රජ සැප අත්හළ ආදරවන්තියගේ වෘත්තාන්තය ‘‘නිලි වැස්ස’’

Published in කලා
Sunday, 29 March 2015 19:58

පූර්විකාව

මිනිස් දිවිය ඇරඹි දා සිට ඕනැම තරුණයකුගේ හෝ තරුණියගේ සිතේ ජනිත වන්නා වූ විරුද්ධ ලිංගික ආදරය, ප්‍රේමය, සෙනෙහස හෝ බැඳීම උදෙසා කිසිඳු: ආගම්, ජාති, කුල-මල, උස්-පහත් බේදයක් බලනොපාන්නේ ය. එමෙන් ම හා හා පුරා කියා හදවතට ඇතුළු වන මේ කුළුඳුල් ආදර බැඳීම එකිනෙකාගේ සිතින් අකා මකා දැමීම ද පහසු කටයුත්තක් නොවේ. යම් බාහිර බලපෑමක් හේතුවෙන් මෙම බැඳීම වැළකී ගිය ද මතුයම් දිනක නොසිතූ නොපැතූ මොහොතක එකී ආදරවන්තයා සහ ආදරවන්තිය එකිනෙකා හමු වූ මොහොතක ඔවුනොවුන් ආදරයේ ආදරයේ අවසන් ඵලය වූ ලිංගික සන්තර්පනය භුක්ති විඳීමට ද පසුබට නොවන්නේ ය.

මේ පෘතග්ජනයාගේ කල්ක්‍රියාව යි; මිනිස් හැඟීම් උතුරා පිටාර ගලා යාම යි. එය හුදෙක් නොහොබිනාකමක්, අවලම්කමක්, සල්ලාලකමක් හෝ එක් පුරුෂයකුගෙන් හෝ එක් කාන්තාවකගෙන් සෑහීමකට පත්නොවීමක් ලෙස ලඝු කොට තැකිය නොහැකි ය. ලිංගිකත්වය පාර්ශවයෙන් ගත් කල ද කාන්තාවකගේ හෝ පුරුෂයකුගේ හැඟීම් එක් පාර්ශවයකගේ රුචිකත්වය මත පමණක් පිබිදවීම කළ නොහැකි අතර එය ස්වයංව ම පිබිදිය යුතු ය. දෙදෙනාගෙන් එක් අයකු ගේ හැඟීම් පිබිදුණ ද අනෙකාගේ හැඟීම් නොපිබිදුණේ නම් ඔහු හෝ ඇය සුරතාන්තයට පත් නොවන්නේ ය. එය හුදෙක් විරුද්ධ ලිංගිකයාට ඉඩ හසර සලසා දීමක් පමණ ම ය.

සාහිත්‍යය නමැති විෂයය බිහි වූ දා සිට මෙම අනුභූතිය සිය නිර්මාණය සදහා උපස්තම්භක කොටගත් සාහිත්‍යකරුවෝ/කාරියෝ බොහෝ සිටියහ. දැනුඳු සිටිති. සාහිත්‍යය නිර්මාණ ද බොහෝ ය. වසර ගණනාවක් (අවම වශයෙන් වසර 10 ක්) පුරා පරිවර්තන සාහිත්‍යයකරණයේ යෙදී සිටි කත්‍යානා අමරසිංහ ගේ කුළුඳුල් ස්වතන්ත්‍ර සාහිත්‍යය නිර්මාණය වන ‘‘නිලි වැස්ස’’ ඉහත කී සංසිද්ධීන් ප්‍රකට කෙරෙන නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය.

සමස්ත කෘතිය පුරාම ගලා යන්නේ ආදරයේ, ලිංගිකත්වයේ රස ධාරාවක් වුව ද පාඨක සමාජය විසින් ම ‘‘මල් නවකතා’’ ලෙස හඳුන්වනු ලබන නිර්මාණ සියල්ල අභියෝගයට ලක් කරමින් එකි සන්දර්භය ම අගනා රසෝත්පාදන නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නට කතුවරිය සමත්ව ඇත. පළමු ස්වතන්ත්‍ර නිර්මාණය වන හෙයින් එහි යම් යම් අඩුපාඩු පැවතිය ද කතුවරිය සිය පළමු පියවර ඉතා ළගන්නා සුලු අන්දමින් නිර්මාණය කොට ඇත. එය ඇය ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ යුතු ය.

සංකේත, උපමා සහ උපමා රුපක

කෘතිය ආරම්භක අවස්ථාවන්හි දි කතුවරිය 17 වන සියවසේ ලාංකීය ගැමි පරිසරය පිළිබඳ අපූරු සිතුවම් ගොන්නක් සිය නිර්මාණය තුළ සිතුවම් කරන්නී ය.

‘‘හිරු අවරට යමින් අහසේ පාට පොදියක් තවරා තිබේ. වැහි වලාකුළු සඟවාගෙන සුදෝ සුදු වලා පෙළක් නොයෙක් හැඩ මවමින් අයාලේ පාවෙයි. ඒ අතරින් පියාඹා යන කොකුන් රෑනකි. රන් මැණිකා එදෙස බලා හුන්නා ය. ඔවුහු ඈතට ඉගිල ගොස් බතලේගල කන්ද අසලින් නොපෙනී යති. අත්තටු දෙකක් ලැබූ කොකුන් මෙන්ම කෙකින්නන්ද වාසනාවන්ත යැයි ඇයට සිතේ. උන්ට ඕනෑ වෙලාවට, ඕනැ තැනට පියාඹිය හැකිය.’’
පිටුව 13

මෙම ඡේදය හුදු පරිසර වර්‍ණනාවක් ම පමණක් නොවේ. අයාලේ පාවෙන සුදු වලාකුළත්, අත්තටු දෙකක් ලැබූ කෙකින්න ද නිදහස පිළිබඳ අගනා සංකේත යුගලකි. බතලේගල කන්ද අසලින් නොපෙනී යාම ලෝක ධර්මතාවයේ අනිත්‍යභාවය සංකේතවත් කෙරේ.මෙහි දි කතුවරියට අත්වැරදීමක් සිදුවුණාදෝ යැයි සිතෙන අවස්ථාවක් ද සඳහන් කළ යුතු ය. සාහිත්‍යය නිර්මාණයක දි මතු නොව සාමාන්‍යය ව්‍යවහාරයේ දී වුව මිනිසුන් හැර සතුන් හැඳන්වීම පිණිස ‘‘ඔවුහු’’ යන නාම පදය භාවිතා නොකෙරේ. මෙය කතුවරිය විසින් ම ප්‍රත්‍යක්ෂ කොට ඇත. එනම් එම ඡේදය අවසානයේ ‘‘උන්ට ඕනෑ වෙලාවට’’යනුවෙන් යොදා තිබිමෙනි. සතුන් හැඳින්වීමේ දී යෙදෙන්නේ එලෙසිනි. ‘‘නිලි වැස්ස’’ සාහිත්‍යය නිර්මාණයේ මෙවැනි වැරදීම් බහුල ය. මෙවන් තැන් මතුකර පහදා දීම විචාරකයකු ගේ යුතුකමක් සහ වගකීමක් වන බැවින් මිස මෙය කිසිසේත් ම කතුවරිය හෝ ඇගේ නිර්මාණය අවතක්සේරුවට ලක් කිරීමක් නොවන බව සැලකුව මැනවි.

