සමුගත් ‍තෙලි තුඩ

Published in කලා
Monday, 27 July 2015 08:34

‘‘රෙක්ස් කොඩිප්පිලි හිස බූගායි’’ කාලවකවානු අමතක වුව ද පුවත්පතක තිබූ මේ සිරස තාමත් මතක ය. රෙක්ස් කොඩිප්පිලි සිය හිස බූ ගෑවේ ගාමිණී හේවාවිතාරන අධ්‍යක්ෂණය කළ ‘‘රක්තා’’ චිත්‍රපටයේ රක්තා ගේ පියා ගේ (එම චරිතයේ නම මේ මොහොතේ සිහිපත් නොවේ) චරිතයට පණ පෙවීම සඳහා ය.


‘‘රක්තා’’යන නම ඇසුණු සැණින් සිහිපත්වන තවත් නමක් තිබිණ. ඒ ‘‘දයා රාජපක්ෂ’’ නමැති නාමය යි. 2015-07 26 වන දිනට ප්‍රථම නම් ඉහත වාක්‍ය ලියැවෙන්නේ ‘‘රක්තා’’යන නම ඇසුණු සැණින් සිහිපත්වන තවත් නමක් ඇත.’ යනුවෙනි. එහෙත් උපදින විට අනිවාර්යයෙන් ම රැගෙන එන මරණය දයා රාජපක්ෂ නමැති කෘතහස්ත චිත්‍ර ශිල්පියාට ද දායාද විය. දයා රාජපක්ෂ නමැති භෞතික සිරුර අහිමි වුව ද ඔහුගේ නාමය චිත්‍රකතා රසිකයන්ගේ සිත්සතන් තුළින් අහිමි කළ නොහැකි තරමට ම ඔහු සිය දක්ෂතාවය චිත්‍රකතා රසික ප්‍රජාවගේ සිත් තුළ රඳවා ඇත.

ඔහු සිය පළමු චිත්‍රකතාව සිළුමිණ පුවත්පතට සපයන්නේ 1966 වසරේ දී ය. මගේ පරම්පරාවේ චිත්‍රකතා රසිකයන්ගේ මනසෙහි ඔහුගේ දක්ෂතා සනිටුහන් වන්නේ ‘‘අනුපමා’’ චිත්‍රකතාව තුළිනි. එය මැක්සිම් ගෝර්කිගේ කෙටිකතාවට නෑකම් කියන්නක් බව සිහිපත් වේ. මෙම චිත්‍රකතාව මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයක් ලෙස නැරඹීමට ලැබිම ද අප එකල ලද මහත් භාග්‍යයකි.

දයා රාජපක්ෂ ගේ බොහෝ චිත්‍රකතා සිනමාවට නැගුණ බව වෙසෙසින් සිහිපත් කළ යුතු නොවේ. ඒ අතුරින් ‘‘හුලවාලී’’ නිර්මාණය සුවිශේෂී ස්ථානයක් උසුලයි. ඒ, එම සිනමා නිර්මාණයේ තිර රචනයට ඕ. සී. අයි. සී. සම්මානය හිමි වීම ය. ඊට අමතරව හුලවාලී තිර රචනය පිළිබදව ආන්දෝලනාත්මක සිදුවීමක් ද මේ මොහොතේ සිහිපත් වේ. එනම් එහි තිර රචනය අග්‍රගන්‍ය සිනමාවේදී ගාමිණී ෆොන්සේකාගේ යැයි කටකතාවක් පැතිර යාම ය. කෙසේ වෙතත් එය එතරම් ප්‍රසිද්ධියට පත් නොවී ය.

දයා රාජපක්ෂ යනු තම නිර්මාණ හැකියාවන් තුළින් නොමැකෙන මතක සටහන් තැබූ චිත්‍රකතා ශිල්පියෙකි. ඒ අතුරින් ප්‍රමුඛත්වයක් උසුලන්නේ ඔහුගේ ‘‘ආදර කොමා’’ නම් වූ චිත්‍ර කතාව යි. රොබෝවරුන් පිළිබඳ අපට අසන්නට ලැබුණේ ඔහුගේ එම චිත්‍රකතාව තුළිනි. එම චිත්‍රකතාව තව තවත් ප්‍රසිද්ධියට මෙන් ම ආන්දෝලනයට ලක් වූයේ එහි කතා තේමාව ය. එනම් රොබෝවරයකුට පෙම් බදින මිනිස් කාන්තාවක් වටා එය ගෙතී තිබූ බැවිනි. සැබැවින් ම එකී සන්දර්භය අදටත් විශ්මය ජනක ය. රෝබවරයා නිර්මාණය කළ මහාචාර්යවරයාගේ බිරිඳට ම එම රොබෝවරයා ආදරය කිරීම කෙතරම් විශ්මිත ද; චමත්කාර ජනක ද; සුන්දර ද? එහෙත් චිත්‍රකතා රසික රසිකාවියන් ගේ හද කුල්මත් කරමින් ඒ සිත් පිත් නැති රොබෝවරයා මිනිස් කතකට ආදරය කරන ආකාරය අපි රසවින්දෙමු.

