මේ අනුව, වසර තුනක් තිස්සේ, නීතිපතිවරයා වල් අශ්වයකු මෙන් සැරිසරමින්, පෙර නොවූ අයුරින් ගෞරවනීය නීතිපති දෙපාර්තමේන්තුව අපකීර්තියට ඇදදැමීමට සමත් වුණේය. ප‍්‍රවීණ ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් ඔහුගේ වැරදි සහ බලය අයුතු ලෙස භාවිත කිරීමට තිබුණු නැඹුරුතාව හෙළි කරන විට, අශ්වයා පැනගොස් ඉස්තාලය වසන්නට ප‍්‍රමාද වැඩිය.
නීතිපති සරත් නන්ද සිල්වා ඒ වන විටත් අගවිනිසුරු ධුරයට උසස් කර තිබුණි.
වාසනාවකට මෙන්, ඔහුගේ ආසන්නතම අනුප‍්‍රාප්තිකයන් වූ නීතිපති, කන්දප්පර් කමලාසබයිසන් සහ සී. ආර්. ද සිල්වා, ඉරණම, අරමුණ සහ සදාචාරාත්මක අඛණ්ඩතාව පිළිබඳ හැඟීමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යළිත් වරක් ඇතුළත් කළහ. එහෙත් සිල්වාගේ පෞද්ගලික හා දේශපාලන දූෂිත ක‍්‍රියාවලින් එම දෙපාර්තමේන්තුව බොහෝ කලක් කම්පා විය.
අවුරුදු විස්සකට පසුව, නව නීතිපතිවරයෙක් අද අලූත්කඬේ ශුද්ධ වූ ශාලා දිගේ කඩිමුඩියේ ගමන් කරයි. සෑම ඇඟවුමකටම අනුව, දප්පුල ද ලිවේරා නීතිපතිවරයා දැනටමත් සරත් සිල්වා වසර තුනකින් කළ ප‍්‍රමාණයට වඩා වැඩ මාස තුනකින් කර ඇත.
2017 පැවැති බැඳුම්කර කොමිසම ඉදිරියේ ‘ස්වාධීන නඩු මෙහෙයවන්නකු’ ලෙස තමා ප‍්‍රශංසා ලැබූ බවට ලිවේරා උදම් ඇනුවේය. එහෙත්, සත්‍යය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. වසර 135ක් ඉපැරණි නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ පුරාවටම, විමර්ශන කොමිෂන් සභාවක් විසින් නඩු කටයුතු මෙහෙයවීම පිළිබඳව දැඩිව අවවාද ලැබූ එකම නිලධාරියාද ඔහු විය. කනිෂ්ඨ නිලධාරියකුවත් එවැනි විවේචනයකට ලක්වී නොතිබුණි.
බැඳුම්කර කොමිසමේදී රවි කරුණානායකට එරෙහි සාක්‍ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් ලිවේරාගේ නාට්‍යමය ජවනිකාව ‘කාලය කාදැමීමක් බව’ තීරණය කෙරුණි. රවි කරුණානායක කොමිසම ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබාදුන් බවට ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් අපරාධමය සංඝඨකයක් වත් ලිවේරාගේ සාක්‍ෂි මෙහෙයවීමෙන් මතුවී නැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි සඳහන් කෙරුණි. ‘ඔබේ හැසිරිම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුට නොගැළපේ’ යැයි වරක් විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන ඔහුට මාධ්‍ය ඉදිරිපිට අවවාදාත්මක ලෙස ප‍්‍රකාශ කෙළේය.
විනිශ්චයකාර කොමසාරිස්වරුන් ඉදිරියේ වගකීම් රහිත පුද්ගලයකු ලෙස වචන හැසිරවීමට ඔහු උත්සාහ දරන විට නැවත විනිසුරු ජයවර්ධන මහතා මනා සංයමයකින් යුතුව ලිවේරාට ප‍්‍රකාශ කෙළේ ‘මෙම මාධ්‍ය රඟ දැක්වීම ඔබේ තෘප්තිය සඳහා පමණක්ම වනු ඇත’ කියාය.