මෙම නිර්මාණයේ දී කතුවරිය බොහෝ අවස්ථාවන්හි දී අපූරු උපමා, රූපක සහ සංකේත උපස්තම්භක කොටගෙන ඇත. එය කෘතියේ රසය වඩාත් තිව්‍ර වීම සදහා නොමඳ අනුබලයක් සපයයි. මේ තවත් එවන් අවස්ථාවන් කිහිපයකි.

‘‘... ගේ දොරකඩ අඹ අතුවල වැසූ පොළොස් කොට්ටෝරුවෙක් හඬ නගාගෙන අහසට පැන ඉගිල ගියේය’’
පිටුව 49

‘‘වැස්ස තුරුල් (මෙම වදන ‘තුරල්’ විය යුතු යැයි ලියුම්කරු අදහස් කරමි.) කරමින් තිබිණ. හදිසියේම අව්රැල්ලක් පායා ආවේය.’’
පිටුව 52

‘‘රිදී පාට හඳ වතුර ඇවිත් මගේ ඇස් දෙක අස්සෙ දියවෙලා ගියා’’
පිටුව 150

‘‘වලාකුළු සළු ගැලවිලා අහස නිරුවත් වෙනකොට මං හිටියෙ ඒ හඳ වතුරෙ නෑවි නෑවි. වෙදා වාගෙම බබලන තාරුකා වියන යට’’
පිටුව 165

තව ද කංචුකයේ පිටුපස යොදා ඇති උපුටනය ද එබඳු අවස්ථාවක් බව සනිටුහන් කළ යුතු ය. එය ගැහැනියකගේ සහ පුරුෂයකුගේ ලිංගික එක්වීමක් ඉතාමත් ළගන්නා ආකාරයෙන් උද්දීපනය කළ අවස්ථාවකි.

ගතානුගතිකත්වයට අභියෝගයක්

‘‘සිනා නොමසෙන් දසන් දක්වා’’ නමැති යෙදුම කාන්තාවන්ට පමණක් ම වලංගු වුවක් මිස පුරුෂයන්ට වලංගු නොවේ. මෙවැනි ගතානුගතික සිරිත්වලින් කාන්තා නිදහස අවුරා ඇති තැන් බහුල ය. කෘතියේ චරිත හරහා වුව කතුවරිය මෙසේ අඬගා පවසන්නේ කාන්තාවන්ට අහිමි කර ඇති නිදහස පිළිබඳ නොවන්නේ ද?

‘‘ඔහොම කටට ආවට එව්ව මෙව්ව කියල උගෙ හිත කඩන එක හරි නෑ බොල. මොනව උනත් ඇවැස්ස මස්සිනා වෙච්චි. අනික උඹත් හැදෙන ළමිස්සියෙක් වෙච්චි. ඔහොම එකටෙක කියන එක හරිදෑ මං අහන්නෙ?’’
පිටුව 20

යෞවනත්වය යනු හැඟිම් මෝරා එන අවධිය යි. යෞවන යෞවනියෝ එම හැඟීම් හදවත තුළ රඳවාගෙන සිටින්නේ මහත් ආයාසයෙනි. එනම් දිය පොදක් හමුවන තෙක් කාන්තාරයේ ගමන්ගන්නා ජිවියකු මෙනි. එහි දී අතරමගදි ලැබෙන එක් දිය බිඳුව වුව ද අමෘතය වැනි ය. රන් මැණිකා ගේ හැඟීම් මෝදු වී පිටාර නොගැලුව ද ඇය නිලි වැස්සට හසුවීමෙන් ලද තෘප්තිය කියාපාන්නේ මේ යෞවනත්වයේ හැඟීම් තෙරපී එය සමාජ සදාචාරය, ලජ්ජාව සහ ගැහැනුකම සමග සටන් කරන ආකාරය යි; වැව් බැම්මකින් වටකොට සුරක්ශිත කොට ඇති ජලය මෙන් පිටාර ගැලීමට මංපෙත් සොයමින් සිටින යෞවන හැඟිම් නමැති මේ මහා දිය දහර කුඩා සිදුරකින් කාන්දු වන ආකාරය යි.

රංමැණිකාගේ චරිතය තුළින් කතුවරිය එය මෙසේ සංකේතවත් කරන්නී ය

‘‘කොයි වෙලාවෙ වැටුණත් මෙවැනි නිළි වැස්සකට තෙමෙන විට මුළු ඇඟම මොකක්දෝ මිහිරි හිරිවැටීමකින් වෙළෙනවා වගේ ය.’’
පිටුව30

යෞවනත්වයෙන් පිරිපුන් රන් මැණිකා ආරෝහ පරිනාහ දේහයකින් හෙබි පුරුෂයකු අබියස ඇගේ හෘදභ්‍යාන්තරයේ කැකැරෙන හැඟීම් මෙලෙස පාඨකයා හමුවේ තබන්නී ය. සමස්ත කෘතිය පුරා ම මෙබඳු සංකේතාත්මක යෙදුම් බහුල ය. එය කෘතියේ අගය ඉහළට රැගෙනයාමට උපයෝගි කොටගන්නා ඉණිමගක් බඳු ය.

මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන රන් මැණිකා සැබැවින් ම රැඩිකල් කාන්තාවකි. ඈ සිය ජීවිතයේ සුඛ දුක්ඛ සියල්ලට මුහුණ දෙන්නේ මේ රැඩිකල්භාවය හේතුවෙනි. එහෙත් ඇය නොවේ පශ්චාත්තාප වන්නේ. ඈ කුඩාකාලයේ සිට ම මෙවන් රැඩිකල් අදහස් දරන්නියක බව ගම්‍යකරන්නට කතුවරිය මෙවැනි අවස්ථාවක් උදාකරගන්නී ය.

‘‘හාල් ටික මුට්ටියට දමන විට කතා කිරීමට හොද නැතැයි කිරි අම්මා මෙන්ම අම්මා ද විශ්වාස කළහ. ඔය කතාව ඇසූ පුංචි සන්දියේ සිට රන් මැණිකාට සිතුණේ කතා කරමින් හාල් මුට්ටියට දමා බත් උයා නිකමට මොකද වෙන්නේ යැයි බලන්නට ය...’’
පිටුව 36

එහෙත් ඇගේ අත්හදා බැලීම සාර්ථක කරගැනීමට නොහැකි වන්නී ය.

