැබූ ප්‍රකාශයකි. මෙරට අතුරුදන් වූවන් සම්බන්ධ ගැටළුව අද ඊයේ එකක් නොවන අතර ඊට දීර්ග ඉතිහාසයක්ද තිබේ. ජාති ආගමික හෝ භූ කලාපීය වෙනසකින් තොරව සිය දහස් ගන්නක මෙරට පුරවැසියන් රාජ්‍ය මර්දනයේ සහ රජයට එරෙහි කැරලිකාරිත්වයේ ප්‍රතිපල ලෙස ඝාතනය කිරීමටත් අතුරුදන් කරවීමටත් ලක් විය. එහෙත් පවත්නා රජයන් විසින් මේ කිසිවකු වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට අපොහෝසත් විය.

මේ රටේ හෝ විදේශයක ජීවත් වන මෙරට සියලු පුරවැසියන්ගේ ජීවිත පිළිබඳ වගකීම ශ්‍රිලංකා රාජ්‍යය සතුවෙයි. ඒ කිසිවකුට වෙනස්කමක් නොකොට සමානව සාධාරණව සැලකීම රාජ්‍ය විසින් කළ යුතුය. කිසිදු මිනිසෙකු ඝාතනය කිරීම අයිතියක් රජයකට නැත.අතුරුදන් කිරීමට අයිතියක් නැත. රජයට එරෙහි ඇතිවන සන්නද්ධ ගැ‍ටුමක්දී පවා ඒ කැරළිකරුවන්ගේ ජීවිත පිළිබඳ වගකීමක් රජයට තිබේ. කැ‍රැල්ලක් මර්දනය කිරීමට යැයි කියා හිතු මනාපේ කැරලිකරුවන් මරා දැමීමට නොහැක. ත්‍රස්තවාදී ලේබලය ගසා හෝ ඒ සිදු කිරීම කළ නොහැක. පුරවැසියකු ඝාතනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අධිකාරියට නියෝගය කළ නොහැක. අද අධිකරණයෙන් හෝ වරදක් වෙනුවෙන් මරණ දඬුවම නියම කිරීම ශිෂ්ඨ සමාජය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකාවද ඒ අනුව මරණීය දණ්ඩනය නියම කළද ඒ ක්‍රියාත්මක කිරීම අත්හි‍ටුවමින් සිය ශිෂ්ඨත්වය පෙන්වීමට උත්සහ කරමින් තිබේ.

පුරවැසි කැරලිකාරිත්වයක් මර්දනය කිරීම සඳහා ඝාතනය යොදාගැනීමට නීත්‍යානුකූල අවසරය ලැබීම අතිශය සුවිශේෂී ගැ‍ටුම්කාරි තත්වයක් හමුවේ සිදුවන ක්‍රියාවලියක් මිස එය කිසිසේත්ම රජයක ප්‍රතිපත්තිය නොවේ. එලෙස ඝාතනයට ලක්වන සෑම සියලු දෙනාම මේ රටේ පුරවැසියන් වන නිසාම ඔවුන්ගේ ජීවිතය ගැන වගකීම රජය විසින්ම බාර ගැනීම සිදුවෙයි. ඒ අනුව එම පුරවැසියා රටට අහිමි වීම පිළිබඳ පශ්චාත්තාප වීම මෙන්ම එම අහිමි වීම නිසා සිදුවන පාඩුව පියවීමද රජයට දැරීමට සිදුවෙයි. ඒ අනුව ඝාතනයට ලක්වූවන් හෝ අතුරුදන් වූවන්ගෙන් ඥාතීන්ට හෝ යැපෙන්නන්ට සාධාරණය යුක්තිය ඉ‍ටු කරලීම විය යුතුව තිබේ.