එම ප‍්‍රකාශය වඩාත් තහවුරු වන්නේ බැඳුම්කර වාර්තාව ප‍්‍රකාශයට පත්කර වසර එකහමාරක් ගෙවී තිබුණද, රවි කරුණානායකට එරෙහිව ලිවේරා විසින් මෙහෙයවන ලද බොළඳ මූලික සාක්‍ෂියේ ඇති හරසුන් බව නිසා, අදද නීතිපති දෙපාර්තමේන්තුවට රවි කරුණානායකට එරෙහිව අසත්‍ය සාක්‍ෂි ලබාදීම පිළිබඳ චෝදනාවක් ගොනුකර ගැනීමට නොහැකි වීම නිසාය.
ලිවේරා නීතිපති ධුරයට පත්වුණු දා සිට මාධ්‍ය සමග ඔහුගේ පැවැති සහවාසයේ උච්චතම අවස්ථාවට අද ඔහු පැමිණ තිබේ.
ජනරජයේ නඩු පවරන්නා සහ ආණ්ඩුවේ නීති උපදේශකයා වූ නීතිපති දෙපාර්තමේන්තුව ලිවේරා සමග ලිවේරාගේ පුද්ගලික ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක් බවට අද පත්ව ඇත. මෙම අවභාවිතය සාධාරණය කරමින් ලිවේරා ආරක්‍ෂා කරන ඇතැමුන් ප‍්‍රකාශ කරන්නේ, ‘ලිවේරා වැඬේ කරගෙන යන බව’යි. එහෙත් සත්‍ය වශයෙන්ම ඔහු වැඬේ කරනවාද යන්න ප‍්‍රශ්න සහගතය.
ඒ මන්ද යත්, නීති ඉතිහාසය තුළ ලිවේරා යනු එකුදු ප‍්‍රසිද්ධ නඩුවකවත් පැමිණිල්ල මෙහෙයවා නැති නිලධාරියෙකි. එසේ හෙයින් අධිකරණයකින් විත්තිකරුවකු වරදකරුවකු කරන තෙක් මනා සංයමයකින් යුතුව පැමිණිල්ල මෙහෙයවිය යුතුයි යන ස්වර්ණමය සිද්ධාන්තයට ලිවේරා යනු ව්‍යතිරේකයකි. ලිවේරාට අනුව මාධ්‍යයෙන් චුදිතයකු වරදකරු වීම ප‍්‍රමාණවත් වේ. අධිකරණයෙන් ඔහු නිදහස් වීම ලිවේරාට වැඩක් නැත. ඒ අනුව පුවත් මවමින්, පුවත්පත් නිවේදන නිකුත් කරමින් ‘වැඬේ කරගෙන යන’ බව පෙන්වීම ලිවේරාට සතුටකි. ඉන් එහාට යුක්තිය පසිඳලීම ලිවේරාට වැඩක් නැත. වැඩක් ඇත්තේ චුදිතයාට විරුද්ධ ලිවේරා නඩු පැවරුවායැයි ‘මාධයෙන් ප‍්‍රචාරය වීමෙන්’ පමණකි.
ලිවේරාට, තමාගේ නම මාධ්‍යයෙන් දැකගැනීම ආහ්ලාදයකි. එය මැනැවින් විද්‍යාමාන වන්නේ, ඔහු කිසිදු වගකීමක් නැතිව, නීතිපති දෙපොර්තමේන්තුවේ සංවේදී නීතිපති උපදෙස් ලිපි මාධ්‍ය මගින් පළකිරීම තුළිනි. එය ඔහුගේ අපරිණතභාවයද? එසේත් නැත්නම් ප‍්‍රසිද්ධියට ඇති කෑදරකමද? යන්න ප‍්‍රශ්නයකි.
කෙසේ නමුත් අවසානයේ එම ලිපි මාධ්‍ය හරහා ප‍්‍රචාරය වීමෙන් වාසි ලබන්නෝ, එකී සංවේදී නඩුවල අත්අඩංගුවට ගැනීමට පොලිසිය මාන බලමින් සිටින විත්තිකරුවෝය. ඒ මන්ද යත්, ලිවේරාට පින් සිදුවන්නට කල් තියාම තමන් අත්අඩංගුවට ගැනීමට එන බව දැනුවත් වෙන චුදිතයෝ ඒ අනුව එක්කෝ රටින් පලායති. නැතිනම් කල් තියා රෝහල් ගතවී, එසේත් නැතිනම් නීති උපදෙස් රැගෙන අන්‍යස්ථානිකභාවය (වරද කරන තැන එම අවස්ථාවේ තමා නොසිටියේය යන ස්ථාවරය- සංස්කාරක* පිළිබඳ විත්තිවාචක සකස්කර පැමිණිල්ලට නඩුව ඔප්පු කිරීමට ඇති අවස්ථා අවහිර කිරීමට උත්සුක වෙති.