‘‘... එහෙත් එය අත්හදා බලන්නට අවස්ථාවක් ලැබුණේ නැත. කිරි අම්මාත් අම්මාත් දෙදෙනාගෙන් කවරකු හෝ බත් උයන වෙලාවට නොවැරදීම ගෙදර සිටි අතර ඔවුන් දෙදෙනා ම නැති දවසක කතා කරන්නට කෙනෙකු නැති විය.’’
පිටුව එම

කෙසේ හෝ අවස්ථාවක් සලසාගෙන රන් මැණිකා මෙම ක්‍රියාවට යොමු කරවන්නට කතුවරිය සමත් වූවා නම් වඩාත් අගනේ යැයි සිතේ. මන්ද රන් මැණිකා සිය ජිවිත කාලයේ දි කෙතරම් ගැහැටවලට මුහුණ පැව ද ඇය නොවේ සැලෙන්නී; ඇය නොවේ පසුබට වන්නී. එවන් චරිතයක් තුළින් හෝ මෙවැනි මිත්‍යාමත පුපුරුවා හරින්නට සාහිත්‍යයකාරිය සමත්වූවා නම්...?

කතට උරුම ‘‘උරුම කරුම’’

කාන්තා මූලික සමාජය ක්ෂයව ගොස් පුරුෂ මූලික සමාජය ගොඩනැගුණ දා සිට වර්තමානය දක්වා ම කාන්තාව අත්විඳින්නා වූ අනභූතීන් සමූහයකි. එය ලෝකයේ ඕනැම රටක, ඕනෑම තරාතිරමක, ඕනෑම ජාතියක, කුලයක, ආගමක කාන්තාවක් වෙත බලපාන්නේ කිසිඳු භේදයකින් තොරව ය. ඇතැම් කාන්තාවන් විවාහ වන තෙක් යම් විකල්ප මත දරමින්, විකල්ප ක්‍රියාවන්හි නිරත වෙමින් දිවි ගෙවූව ද විවාහය නමැති බලකොටුවට ඇතුළු වූ විගසින් පෙර පැවති විකල්ප අදහස්, රැඩිකල් අදහස්, කෙමෙන් කෙමෙන් ඈ කෙරෙන් ඈත් වන්නී ය; ඇය ඒකමානීය දිවි පෙවෙතකට හුරුවන්නී ය. එහෙයින් ඇය ඉසිඹු ලත් සැනින් සිය ආවේගයන් මුදාහරිනු වස් අනියම් ඇසුරට යොමුවන්නී ය; පර පුරුෂයන් ගේ පහසට ලොල් වන්නී ය; ලැබූ දෑ කෙතරම් උසස් වුව ද, රසවත් වුව ද නොලද දෙයට ම ආශක්තවන්නී ය. පුරුෂයා මෙසේ නොවන්නේ යැයි කිව නොහැකි ය. මන්ද ඔහු නිරන්තරයෙන් ම සිය නිදහස උපරිමයෙන් ම භුක්ති විඳින්නේ ය. එහෙත් සිය බිරිඳගෙන් පාරිශුද්ධ භාවය ම පතන්නේ ය.

ස්ත්‍රිය මුහුණ පාන්නා වූ මෙම ඛේද ජනක ඉරණම එක මිටට කැටිකොට එය වර්ණවත් වීදුරු බෝල රාශියක් අවකාශයට මුදාහරින්නා සේ එක් අවස්ථාවක දී රන් මැණිකාගේ සිතුවිලි තුළින් පාඨක මනස තුළට එන්නත් කරන්නට කතුවරිය සිය ලේඛන කුසලතාව මැනවින් භාවිත කොට ඇත.
(105 වන පිටුවේ සිට 108 වන පිටුව දක්වා අවධානය යොමු කරන්න)

මෙකී සිදුවීම් පෙළ වුව ද තවත් අපූරු නිර්මාණයක් සඳහා අනුභූතින් රාශියක් සපයන බව මෙහීදි සඳහන් කරනු වටී.

යට සඳහන් කළ ආකාරයට කාන්තාව අත්විඳින්නා වූ ඒකාකාරි ජිවන රටාවේ නීරස භාවය පිළිබඳ රංමැණිකා සිය සිතුවිලි තුළින් මෙසේ පාඨකයාට සමිප කරවන්නී ය.

‘‘... හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටුයට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙරජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’
පිටුව 127

රජුගේ මානසිකත්වය සහ ක්‍රියාකලාපයන් මේ ආකාරයෙන් විදාරණය කරන රන් මැණිකා තමාගේ සිතුවිලි ද ඒ සමගම මුදාහරින්නී ය. එහි අන්තර්ගතවන්නේ ඇගේ දිවියේ නීරස භාවය යි.

‘‘ඒ අතර හඳයි තරුයි අතර එල්ලිලා ඉන්න ආකාස ගංගාව බොහොම හොඳට පේන කුටියෙ හැමදාමත් එකම දේ සිද්ධ වෙන්න පටන්ගත්තා. පුන් සඳ පායපු දවස් වගේ ම හද ඩිංග ඩිංග ගෙවිලා අමාවක එලඹිච්ච දවසුත් තිබ්බ. ඒ මොක වුනත් හැමදාමත් මං සයනයෙ වැතිරිලා ආකාසෙ රන්තරු බබළන හැටි බලා හිටිය. එහෙ ඉඳල ආපහු මගෙ ලැගුම්හලට ඇවිත් සයනයට වැටිල තනියම නිදාගත්ත. කල් ගත වෙනකොට මොකක්දෝ දුකක් හිතේ තෙරපුණත් ඒ මොකක්ද කියල මට තේරුණේ නෑ.’’
පිටුව එම

මෙම ඡේදය පුරාම ජනිත වන්නේ රන් මැණිකාගේ මානසික පීඩනය යි. ඈ සිත වෙළි පවත්නා සංතාපය යි; සංවේදය යි; මානසික අතෘප්තිකර භාවය යි. මෙහි හැම වාක්‍යයක් වාක්‍යයක් පාසාම අපූරු සසංකේත සහ රූපකාර්ථ ජනනය කරයි. ඒ සියල්ලෙහි අන්තර්ගත වචනාර්ථය අභිබවා යන එහි ව්‍යගාර්ථය කියාපාන්නේ කුමක් ද? රන්මැණිකාගේ කය සන්තෘප්ත වුවද සිත සන්තෘප්ත නොවූ බව යි. කයෙහි සන්තෘප්ත භාවය ද ඇය නොතකා හැරි බව යි.

