ඉන්දියාවේ අන්ද්‍රා, තෙලන්ඟනා සහ ඔඩිස්සා වැනි ප්‍රදේශවල පවතින දැඩි උෂ්ණ කාලගුණය හේතුවෙන් මේ වෙද්දී 3000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත. මිනිස්සු හැරුණුකොට සතා සිවුපාවෝ ද දැඩි උෂ්ණත්වය නිසා දැඩි පීඩාවට පත්වූහ. ඇතැම් ප්‍රදේශවල ගස්වල එල්ලී සිටින වවුලන් මියගොස් බිම ඇද වැටෙන අතර නුවණක්කාර වවුලන් දිය සීරාවල උඩුබැලි අතට වැටී ගත සිසිල් කරගන්නා බවත් සඳහන් විය. වඳුරෝ ද උෂ්ණය දරාගත නොහැකිව ජලය සොයා යති. ඇතැම් දෙනා තමන්ට බීමට ඇති ජල බිඳ වඳුරන්ට පොවා සැනසෙන අවස්ථා ද එමටය.
ඉන්දියාව මෙවර අසාමාන්‍ය දැඩි උෂ්ණත්වයෙන් පීඩා වින්ද ද එරට ඇතැම් ප්‍රදේශ වසරේ වැඩි කාලයක් දැඩි නියඟයෙන් පීඩා විඳී. එවන් ප්‍රදේශවල ජල බිඳක් සොයා යෑම නිකිණි සොයන්නාක් වැනි දුෂ්කර කටයුත්තකි. එනිසා එම ප්‍රදේශවල ජනයා ජලය සොයා සැතපුම් ගණන් පයින් යෑමට පුරුදුව සිටිති. ජලය සොයා යන මේ දුෂ්කර කටයුත්තට විසඳුමක් ලෙස එම ප්‍රදේශවල පිරිමි අපූරු පිළියමක් යොදාගෙන සිටිති. ඒ ජලය රැගෙන ඒම සඳහා පමණක් බිරියක් පාවා ගැනීමය. එරට මෙලෙස පාවාගන්නා බිරියන් ‘පානිවාලී බයිස්’ හෙවත් ජල බිරියන් ලෙස හඳුන්වති.
පිරිමින් ගොවිතැනේ
නියඟයෙන් පීඩා විඳින පළාත්වල පිරිමි මෙලෙස පාවා ගන්නා කාන්තාවෝ බොහෝ විට පවුලේ දෙවැනි හෝ තෙවැනි බිරිය ලෙස සලකති. එම බිරියගේ එකම රාජකාරිය වන්නේ දුරුකතර ගෙවා ගොස් නිවෙසට අවශ්‍ය ජලය රැගෙන ඒමය. ඒ සඳහා ගිනිගහණ අව් කූටකේ විශාල ජල බඳුන් හිස මත තබාගෙන ගමන්වාර කීපයක්ම යෑමට මේ ‘පානිවාලී’ බිරියනට සිදුව ඇත්තේය.
ඇතැම් පිරිමි පවුලට දිය ගෙන ඒම සඳහා එක බිරියක නොසෑහේ නම් තෙවැනි බිරියක ද පාවා ගැනීමට පෙලඹෙති. එසේ වුවද, මෙලෙස පාවාගන්නා බිරියන්ට පළමු බිරියට ලැබෙන කිසිම අයිතිවාසිකමක් නොලැබේ. පරපුර ගෙන යෑමට දරුවන් ලැබීමේ අයිතිය ඇත්තේ ද පළමු බිරියට පමණි.
ඩොංගන්මාල් ගම්මානය පිහිටා ඇත්තේ මුම්බායි සිට කිලෝමීටර් 150 ක් දුරිනි. දැඩි ශුෂ්ක ප්‍රදේශයක් වන එහි ජීවිතය දුෂ්කරය. පිරිමින් සතුන් බලා ගනිමින් ගොවිතැන් කරද්දී පළමු බිරිය ගේදොර කටයුතු සහ දරුවන් බලා ගනී. වැස්ස අඩුකම නිසා වසරෙන් අට මාසයක්ම ඒ පළාත්වල ජනයාට දිය සොයා කිලෝමීටර් ගණන් දුර යෑමට සිදුව තිබේ. මේ නිසා ඩොංගන්මාල් හි සෑම පවුලකම පාහේ ‘පානිවාලී’ බිරියෝ සිටිති. එය එම පළාත්හි සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබේ.
දිය ගෙන ඒම පමණක් එකම රාජකාරිය වී තිබෙන මේ ‘පානිවාලී’ බිරියෝ ඒ වෙනුවෙන් ලබනුයේ හිසට සෙවණක් සමඟ කාගේ හෝ බිරියක ය යන ‘නම්බුව’ පමණි.