දයා රාජපක්ෂ ද සමාජයේ විවිධ ස්ථරයන් තම නිර්මාණ කුසලතාවයට ග්‍ණය කරගත් නිර්මාණ ශිල්පියෙකි. ඒ සඳහා හොඳ ම නිදසුන නම් ‘‘සක්විති සුවය’’ චිත්‍ර කතාව ය. එය ද පසු කලෙක දී සිනමාවට නැගුණි. එහි අධ්‍යක්ෂකවරයා වූයේ ද ගාමිණී ෆොන්සේකා ය. එකල අද මෙන් ත්‍රී රොද රථ නොතිබුණි. සාමාන්‍ය ජනයා තම ගමන් පහසුව සහා කුලි රථ ලෙස භාවිතයට ගත්තේ ‘‘ටැක්සි’’ රථ ය. ‘‘සක්විති සුවය’’ කතාව ගෙති තිබුණේ මේ ටැක්සි රියැදුරන් ගේ ජීවිත වටා ය. එහි ප්‍රධාන චරිතය වන ‘‘බකට් හැරී’’ ගේ චරිතයට පණ පෙව්වේ ද ගාමිණි ෆොන්සේකා ය. ටැක්සි රියදුරන්ගේ දුර්වලතා මෙන් ම ‘‘ටැක්සිකාරයා’’ යන නමින් ප්‍රචලිත පුද්ගලයා ගේ ඇතුළත ජීවත් වන හොද මිනිසා පිළිබඳව ද එම කතාවේ විවරණය කරයි. කවදත් දුප්පතා වෙනුවෙන් සටන් වදින වීරයාගේ චරිතවලට පණ පෙවූ ගාමිණී ෆොන්සේකා බකට් හැරි ගේ චරිතයට පණපොවන්නේ අතැඹුලක් සේ ය.

විවිධ පුද්ගලයන්ට ජීවිතයේ දී නොසිතූ දුක්ගැහැටවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමකි. එබඳු සිදුවීමකට දයා රාජපක්ෂට ද මුහුණ දෙන්නට සිදු විය. ඒ, ඔහු ගේ ‘‘වෙද හාමුදුරුවෝ’’ චිත්‍රකතාව ඇසුරෙන් නිර්මාණය කිරිමට සූදානම් කළ චිත්‍රපටයේ වැඩකටයුතු අතරමග නතර වීමය. අදාළ සිනමාපටය නිපදවීම සදහා ගිවිසුම් පවා අත්සන් කර තිබිය දී කුමන හෝ හේතුවක් මත එය නැරඹීමේ වාසනාව ලාංකිය සිනමා රසිකයන්ට අහිමි විය. එකී නිර්මාණය පිළිබඳ සිහිපත් වෙසෙසින් සිහිපත් කළ යුත්තේ ඇයි. එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ ගේ චරිතයට පණ පෙවීමට සූදානමින් සිටියේ ද සිංහල සිනමාවේ සක්විත වූ ගාමිණි ෆොන්සේකා ය. අදාළ නිර්මාණය සඳහා තම හිස බූ ගෑ බව ද එකල පුවත්පත්වල සඳහන්ව තිබු බව මතක ය. එම සිනමා නිර්මාණය කරලියට පැමිණියේ නම් දයා රාජපක්ෂ නම් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ඉතිහාසයේ තවත් සුවිශේසි සිදුවීම් දෙකක් සනිටුහන් වීම අනිවාර්ය කරුණකි. එනම්, ඔහුගේ චිත්‍රකතා අතුරින් නිර්මාණය කෙරෙන සිනමා නිර්මාණයක් සඳහා හිස බූ ගෑ දෙවන නළුවා ලෙස ගාමිණී ෆොන්සේකා ඉතිහාස ගතවීම සහ ඔහු භික්ෂුවකගේ චරිතයට පණ පෙවීම ය. නමුත් කොතැනක හෝ සිදු වු වරදකින් එකී පරිච්චේදය සිනමා වංශ කතාවෙන් ගිලිහී ගියේ ය.

