මෙවර ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ භූමිකාව මොකද්ද?
ජනාධිපතිවරණය පැවැත්වුණොත් අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එහිදී අපේ මූලික තේමාව වන්නේ යුක්තිගරුක සමාජයක්, සමාජවාදී අපේක්ෂකයෙක් කියන එකයි. බල අරගලයත් එක්ක සම්බන්ධ වුණු දේශපාලන මොහොතකට මේ ජනාධිපතිවරණය පත්ව තිබෙනවා. මූලික වශයෙන් අපි කියන්නේ මේ වෙලාවේ රටේ පොදු මහජනතාවගේ ජීවිත ආර්ථික හෝ සමාජයීය වශයෙන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් වෙන්නේ නෑ. එනිසා විකල්ප ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් අවශ්‍යයි.
2010 දී ඔබ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණා. ඒ දුමින්ද නාගමුව. මෙවර අපේක්ෂකයා කවුද?
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද කියන එක මේ මාසය තුළදී අපි ප්‍රකාශයට පත් කරනවා. පක්ෂය ඇතුළේ යම් යම් අදහස්, යෝජනා තියෙනවා ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන්.
ඒ ඔබද?
නෑ, ඉදිරි සතියේදී එය දැනුම් දෙන්නම්.
ඔබට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බාධාවක් තිබෙනවද?
මම දන්නා තරමින් එහෙම බාධාවක් නෑ. පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයත් නිරාකරණය කරගෙනයි තියෙන්නේ.
පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ මොකක්ද?
මෙහිදී වැදගත්ම කාරණය ඒක තමයි. වැඩපිළිවෙළ කියන වචනයත් දැන් බොහෝම දුර්වලයි. එහි සැබෑ තේරුම වෙනස් වෙලා බාල්දු වෙලා තියෙන්නේ. ශ්‍රීලනිපය කියනවා එයාලා එකතු වෙන්නේ වැඩපිළිවෙළක් එක්ක කියලා. ඒ වගේම හැම කෙනෙක්ම තම තමන්ගේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරනවා. නමුත් අපට අවශ්‍ය වෙන්නේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික තත්ත්වයන් කොහොමද නගාසිටුවන්නේ කියන එක. ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ කවුද කියන ප්‍රශ්නය තියෙනවා. පොදු ජනතාවගෙන් සැලකිය යුතු පදාසයක් අපේක්ෂකයන් තෝරගෙන ඔවුන්ගේ බල අරගලයට දායක වී ඉන්නවා. ඔවුන්ට තමන්ගේ සැබෑ ප්‍රශ්න අමතකයි. අපි ඒ ජනතාවගෙන් ඉල්ලනවා මෙවර ආර්ථික, සමාජ, සංස්කෘතික ප්‍රශ්න අමතක කර තරගයේ සිටින තරු පසුපස යන්න එපා කියා. තමන්ගේ මූලික ප්‍රශ්න විසඳිය හැකි වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා. අපේ වැඩපිළිවෙළ සමාජවාදී වැඩපිළිවෙළක් බව බොහොම නිර්භීතව අභිමානයෙන් යුක්තව කියනවා.
සමාජවාදී කඳවුර බිඳ වැටී ඇති මොහොතක එවන් වැඩපිළිවෙළක් ප්‍රශ්න සහගත නැද්ද?
