අලුත්ගමට බොදු බල සේනා එව්වේ ඔබාමාද? - මංගල Featured

Sunday, 29 June 2014 05:30

 

ප්‍රශ්නය - මේ දිනවල අපේ රටේ දේශපාලන කථිකාව තුළ මංගල සමරවීර කියන්නේ විවාදිත චරිතයක්‌. දර්ගා නගරය මුල් කරගෙන පසුගිය දිනවල ඇතිවුණ සිංහල මුස්‌ලිම් ගැටුම්වලට අපේ රටේ රාජ්‍ය බුද්ධි අංශය සම්බන්ධ බව කියමින්, ඔබ කළ හෙළිදරව්ව ඊට මුල් වුණා. මෙවන් බරපතළ චෝදනාවක්‌ රටේ රාජ්‍ය බුද්ධි අංශයට කරන්න ඔබට තිබෙන අයිතිය මොකක්‌ද?

පිළිතුර - රටක රජයේ බුද්ධි අංශය රටට අහිතකර යම් යම් ක්‍රියාවන්වල යෙදෙනවා නම්, බුද්ධි අංශය පටු දේශපාලන න්‍යාය පත්‍රයක්‌ අනුව වැඩ කරනවා කියල අපට තොරතුරු තියෙනවා නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ හැටියට අපට විශේෂ වගකීමක්‌ තියෙනවා, අපි දන්න දේ රටට හෙළිදරව් කිරීමට.

 

ප්‍රශ්නය - රාජ්‍ය බුද්ධි අංශයක්‌ කියන්නේ රජයේ පාලන තන්ත්‍රයේ අතිශයින් රහසිගත හා සංවේදී ආරක්‍ෂක ඒකකයක්‌. එහි රහස්‌ හා තොරතුරු විපක්‍ෂයේ දේශපාලනඥයන් අතරට යනවා කියන්නේ එක්‌ අතකින් බුද්ධි අංශයේ දුර්වලකමක්‌. අනිත් අතින් විපක්‍ෂයේ තිබෙන කුමන්ත්‍රණකාරී රාජ්‍ය විරෝධී කඩාකප්පල් වැඩපිළිවෙළ හෙළිදරව් කරන්නක්‌.

පිළිතුර - නෑ. නෑ. ඔච්චර දුර යන්න එපා. අපි ඉස්‌සරවෙලා තේරුම් ගනිමු. රජය බුද්ධි අංශයක්‌ තුළින් බලාපොරොත්තු විය යුතු රාජකාරිමය ස්‌වභාවය මොකක්‌ද කියලා. විශේෂයෙන්ම යම් බුද්ධි අංශයක්‌ රටේ ආරක්‍ෂාව හා සාමය පවත්වාගෙන යැමට, යම් ත්‍රස්‌තවාදී වැඩපිළිවෙළක්‌ මර්දනය කිරීමට, රටේ ආරක්‍ෂාව භෞමික අඛණ්‌ඩතාව හා ස්‌වෛරීත්වය ආරක්‍ෂා කිරීමට ගන්නා වැඩපිළිවෙළ හා උපාය මාර්ග තිබෙනවා නම් ඒවා යම් යම් මාර්ග මගින් සොයාගෙන හෙළිදරව් කරනවා නම් ඒක මහා බරපතළ විශාල වරදක්‌ බව මමත් පිළිගන්නවා. ඒවා හෙළිදරව් කිරීම බරපතළ වරදක්‌. නමුත් යම් බුද්ධි අංශයක්‌ රටේ සාමය හා ආරක්‍ෂාව කඩ කරන එක්‌තරා කණ්‌ඩායමක්‌ වෙනුවෙන් පෙනී සිටිනවා නම්, ඔවුන් ආරක්‍ෂා කරනවා නම්, රටේ ජාතීන් අතර සාමය හා සහජීවනයට හානි වන අයුරින් ක්‍රියා කරනවා නම් රටේ පැවැත්මට අහිතකර යම් ක්‍රියාවල යෙදෙනවා නම් ඒවා රාජ්‍ය රහස්‌ නෙවෙයි. රාජ්‍ය රහස්‌වල මුවාවෙන් කරන දේශපාලන තක්‌කඩිකම්. මම හෙළිදරව් කරන්නේ ඒ තක්‌කඩිකම් විතරයි.

