ජවිපෙ සැලකෙන්නේ මෙරට සාම්ප්‍රදායික වාමාංශික කඳවුරෙන් මෙපිට පවතින රැඩිකල් වාමාංශික අවකාශයේ දේශපාලන පක්ෂයක් ලෙසිනි. ඔවුන් ගුරු කොට ගත්තේ මාක්ස් -ලෙනින්වාදයේ විජේවීර පන්නයයි. 1971 සහ 1988-89 කැරළිකාරිත්වය සහ 1994 න් පසුව පෙන්වූ දේශපාලන කඩා පැනීම් විසින් ජවිපෙ සෑම විටම සාම්ප්‍රදායික වාමාංශයෙන් රැඩිකල් අන්තයකට තල්ලු කෙරිණි.
ඒ අතර අනුර දිසානායක ජවිපෙ නායකත්වය බාර ගැනීමෙන් අනතුරුව, ජවිපෙ සිය ගමන් මඟ තෝරා ගත්තේ එතෙක් දවටාගෙන තිබු ඇතැම් බරසාර රතු සළුපිළි ඉවතලමිනි. මාක්ස් ලෙනින්වාදය මෙන්ම විජේවීර මොඩලය ද කෙමෙන් අත් හරිමින් ජනප්‍රිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ ඔස්සෙ පක්ෂය හැඩ ගැස්සවීම පසුගිය වසර කිහිපය තුලදි සිදු විය. ජවිපෙ සම්බන්ධයෙන් සාමාන්‍ය පොදු ජනතාව තුල ගොඩ නැගී තිබු කළු චිත්‍රය, වර්ණවත් කිරීමට අනුරගේ නායකත්වය විශාල උත්සාහයක් ගනු ලැබූ අතර ඒ තරමක් සාර්ථක වී තිබිණි.
අද අනුර දිසානායක ජා.ජ.බ හී ජනාධිපති අපේක්ෂකයා ලෙස වේදිකාවට එන්නේ ජවිපෙ අටුවන් බැහැපු කැපුවත් රතු වර්ගයේ කාඩර්වරුන්ගේ කර මතින් නොවේ. නව ජවිපෙ වර්ණවත්භාවය දුටු මිනිසුන්ගේ කර මතිණි. එහෙත් ජවිපෙ විසින් පසුගිය වසර කිහිපය තුල ගම්දනව් පුරා සැරිසරමින්, වැඩපොළවල් තුල සැරිසරමින්, කාර්යාල තුල සැරිසරමින් ගොඩ නැගූ අපේක්ෂාව කුළු ගැන්වීමට අවසන් මොහොතේ දී ජවිපෙ අසමත් වී ඇත. අනුර කුමාර දිසානායක ජා.ජ.බ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරීමත් සමඟ ඊට දැඩි හානියක් කරගෙන තිබේ. අනුර යනු ජවිපෙ නායකයා මිසක් ජාතික වශයෙන් එක්තැන් කළ ජන බලවේගයක නායකයෙක් නොවන බව පැහැදිලිය. ඒ මතය වෙනස් කිරීමට හැකි නොවේ. ජාතික ජන බලවේගය හුදු ජවිපෙම බව හැර වෙනත් විකල්පයක් බව ඒත්තු ගැන්වීම දැන් සිදු කළ නොහැකිය.
විකල්ප බලවේගයක අවශ්‍යතාවයෙන් නලියමින් සිටි ජනතාවක්, වසර 50කට අධික ඉතිහාසයක් තියෙන විවිධ චෝදනාවන්ට,ගැරහුමට ගොදුරු වෙමින් විටෙක රටට ජයග්‍රහණයන් අත්පත් කර දුන්නද වැඩි මනත්ම රටට අලාබයන්ද සිදු කළ පක්ෂයක් ලෙස හංවඩු ගැසී තිබෙන, එසේම රටේ තට්‍ටු මාරු දේශපාලනයට මාරුවෙන් මාරුවට මුක්කු ගැසූ පක්ෂයක, පක්ෂ ඉතිහාසය විසින් ගොඩනගා දී තිබූ විශ්වාසයන් කෙළසා ගත් පක්ෂයක, කොටින්ම ජේවීපී කාරයකු යනුවෙන් ඉතිරි කර ගත් කුමක් හෝ ගෞරවයට හානියක් සිදුකළ පක්ෂයක නායකයා, බහුජන බලවේගයක නායකත්වයට පත් වීම ගැන බලන්නේ සැකයෙනි. විශේෂයෙන්ම මේ විකල්පයක අවශ්‍යතාවය කෙරෙහි දැඩි වුවමනාවකින් පෙළි සිටින පහළ මධ්‍යම පාන්තික ජනතාව තමන්ගේ ගැලවුම්කාරයා ලෙස පැමිණි අනුර දිසානායකව දකිනු ඇත්තේ පරණ කළු පැහැයෙනි.
අනුර ජවිපෙ දේශපලනයේ වර්ණය වෙනස් කිරීමට පසුගිය කාලයේ මහන්සි වුයේ මේ මිනිසුන් දකින කළු පැහැය වෙනස් කිරීමටය. එහි අනගි අවස්ථාව වූයේ ජන බලවේගයයි. එහිදී ජවිපෙට රට පිළිගත්තු ජවිපෙ නොවන අවංක විශ්වාසදායක මනුස්සයකුට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දී ජන බලවේගය විසින් ඉදිරිපත් කරන රට ගොඩ නඟන විකල්ප වැඩපිළිවෙලකට මූලිකත්වය දී එය දිනවන මෙන් ඉල්ලා සිටියානම් අද දිනය දේශපාලනිකව වඩාත් ඓතිහාසික දිනයක් වන්නට ඉඩ තිබිණි.
ප්‍රතිරූප වන්දනාවට මේ රටේ මිනිස්සු බහුතරයක් කැමති බව ඇත්තය. එය ඓතිහාකිව එන සහජාසයකි. එය කඩා බිඳ දැමීම ලෙහෙසි නොවේ. එහෙත් ඒ අසීරු දේශපාලනය පසෙකලා දුර්වල නමුත් ජනප්‍රිය ජවිපෙ ප්‍රතිරූපයක් වටා නැවත මිනිසුන් කේන්ද්‍රගත කිරීමට මේ ගත් උත්සාහය නැවත වරක් රට පෙර තිබූ තැනටම පත් කරන.එම තත්වයන් තව දුරටත් තහවුරු කරන්නට උදව් කරනවා විනා අඩියක්වත් පෙරට යන්නෙ නැත. එය ඉතිහාසය පුරා අත්දැක ඇති තත්වයක් නිසා ඒ ගැන අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ජවිපෙට අවසානයට ඉතුරු වනු ඇත්තේ තමන්ගේ පැරණි ග්‍රාමීය සහ කාලය අනුව වෙනස් වෙන පීඩිත නාගරික සබුද්ධික සුළු කොටසකගේ කැමැත්ත පමණි.
වඩාත් ජනප්‍රිය වීමට හැකි තැනැත්තා කවර හෝ ක්‍රමයකින් ජය ගත්තා විනා ඒවායේ යහපත් ප්‍රතිපල මේ රට බුක්ති වින්දේ නැත. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිපළයත් එයම මිස වෙනකක් නොවන බව මේ වෙන කොට ප්‍රධාන කඳවුරු දෙකෙන් ඉදිරිපත්ව ඇති සහ නියමිත අපේක්ෂකයන් විසින් දැනටම සහතික කර තිබේ. ඒ තතු යටතේ ජන බලවේගය වෙනුවෙන් මහන්සි වූ ප්‍රජාවගේ මහන්සිය ද වතුරේය.
Sumith Chaaminda ගේ FB සටහනක් සහ ඊට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.
ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අද ගත්තේ ඉතාම වැරදි තීරණයක්.
වාම ජනතාවාදී නොහොත් ජනප්‍රියවාදී දේශපාලනයකට අවස්ථාව උදා වී ඇති බව අපි පසුගිය කාලයේදී දිගින් දිගටම අවධාරණය කරමින් සිටියෙමු. ඒ අවස්ථාව ග්‍රහණය කරගැනීම සඳහා පුළුල් වාම සහයෝගීතාවක් ගොඩ නගා ගැනීමට යෝජනා කළෙමු. ඒ වෙනුවෙන් යම් යම් වාමාංශික නායකත්වයන් සමග දිගු සාකච්ජාවල නිරත වූයෙමු. එය අසාර්ථක වූ තැන තවදුරටත් එම ප්‍රයත්නයට අවශ්‍ය ඉඩ කඩ ඉතිරි කරගනිමින් යම් තනි පක්ෂයක් හෝ සංවිධානයක් සමග සෘජුව අනන්‍ය නොවී පොදු වාම කතිකාමය අවකාශය ශක්තිමත් කිරීමේ නිරත වෙමින් සිටිය යුතු බැව් අපට වැටහිණ. ජාතික ජන බලවේගය ගොඩ නැගීමේ රැස්වීමට අපට ආරාධනා ලැබුණු විට අප එයට නිරීක්ෂක මට්ටමින් පමණක් සහභාගී වූයෙමු.
කෙසේ වුවත්, අද දිනයේ ගෝල් ෆේස් පිටියට රැස්වූ අති විශාල ජනකායෙන් පෙනී ගියේ වාම ජනතාවාදී විකල්පයකට ඇති අවකාශය කෙබඳුද යන්නයි. බහුජන දේශපාලනයේදී ඇතැම්විට අනිශ්චිත මොහොතක් උදා වූ විට එය ග්‍රහණය කරගැනීමේ වඩාත්ම තියුණු හෙජමොනික උපාය සොයාගැනීමට අප අසමත් වුවහොත්, ඒ මොහොත වෙනත් ජනප්‍රියවාදී බලවේගයක් විසින් අත්පත් කරගනු ඇත.
ජාතික ජන බලවේගය තම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී කළ වරද සම්බන්ධයෙන් ජනක ඉනිමංකඩ සොයුරා රූපිකමය ලෙස සිදු කළ නිරීක්ෂණය සමග මම එකඟ වෙමි. "ඒ නම නිවේදනය කිරීමත් සමග ලක්ෂ 25 ක් කරා යාමට තිබූ ශක්‍යතාව ආපසු ලක්ෂ පහක් කරා කඩා වැටිණ!" සැබවින්ම ඔවුන් ඉදිරිපත් කළේ ඔවුනට ඉදිරිපත් කළ හැකි දුර්වලම අපේක්ෂකයා යි.
කෙසේ වුවත්, මේ තෝරාගැනීම පුදුමයට කරුණක් නොවේ. විදර්ශන සොයුරා ද අද දින පවසා තිබූ පරිදි ජාතික ජන බලවේගය ස්වකීය ජනප්‍රියවාදී එළඹුම වාමාංශික උපාය මාර්ගයක් තුළ පිහිටුවන්නට සමත් වී නොමැත. එය විසින් ජනප්‍රිය වාමාංශයේ දක්ෂිණාංශික අපේක්ෂකයා තෝරා ගැනීම ඒ අනුව අපේක්ෂා කළ යුත්තකි.
කෙසේ වුවද, දැන් වැඩි වාසිය ඇත්තේ දක්ෂිණාංශික ජනප්‍රියවාදයක් වෙතය.- Sumith Chaaminda