සමාජවාදය ගැන පසුගිය කාලයේ සෘණාත්මක ආකල්පයක් ගොඩනගා තිබෙනවා. ඒක සවිඥානකව අවබෝධයෙන් යුක්තව කර ඇති දෙයක්. ඊට බලපාපු ඇත්ත හේතු අපිත් විවේචනය කළා. 1975 දී රෝහණ විජේවීර සහෝදරයා මේක විවේචනය කළේ. ඒ කාලේ අඩුපාඩු දැක්කා. නමුත් දැන් සමාජවාදය ගැන විකෘති අදහසක් විවිධ දෘෂ්ටිවාදීන් විසින් තහවුරු කරමින් සිටිනවා. සමාජවාදය යල් පැනලා අලුත් වැඩක් ඕනේ කියලා මතයක් පතුරවනවා. අපි කියනවා අද දවසේ අලුත්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළ සමාජවාදී වැඩපිළිවෙළයි. අද දවසේ වඩා මානවවාදී, වඩා සාමූහිකවාදී වැඩපිළිවෙළ ජාතික ප්‍රශ්න විසඳිය හැකි, ජනතාව අතර සමානාත්මතාව තහවුරු කළ හැකි, සංහිඳියාව ඇත්ත අර්ථයෙන් ගෙන ආ හැකි වැඩපිළිවෙළ වන්නේ සමාජවාදයයි.
අපි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරද්දි පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කර තිබෙනවා. අපි තවම ඔහුගේ වැඩපිළිවෙළ දන්නේ නැහැ. නමුත් අපට තේරෙනවා ජාතික ආරක්ෂාව සහ විනයගරුක සමාජයක් ගැන තමයි කියන්නේ. එවිට අපිට එක්වරම මතක් වෙනවා ඔහු ආරක්ෂක හා විනය ගෙන එන්න හදන්නේ ඔහුගේ පරණ ක්‍රමයටමද කියලා. අනෙක් පැත්තෙන් එයාලගේ ව්‍යාජ දේශප්‍රේමය. රටේ ජනතාවට ආදරය කරන දේශප්‍රේමයක් නොවේ. ව්‍යාජ බටහිර විරෝධයක්, ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් ඔවුන් තුළ තිබෙන්නේ. අපි නම් ජාත්‍යන්තර පුරවැසියන් වෙන්න කැමතියි. හැම රටකම ඇවිදලා, පොදු සංස්කෘතීන් සමග මුහුවෙන්න අපි කැමතියි. නැතිව බලවත් රටක පුරවැසිකම අරගෙන එහි සුඛවිහරණ ආරක්ෂා කරගන්න දේශපාලනයක් යථාර්ථවාදී වෙන්නේ නෑ. නමුත් ජනතාව ජාතිවාදයෙන් දේශප්‍රේමයෙන් ගොනාට අන්දවලා දේශපාලකයෝ කටයුතු කිරීම ගැන තේරුම්ගත යුතුයි.
අනෙක් පැත්තෙන් එජාපය තවම අපේක්ෂකයව නම් කරලා නෑ. රනිල් එයිද, සජිත් එයිද, සරත් ෆොන්සේකා එයිද, කරු ජයසූරිය එයිද කියා නම් කර නෑ. ඒත් අපි දැක්කා ගතවූ අවුරුදු හතර හමාර තුළ ආර්ථිකය කොහොමද ගියේ කියලා. රැකියා දස ලක්ෂයට මොනවද වුණේ? බෝම්බ පිපිරුවා, මිනිස් ඝාතන සිද්ධ වුණා, ජනතාවගේ ආරක්ෂාව සපයා ගන්න බැරි වුණා, හොරු අල්ල ගන්න බැරිවුණා, මහ බැංකුව කොල්ලකෑවා, ප්‍රජාතන්ත්‍රවාදය ගේනවා කිව්වා. ඉන්පසු ප්‍රතිත්‍රස්ත පනත් ඉස්සරහට ගෙන ගියා, ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළ ඇක්සා ගිවිසුම මේ අය සදාකාලයටම දීර්ඝ කළා. සෝෆා ගිවිසුම, මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් අත්සන් කරන්න යනවා. අපිට තේරෙනවා ඔය කොයි අපේක්ෂකයා ආවත් මා නෙවෙයි මේවා කළේ, රනිල් කියා ඇඟ බේරාගන්න බෑ.