මෙම ඡේදයේ අන්තර්ගත ‘‘පුන් සඳ පායපු දවස් වගේ ම හද ඩිංග ඩිංග ගෙවිලා අමාවක එලඹිච්ච දවසුත් තිබ්බ.’’ නමැති වාක්‍යයේ ‘‘පුන් සඳ පායපු දවස් වගේ ම හද ඩිංග ඩිංග ගෙවිලා’’ යන්න ‘‘හඳ ඩිංග ඩිංග ගෙවිලා’’ යනුවෙන් නිදොස් විය යුතු යැයි හැඟුණ ද ඉන් ගම්‍ය වන්නේ රන්මැණිකාගේ හදවතේ පවත්නා අතෘප්තිකර භාවය හෙයින් එය ‘‘හදඩිංග ඩිංග ගෙවිලා’’ යනුවෙන් යෙදුවාද යන්න පැහැදිලි නොමැත. එමෙන් ම ඊට ඉහත ඡේදයේ ඇතැම් වාක්‍යයක යෙදා ඇති වදන් එහි රසාලිප්ත භාවයට යම් බාධාවක් පමුණුවන්නේ යැයි හැඟේ. ‘‘මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක’’ යන යෙදුම මීට නිදසුනකි. මෙහි ‘‘එක්ක’’ යන වදන වෙනුවට ‘‘සමග’’ යනුවෙන් යෙදුවා නම් එය ලිඛිත භාෂාවට වඩාත් රසාලිප්ත බවක් ගෙන නොදෙන්නේ ද? කෘතිය පුරාම මෙවැනි දුර්වලතා දක්නට ඇත. එහෙත් එය සමස්ත කෘතිය ම ප්‍රතික්ෂේප කරන්නට තරම් වූ වරදකාරි බවක් නොවන බව ද සඳහන් කළ යුතු ය.

දේශපාලන හුයට ඇමිණීම

කතුවරිය: ආදරය, සෙනෙහස, ප්‍රේමය සහ ලිංගිකත්වය පිළිබඳ සියුම් සංවේදනාවන් දනවන සාහිත්‍යය නිර්මාණයක් රස විඳින පාඨකයා නොදැනුවත්ව ම සියුම් දේශපාලන හුයකට ද අමුණන්නී ය. ඉක්බිති එහි විචක්ෂණශීලීත්වය, දෘඪ භාවය, සහ රාජ්‍යයනායකයකුගේ සැබැ යුතුකම් සහ වගකීම් මොනවාද යන්න සහ දේශපාලකයා යන සත්වයා තම බලාධිකාරිය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ මොළ කුහරය තුළට ජාතිවාදය නමැති හලාහල විෂ එන්නත් කරන ආකාරය ද ඉතා සූක්ෂම ආකාරයෙන් සමාජ ගතකරන්නී ය. එමතු නොව සැබැ ලෙස ම ජනතාවට ආදරය කරන රාජ්‍ය පාලකයා රාජ්‍යය ප්‍රතිපත්ති සහ නීතිය හැසිරවිය යුත්තේ කෙසේ ද යන්න පවා ගම්‍ය කරන්නී ය.

මෙකල ජාතිවාදය නමැති ගින්නට පිදුරු දමන්නට පරාජිත පාලකයෝ කැසකවද්දී එකල විසූ බුද්ධිමත් පාලකයකු වූ දෙවන රාජසිංහ රජු ජාතිවාදය අවුළුවන්නන් පිළිබඳ දැරූ අදහස මෙබඳු ය.

‘‘ඒක තමයි වෙලා තියෙන්නෙ. ඔය වයසට ජාතිවාදි අදහස්වලින් තරුණයො කලඹවන්න හරි පහසුයි’’
පිටුව 134

මේ යථාර්ථ අවබෝධ කොටගත් පාලකයෝ අප රටේ විරල ය. එවන් පාලකයන් බහුල වූවා නම් පසුගිය වකවානුවේ සිදු වූ ආකාරයේ තිස් වසරක යුද සමයක් ශ්‍රී ලාංකීය ඉතිහාස පොතේ නොලියවෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.

‘‘රජෙක් වුණත් තමන්ට උවමනා දේවල් හැම දේම කරන්ඩ ඉඩක් නෑ. රටේ චිරාත් කාලයක් තිස්සෙ පැවතිච්ච නීතියක් තියෙනවා. ඒකට පිටිං යන්න බෑ රජෙකුට උනත්’’
පිටුව 135

මේ 17 වන සියවසේ රට පාලනය කළ දෙවන රාජසිංහ රජු රටේ නිතියට ගරු කළ අන්දම යි. පසුගිය වකවානුවේ ද මෙරට එවන් රජෙක් පාලනය කළේ නම් කෙතරම් අගනේ ද යන්න මෙහි දී පාඨකයාට සිහියට නැගෙනු නියත ය.

වර්තමානයේ රට ජාතිය පිළිබඳ ඉමහත් කැක්කුමකින් හෙබි සංවිධාන රාශියකි. ඇතැම් සංවිධාන මෙහෙයවන්නේ චීවරධාරීන් විසිනි. එවැනි ඊනියා ජාතිමාමකයන්ට ද සියුම් අතුල් පහරක් එල්ලකරන්නට කතුවරිය අමතක කොට නොමැත. මන්ද කිසිඳු කලාකරුවකුට ජාතිවාදී විය නොහැකි ය; ආගම්වාදී විය නොහැකි ය; ගෝත්‍රවාදී විය නොහැකි ය. නිර්මාණයේ චරිතයක් හරහා කතුවරිය මෙලෙසින් සමාජගතකරන්නේ එකී යථාර්ථය නොවන්නේ ද?

‘‘පපුව පුම්බගෙන කෑකොස්සන් ගැහුවට රට ජාතිය සමය රැකෙන්නෙ නැහැ මැණිකෙ. හතුරට මුහුණ දෙන්ට ඕන ඇඟේ හයියෙන් විතරක් නෙමේ. නුවණින්; සිහිබුද්ධියෙං’’
පිටුව 142

රජකම යනු කෙතරම් බාරදුර කාර්යයක්ද යන්න මෙන් ම එහි අවිනිශ්චිත භාවය ද කතුවරිය රාජසිංහ රජු ගේ හැසිරීම් රටාව රන් මැණිකාගේ දෘෂ්ටිකෝණය හරහා මෙසේ ගම්‍ය කරන්නී ය.

‘‘හැබැයි දැන් මට හුගක් දේවල් තේරෙනව. රට කරවන එක ලේසිපාසු දෙයක් නෙමේ කියල තේරෙනව. ඉස්සරනං හිතාන උන්නෙ රජවෙනව කියන්නෙ දිවිය ලෝක සැප සම්පත් ලැබෙන දෙයක් කියලා විතරයි. අපේ රජ්ජුරුවොත් තව්තිසා දෙව්ලොවේ ඉන්න සක්‍රයා වාගෙ කියල හිතුණ. සක්‍රයට තියෙන්නෙ දිවිය සැප සම්පත් භුක්ති විඳ විඳ නිකන් ඉන්ඩ නොවැ. පඬුපුල් ආසනේ උණුවෙනකොට විතරක් ලෝකෙ දිහා බලනව. හැබැයි දැන්නං හිතෙනව සක්‍රයා අපේ රජ්ජුරුවන්ට වඩා වාසනාවන්තයි කියල. මහ පොළොව උඩ රජකම ලැබෙනව කියන්නෙ එක අතකට අවාසනාවක්. කොයි වෙලෙත් ඉන්ඩ වෙන්නෙ ගිනි ගොඩක් උඩ ඉන්නව වාගෙ. ඒක ඉඳල හිටල සක්‍රයා ගෙ පඬුපුල් අසුන උණු වෙනව වාගේ නොවෙයි.’’
පිටුව 143

මෙම ප්‍රකාශය අතීතයට මතු නොව වර්තමානයට ද අනාගතයට ද ඒ ආකාරයෙන් ම බලපාන බව වෙසෙසින් අවධාරණය කළ යුතු නොවේ. මිනිසා පාලනය කිරීම සඳහා මිනිසා විසින් ම මිනිසකු පත් කරගත් දා සිට අද දක්වා සිදු වී තිබෙන්නේ ද අනාගතයේ සිදුවීමට නියමිතව ඇත්තේ ද මෙකී ක්‍රියාවලිය ම ය.