ඝාතනයට හෝ අතුරුදන් කරවීමට හෝ ලක් වූ අය රජයට ජනතාවට එරෙහි වූ ත්‍රස්තවාදියකු. ජාතිද්‍රෝහියකු දේශද්‍රෝහියකු මානව විරෝධියකු කියා අතේ ගැවුනු ලේ පිහ ගැනීමේ හැකියාවක් රජයට නැත.

1971 දී 88/89 දී කෙරුණු සිවිල් අරගලයන් මෙන්ම උතුරේ තිස් අවුරුද්දක් තිස්සෙ දිග් ගැහුණු යුධ තත්වයන් රාජ්‍යයට එරෙහි කැරළිකාරිත්වයක් වූවද එම පාර්ශ්ව වල ඉල්ලීම වූයේ වඩා හොඳ ජීවිතයකි. සුබවාදී අනාගතයකි. ඒවා පුරවැසියන් වනජන කොටසකගේ විමුක්ති අරගල වෙයි. විමුක්ති අරගල පැන නගින්නේ පවත්නා රජයෙන් ජනතාවට සාධාරණය ඉ‍ටු නොවන තැනයි. ත්‍රස්තවාදී භාවිතාවන් කරා දිග් ගැහෙන්නේද මෙම විමුක්තිකාරිත්වයමය. ඒ අතර එයින් එපිටට ගොස් අනෙක් ආකාරයක දෙයක් සිදුවූවද ගැටළුවේ ආරම්බය තිබෙන්නේ ජනතාවට සාධාරණය ඉෂ්ඨ නොවන තැන සිටය.

කෙසේ නමුත් මේ පසුගිය වසර 50 ක පමණ කාලයක සිට මේ රටේ සිදුවූ දේශපාලන හෝ වෙනත් හේතූන් මත පදනම් වූ ඝාතනයන්ට අතුරුදන් කරාවීමට අදාලව එම ඥාතීන්ට හෝ යැපෙන්නන්ට යුක්තිය සාධාරණය ඉ‍ටු වීම අවස්තා විරළවේ.. ඒ වෙනුවෙන් රට නියමාකාර නෛතික පදනමක්ද තිබුණේ නැත. කිසිදු පුරවැසියකුගේ ජීවත් වීමේ අයිතිය අද දක්වා මේ රටේ නෛතිකව තහවුරු කරද නැත. උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන ඇතිවූ යුධමය තත්වය නිසා සිදුව තිබෙන ඝාතන සහ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇතිවූ ආන්දොලනාත්මක තත්වයන් විසින් මේ වෙනුවෙන් නෛතිකය මැදිහත් වීමක් සිදු කිරීමට එම ජනතාවගෙන්ද ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද එල්ල වූ පීඩනය හමුවේ වත්මන් පාලන තන්ත්‍රයට ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගැනිමට සිදු විය. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එහි ප්‍රතිපළයකි. මීට පෙර අවස්ථා කීපයකදී අතුරුදන් වූවන් පිළිබඳ කොමිසන් කිහිපයක් පත් කර එම ඥාතීන්ට වන්දි ප්‍රදානය කළ අවස්ථා තිබිණි. එහෙත් ඒවායේ රාජකාරිය එතැනින් අවසන් විය. ඝාතකයන්ට හෝ අතුරුදන් කිරීමට මැදිහත් වූවන් සම්බන්ධයෙන් විමර්ශනයන් හෝ සිදු නොවීය. යුක්තිය ඉටු නොවීය.

මේ වන වන පිහි‍ටුව අතිබෙන අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඊට වඩා එහා ගිය අවශ්‍යතාවයක් වෙනුවෙන් පත්කෙරෙන බව ප්‍රකාශට පත් වූවද ඒ සක්‍රීයව සිදු වූයේ නැත. මෙම කාර්යාලය ස්වාධීන කාර්යාලයක් ලෙස පිහි‍ටුවනු ලැබූවකි. රජයට එහි සම්බන්ධයක් ඇත්තේ ඒ පවත්වාගෙන යාම සඳහා වන ප්‍රතිපාදන සහ පහසුකම් සැලසීම පමණි. එක් අතකින් මෙම කාර්යාලය පිහි‍ටුවීමට හැකි වීමත් එක්තරා ජයග්‍රණයකි සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගවලින් එල්ල වු දැඩි විරෝධය හමුවේ මෙය පිහි‍ටුවා ක්‍රියාත්මක වීමට පහසුකම් සැලසීම ගැන වත්මන් රජයට ස්තූතිය පුද කළ යුතුයි.