ජවිපෙ අපේක්ෂකයා කියනවා මේ දෙගොල්ලොම හොඳ නෑ, අපි හොඳ ළමයි, සිරිමත් හොඳ ළමයෙකි, එනිසා අපව පත් කරන්න කියා. මොකද්ද වැඩපිළිවෙළ? එතැනදි තමයි අපි කියන මේ සමාජවාදී වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රශ්නය එන්නේ. අවුරුදු හැත්තෑවක් මේ ක්‍රමය අපි අත්විඳලා තියෙනවා. මේ ක්‍රමය තවදුරටත් සමාජයට යහපත් දෙයක් ගෙන එන්න සමත්වෙලා නෑ. එනිසා අපට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විකල්ප ව්‍යුහයක්. ඒ සඳහා පැහැදිලිවම විකල්ප සමාජවාදී වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ වැඩපිළිවෙළ අපි හුදු මන්තරයක් වගේ ජප කරන්න ලෑස්තියක් නෑ. අපි අපේ වැඩපිළිවෙළ තුළ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය වන, සෑම ගැටලුවකටම ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් අප ගෙන එනවා. ලබන ඔක්තෝබර් 13දා අපේ පක්ෂ සමුළුවට අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. ඉන් පස්සේ ප්‍රායෝගික විසඳුම් සමග ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරනවා.
ඔබේ ඔය විකල්ප වැඩපිළිවෙළ ඇතුළෙ තියෙන්නෙ දේශපාලන පොරොන්දුද?
නෑ, පැහැදිලිවම පොරොන්දුවලින් බැහැර වෙච්ච, සටන් පාඨවලින් එහා ගිය ප්‍රායෝගික සැලැස්මක්. සියලු ක්ෂේත්‍ර ආවරණය කළ ක්‍රියාකාරී සැලැස්මක්. අපේ වැඩපිළිවෙළ මේ ගඟ ගලා යන දිශාවට එරෙහිව උඩුගං බලා යන එකක්.
කිසිම පක්ෂයකට මෙවර තනිව තරග කර ජයග්‍රහණය කළ හැකි තත්ත්වයක් නෑ?
ඔව්, ජනප්‍රිය මතයක් තියෙනවා මේ සියයට පනහ ගැන. ඔබ අහන්නෙත් ඒ පැත්තෙන් විය යුතුයි. අප මේ සියයට පනහේ කතාන්දරය එතරම් බරපතළ කාරණයක් ලෙස සලකන්නේ නෑ. පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ හෝ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල තියෙන්නේ මේ ගඟ ගලන දිශාවටම යන වැඩපිළිවෙළක්. අපට විද්‍යාත්මක, ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙනෙන්න නෑ. ජවිපෙ වැනි අය මේ යන වැඩපිළිවෙළටම සුදු හුනු ගාලා බල්බ් එල්ලලා ලස්සන කරන්න උත්සාහ කරනවා. අපි මහජනතාවගෙන් අපේ සමාජවාදී අපේක්ෂකයාට සහ වැඩපිළිවෙළට ඡන්ද ඉල්ලනවා. කවුද වැඩියෙන් ඡන්ද ගන්නේ කියන සංවාදයේ අපි නෑ. ඔවුන් කවුද, කොහොම ඡන්ද ගත්තත් අපි බලාපොරොත්තු වන්නේ නෑ ඔවුන් ඇවිත් වෙනසක් කරයි කියලා. 2015දි මොනවද වුණේ? ප්‍රජාතන්ත්‍රවාදීව රාජපක්ෂ රෙජිමය පරාජය කළ යුතු බවට විවාදයක් තිබුණේ නෑ. ඒත් පරාජය කරලා මොකද්ද ගේන්නේ කියන එක ගැන විවාදයක් තිබුණා. ඒත් 2015 රනිල්, මෛත්‍රි පාලනය, පසුව එජාප පාලනය තුළ දුන් පොරොන්දු අලුයම ලූ කෙළ පිඬක් සේ පැත්තකට දැම්මා. දින සීයේ ආණ්ඩුව කාලේ ජාතික විධායක සභාවට ගිහින් ජවිපෙ අනුර කුමාර දිසානායකලා කිව්වේ දැන් ඉතින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා කියලා. දැන් මොකද වුණේ කියලා අපි දන්නවා. එනිසා මේ ක්‍රමය ඇතුළෙම යන්න ගියොත් මොකද වෙන්නේ? අපි ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ හෙට ඔවුන්ගේ ජයග්‍රහණය සඳහායි.