ස්වප්න සයුරෙන් මෙගොඩට

අහඹු ලෙස රජ බිසෝවරු බවට පත්වූ කාන්තාවෝ දුරාතීතයේ ද මෑත අතීතයේ ද වර්තමානයේ ද වෙසෙති. එම කාන්තාවෝ සිය අතීතය මෙනෙහි කිරිමේ දි තමන් එදා මැවූ සිහින පිළිබඳ විටෙක ලජ්ජාවටත්, විටෙක කනගාටුවටත්, විටෙක විශ්මයටත් පත්වෙනු නොඅනුමාන ය. ඔවුන්ගේ සිතුවිලි පහත පරිදි නොවේ යැයි අපට විශ්වාස කළ හැකි ද?

‘‘මං හිතා හිටියෙ දෙයියනේ කියලගමක පිදුරු හෙවිලි කරප පැලකට වෙලා නිස්කාන්සුවෙ පවුල් කන්ඩ. එහෙම උනා නං මේ රජ සැප ලැබෙනවට වඩා හොඳ නැද්ද?...’’
පිටුව 144

මෙසේ සිතන රන් මැණිකා ක්ෂණිකව යළි යථාර්ථය පසක් කරගන්නී ය.

‘‘... හැබැයි ඉතිං එතකොට මේ වගේ අකුරු සාස්තරේ ඉගෙන ගන්ඩ මට ඉඩක් ලැබෙන්නෙ නෑ. දරුමල්ලො හදාගෙන, උන්මත්තෙ නැහීගෙන, ලිපට පිඹ පිඹ, බත් තම්බ තම්බා තමයි ඉන්ඩ වෙන්නෙ... අනේ මන්දා. කොයික හොඳද, කොයික නරකද කියන්න මට තේරෙන්නෙ නෑ...’’
පිටුව එම

රන් මැණිකා සිය සිතුවිලි දහරා තුළින් ගම්‍ය කරන්නේ හුදෙක් ඇගේ ම සිතුවිලි මතු නොව සමස්ත කාන්තා පරපුරේ ම සිතුවිලි දහරාව නොවන්නේ ද? රජ බිසවගේ සිට පදික වේදිකාවේ සිඟමන් යදින්නාගේ බිරිඳ දක්වා වූ සැම කාන්තාවකගේ ම සිතුවිලි මීට සමපාත නොවන්නේ ද? එහි විටෙක ඇත්තේ ප්‍රහර්ෂය යි. විටෙක ඇත්තේ සංතාපය යි. තවත් විටෙක ඇත්තේ පශ්චාත්තාපය යි. ඒ සියල්ල මිනිස් සංතානයන් තුළ සැඟව අවශ්‍ය විටෙක මතුපිටට පැමිණ තමා සමගම සටන් කොට යටපත් වන්නක් නොවන්නේ ද?

අන්තවාදයට අතුල් පහරක්

මෙරට වෙසෙන අන්තවාදීන්ට අනුව රටේ ප්‍රධාන පුරවැසියා විය යුත්තේ සිංහල බෞද්ධයෙකි. එක් වකවානුවක මෙරට විසූ විද්වතකු මෙන්ම බුද්ධිමතකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙත අගමැති පදවිය පිරිනැමීමට සාකච්ඡා පවතිද්දී එයට තද බල ලෙස ම විරුද්ධ වුවෝ ඒ ගනයට අයත් වූවෝ වෙති. නමුත් අප කිසිවෙකුත් ශුද්ධ සිංහලයෝ ද යන්න ගැටලුවකි. ඉතිහාසයේ මේ බව පසක්වන සාක්ෂි එමට පවතී. මීට වසර කිහිපයකට පෙර නිකුත් වූ සාහිත්‍යය කෘති ද්වයක් හරහා ද මෙය ස්ඵුට කෙරිණ. එනම් සුනේත්‍රා රාජකරුණානායක ගේ ‘‘කවි කඳුර’’ සහ මහාචාර්ය සරත් විජේසූරිය ගේ ‘‘සුදම් සභාව’’ යි. කවිකඳුර කෘතියේ ශුද්ධ සිංහලයාගේ අතීතය හාරා අවුස්සා වර්තමානයට විදහාපාන අතර සුදම් සභාව හරහා එය අනාගතයට ද ගෙන යයි. එමෙන්ම පසුගිය වසරේ නිකුත් වූ විසාකේස චන්ද්‍රෙස්කරම් ගේ ‘‘රජ සහ ඝාතකයා’’ සාහිත්‍යය කෘතියේ ද ජාන තාක්ෂණය ඇසුරෙන් මිනිසාගේ අතීත පරම්පරාවන් පිළිබඳ අපූරු පර්යේෂණයක යෙදේ. එහි දී ද වර්තමාන සිංහල බෞද්ධයාගේ මතු නොව සියලු ජාතීන්ගේ මෙන්ම ආගමිකයන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳ කදිම වඅභියෝගයක් ඉදිරිපත් කොට ඇත.

‘‘නිලි වැස්ස’’ කෘතියේ කතුවරිය ද මෙම ප්‍රශ්නය සිය නිර්මාණය හරහා ඉතා නිර්මාණාත්මක ආකාරයෙන් සාකච්ඡාවට බඳුන් කොට ඇත. රාජසිංහ රජු වටා සතුරන් ගොනුවන සැබැ හේතුව එහි දී ප්‍රකට කෙරේ.

‘‘මගේ මව පරංගි යටතේ භෞතීස්ම ලබපු ක්‍රිස්තියානි භක්තික කාන්තාවක් වීම තමයි ඔවුන් මට පහර දෙන්ඩ උපයෝගී කර ගන්න ලොකුම ආයුදේ’’
පිටුව 159

එක් පුද්ගලයකු යන් තවත් පුද්ගලයන් දෙදෙනකුගේ සංකලනයක ප්‍රතිපළයකි. එනම් මව සහ පියාගේ එකතුවේ සංකලනයකි. එහෙත් අවස්ථාවාදී ජාතිවාදීන් තම සතුරා ලෙස හඳුනාගන්නා පුද්ගලයකු වෙත පහර දීමට අවැසි වූ විට ඉහත කී ආකාරයට ජාතීන් දෙකකට, ආගම් දෙකකට, කුල දෙකකට අයත් මාපිය යුවළකට දාව උපන් පුද්ගලයා හඳුනා ගන්නේ උසස් යැයි සම්මත කුලයේ, ආගමේ, ජාතියේ පුද්ගලයකු ලෙස නොව පහත් යැයි සම්මත කුලයේ, ආගමේ හෝ ජාතියේ පුද්ගලයකු ලෙසිනි. මතු දැක්වෙන්නේ එකී ව්‍යාකූලත්වය යි.