 

ප්‍රශ්නය - සමස්‌ත බුද්ධි අංශයටම ඔබේ ඔය චෝදනාව අදාළ ද............?

පිළිතුර - නෑ. නෑ... බුද්ධි අංශ භාර ප්‍රධානියා යටතේ ඉන්න නිලධාරීන් කිහිපදෙනෙක්‌. ඕන්නම් මම නම් කියන්නම්. (නම් කීමට සූදානම් වෙයි) තව නම් තියෙනවා ලැයිස්‌තුවක්‌. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම ලංකාවේ බොදු බල සේනා කියන සංවිධානයට මඟ පෙන්වන, ආරක්‍ෂාව දෙන රාජ්‍ය මුදල් පවා ලබා දෙන දිරිමත් කරන නිලධාරීන් කිහිපදෙනෙක්‌ම තමයි මම හෙළිදරව් කරන්නේ..... මෙයාලත් මේ කරන්නේ තමන්ට ඉහළින් ඉන්න ප්‍රධානියෙක්‌ගේ අණ ක්‍රියාත්මක කිරීම.... ඒ අනුව තමයි, මුස්‌ලිම් විරෝධී ව්‍යාපාරයක්‌ රට පුරා ක්‍රියාත්මක වෙන්නේ. ඒක කරන ප්‍රධානියෙක්‌ ඉන්නවා. ඔහු පිටුපස ඉන්න තව දේශපාලන කණ්‌ඩායමක්‌ ඉන්නවා.

 

ප්‍රශ්නය - ඇයි ඔවුන් ගැන කෙළින් කියන්නේ නැත්තේ.. කවුද ඒ ප්‍රධානියා...... කවුද ඒ බලවේගය.

පිළිතුර - කියන්නම්.... (සිනාසෙමින්) පළ කරනවාද.. ඒ තමයි රටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉන්න (ඉහළම නිලධාරියකුගේ තනතුර කියයි) එයා පිටුපස්‌සේ ඉන්නේ කවුද කියන්න ඕන නැහැනේ.

 

ප්‍රශ්නය - මෙය භයානක චෝදනාවක්‌. ඔබට එහෙම කියන්න සාධක තියෙනවාද?

පිළිතුර - මොකද නැත්තේ. කොච්චර තියෙනවාද? මම මේක කිව්වේ අද ඊයේ නෙවෙයි. ඔය "හලාල්" ව්‍යාපාරය මුල් කරගෙන ඔය බොදු බල සේනා කණ්‌ඩායම මේ රටේ ඉස්‌ලාම් මුස්‌ලිම් විරෝධී රැල්ලක්‌ අරගෙන ගියානේ. ඒ වෙලාවේ මම කිව්වා මේ බොදු බල සේනා සංවිධානය පුම්බන්නේ, ආරක්‍ෂා කරන්නේ විතරක්‌ නොවෙයි...... ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන රහස්‍ය ගිණුමෙන් මුදල් පවා ලබා දෙන්නේ රටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා කියල. ඒ වෙලේ..... නැහැ කිව්වෙත් නැහැ. ඔව් කිව්වෙත් නැහැ. ඊට ටික දවසකට පස්‌සේ ඔහු ගිහින් ගාල්ලේ බොදු බල සේනා මූලස්‌ථානයක්‌ විවෘත කළා. ඒ විතරක්‌ද...

බොදු බල සේනා කණ්‌ඩායම මේ රටේ කරන ත්‍රස්‌ත ක්‍රියා, ජාතිවාදය, සාමය කඩ කිරීම් ඉදිරියේ පොලිසියේ හා හමුදාවේ නිහඬතාව බලන්න. අපට පුළුවන්ද එයාල ඉද්දී මේ රටේ සාමකාමී විරෝධතාවක්‌ වත් කරන්න. බැහැනේ. අපි විරෝධතාවක්‌ කළොත් කඳුළු ගෑස්‌ ගහනවා. වතුර ගහනවා. උසාවි නියෝග අරන් ඇවිත් තහනම් කරනවා. ශිෂ්‍ය උද්ඝෝෂණවලට පැනලා ඇස්‌ එළියට පනින්න ගහනවා. එහෙම පොලිසිය, එහෙම හමුදාව, එහෙම එස්‌. ටී. එෆa. එක බොදු බල සේනාවට මොනවද කරලා තියෙන්නේ.