පසුගිය දිනවල රතුපස්වල ඝාතන, වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම, ඇවන්ගාඞ් නඩුව ඇතුළු වැදගත් නඩුවල අධිචෝදනා අධිකරණය හමුවට පැමිණීමට පෙර මාධ්‍ය හරහා ප‍්‍රචාරය වීම දක්නට ලැබුණි. ඉහත කී නඩු සියල්ලකම පාහේ නියෝග ලබාදුන් මහමොළකරු වූ, දැනට අමෙරිකානු පුරවැසිකමට හිමිකම් කියන, හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ අනාගතයේදී ජනාධිපතිවරයා වීමට අපේක්‍ෂා කරන යම් පුද්ගලයෙකු පිළිබඳව සාක්‍ෂි අනාවරණය කර තිබියදීත්, ඔහු ඉහත එකුදු නඩුවකට හෝ අධිචෝදනාවකට ලක්කිරීමට ලිවේරාගේ කඩිමුඩියේ යවන අධිචෝදනා පත‍්‍රවලට නොහැකි වූයේ කාගේ අනුමැතියකින්ද යන්න ප‍්‍රශ්න සහගතය.
එයට එක් පැහැදිලි හේතුවක් වන්නේ, ලිවේරා විසින් විමර්ශන පවා අවසන්ව නැති ගොනු ගෙන්වා කඩිනමින් අධිචෝදනා අධිකරණයට යැවීමට දරන උත්සාහයයි. චුදිතයන්ට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි රැුස් කිරීමට තවදුරටත් තිබියදීත්, ලිවේරා අධිචෝදනා ගොනු කරන්නේ නීති විරෝධී අණ පිළිපැදි අයට එරෙහිව පමණි. අණ දුන් අයට කිසිදු අපරාධ වගකීමක් කඩිමුඩියේ යවන අධිචෝදනාවල ඇතුළත් කර නැත. ඇතුළත් කරන්නට බැරිය. ඒ නිසා අණ දුන් අය කිසිදු විභාගයක් නොමැතිව නීතියේ ආධිපත්‍යයට ඔච්චම් කරමින් යෙහෙන් වැජඹෙති. ලිවේරාගේ හදිසි නඩු පැවරීමට පින් දෙමින් රටේ ජනාධපතිවරුන් වීමට සිහින දකිති.
ඉහතින් සඳහන් කරන ලද ඇමරිකානු පුරවැසිබව හිමි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වනාහි ප‍්‍රසිද්ධියේ මාධ්‍යවේදීන්ට, සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් මරන බවට මැර තර්ජන එල්ල කළ අයෙකි. මිනීමරු කල්ලියකට නායකත්වය දුන් ඔහු වරෙක බීබීසීය සමග සාකච්ඡුාවකට සහභාගි වෙමින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය ගැන කොක්හඬ ලා කතාකළ අයෙකි. එහෙව් අපරාධමය හැසිරීමක් ඇති ලෝකයම දන්නා පුද්ගලයකුට එරෙහි කිසිදු සාක්‍ෂියක් ලිවේරාට හමුවී නැත. එය පුදුම උපදවන කාරණයකි.
එම ආරක්‍ෂක ලේකම්වරයාට එසේ සලකන නීතිපතිවරයා, පාස්කු ප‍්‍රහාරයේ වගකීම එවක ආරක්‍ෂක ලේකම්වරයා වූ හේමසිරි ප‍්‍රනාන්දු මහතා පිට පැටවූයේ මානුෂවාදී නීතියේ එන සංකල්පයක් උපයෝගි කරගනිමිනි.
ලිවේරාට අනුව හේමසිරි ප‍්‍රනාන්දුගේ ක‍්‍රියාව ‘මනුෂ්‍යත්වයට එරෙහි බරපතළ අපරාධයක්’ වන අතර, ඒ නිසාම, එම ක‍්‍රියාව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ‘මනුෂ්‍ය ඝාතන වරද’ කිරීමකි.