‘‘ඒත් උන්ට අමතකයි මගේ පිය රජ්ජුරුවො හොඳ බෞද්ධයෙක් විත්තිය.’’ රජතුමා සුසුමක් හෙලුවා. ‘‘මව නිසා ක්‍රිස්තියානි ආගම උගත්තත් පිය උරුමයෙන් මගේ ආගම උනේ බුද්ධාගම. මම ඔය ආගම් දෙක ගැනම ඉගෙනගෙන තිබෙනවා. පියාගෙන් සිංහල බාසාවයි මවගෙන් පරංගි බාසාවයි කතා කරන්ඩත් ඉගෙනගත්තා. ඊළඟට මගෙ රන්දෝලි බිසව මලබාර් රටින් ආ කෙනෙක්. ඇය හින්දු දෙවියන් අදහන්නියක්. ඇගේ බස දෙමළ. මං ඒ බාසාවත් තරමක් දැනගත්තා. ඒත් ඈට කවදාවත් ඇගෙ ආගමවත් ජාතියවත් අතාරින්ඩ කියල මං ඉල්ලල නෑ. මනුස්සයෙක් හැටියට ගත්තත්. රජෙක් හැටියට ගත්තත් මට එක් ජාතියක, ආගමක පැත්තක් ගන්න බෑ. ...’’
පිටුව එම

රාජසිංහ රජුගේ ප්‍රකාශය හරහා රජකු වුව ද තම බිරිඳගේ සිට යටත්වැසියා දක්වා වූ සියලු දෙනාගේ ස්වාධීන අදහස්වලට කෙතෙරම් ගරු කළේ ද යන්න මින් ගම්‍ය නොවන්නේ ද. අනතුරුව රන් මැණිකා තම සිතුවිල්ල හරහා ප්‍රකට කරන අදහස දෙස අවධානය යොමු කර බලමු.

‘රජ්ජුරුවො එහෙම කියනකොට මට හිතුණෙ උන්නාන්සෙ ජාති ආගම් කීපයක කවලමක් කියල.’’
පිටුව එම

ඒ සිතුවිල්ල කෙතරම් දුරට සාධාරණ ද නැද්ද යන්න පිළිබඳ නිගමනයකට පැමිණීමේ අයිතිය බුද්ධිමත් සහ නම්‍යශීලි පාඨකයා සතු කාර්යයකි. මෙතෙකින් නොනවතින කතුවරිය එය තව දුරටත් විග්‍රහ කරමින් ආගම්වාදය, ආගමේ නාමයෙන් රටවැසියන් භේද භින්න කර තම බලය ස්ථාපිත කර ගැනීම සහ ජාතීන් අතර සමගිය උදෙසා රාජ්‍යය පාලකයා විසින් ගනු ලබන ඇතැම් තීන්දු තීරණ පිළිබඳව අවස්ථාවාදින් දියත් කරන්නා වූ විෂ බීජ පිළිබඳව ද කතිකාවක් ගොඩනගන්නී ය.

‘‘බුදුන් වහන්සේ වදාළ ආගම නිදහස් ආගමක් හැටියටයි මං දකින්නෙ. වෙනත් ආගම්වලට පහර දෙන්ටය කියල උන් වහන්සෙ වදාළෙ නැහැ නොවැ. වෙනත් ආගමිකයො එක්ක මිත්‍ර සන්ධානවලට යන්න එපා කියල උන්වහන්සෙ දේසනා කරලත් නැහැ නොවැ. මනුෂ්‍ය වර්ගයා අතර තිබෙන සියලු වාද භේද උන්වහන්සෙ අමතක කළා. ඒ දහමට මගේ හිත ඇතුළෙ විශාල ගෞරවයක් තියෙන්නෙත් මං එහි අනුගාමිකයෙක් වෙන්නෙත් ඒ උඩයි. මට කුඩා කාලෙ හිටන් උවමනා කරල තිබුණෙ අපේ රට, ජාතිය, ආගම රැකගන්ටයි. ඒක මගේ පිය රජතුමා මියෙන මොහොතෙ කළ ඉල්ලීම. මීට කලින් කිප වතාවක් පරංගි සේනාව එක්ක මං ජීවිතේ පරදුවට තියල හටන් කළෙත් ඒ හන්දයි. එහෙව් මං පරදේසක්කාරයො ටිකක් එක්ක එක්කහු වෙලා මේ රටයි ජාතියයි විනාස කරන්ඩ උත්සාහ කරනවා කියල කවුරුන් හෝ හිතනව නං ඒක විහිළුවක්.’’
පිටුව 160

කතුවරිය මෙලෙසින් ඉදිරිපත් කරන්නේ 17 වන සියවසේ මැද භාගයේ සිරිලක රජ කළ රජකු එදා ඔහු සමග රට පාලනය කළ අමාත්‍ය මණ්ඩලයේ සහ නිලමෙවරුන්ගේ අදූර දර්ශි දැක්ම පිළිබඳව ය; එකී අදූර දර්ශි දැක්ම සැබැවක් ලෙස පිළිගෙන ඔවුන් වටා එක් රොක් වන ජනතාවගේ අදූරදර්ශි භාවය යි. මෙය වර්තමානය හා සසඳා බලන්න. එදා මෙදාතුර සිරිලක් වාසි බහුතරයක් අන්ධ විස්වාසයන්ගෙන් මත් වී සිටියාද කියා; නොපෙනෙනා යක්ෂයකුට කෙතරම් බියවී සිටියා ද කියා. දූරදර්ශී, දැහැමි පාලකයකු තම අවංක අදහස් මත රටක් පාලනය කිරීමට සුදානම් වන විට ඊට එල්ල වන්නා වූ බාධක මින් පිළිබිඹු නොවන්නේ ද?

‘‘නිලි වැස්ස’’ කෘතියේ බොහෝ ස්ථානයන්හි එයට අනුභූතික වූ කාලසීමාවේ පැවති සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික තත්ත්වයන් පිළිබඳ කෙරෙන විග්‍රහයන්හි දි එය වර්තමානය හා කෙතරම් දුරට සසැඳෙන්නේ ද සහ මිත්‍යා මත මහත් ඉහළින් ගරු කරමින් රාජ්‍ය පාලනය කරන්නා වූ පාලකයන් කෙතරම් නොදියුණු ද යන්න කතුවරිය මෙලෙස ප්‍රකට කරයි.