ජනාධිපති වෙන්න නම් ලක්ෂ හැටපහක්වත් ඡන්ද ලබාගත යුතුයි. ඔබේ පක්ෂයට මෙය අභියෝගයක්?
අපි මැතිවරණ විරෝධී දේශපාලන පක්ෂයක් නොවේ. අපි තෝරාගත් මැතිවරණවලදී ඉදිරිපත් වෙනවා. මැතිවරණයෙන් විතරක් මේ කරන වෙනස්කම් සමාජයේ ඇති කරන්න බෑ. එහෙම නම් අවුරුදු 70 තුළ ජනතාවට බොහෝ දේ ලැබී තිබෙන්න ඕනේ. එනිසා අපි මැතිවරණය තෝරාගත්තේ එය වේදිකාවක් කරගන්න. අවුරුදු පහෙන් පහට තමන් තෝරාගන්නා අයගෙන් බැට කන ජනතාව අපි මේ අවුරුදු පහ තුළ දේශපාලනයට කැඳවිය යුතුයි. ජනතාව ඡන්දෙ දුන්නට පස්සේ අත පිහදා ගන්නවා. දේශපාලනය කරන්නේ නෑ. පත්කළ නියෝජිතයෝ දේශපාලනය කරමින් ජනතා විරෝධී තීන්දු තීරණ ගන්නවා. එනිසා ජනතාව මේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ අඛණ්ඩව රඳවා ගැනීම තමයි අපේ ඉලක්කය. සැබෑ මහජන ව්‍යාපාරයක් හදන්න පුළුවන් ජනතාව අඛණ්ඩ දේශපාලන ක්‍රියාකාරීත්වයක සිටියොත්. මේ අරගලය සඳහා ජනතාව සූදානම් කිරීමේ තවත් එක් අවස්ථාවක් ලෙස තමයි අපි මැතිවරණය පාවිච්චි කරන්නේ.
ජවිපෙ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට එන්නේ වසර කීපයකට පසු. ඔබ ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්ව සිටියා. ඔබ දකින්නේ කොහොමද තවත් පක්ෂ සමග සන්ධානගතව ජවිපෙ මේ සටනට පිවිසීම ගැන?
මම කිව යුතුයි ජවිපෙ අපේ දේශපාලනයේ අනෙකා නොවෙයි. අපේ දේශපාලන සතුරා ජනතා විමුක්ති පෙරමුණ නොවේ. අපේ දේශපාලන සතුරා මේ පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයෝත් නෙවේ. මේ ක්‍රමය තමයි අපේ අංක එකේ සතුරා. ධනයම සොයා යන, ලාභය සඳහා ඕනෑම දෙයක් කරන, ජනතාවට ඕනෑම විනාශයක් කර තම මඩිය තරකර ගන්න පුරුදු කර තිබෙන මේ ක්‍රමය තමයි අපේ සතුරා. ක්‍රමය වෙනස් කිරීම තමයි අපේ දේශපාලනයේ ආරම්භය. ඒ සඳහා තමයි අපේ දේශපාලනය පෙළගැසෙන්නේ. එතැනදි අපිට එජාපෙ වැනි දේශපාලන පක්ෂ, ඒ අයගේ වැඩසටහන් හමුවන්නේ. එවිට තමයි අපට විවේචන ඇතිවන්නේ. නැතිව ඔවුන්ව විවේචනය කරමින් අපේ දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමේ බලාපොරොත්තුවක් නෑ. ජවිපෙ මතින් අපේ දේශපාලනය කිරීමේ අදහසකුත් නෑ. අපි අපේම වැඩපිළිවෙළක් හරහා අපේ දේශපාලනය ඉදිරියට ගෙන යනවා. එසේ කරද්දි රට අගාධයට ඇද දැමූ එජාපය, ශ්‍රීලනිපය, එජනිස සියලු දෙනා අපට හමුවෙනවා. පැරණි සමාජවාදය ගැන කතා කරමින් පළල් පෙරමුණු ගැන කියමින්, ඒත් මේ වැඩපිළිවෙළම ශුද්ධ පවිත්‍ර කරලා මේකට සුදුහුනු ගාන ජවිපෙ වැඩපිළිවෙළත් අපට හමුවෙනවා. නමුත් අපේම මැදිහත් වීමෙන් අපේ වැඩපිළිවෙළ ජනතාව තුළ තහවුරු කිරීමයි අපේ අපේක්ෂාව. එනිසා ජවිපෙ මැතිවරණයට ඉදිරිපත් වීම, නොවීම කියන කාරණය මෙතැනදී අදාළ වෙන්නේ නෑ.
ජවිපෙ වැඩපිළිවෙළ සහ ඔබ පක්ෂයේ වැඩපිළිවෙළ අතර සමානකම් තිබුණොත් ජනතාව අතරමං වෙයි, තෝරාගැනීම සම්බන්ධව?
නෑ, ස්ථිවරම මේක සමාන වෙන්නේ නෑ. අපි දන්නවා ජවිපෙ නාමිකව හෝ එකතු වී සිටින සමහර කණ්ඩායම්, ඔවුන්ගේම අනුබද්ධ සංවිධාන හැරුණාම අනෙක් අය අතර දක්ෂිණාංශික අදහස් තියෙන අයත් ඉන්නවා. වාමාංශික යැයි කියා ගන්නා අයගේ අදහසුත් තියෙනවා. වම සතුටු කරද්දි දකුණත් අසතුටු වන, දකුණු සතුටු කරද්දි වම අසතුටු වන විදිහේ තත්ත්වයක් තියෙන්නේ. එය සංකීර්ණයි. මෙය මැතිවරණ ඉලක්ක කර ඡන්ද ගොඩ වැඩිකර ගන්න, වැඩි අපේක්ෂක පිරිසක් පත්කර ගන්නා අරමුණටම පමණක් සීමා වුණොත් ඕනෑම දේශපාලන පක්ෂයක් පටු වැඩපිළිවෙළකටයි වැටෙන්නේ.
ජාතික ජන බලවේගයට සම්බන්ධ වන්න කියා ඔබේ පක්ෂයට ආරාධනා කළේ නැද්ද?
නෑ, අපිට ඔවුන්ගේ වැඩපිළිවෙළ ගැන පූර්ව අදහසක් තිබුණා. අපේ සමාජවාදී වැඩපිළිවෙළත් එක්ක කිසිම ආකාරයක සම්බන්ධයක් ඔවුන්ගේ වැඩපිළිවෙළ සමග නැහැ. ජවිපෙ ඉතිහාසයේ සන්නද්ධ අරගල දෙකකට සම්බන්ධ වූ, පොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සටන් වැදුණු, ඉතිහාසයක් ඇති පක්ෂයක්. ඒ පක්ෂය අද වෙන ගමනක යන එක වෙනම කතාවක්. ඒත් අතීත ක්‍රියාකාරකම් සමග ගත්තාම ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා ජවිපෙ ගැන. තනිව පාලන බලය හසුරුවපු නැති පක්ෂයක් මොනවා හරි කරයි කියන අදහස ජනතාව තුළ ඇති. ජවිපෙට හෝ වෙන පක්ෂයකට මඩ ගහලා අපේ දේශපාලන අර්ථකථනය කරන්න අපට අවශ්‍ය නෑ. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ක්‍රමය පුද්ගලයන් සම්බන්ධව ප්‍රශ්නයක්ද, නැතිනම් මේ ක්‍රමයේ මූලික පදනම්වල ප්‍රශ්නයක්ද කියා වටහාගෙන විකල්ප ක්‍රමයක් ශක්තිමත් කිරීමට ඡන්දය පාවිච්චි කරන ලෙස.