එහෙත් මේ කාර්යලය මඟින් අපේක්ෂා කළ කාර්යභාරය අපේක්ෂා කළ මට්ටමට නොපැමිණීම ගැන චෝදනාවද රජයටම එල්ල කරන්න සිදුවේ. මන්ද ඊට අදාල පහසුකම් සැලසීමේදී රජය මන්දගාමී වීම නිසාය. ඒ කෙසේ නමුත් ප්‍රමාද වී හෝ අතුරුදන් වූවන් වෙනුවෙන් හානිපුර්ණ වන්දි ගෙවීමට ගත් තීරණය පැසැසිය යුතුය. එසේම මේ පිරිසට යුක්තිය ඉ‍ටු වීමද නොපමාව සිදු විය යුතුය.

 පහතින් පළවන්නේ මේ අතුරුදන් පුරවැසියා වෙනුවෙන් කාලාන්තරයක් පුරා හඬක් නඟමින් සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු විසින් පසුගියදා කළ අදහස් දැක්වීමකි.

 

දින 900 ක් පුරා විරෝධතා: තවමත් සත්‍යය සහ යුක්තිය සොයා යමින්

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය අගෝස්තු 30 වැනි දින ට යෙදී තිබිණි. රජයේ සංඛ්‍යාලේඛනවල ට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතුරුදන් වීම් පිළිබඳ ව 65,000ක ට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ගොනු වී තිබුන ද, බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට, බහුතරයක් මාධ්‍යයන්ට සහ ආණ්ඩුවට එය තවත් එක දවසක් පමණක්ම විය.

අතුරුදන් වූවන් ට සිදු වූයේ කුමක්ද යන්න සහ ඔවුන් සිටින්නේ කොහේද යන්න විමසීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනය වන ‘අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය’ විසින් කොළඹ දී සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට සහභාගී වූ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් සංවේදී මතකයන් අකුරු කොට තිබූ අතර, ඔවුන්ගේ ආදරණීයයන්ගේ ඡායාරූප ද එහි ප්‍රදර්ශනය කර තිබුණි.

කෙසේ වුවද, උතුරේ සහ නැගෙනහිර මේ තත්ත්වය වෙනස් ව පැවති අතර, දමිළ ජාතික අතුරුදන් වූවන්ගේ පවුල් මහපාරේ විරෝධතා පැවැත්වූහ. ඔවුන්ගෙන් බහුතර දෙනා දින 900ක ට අධික කාලයක් මහපාර අද්දර විරෝධතාවේ යෙදෙන අතරතුර, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ජනාධිපතිවරයා, ඇමතිවරු, වෙනත් දේශපාලකයන් සහ නිලධාරීන් සමග සාකච්ඡා ද පැවැත්වූහ. නැගෙනහිර පළාතේ විරෝධතාව කල්මුණේ හි දී පැවති අතර, උතුරු පළාතේ විරෝධතාව ඕමන්තෙයි හි දී පැවැත්විණි. ඕමන්තෙයි හි පැවති විරෝධතාව ට කොළඹින් මා හා තවත් මිතුරන් කිහිපදෙනෙක් සහභාගී වූ අතර, ඒ අතර සිය සැමියා හා පුතුන් අතුරුදන් වූ මුස්ලිම් හා සිංහල ජාතික කාන්තාවන් දෙදෙනෙක් ද විය. එහි සිටි පවුල් මා හා පැවසුවේ ඔවුන් විරෝධතාව සඳහා ඕමන්තෙයි තෝරාගැනීම ට විශේෂ හේතුවක් ඇති බව යි.