දයා රාජපක්ෂ පිළිබද සටහනක් තබන මේ මොහොතේ මෙබඳු සටහනක් ද තැබිය යුතු ය. එනම්, බොහෝ පුවත්පත්වල සහ සමාජ වෙබ් අඩවිවල මේ අසහාය චිත්‍ර, චිත්‍රකතා ශිල්පියා හඳුන්වා දී තිබුණේ ‘කාටුන් ශිල්පියකු’ ලෙස ය. ඔහු කාටුන් ශිල්පියකු බව සැබෑ ය. එහෙත් අප ඔහු අගය කළ යුත්තේ කාටුන් ශිල්පියා යන ස්ථානයේ තබා නොව දයා රාජපක්ෂ නම් වු අසහාය චිත්‍රකතා ශිල්පියා ඉස්මතු කරමිනි. මන් ද ‘කාටුන්’ කියු සැණින් රසිකයාගේ සිතේ මැවෙන්නේ වෙනත් චිත්‍රයකි.

දයා රාජපක්ෂ කාටුන් ශිල්පියකු වූයේ පසු කලක දී ය. අප ඔහු අගය කළ යුත්තේ ඉහත කී පරිදි දක්ෂ චිත්‍රකතා ශිල්පියකු සහ තිර රචනා ශිල්පියකු ලෙස ප්‍රමුඛත්වය දෙමිනි. වත්මනෙහි පවත්නා වාණිජකරණය තුළ අති දක්ෂ චිත්‍ර ශිල්පීන් පවා ඇතැම් පුවත්පත්වල කාටුන් ශිල්පියකු ලෙස රාමු ගතවීම ඛේද ජනක ය. මන් ද මතු දිනක දී අදාළ චිත්‍ර ශිල්පියා පිළිබද ලියන නූතන පරපුර ඔහු ද කාටුන් ශිල්පියකු ලෙස හදුන්වා දෙනු නිසැක ය. දයාරාජපක්ෂ කාටුන් ශිල්පියකු ලෙස හැදින්විය යුත්තේ ඔහුගේ ප්‍රමුඛ කාර්ය සිහිපත් කිරිමෙන් අනතුරුව ය.

මේ සටහන තැබූයේ කිසිවකුගේ හිත රිදවීමට හෝ අපහසුතාවයට පත්කිරීමට නොව අප යම් පුද්ගලයකු අගය කළ යුත්තේ ඔහු විසින් කරන ලද ප්‍රමුඛ කාර්යය මුල් පෙළෙහි තබා වන හෙයිනි. මෙම අසාධාරණය ගාමිණි ෆොන්සේකාට ද සිදුවිය. ඔහු පිළිබද පැවති එක්තරා ඇගයුම් උළෙලක දී ගාමිණි ෆොන්සේකා නමැති නළුවා අතුරුදන් වී ගාමිණි ෆොන්සේකා නම් වූ ගීත රචකයකු ඉස්මතු විය. එපමණකින් නොනැවතී ඊළඟ සැමරුමේ දී ගාමිණි ෆොන්සේකා නමැති චිත්‍ර ශිල්පියා පිළිබද ඇගයීමක් පවත්වන බවද එහි දී සඳහන් කෙරුණි. මෙය ඉතිහාසයේ අප කළ සහ කරන බරපතල වැරැද්දකි. එකී වැරැද්ද දයා රාජපක්ෂ වෙත ද බලපා ඇති බව පවසන්නේ කනගාටුවෙනි.

කෙසේ වුව ද අඩ සියවසකට අධික කාලයක් ලාංකීය චිත්‍රකතා රසික රසිකාවියන්ගේ හද මනස සැනසු මේ අසහාය චිත්‍රකතා ශිල්පියා දැන් අප අතැ’ර ගොසිනි. එහෙත් ඔහුගේ නිර්මාණ කිසි දිනක අප හදවත් තුළින් නොමැකෙන බව සපථ කරමින් මෙම සටහන නිමා කරමි.

දයා රාජපක්ෂ නිර්මාණ ශිල්පියානනි, ඔබ නිවන් නොදකින්න! යළි මේ ලක් පොළොව මත ඉපිද, ඔබේ චිත්‍රකතාවෙන්, ඔබේ කාටුනයෙන් අනාගත පරපුර සනසාලන්න!!

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Monday, 27 July 2015 08:43

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us