මේ නිරත වෙන්නේ ඡන්ද කැඩීමේ උත්සාහයකද?
කාගෙවත් ඡන්ද කැඩීමේ කතාවක් මෙතැන නෑ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ සැබෑ ජයග්‍රහණය උදෙසා ඡන්දය විකල්ප වැඩපිළිවෙළක් ජයග්‍රහණය කිරීමට පාවිච්චි කරන්න කියලා. ඉන්පසු ඒ දේශපාලනය වෙනුවෙන් සටන් කරන්න. අපි අපේ ගමන ස්වාධීනව, මේ විනාශකාරී ගමන අනෙක් පැත්ත හැරවීමටයි කටයුතු කරන්නේ.
සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කර ගැනීම මෙහිදී වැදගත් වන බව හිතන්නෙ නැද්ද?
බහුතරය වේවා, සුළුතරය වේවා සෑම කෙනකුටම රටේ අයිතිය තියෙනවා. ජාතිවාදය පදනම් කරගෙන තමයි ඡන්ද ඩැහැ ගැනීම කියන කාරණය ඇවිත් තියෙන්නේ. එනිසා දෙමළ, මුස්ලිම් ඡන්ද ප්‍රධාන දේශපාලන කඳවුරුවලට ආකර්ෂණය කරගැනීම සඳහා සටනක් තියෙනවා. එනිසා මේ ඡන්ද ඩැහැ ගැනීමේ දේශපාලනය පරාජය කිරීමටත් අපේ වැඩපිළිවෙළ තුළ සාකච්ඡා කරනවා.
තරුණ ඡන්ද විශාල සංඛ්‍යාවක් මෙවර අලුතින් ලියාපදිංචි වී තිබෙනවා. මේ ඡන්ද වැදගත් නේද?
තරුණ ස්ථරය අපේ සමාජ වටපිටාව තුළ බරපතළ ලෙස බැට කනවා. රැකියා විරහිත බව, ඌන රැකියා නියුක්තිය නිසා මේ අය අසරණයි. ඒ අයගේ සංස්කෘතික ජීවිතය මොට කරලා. විශාල හීන පස්සේ හති වැටෙනතුරු දුවන තත්ත්වයකට තරුණ ප්‍රජාව ලක් කරලා. තරුණ ප්‍රශ්න සඳහා විසඳුම් සොයා ගන්න වෙන්නේත් සමාජවාදී ක්‍රමයක් තුළ පමණයි.
ජාතික ආරක්ෂාව ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබගේ විග්‍රහය කෙබඳුද?
පාස්කු දින ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක්. ලෝකයේ ඊට අදාළ තත්ත්වයක් තියෙනවා. ත්‍රස්තවාදය නිර්මාණය කළේම අමෙරිකානු අධිරාජ්‍යවාදීන්. සෝවියට් දේශයට විරුද්ධව ඇෆ්ගනිස්තානය විශේෂයෙන්ම. සෝවියට් සමාජවාදී කඳවුර වැටුණාම ඇමෙරිකාවට අලුත් හතුරෙක් අවශ්‍ය වුණා. ඒත් ඒ හතුරා හිතුවාට වඩා වැඩුණා. ඒ හතුරාව පාවිච්චි කරලා මැදපෙරදිග තෙල්, ගෑස් කොල්ලකෑවා. ඇමෙරිකානු අධිරාජ්‍යවාදය සහ ඉස්ලාම් ත්‍රස්තවාදය එකම කාසියෙ දෙපැත්තක්. ඒ තත්ත්වය තමයි අප්‍රේල් 21 ලංකාවේ අපි දුටුවේ. මෙය දඩමීමා කරගෙන කඳවුරු දෙකම තමන්ගේ දේශපාලනය හසුරුවන බව පේනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ඉල්ලීම් කරන අය අතර ඔබේ පක්ෂයත් ඉන්නවා?