ඔවුන්ට අනුව, ඔවුන්ගේ ඥාතීන් යුද්ධයේ අවසාන කාලයේ හමුදාව විසින් කැඳවාගෙන යාමෙන් පසු අතුරුදන් වූ අය වූහ. අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් අතුරින් පවුලේ සාමාජිකයෙක් අතුරුදන් වීමට ලක් වූ එකම සාමාජිකාව වන, මඩකලපුවෙන් පැමිණි ජෙයදීපා පුණ්‍යමූර්ති නම් දමිළ ජාතික කාන්තාව විසින් කොළඹ පැවැත්වුණු අතුරුදන් වූවන්ගේ කාර්යාලය මගින් සංවිධානය කළ උත්සවයේ දී ඉස්මතු කළ කරුණක් වූයේ අතුරුදන් වූවන්ගේ පවුල්වලට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳව රජයේ ආයතනවලට කිසිදු අවබෝධයක් නොමැති බව යි. එමෙන්ම අතුරුදන් වූවන්ගේ පවුල්වලට අවශ්‍ය අනුකම්පාව නොව ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා ය.

වසර ගණනක් පුරාවට හැකි පමණින් සිය දායකත්වය ලබා දී තිබියදීත්, පිළිතුරු නොලැබීම පිළිබඳව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගැන වූ කලකිරීම සහ විශ්වාසය කඩවීම ඕමන්තෙයි විරෝධතාවේ දී පැහැදිලිව පෙනුනි. මේ නිසා ජාත්‍යන්තර මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව ට වූ අඛණ්ඩ ඉල්ලීම් සඳහා මඟපෑදුවේය. එහෙත්, අතුරුදන් වූවන්ගේ පවුල් ඔවුන් වෙනුවෙන් පිහිටුවන ලද නවතම රාජ්‍ය ආයතනය ට එක් අවස්ථාවක් ලබා දීම සඳහා උත්සුක විය. ඔවුන් විශේෂයෙන් සඳහන් කර සිටියේ තමන් සිද්ධීන් 5ක් පිළිබඳව පසුගිය මාසයේ දී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ට තොරතුරු ලබා දුන් බවත්, තමන් ඔවුන් ගැන විශ්වාසය තබන්නේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඒවා ගැන සත්‍යය විමර්ශනය කරන ආකාරය මත පදනම් ව විනා ඔවුන් විසින් විවෘත කරන කාර්යාල ගණන හෝ ඔවුන් විසින් ප්‍රදානය කරන හානිපූර්ණය කොපමණද යන්න මත පදනම්ව නොවන බවයි. කෙසේ වුවද, සමහර පවුල් තවමත් පවසා සිටින්නේ තමන්ට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ගැන කිසිදු විශ්වාසයක්, හැඟීමක් නොමැති බවයි.

වසරකට පෙර, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් වැදගත් නිර්දේශ කිහිපයක් නිකුත් කරන ලදී. කෙසේ වුවද, ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඉතා සුළු බව එහි සභාපතිවරයා මේ වසරේ පිළිගත්තේය. ඔවුන් විසින් නිර්දේශ කරන ලද අන්තර්කාලීන සහන ලබාදීමවත් අවම වශයෙන් සිදු වූයේ නැත. මෙය අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ට පමණක් නොව හානිපූර්ණය පිණිස වන කාර්යාලය ට ද කළු පැල්ලමකි. වින්දිතයන්ගේ අයිතීන් සුරැකීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලතල ලද ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය තම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මීටත් වඩා ක්‍රියාකාරී ප්‍රවේශයක් ගත යුතු අතර, අතුරුදන් වූවන්ගේ පවුල් විසින් ගන්නා අධිකරණ ක්‍රියාමාර්ග, අනුස්මරණ, ලේඛනගත කිරීම් සහ වෙනත් දුක්ගැනවිලි සඳහා සෘජුවම මැදිහත් වෙමින් සහයෝගය ලබාදිය හැකි ආකාර මොනවාද යන්න සලකා බැලිය යුතු ය.