බේරුවලදී අලුත්ගමදී බොදු බල සේනාවට පුළුවන් වුණා මොබයිල් වේදිකාවක්‌ ගෙනත් පාර මැද තියලා ඒ වේදිකාවට නැඟලා ඉතාම භයානක ලෙස ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇතිවන විදියට කතා කරලා ධර්මය වෙනුවට වෛරය, ක්‍රෝධය වපුරවලා මහා විනාශයක්‌ කරන්න. නමුත් මේ ඔක්‌කොම කළ බොදු බල සේනාවට ආරක්‍ෂාව දුන්නේ එස්‌. ටී. එෆa. එක. එයාලා ගිහින් කඳුළු ගෑස්‌ ගැහුවේ කලබලකාරීන්ට නොවෙයි. අර අහිංසක ප්‍රදේශවාසීන්ට. මම බය නැතිව නොපැකිළිව කියනවා. මේක හිතාමතා සැලසුම් කරපු සැලසුම් සහගත මෙහෙයුමක්‌. මේක ක්‍රියාත්මක කළේ රජයේ ඉහළම අය.

 

ප්‍රශ්නය - අපේ රටේ ඉහළම රාජ්‍ය නායකයා, ජනාධිපති මුස්‌ලිම් ප්‍රජාව සමග ජාතිකවත් ජාත්‍යන්aතරවත් ඉතාම මිත්‍රත්වයකින් කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙක්‌. එතුමා එහෙම කටයුතු කරද්දී ඔහුගේම ආරක්‍ෂක ප්‍රධානියා මුස්‌ලිම්, සිංහල අරගලයක්‌ රටේ ඇතිකරන්න සැලසුම් කළා කියලද ඔබ කියන්නේ. පරස්‌පර ක්‍රියාවලියක්‌නේ එහෙමනම්... වෙන්න පුළුවන් දෙයක්‌ද?.

පිළිතුර - මේ ක්‍රියාවලිය දෙස මතුපිටින් බැලුවාම පරස්‌පරයි තමයි. නමුත් ගැඹුරට ගිහින් බලන්න. ජනාධිපතිගේ පේනවා තමයි, මුස්‌ලිම් ප්‍රජාව සමග සුහදව සිටින බවට මුහුණුවරක්‌. මම කියනවා ඒක බොරු බයිස්‌කෝප් සුහදත්වයක්‌ කියලා. ලෝකෙට පෙන්නනවා එකක්‌. මුස්‌ලිම් සහෝදර වාදය ලෝකෙට පෙන්නලා මුස්‌ලිම් ප්‍රජාවේ සහයෝගය ගන්නවා. ජිනීවාවලදී ඡන්දයක්‌ ගන්නවා. සමහර රටවලින් සම්මානත් ගන්නවා. ඒක එක පැත්තක්‌.

අනිත් අතින් ඔහුගේම සහෝදරයා අනිත් පැත්තෙන් මුස්‌ලිම් විරෝධී බෞද්ධ සංවිධානයකට උදව් කරමින් සිංහල, මුස්‌ලිම් අරගල අවුළුවනවා. එහෙම පේන්නේ මතුපිටින් බැලුවොත් විතරයි. ගැඹුරින් විග්‍රහ කරලා බලන විට මේ දෙන්නගේ ගමන එකම අතකට යන එකම න්‍යාය පත්‍රයකට අනුව සැකසුණ වැඩපිළිවෙළක්‌ බව පැහැදිලියි. මේ දෙන්නා මේ ක්‍රියාත්මක කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්‌. ඒකේ ඉලක්‌කය තමයි මේ රටේ හොඳින් හෝ නරකින් මහින්ද රාජපක්‍ෂ තුන්වැනි වරටත් ජනාධිපති කරවීම. ඒක තමයි මේ මෙහෙයුමේ ඉලක්‌කය.

 

ප්‍රශ්නය - ඔබ යෝජනා කරන්නේ ඒ වගේ කුමන්ත්‍රණයකින් තොරව ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මේ රටේ නැවත ජනාධිපති විය නොහැකි බවද?