විධායක ජනාධිපති ක්‍රමය හොඳද, නැද්ද කියා ඇසුවොත් මම කියනවා හොඳ නෑ කියලා. නමුත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කියන එක අපට හමුවෙන්නේ ජනාධිපතිවරණයක් අබියස. දැන් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන අවුරුදු හතර හමාරකට පස්සේ කතා කරනවා විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන. මේවා තම තමන්ගේ දේශපාලන අවශ්‍යතාව සඳහා වන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න යොදා ගන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණාව තරම් දඩමීමා කරගත් වෙනත් සටන් පාඨයක් නැති තරම්. එවැනි තත්ත්වයකදී විධායක ජනාධිපති ක්‍රමය හොඳද නැද්ද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. විධායකය ව්‍යවස්ථාදායකය සහ සමස්ත අධිකරණ පද්ධතියම පූර්ණ ව්‍යුහාත්මක වෙනසකට ලක්විය යුතුයි.
ඇක්සා ගිවිසුම, සෝෆා ගිවිසුම, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පමණක් නොවේ, මෙරට යුද හමුදාපති පත් කිරීමේදීත් ඇමෙරිකාවේ අත පෙවීම ගැන ඔබේ පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙනවා?
නෑ, පැහැදිලිවම අපේ දේශපාලනයේ ප්‍රධාන තේමාව වන්නේ ඇමෙරිකන්-චීන බල පොරයට ලංකාව ගොදුරු කරන්න එපා’ කියන එක. මේ බල පොරයට ලංකාව ගොදුරු කරන රනිල්, මෛත්‍රි, මහින්ද තිදෙනාම පලවා හැරිය යුතුයි යන්න තමයි අපේ අදහස. අද වෙද්දි ආසියාවත් එක්තරා ආකාරයක අධිරාජ්‍යවාදී ලක්ෂණ පෙන්නුම් කරනවා. තවදුරටත් සමාජවාදී චීනයක් නෑ. ලොවටම අත පොවමින් ආර්ථික, දේශපාලන හා යුදමය වශයෙන් චීනයත් අධිකාරීමය බලයක් ගොඩනගමින් සිටිනවා. ආසියානු කලාපය තුළ යළි තහවුරු වීමට ඇමෙරිකාව, චීනය විශාල මැදිහත්වීමක් කරනවා.
මේ අය අතර ගැටුමක් තියෙනවා. මේක ලෝක බලවතුන්ගේ ගැටුමක්. එක්සත් ජාතික පෙරමුණ ඉන්දියාවට සහ ඇමෙරිකාවට පක්ෂපාතී වෙද්දී, රාජපක්ෂ රෙජිමය චීනයේ රූකඩ ලෙස කටයුතු කරනවා. යැංකි රූකඩ චීන රූකඩ දෙයිද උත්තර කියමින් අප වැඩසටහනක් සිදුකරගෙන යනවා. රාජපක්ෂ රෙජිමය ඇමෙරිකාවට ව්‍යාජ විරෝධයක් පෙන්වමින් පුරවැසි භාවයත් ගන්නවා. අපේක්ෂකයා නම් කළ විගස ගොස් හමුවන්නේ ඇමෙරිකානු තානාපතිවරියයි. ඇක්සා, සෝෆා, මිලේනියම් චැලේන්ජ්, චීන වරාය නගරය, හම්බන්තොට වරාය, ඉඩම් ලබාදීම එකම ක්‍රියාවලියක්.
- අජිත් අලහකෝන්
aruna.lk