ඕමන්තෙයි විරෝධතාවේ දී මෙන්ම ඊට පෙරත්, සමහර පවුල්වල සාමාජිකයන් පවසා සිටියේ සත්‍යය සහ යුක්තිය වසන්කිරීම සඳහා හානිපූර්ණය යොදාගැනීමේ අවදානමක් ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය යුක්තිය විනා හානිපූර්ණය නොවන බවත් ය. කෙසේ වුවද, අතුරුදන් වූවන්ගේ පවුල් බහුතරයකට එවැනි අන්තර්කාලීන සහන සහ හානිපූර්ණ අත්‍යවශ්‍ය වන අතර, ඒවා ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට අවාසිදායක විය හැක. නමුත් එක් අයිතියක් තවත් අයිතියක් සඳහා හුවමාරු කරගැනීම පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතු ය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකා ජෙයදීපා අවධාරණය කර ඇත්තේ නිර්දේශිත අන්තර්කාලීන සහනාධාරය (මසකට රු. 6000 බැගින්) යනු අතුරුදන් වූවන්ගේ පවුල් විසින් සත්‍යය සොයායාම වළකාලන ආකාරයේ යමක් නොවන බවයි. මගේ අත්දැකීම්වලට අනුව නම්, එවැනි සහායන් හරහා විරෝධතා, අධිකරණ නඩු සහ අන්තර්ජාතික උද්දේශනවල නියැලීම පිණිස අදාළ පවුල් ශක්තිමත් කරන අතර, ඔවුන් දානපතියන්, රාජ්‍ය නොවන සංවිධාන, කතෝලික දේවස්ථාන, විදෙස් ඩයස්පෝරාවන් ආදීන් මත යැපීම ද අවම කරයි.

අතුරුදන් වීම් පිළිබඳව ගැනෙන උත්සාහයන් ආවරණය කරමින් ආරක්ෂක හමුදාවේ අඳුරු සෙවනැල්ල පැතිර ගොස් තිබේ. මාධ්‍යවේදියෙකුගේ සහ තරුණයන් කිහිපදෙනකුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ දී හමුදා සහ නාවික හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. එමෙන්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකා අධිකරණය විසින් හමුදාව අතුරුදන් කිරීම් සඳහා වගකිවයුතු බවට තීන්දු කර ඇති අතර, සමහර විටෙක ඒ සඳහා වරදකරුවන් කර ඇති අවස්ථාවන් ද දක්නට ලැබේ. මානව හිමිකම් කොමිසම විසින් පත්කළ විශේෂ කමිටුවක් මගින් අතුරුදන් වූ බවට සැලකෙන පුද්ගලයන් හමුදාව විසින් සිය භාරයට ගත් බව සාක්ෂි සහිතව සොයාගෙන ඇතිමුත් ඔවුන්ව නිදහස් කළ බවට හෝ වෙනත් යම් තැනක රඳවාගෙන ඇති බවට හෝ ඔවුන් ජීවතුන් අතර සිටින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයාගෙන නොමැති වග ද ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඔවුන්ගේ ආදරණීයයන් හමුදාව විසින් රැගෙන ගිය පසුව නැවත නොදුටු බවට හෝ ඔවුන්ව අවසාන වරට දුටුවේ හමුදා කඳවුරුවල බවට අතුරුදන් වූවන්ගේ පවුල්වල අය කඳුළුබර දෙනෙතින් යුතුව හඬමින් කියා සිටින විශ්වාස කටයුතු කතා මම ද අනන්තවත් අසා ඇත්තෙමි. එහෙත් දැන්, අතුරුදන්වීම්වලට වගකිවයුතු බවට විශ්වාස කෙරෙන, හිටපු හමුදා සොල්දාදුවෙක් සහ ආරක්ෂක ලේකම්වරයෙක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙසින් අප හමුවේ සිටී. අපරාධ සැකකරුවෙකුට ආරක්ෂාව ලබාදුන් බවට සහ අතුරුදන් වීම් පිළිබඳ ව විභාග වෙමින් පවතින අධිකරණ නඩුවක සාක්ෂිකරුවෙකුට තර්ජනය කළ බව ට චෝදනා ලබා අත්තඩංගුවට පත් වූ පුද්ගලයෙක් අප රටේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටී. එමෙන්ම අපේ නවතම හමුදාපති, යටත් වූ පුද්ගලයන් සියගණනක් යටත් වීමෙන් පසු අතුරුදන් වීම සම්බන්ධව වගකිවයුතු බවට චෝදනා ලද්දෙකි.