පිළිතුර - ඔව්..... මොකද හේතුව.... දැන් බලන්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙලා වසර 10 යි. යුද්ධය දිනලා ඉවර වෙලා අවුරුදු 5 කට කිට්‌ටුයි. බලන්න මේ කාලය තුළ රජය රටට කරල තියෙන්නේ මොකක්‌ද?... යුද්දේ විතරයි. ජයග්‍රහණ විතරයි. යුද්ධය ඉවර වුණාට පස්‌සේ මේ අවුරුදු 5 තුළ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය බිඳවැටිලා. හොරකම, මැරකම, ජඩකම රටේ රජ කරලා. පකිස්‌තානය හා ලංකාව දැන් ආසියාවේම හෙරොයින් කේන්ද්‍රස්‌ථානය බවට පත්වෙලා කියලා ලෝක වාර්තා හැදිලා. ආශ්චර්යය කියලා වචනයට කිව්වට ඇති ආශ්චර්යයක්‌ නැහැ. රට සංවර්ධනය කළා ලස්‌සන කළා කිව්වාට ඇති දෙයක්‌ රටට වෙලා නැහැ.

 

ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ. මේ රටේ ඕනම තැනක ඇවිදලා විවෘත මනසකින් වට පිට බැලුවාම රට ලබල තියෙන සංවර්ධනය ඕනම කෙනකුට පේනවනේ.

පිළිතුර - සංවර්ධනය කියල මොනවද තියෙන්නේ. අහස්‌ යානා එන්නේ නැති ගුවන් තොටුපළකුයි නැව් ඉඳල හිටල එන හාබර් එකකුයි මහ වැස්‌සට හෝදගෙන යන කාපට්‌ පාරවල් ටිකකුයි නේ තියෙන්නේ. ඔච්චරනේ. වෙන මොනවද. පාරට ගල් අල්ලලා මල් හිටුවලා තියෙනවා. වෙන මොනවද? ඔය ටික ඇරෙන්න සැබෑ සංවර්ධනයක්‌ ජනතාවට පෙන්වන්නෙ නැහැ. කෝටි ගණන් වියදම් කරනවා. කෝටි ගණන් කොමිස්‌ ගහනවා. මම කියන්නේ ඒකට කොමිස්‌ කුට්‌ටි සංවර්ධනය කියලයි.

 

ප්‍රශ්නය - යුද්ධය දිනලා ජනතාවට නිදහස ලබාදීමේ ගෞරවය රජයට තියෙනවා. ඔබට පේන්නේ නැද්ද?

පිළිතුර - යුද්දේ දින්නා. ප්‍රභාකරන් නැති වුණා. ත්‍රස්‌තවාදය නැති වුණා. ඒක ඇත්ත. අපිත් සතුටුයි. හැබැයි ඒ චූන් එක හැමදාම ජනතාවට පෙන්නලා ඡන්ද දිනන්න බැහැ. අද යුද්දෙ නැහැ. නමුත් රට ඉදිරියට ගිහින් නැහැ. ඒක නිසා ආයෙත් ඡන්දයක්‌ ඉල්ලන්න ජනතාව ඉදිරියට යන්න මෙයාලට හැකියාවක්‌ නැහැ.

මෙන්න මේ නිසා මෙයාල හිතනවා ආයිමත් අර 2010 යුද්ධය අවසන් වුණු වෙලාවේ තිබුණු ආකාරයේ මානසිකත්වයක්‌ රටේ ගොඩනගලා, නැවත හතුරෙක්‌ නිර්මාණය කරලා, ජාත්‍යන්තරයේ නැති ජාත්‍යන්තර පීඩනයක්‌ නිර්මාණය කරලා, මේ රට බේරාගත හැකි එකම දේශප්‍රේමී නායකයා මහින්ද රාජපක්‍ෂ ඉස්‌මතු කරලා විතරයි ජනාධිපතිවරණය දිනිය හැක්‌කේ කියලා. මම මේක වගකීමකින් කියන්නේ.

 

ප්‍රශ්නය - බරපතළ චෝදනාවක්‌. මේ රජය ද්විත්ව චරිතයක්‌ පෙන්නුම් කරන බවක්‌ ඔබ කියනවනේ?