‘‘ඔය සුබ වෙලාවල් කියන්නෙ පල් බොරුවක් බොල. මටත් යුද්ධ කරන්ඩ හෙම යනකොට සුබ වෙලාවල් හදල දෙනව මගෙ දෛවඥයො. ඒත් මෙච්චරකල් දිනපු යුද්ද එහෙකටවත් මං ගියෙ ඔය වෙලාවල්වලට නෙමේ. ඒ වෙලාවල්වලට ගියා නම් මං මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා. මං ගියෙ මට ඕනෑ වෙලාවල්වලට. ඒක තමයි සුබ වෙලාව කියන්නෙ.’’
පිටුව168

නැකැත් මත ම පමණක් විශ්වාසය තබා රාජ්‍යපාලන බලය ලබාගැනීම සඳහා නිර්ථක උත්සාහයක යෙදුණ සහ ඉදිරියේ දි එහි නිමග්නවන්නට බලාපොරොත්තු වන දේශපාලකයන්ට මෙය කදිම අතුල් පහරක් නොවන්නේ ද?

ආශාව ආදරය අභිබවා!!!

මිනිසකු සහ ගැහැනියක අතර ඇතිකරගන්නා වූ බැඳීමේ අග්‍ර ඵලය වන ලිංගික එක්වීම යනු සැබැවින් ම ලොකාස්වාදයකි; භාවනාවකට සම කළ හැක්කකි. එහෙත් එකී රසාස්වාදය භාවනාවකට සමවැදි ලෙස අත්විඳින්නේ කවුද, කවදාද යන්න විශ්වාස කිරීම ද උගහට ය. පුරුෂයා කෙසේ වුව ද කාන්තාව භාවනාවකට සමවදින්නා සේ එකී රසාස්වාදයේ ගිලෙන්නට කෙතරම් ආසක්ත ද යන්න වටහා ගන්නට සමත් පුරුෂයන් සිටී ද යන්න සැක සහිත ය. නමුඳු ගැහැනිය සැබැවින් ම රුචිකත්වයක් දක්වන්නේ ක්ෂණික තෘප්තියට නොව උපරිමාස්වාදයක් උදෙසා උපරිම කාලයක් පුරුෂයා හා රමණයේ යෙදීමට ය. ගැහැනියගේ මෙකී ලෝලීත්ව කෙතෙරම් ද යන්න රන් මැණිකා සහ පළමුවෙන් ම ඇගේ සිත පැහැරගත් ලීවන්ස් නම් විදේශිකයා සමඟ සසඟෙහි යෙදෙන මොහොතේ ඇගේ සිතෙහි පහළ වන හැඟීම් තුළින් ප්‍රකට කෙරෙන්නේ ය. (181 වන පිටව වෙත අවධානය යොමු කරන්න)

‘‘අවසර ලද කල්හි ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’’ යනුවෙන් ප්‍රකට කියමන ගැහැනියට පමණක් සීමා කිරීම හුදෙක් බමුණු මතයක් ම ය. එහෙත් ගැහැනිය එසේ නොවන්නේ යැයි එඉන් ගම්‍ය නොකෙරේ. රන් මැණිකා තමාගේ සිත පළමුවෙන් ම පැහැරගත් පුද්ගලයා වසර ගනනාවකට පසු හමුවීමෙන් අනතුරුව එතෙක් තම කයෙහි අසිරුවෙන් රඳවාගෙන සිටි ආශාවන් සන්තර්පනය කරගනු වස් ඔහු හා සසඟෙහි යෙදෙන්නේ හුදෙක් කය පමණක් ම සන්තර්පනය කරගනු පිණිස නොවේ. ඇය එකී අවස්ථාවට යොමු වන්නේ සිත කය යන ද්වංගය ම සන්තර්පනය කරගැනීමට ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගැනීමේ අටියෙනි. සැබැවින් ම මෙය නිරායාස පෙලඹීමකි; මිනිස් සිතෙහි මෙන් ම කයෙහි සැඟව පවත්නා ගූඪ ආශාවන් සන්තෘප්ත කර ගැනීම සදහා ලද අවස්ථාව අත් නොහැරීමකි.

එහෙත් රන් මැණිකාගේ සිතෙහි ද කයෙහි ද ඇවිළෙමින් පැවති රාග ගින්න නිවී සැනහීමෙන් ඉක්බිතිය ඈ ප්‍රකෘති ලොවට පිවිසෙන්නේ. එහි දී ඈ කෙතරම් පශ්චාත්තාප වන්නේ ද යන්න කතුවරිය මෙලෙස විවරණය කරන්නී ය.

‘‘ඒත් ඒ අපේ රජ්ජුරුවො! වරක් මගේ පණ බේරගෙන ආ පිරිමිය නෙවද ඒ? ගමෙන් එහා ජීවිතයක් මට තියෙනව කියල පෙන්නපු පිරිමිය නෙවද ඒ? අවට ඉන්න සියලු දෙනාට වඩා විශ්වාසය තියපු රජ්ජුරුවො නෙවද ඒ? අඩුගානෙ මං මෙතනට ආවෙත් උන්නාන්සෙ නිසා නෙව ද? මේ ගමන නොවේ නම් මට කවදාවත් විලම් ලීවන්ස්ව හම්වෙයිද?

ඔක්කොටම වඩා රජ්ජුරුවො හැම අතින් ම මා ගැන තැබූ විස්වාසය! මං ඒක කඩල ඉවරයි. මගේ ගැනු හිතේ ආසාවල්වලට ඒ විස්වාසය බිලි දීල ඉවරයි. නියම ගුණවත් කුල කාන්තාවක් කියා රජතුමා මගේ දෙමව්පියො ඉස්සරහපිට මං ගැන කරපු වර්ණනාව දැන් මට ගැලපෙන්නෙ නෑ නෙවද?’’
පිටුව 183

‘‘ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැහැ’’ යැයි ඉපැරණි කියමන සනාත කරමින් රන් මැණිකා යෙදෙන්නේ පාපෝච්චාරණයක නොවන්නේ ද? එමෙන් ම එය රන් මැණිකාට මතු නොව ඇය වැනි සමස්ත ස්ත්‍රීන් ගේ ම පාපෝච්චාරණය නොවන්නේ ද? අවසර ලද රහස් කල වරදෙහි බැඳුනා වු ස්ත්‍රීන්ගේ පාපෝච්චාරණය නොවන්නේ ද? නමුඳු මෙය පුරුෂ පාර්ශවයට නම් එතරම් තදින් බල නොපාන බව නම් නිසැක ය.

අනාගතයේ දිනක රන් මැණිකා රජුට මතු නොව ලීවන්සට ද වංක වූ බව සිහි වන විට තමාට ම දොස් පවරා ගන්නේ මෙලෙසිනි.