ඕමන්තෙයි හි පැවති විරෝධතාවේ ප්‍රදර්ශනය කර තිබූ තවත් බැනරයක, සිය අතුරුදන් වූ ඥාතීන් පිළිබඳ සත්‍යය විමසන අතරතුර මරණයට පත් වූ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් 52 දෙනෙකුගේ ඡායාරූප මුද්‍රණය කර තිබිණි. යුද්ධයෙන් යන්තමින් දිවි ගලවාගත් ඔවුනට මහාපාර අද්දර විරෝධතාවේ යෙදෙමින්, බියගැන්වීම් සහ තර්ජනවලට නිර්භීතව මුහුණදෙමින්, අව්-වැසි, දුහුවිල්ල නොතකා, අවම පහසුකම් සහිතව සහ ඉතා සුළු ආහාර සලාක මත යැපෙමින් දරාගැනීමට සිදුව තිබුනේ සුළුපටු ශාරීරික සහ මානසික පීඩාවක් නොවේ.

තව බොහොමයක් දෙනා දුක්විඳිමින් සිටිති. ඔවුන්ගෙන් කීදෙනෙක් අතුරුදන් වූ තම ආදරණීය ඥාතීන්ට සිදු වූයේ කුමක්ද යන්න නොදැනම මරණය වැළඳගනීවී ද? අතුරුදන් වීම් සම්බන්ධ දැඩි නීතිමය තහනම් සහ ඒ පිළිබඳ වන අතිශය දේශපාලනික ස්වභාවයක් තිබුන ද, අතුරුදන් කිරීම් පිළිබඳ කතිකාවේ වැදගත්ම ස්ථානයක් ලැබිය යුත්තේ එම දුක්ඛාන්තයේ ඇති අතිශය පුද්ගලික ස්වභාවය සහ එහි අර්බුදකාරී තත්ත්වය සඳහා ය. මරණයට පත් වූ 52 දෙනාගේ සහ අනෙක් අයගේ නොනවතින අරගලය නිෂ්ඵල ව්‍යායාමයක් බවට පත්නොවිය යුතු අතර, ඒ සඳහා ඔවුන් ට ශ්‍රී ලාංකිකයන්ගේ සහ අනෙකුත් යහපත් ප්‍රාර්ථනාවන් ඇති මිනිසුන්ගේ සහයෝගය වැඩි වැඩියෙන් අත්‍යවශ්‍ය වේ.

රුකී ප්‍රනාන්දු | Ruki Fernando

(2019 සැප්තැම්බර් මස 01 වැනි දා ද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ පළ වූ රුකී ප්‍රනාන්දු විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයකි. උපුටා ගැනීම vikalpa.org)

 

Leave a comment

Gossip

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිර...

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස්...

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.

ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.

එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බවට බහුතරයේ විශ්වාසය දිනාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂට ජනාධි...

Connet With Us