පිළිතුර - ඔව්. ඒක තමයි ඇත්ත. ජනාධිපති ලෝකෙට එකක්‌ පෙන්නනවා. රටට තව එකක්‌ පෙන්නනවා. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් පසුගිය දිනවල ජාත්‍යන්තරයට ගිහින් කිව්වා පරීක්‍ෂණවලට අපි එකඟයි, මේවා මේවා කරනවා, එන්න ඇවිත් බලන්න කියලා. දැන් ඔන්න පරීක්‍ෂණයකට එන්න හදනකොට එන්න එපා කියනවා. දෙබිඩි පිළිවෙතක රජය ඉන්න නිසා නේ ඔය කරදර ඔක්‌කොම.

 

ප්‍රශ්නය - ඔබ සමඟ කතා කරන විට මට එක දෙයක්‌ පැහැදිලියි. ඒ තමයි සැබැවින්ම ඔබ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ ඔහුගේ රජය සමඟ දැඩි වෛරයකින් පෙළෙන බව.

පිළිතුර - අනේ නැහැ. මට නම් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟÊකුඩා හෝ වෛරයක්‌වත් නෑ. ඔහු මගේ පැරැණිතම යාළුවෙක්‌. 1988 මම මුල් වරට ඩාර්ලි රෝඩ් එකට ගිය වෙලාවේ ඔහු තමයි මගේ හොඳම මිතුරා. මුල්ම මිතුරා. ඔහු තමයි අපි හැමෝටම වඩා ඉදිරියෙන් සිටිමින් හැම තැනම කැපී පෙනුනේ. වෘත්තීය සමිති ව්‍යාපාරවල කම්කරු ව්‍යාපාරවල ශිෂ්‍ය හා තරුණ ව්‍යාපාරවල ඔහු තමයි හිටියේ ඉදිරියෙන්. ජනමාධ්‍ය අතරත් වීරයා, සුරතලා ඔහු. මමයි රුවන් ෆර්ඩිනැන්ඩුයි එකතු වෙලා 88 - 89 වකවානුවේ අතුරුදන් වූවන් පිළිබඳ එකතු කරපු දීප ව්‍යාප්ත තොරතුරු ඔහු තමයි ජාත්‍යන්තරයට අරගෙන ගිsහින් වීරයෙක්‌ වුණේ. ඔහුට ඒ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන ලැබුණා. වරක්‌ ඉන්දියානු විශ්වවිද්‍යාලයක්‌ ආචාර්ය උපාධියක්‌ දුන්නා මානව අයිතීන් සම්බන්ධව. ඒ විදිහට 90 දශකය පුරා ලංකාවේ හිටපු වඩාත්ම ප්‍රගතිශිලී නායකයා වුණා මහින්ද. අද කොහොමද. ලෝකයේ මුගාබෙලා, බෂීර්ලා, අසාඩිලා වගේ අය හිටගත්ත පෙළේ නම කියෑවෙන්නේ කියලා මම තවම අධ්‍යයනය කරනවා. මට වෛරයක්‌ තියෙනවා අද මේ රටේ වෙන සමහර දේවල් ගැන දකින කොට මේ රජය සමඟ. සංවර්ධනයේ නාමයෙන් වන මහා සොරකම් දකින කොට. දැන් මේ බුර බුරා නැගෙන ජාතිවාදයේ ගිනිදළු දකින කොට වෛරයක්‌ ඇති නොවන්නේ කාටද?

 

ප්‍රශ්නය - අපි ආයෙත් බුද්ධි අංශ හෙළිදරව්ව වෙත හැරෙමු. ඔබ අද බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් කරමින් කරන්නේ එදා 2002 ආණ්‌ඩුවේදී "මිලේනියම්සිටි" ඓතිහාසික පාවාදීම කියන හෙළිදරව්වේ දෙවැනි පියවර නොවෙයිද?

පිළිතුර - නැහැ වැරදියි. ඔය විග්‍රහය කරන්නේ අර කුණුහරුප කියන ජඩ මාධ්‍යවේදීන් පිරිසක්‌ විතරයිනේ. සිහියක්‌ මොලයක්‌ තියන අය ඔය කතා කියන්නේ නැහැ. මොකද මිලේනියම් සිටි සිද්ධියයි මේ සිද්ධියයි කියන්නේ පැහැදිලිවම දෙකක්‌. අවස්‌ථා දෙකක්‌ විතරක්‌ නොවෙයි. මුහුණුවරිනුත් හැඩරුවිනුත් අන්තර්ගතයෙනුත් දෙකක්‌.