කෙසේ නමුත් ජුලි 9 වැනි දින එම තීරණය එක පෑන් පහරකින් කපා දමමින් මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, ස්වකීය ඇප නියෝගයේ ‘මනුෂ්‍ය ඝාතන වරද’ සංයුක්ත කරන කිසිදු අපරාධමය සංඝටකයක් පෙන්වීමට නීතිපතිවරයා අපොහොසත් වූ බවට නිර්භයව ප‍්‍රකාශ කරමින්, ඉතිහාසගත නියෝගයක් ලබාදුන්නේ, ලිවේරාගේ සියලූ ළදරු තර්ක කුණුකූඩයට විසි කරමිනි.
එහෙත් ලිවේරාගේ පුහුදුන් අහංකාර මානසිකත්වයට එය මදිකමක් වුණි. ඔහු මහේස්ත‍්‍රාත්වරිය විසින් දෙන ලද නියෝගය තඹයකට මායිම් නොකරමින් මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදෙමින් ලංකා ජයරත්නගේ නියෝගය නීති විරෝධී බවත්, එයට අභියෝග කරන බවත් ප‍්‍රකාශ කෙළේය. සති දෙකකට පසු ප‍්‍රතිශෝධනයක් මහාධිකරණයේ ගොනු කරමින් ලිවේරා හැසිරුණේ නොමේරූ ආකාරයෙනි. අධිකරණයේ ස්වාධීනත්වය ඔහුට වැඩක් නැත. වැඩක් ඇත්තේ මාධ්‍ය හරහා තමා ලංකා ජයරත්නට වඩා දන්නා බව පෙන්වීම පමණකි.
ලිවේරාට පෙර සිටි නීතිපතිවරුන් ගත් තීරණද අධිකරණ විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද අවස්ථා එමට තිබුණි. එහෙත් එම නීතිපතිවරුන් අධිකරණ නියෝගවලට ප‍්‍රසිද්ධියේ අභියෝග කරමින් අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූ කළේ නැත. මනා සංයමයකින් යුතුව නීතිය මනා ලෙස පරීක්‍ෂාවට ලක්කරමින් නියෝගයේ ඇති නීතිමය කරුණු අධ්‍යයනය කොට ඒවා ඔවුහු ඉහළ අධිකරණවල අභියාචනා හා ප‍්‍රතිශෝධන පාත‍්‍රතාවට ලක්කළහ. එහෙත් ලිවේරාගේ සටන අධිකරණයේ ආධිපත්‍යය රැකගැනීමට වඩා ඔහුගේ පුහුදුන් මානසිකත්වය ප‍්‍රදර්ශනය කිරීමක් පමණක් වෙයි.
හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පතිවරයාට මිනීමැරුම් චෝදනා එල්ල කිරීමට පොලිසිය මන්දගාමී වූ බව ලිවේරා වරෙක මාධ්‍ය ප‍්‍රචාර මගින් කීවේය. නීතිපතිවරයාගේ එම ගෝරනාඩුව හමුවේ අසරණ වූ පොලිසිය ඉන් පසුව එම නියෝගය ක‍්‍රියාත්මක කෙළේය. අධිකරණය ඉදිරියේ සාධාරණය කිරීමට නොහැකිවූ ලිවේරාගේ එම තීරණ සාධාරණය කිරීමට ගොස් රජයේ අධිනීතිඥවරුන් නිරන්තරයෙන් විහිළු සපයන්නන් බවට ලිවේරා පත්කර අවසානය. මේ සියලූ ගෝරනාඩු හමුවේ පොලිසියත් රජයේ අධිනීතිඥවරුත් සංඝටක අසම්පූර්ණ අධිචෝදනා ගොනුකළත්, පසු දින ‘නීතිපති නඩු පැවරූ බව’ට පුවත් සිරස්තල තිබීම පමණක් ඔහුට සතුට ගෙනදීමක් වන්නේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ලිවේරා රටේ ගැලවුම්කාරයා බවට පත්විය. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රජයේ පුවත්පතක් විසින් ලිවේරා වර්ණනා කරන ලද්දේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ අනෙකුත් වංචාකරුවන් නීතිය හමුවට ගෙන්වා ගැනීමට සමත්වූ එකම නීතිපතිවරයා ඔහු පමණක් බව කියමිනි. ඒ ගැන ලිවේරාට බෙහෙවින් ස්තුතිවන්ත වුණු එම පුවත්පත නීතිපතිවරයාට ප‍්‍රශංසා කිරීමට පිටුවක්ම වැය කෙළේය. මේ ලිපිය තුළින් ඔහුගේ පූර්වගාමීන්ට දොස් පැවරූ අතර සියලූ ගෞරවවලින් ලිවේරාගේ සාක්කු පිරවූයේය.