විවාහ නමට පමණයි
මේ ‘පානිවාලී’ බිරියන්ගේ දුෂ්කර ක්‍රියාව දන්නා නිසා පිරිමියකුට පවුලේ දෙවැනි හෝ තෙවැනි බිරිය හෝ ලෙස කාන්තාවක සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එපමණක් නොවේ. ඉන්දියාවේ නියඟයෙන් පීඩා විඳින පළාතක තරුණයකුට සිය දියණියක දීග දීමට දෙමවුපියෝ ද කැමැත්තක් නොදක්වති. එසේම නියඟයෙන් පීඩා විඳින පළාතක තරුණයකුට ජලය තිබෙන වාරිමාර්ග හොඳින් ඇති පළාතකින් තරුණියක සොයා ගැනීම ද සිහිනයකි. මෙනිසා එවන් ප්‍රදේශවල පිරිමින්ට කාන්තාවන් සොයා ගැනීමට සිදුව ඇත්තේ ඒ වැනිම වූ ශුෂ්ක පළාතකින් හෝ තමන්ගේම ගමෙන් පමණි.
දිය ගෙන යෑම සඳහා පමණක් බිරියන් ලෙස පැමිණෙන ගැහැනු ද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. ඊට හේතුව වන්නේ බොහෝ විට ‘පානිවාලී’ ලෙසින් පැමිණෙන ගැහැනුන් වැන්දඹු හෝ සැමියන් අත්හැර ගිය ගැහැනුන් වීමය. සිය ප්‍රධාන රාජකාරියට අමතරව ඔවුනට පවුලේ ප්‍රධාන බිරියගේ අණසකට ද යටත්වීමට සිදු වේ. ඔවුනට පවුලේ දේපළට ද උරුමකම් කීමට නොහැකිය. එසේම පළමු බිරිය ජීවත්ව සිටින තාක් කල් සැමියා හා යහන්ගත වීම ද තහනම්ය.
තට්ටේ පෑදුණු කතුන්
මුම්බායි හි ඩෙන්ගන්මාල් ගමේ ‘පානිවාලී’ බිරියක් කිලෝමීටර් 3 ක් ඈතින් පිහිටි ජල සැපයුමකින් ගිනිගහණ අව් කූටකේ වාර කීපයක් ගොස් දිනකට ලීටර් 100 ක පමණ ජලය රැගෙන එන්නීය. මෙනිසා එවැනි ගම්මානවල සෙල්සියස් අංශක 40 ගිනි අව්වේ වුව විශාල ඇලුමිනියම් කළ හිස් මත දරා ජලය අදින කතුන්ගේ දසුන සුලබය.
ජලය පිරි විශාල බඳුන් කාලයක සිට හිස මතා දරා සිටිම නිසා මේ කතුන්ගේ තට්ටය පෑදී ඇති අතර ඔව්හු නිතරම ගල් ගැසී මෙන් බලා සිටින බව ද වාර්තා වේ. මේ කාන්තාවනට දරුවන් වැදීමේ ශක්තිය ද නොමැත.
ඩොංගන්මාල් ගම්මානයේ ජල හිඟය නිසා සෑම පස් දිනකට වරක් ම ජල ලීටර් 1000 ක් අඩංගු වතුර බවුසරයක් ගමට පැමිණේ. ජල බවුසරය පැමිණෙන දින එතැන දිගු පෝලිමකි. මෙතැනින් දිය ගැනීමේ අවස්ථාව මඟ හැරුණොත් විඳීමට සිදුවන දුෂ්කරතාව හොඳින් දන්නා ‘පානිවාලී’ බිරියෝ හිමිදිරියේ සිටම අදාළ ස්ථානයේ පෝලිම් ගැසෙති. ඒ නිසාම එතැන ‘පානිවාලී’ බිරියන්ගේ කෙහෙවලු පටලවා ගැනීමේ සුලබ ස්ථානයක් වී ඇත්තේය.
“අපට දැන් මේ වතුර ඇදිල්ල එපා වෙලයි තියෙන්නේ. අනේ, අපේ දරුවන්ටවත් මෙයින් ගැලවීමට ඇත්නම් කෙතරම් පිනක්” දැයි ‘පානිවාලී’ බිරියක වන ටුකී පවසන්නීය. එම ගම්මානයේ ජනයා ජලය සොයා විඳින දුක දන්නා රජය අසල ජලාශයක සිට ගම්මානය කරා ජලය සැපයීමට කටයුතු යොදාගෙන යෑම පිළිබඳව වඩාත්ම සතුටු වන්නෝ ද ‘පානිවාලී’ බිරියෝය.
සේමාලි කැල්ලපත
silumina