එදා තිබුණේ රටක්‌ රටේ රාජ්‍යයක්‌ හමුදාවක්‌ බුද්ධි අංශයක්‌ ත්‍රස්‌තවාදයට එරෙහිව කරපු යුද්ධයක්‌. ඒ යුද්ධයේදී ත්‍රස්‌තවාදය මර්දනය කරන්න, මේ රට බේරාගෙන සාමය උදා කරන්න සේවය කරපු හමුදාවක්‌ වෙනුවෙනුයි එදා අපේ බුද්ධි අංශය ක්‍රියා කළේ. ඒ පාවාදීම දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහී පාවාදීමක්‌ වුණේ ඒකයි. ඒකට විරුද්ධව කතා කළ කථිකයන් අතර මමත් එක්‌කෙනෙක්‌. නමුත් අද තත්ත්වය ඊට සපුරාම වෙනස්‌. අද තියෙන්නේ මේ රටේ ත්‍රස්‌තවාදී ගින්න නැවත අවුලන්න ජාතිවාදය වපුරන්න බුද්ධි අංශය විසින් මෙහෙයවන මෙහෙයුමක්‌ නිසයි මම මේ හෙළිදරව්ව කරන්නේ. මේක පාවාදීමක්‌ නොවන්නේ ඒ නිසයි.

 

ප්‍රශ්නය - අවසන් වරට මම අහන්නේ ඔබ මේ බරපතළ විවේචනත් සමඟ මේ රජය පෙරළන්න, ඡන්දයකින් පරාජය කරන්න ඔබලාගේ ලොකු සූදානමක්‌ තිබෙන බව පේනවා. මොකක්‌ද වැඩපිළිවෙළ?

පිළිතුර - ඔව්........ අපි අහනවා අද රටේ මේ රජයට, ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව ලොකු ජනතා අප්‍රසාදයක්‌ මේ වන විට වර්ධනය වෙමින් තියෙනවා. සමහර අය ඉන්නවා මේ රජයේම මහින්ද රාජපක්‍ෂට ඡන්දය දීලා කරගත්තේ මහා මෝඩකමක්‌ කියලා හිතන දේශපාලනඥයෝ පවා. ලොකු අප්‍රසාදයක්‌ වර්ධනය වෙලා. ඒ අප්‍රසාදය ගොඩනැගුණු පළියට, එම බලවේග අප වටා ගොනුවෙයි කියලා මම හිතන්නේ නැහැ. ඊට අපට ශක්‌තිමත් වැඩපිළිවෙළක්‌ තිබිය යුතුයි.

 

ප්‍රශ්නය - ඔබලා පොදු අපේක්‍ෂකයෙක්‌ ගැන හිතනවාද?

පිළිතුර - ඒ ගැන කල්පනා කරන්න කලින් අපිට ඕන විපක්‍ෂයේ පොදු බලවේග එකට ගොනු කරන පොදු වැඩපිළිවෙළක්‌. පොදු අපේක්‍ෂකයා අවශ්‍ය ද නැද්ද යන්න ඊට පසුව ගන්නා පියවරක්‌.

 

ප්‍රශ්නය - පොදු අපේක්‍ෂකයා කවුද කියන එක පසෙකට තබමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය කරළියට ගෙන එන්න කියලත් සමහරු කියනවා. ඔබ ඒ සඳහා වෙහෙසෙන කෙනෙක්‌ ලු.

පිළිතුර - නැහැ... මම දන්නේ නැහැ. එතුමිය කැමැති නම් එතුමියට ඉඩකඩ තියෙනවා ඕන තරම් මේ දේශපාලන කරළියට පොදු වේදිකාවට ඇවිත් වැඩ කරන්න. ඒකෙන් කියන්නේ නැහැ ඊළඟ පොදු අපේක්‍ෂකයා ඇය කියලා.