නීතිපති දෙපාර්තම්න්තුවේ නිලධාරීන් මෙම ලිපියේ අඩංගු කරුණු ගැන තුෂ්ණිම්භූතව හුස්මක් ගැනීමට පෙර තවත් ලිපියක් පළවිය. එම ලිපියෙන් කියැවුණේ නඩු විභාගය සඳහා ලිවේරා රජයේ නීතිඥයන් 15 දෙනකු තෝරාගත් නමුත් ඕනෑම විටෙක ඔහු නඩුව මෙහෙයවීමට පෙරමුණට එන බවත්, ලිවේරා පුද්ගලිකව ඔවුන් මෙහයවනු ඇති බවත්, ඔවුන් අධීක්‍ෂණය කරන බවත්ය.
එවන් අභීත නායකයකු ලෙස මාධ්‍ය හරහා පැමිණි ලිවේරාගේ සැබෑ නායකත්ව ප‍්‍රතිරූපය පසුගිය සිකුරාදා ඔහු පාර්ලිමේන්තුවේදී සාක්‍ෂිදීම ප‍්‍රතික්‍ෂෙප කරමින්, පලායමින් කළ දෙයින් හෙළිවිය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නීතිපති කැඳවූයේ පොලිසියෙන් වසර දෙකක් පුරාවට නීතිපති උපදෙස් අයදින ලද මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වීම ගැන ප‍්‍රශ්න කිරීමටය. නායකයෙකු මෙන් නැගී සිටිමින්, එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප‍්‍රධානියා ලෙස වගකීම භාර ගන්නවා වෙනුවට ලිවේරා අපූරු වැඩක් කළේය. තාක්ෂණික තර්ක ඉදිරිපත් කරමින් තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්කි දීමෙන් ගැලවුණු ලිවේරා ඉතාම කනිෂ්ඨ රජයේ නීතිඥයෙකුට වගකීම භාර දී ශාලාවෙන් පිට වී ගියේය.
ලිවේරාගේ දර්ශනය අනුව, ජෙනරාල්වරයකු පෙරමුණ ගෙන යා හැකි නමුත්, නීතිපතිවරයකු පෙරමුණ ගත යුත්තේ තම නිලධාරීන් පිටුපස සිටිමින්, ඔවුන් බිල්ලට දෙමින්, ඔවුන් මිනිස් පළිහක් ලෙස පාවිච්චි කරසිනි. පත්තරවලින් ගෝරනාඩු කළද සැබෑ ලෝකයේදී ලිවේරා නීතිපති දෙපාර්තමේන්තුවට ‘නායකත්වය’ දුන්නේ ඒ ආකාරයෙනි.
එම තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දුන් කනිෂ්ඨ නිලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නායකයා ලෙස දප්පුල ද ලිවේරා කටයුතු කරන කාලයේ සිදුවී තිබුණු අතපසු කිරීම, නොසැලිකිලිමත්භාවය පිළිබඳව පිළිගත්තේය. අවංකව අනාවරණය කෙළේය. සත්‍යය එය නම්, නොසැලකිලිමත්භාවය පිළිබඳව හේමසිරි ප‍්‍රනාන්දුට එරෙහි නඩු පවරන ලිවේරා, ඒ මිනුම් දණ්ඩෙන්ම මැන, තමාගේ නොසැලකිලිමත්භාවය නිසා සහරාන් සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාදීමට නොහැකිවීම මත, එක්කෝ ප‍්‍රනාන්දුට එරෙහි චෝදනා අතහැර දැමිය යුතුය. නැතහොත්, නීතිපතිතුමා විසින් නීතිපතිතුමාටම, නොසැලකිලිමත්භාවය මත මිනීමැරීමේ වරද සිදුකිරීම ගැන අධිචෝදනාවක් ගොනු කරවාගත යුතුය.
එසේ නොවුණහොත් ලිවේරාගේ නීතිය යනු, හේමසිරිට එක හැන්දකිනුත් ලිවේරාට තව හැන්දකිනුත් බෙදාගැනීමකි.
(කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ පළවුණු An Attorney General on the loose ලිපියේ පරිවර්තනයකි. සංස්කරණය කර ඇත.)