 

ප්‍රශ්නය - හිටපු ජනාධිපතිනිය පසුගිය දිනවල කවදාවත් නොතිබූ ආගමික සංහිඳියාවක්‌ ගැන කතා කරමින් කරළියට ආවා. ඇය මේ රටේ ආගමික සංහිඳියාවක්‌ නැහැ කියමින් කතා කරන අතරතුර හිටි හැටියේම රටේ මතුවුණ සිංහල - මුස්‌ලිම් අරගලය ගැන අපට ප්‍රශ්න තියෙනවා.

පිළිතුර - ඇයි ඒ.

 

ප්‍රශ්නය - ඒ තුළින් ඔප්පු වෙනවා මේ රටේ ආගමික ගැටුමක්‌ ඇති කිරීමට ජාත්‍යන්තරයේ යම් සැලසුමක්‌ ක්‍රියාත්මක වුණු බව. දෙපිරිස අතර ගැටුමක්‌ නිර්මාණය වේවිය කියලා තුන්වැනි පාර්ශ්වයක්‌ බලා සිටිය බව.

පිළිතුර - විහිළු කතා. ඒකයි මම අහන්නේ අර බොදු බල සේනා සංවිධානය බේරුවලට එව්වේ ඔබාමාද? බේරුවලට ඇවිත් ධර්මය වෙනුවට වෛරය වපුරන්න කිව්වේ ඔබාමාද කියලා මම අහන්නේ ඒකයි. අන්තිමේ පොලිසිය 13 දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තා. පොලු, කිණිසි, කඩු එක්‌ක. දවස්‌ 2 ක්‌ යන්න කලින් ඒ පිරිස නිදහස්‌ කරන්න කියලා පොලිසියට බලපෑම් කළේ ඔබාමාද? කෝ ඕවට උත්තර. කවුද මේක පටන් ගත්තේ කියලා බලන්න. එයාලා පිටිපස්‌සේ කවුද ඉන්නේ කියලා බලන්න. හැබැයි මම එකක්‌ කියන්න ඕන. මේකට උඩගෙඩි දෙන සමහරු නම් ඇමරිකානු පුරවැසියන්. අනිත් අතට ඔතන ඉන්නවා (නම කියයි) කියලා මැලේ මුස්‌ලිම් බුද්ධි නිලධාරියෙක්‌. ඔහු තමයි මේ කටයුතු සංවිධානය කරන්නේ. ඔහුට ජිහාඩ් එකෙන් සල්ලි එනවද කියල නම් මම දන්නේ නැහැ.

 

ප්‍රශ්නය - පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ ඇමැතිවරයා ප්‍රකාශයක්‌ කළා එහි කියෑවුණා මුස්‌ලිම් අන්තවාදීන්ට සෞදිය හරහා මුදල් එන බව. බොදුබල සේනාවට නෝර්වේ හරහා මුදල් එන බව. ඒ දෙපැත්තෙන්ම එන්නේ ඇමරිකන් මුදල් බව ඔහු ප්‍රකාශ කළා.

පිළිතුර - ඔය කියන්නේ ජාතිවාදී විකාර සිහින දකින උදවිය කියන කතා. ඇමරිකාව එවපු ඒ සල්ලි ආවා නම් දර්ගා නගරයට කඩු, කිනිසි, බෝම්බ තියෙන්න එපායෑ මුස්‌ලිම්වරුන් අතේ. පල්ලිවල, ගෙවල්වල.

 

ප්‍රශ්නය - එස්‌ටීඑෆa නිලධාරීන් පෙන්වනවනේ මුස්‌ලිම් අය අතත් කඩු, කිනිසි, බෝම්බ තිබිලා අත්අඩංගුවට ගත්තා කියලා.

පිළිතුර - ඒ ඊට පස්‌සේ එක පාරට කියන කතානේ. සියලු ජනතාවට එරෙහිව රටේ ක්‍රියාත්මක වන එකම බලවේගයයි මම දන්නේ. ඒක වෙන එකක්‌ නොවෙයි. මම ඒකට කියනවා ආර්ටීඑෆa කියලා. රාජපක්‍ෂ කාර්ය බළකාය. එච්චරයි.සාකච්ඡා කළේ

- බූලිත ප්‍රදීප් කුමාර

Last modified on Sunday, 29 June 2014 10:17

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us