‘‘එකකොට රජ්ජුරුවන්ගෙ ආල නුරා දැක දැක ඉන්න බැරුව උන්නාන්සෙගෙ පතිනිය උනා නං කියල හූල්ලපු මම ද ගාලු කොටුවට ගිය ගමන් එක පාරක් විතරක් දැකල තිබ්බ ඕලන්දක්කාරයෙක් එක්ක පෙම් වුවේ වින්දෙ? ඔක්කොටමත් වඩා මෙච්චර හරියක් වෙනකන් මං ඒක වසන් කරගෙන හිටිය කියල විලම් දැනගත්තොත්? ඇත්තටම ඒ වෙලාවෙ නං මට හිතුණ පොළොව පළාගෙන වෙනත් කොහේ හරි ලෝකෙකට චුත වෙන්ඩ.’’
පිටුව 216

කපන්න බැරි අත සිඹීම

රන් මැණිකා මෙලෙසින් අහඹු ලෙස වරදෙහි බැඳුණ ද රජු එය මායිම් නොකර ඇයට සහ විදේශිකයාට සුබ පතන්නේ ඇයි ද යන්න පාඨකයාට ගැටලු සහගත වන්නට පිළිවන. එසේ වුව ද මෙම නිර්මාණය ආරම්භයේ දී ම කෙදිනක හෝ රන් මැණිකාට ඇගේ සිත් ගත් පළමු පුරුෂයා මුණ ගැසෙනු ඇතැයි යන සැකය මතුවන ප්‍රවණතාව ද බහුල ය. එමෙන් ම රජු යනු එක් කාන්තාවකගෙන් දෙදෙනකුගෙන් සෑහීමකට පත්වන පුද්ගලයකු නොවේ. තව ද රන් මැණිකා හා සසඟෙහි යෙදෙද්දි ඇගේ ගත රජු හා වෙළුණ ද සිත නොවෙළන බව රජු නොදන්නවා විය නොහැකි ය. ඇතැම් විට රජු විදේශිකයා හමුවීමට රන් මැණිකා ම තෝරා ගන්නේ කෙදිනක හෝ විදේශිකයා රන් මැණිකා සම්මුඛ වුවහොත් ඔවුනොවුන් අතර ලිංගික සබඳතාවක් ඇතිවේය යන්න දැන සිටි බැවින් විය හැකි ය. එය සිදුවුවහොත් ඇගෙන් ලද පහස නීරස වන මොහොතේ දී ඇගෙන් වෙන්වීමට රජු ගත් දුරදක්නා තීරණයක් විය හැකි ය. එය සිය නිර්මාණය හරහා ඉතා සියුම් ලෙස ප්‍රකටකරන්නට කතුවරිය සමත්ව ඇති බව මතු දැක්වෙන සිද්ධිය හරහා ගම්‍යවන්නේ ය.

‘‘අපි යමු දේවී’ පුන්නා කීවම මං හීනෙන් ඇවිදිනව වගේ ඇය එක්ක කුටියෙන් පිටත් වුණා. තරප්පු පෙළ බහිනකොට ඉතාමත් සුරූපි තරුණියක් තව දාසියන් දෙදෙනෙකු එක්ක උඩු මහලට යන්න ආවා. ඇයත් මාත් මොහොතකට නතරවෙලා එකිනෙකා දිහා බලනකොටයි මට තේරුණේ ඇය තමයි මගේ නිවස්නයේ අලුත් හිමිකාරිය කියල. දිගු වරලසේ මල් ගවසාගෙන හිටි විදියෙනුත්, ඇඳ පැළඳගෙන හිටපු විදියෙනුත්ඇය මට සමානව රජ්ජුරුවන්ගෙ මනදොළ සුරන්ඩ (මෙම වදන ‘සපුරන්ඩ’ විය යුතු යැයි ලියුම්කරු අදහස්කරමි) වාසලට රැගෙන ආ එකියක් කියල මට තේරුම් ගන්න අමාරු වුණේ නෑ.’’

අධිපතියා කදෝපැණියකු ලෙස
එකල පැවති රාජ නියෝගයන්ට අනුව නම් රන් මැණිකා සහ ලීවන්ස් ගේ හිස ගසා දැමිමට වුවද රජුට බලය තිබිණ. එහෙත් රන් මැණිකාට එසේ නොකරන්නට ඇත්තේ රජුගේ ඇතොරේ සිටි අනෙක් ස්ත්‍රීන් අතුරෙන් රන් මැණිකාට සුවිශේෂ වූ ආදරයක්, ඇල්මක්, රුචිකත්වයක් රජු කෙරෙහි පැවති බැවින් විය හැකි ය. එහෙත් ඔහු ද සිය බල පරාක්‍රමය මැනවින් ප්‍රදර්ශනය කරමින් රන් මැණිකා ඝාතනය කරනවා වෙනුවට රන් මැණිකාගේ හදවත ඝාතනය කරන්නේ ඇයටත් වඩා සුරූපී තරුණියක් තම ඇතොරට කැඳවා ගැනීමෙනි. මෙය පුරුෂයන් කාන්තාවන්ගෙන් පළිගැනීම සඳහා යොදනු ලබන බලවත් ප්‍රහාරයකි.

ලොව පවතින්නේ පුරුෂාධිපතයය යැයි කෙතරම් පැවසුව ද, මතුපිට තත්ත්වය එය ම යැයි කෙතරම් තර්ක කළ ද එහි සැඟවුණ යථාර්ථය නම් එක් නිශ්චිත මොහොතක දී ඒ අධිපති පුරුෂයා කාන්තාව ඉදිරියේ හිරු දුටු කදෝපැණියකු සේ සිය බලපරාක්‍රමය හකුළුවා ගන්නා බවයි. රාජසිංහ රජතෙම් ද එය සිය වාග් ප්‍රහාරය හරහා මෙසේ ස්ඵුට කරයි.

‘‘උඹ පහර දුන්නෙ මගේ පිරිමිකමට. උඹ ඒක දන්නවද? රජ්ජුරුවො ඒක ඇහුවෙ දත්මිටිකමින්. ‘උඹ දැනගෙන හිටියද ඒකෙන් මට කොයි තරං වේදනාවක් දැනුණද කියල? උඹ දැනගෙන හිටිය ද?’ රජතුමා මගෙන් ඇහුවෙ තරහෙන් වෙව්ලමින්.’’
පිටුව 212

රාජසිංහ රජු මතු නොව ලොව ඕනැම පිරිමියකු සිය බිරිඳ සන්තෘප්ත කරන්නට නොහැකි වු විට පත්වන්නේ මෙවන් තත්ත්වයකට බව නොකිව මනා ය. ඒ පුරුෂයා සිය බලාධිපත්‍යය හෑල්ලු කරගන්නා එක ම සහ ප්‍රබලම මොහොත යි. එහි දී රජු ඕලන්දක් කාරයා සහ රන් මැණිකා කන්ද උඩරටින් පළවා හරින්නේ ද ඔවුන්ගේ ජිවිත නසා දමනවාට වඩා දඬුවමක් ඔවුනට ඉතිරි කරමිනි. එය සාධාරණ රාජ්‍ය පාලකයකුගේ සුදම් ගුණයක් නොවන්නේ ද?

අපර කතනය

‘‘නිළි වැස්ස’’ කතුවරියගේ පළමු ස්වතන්ත්‍ර සාහිත්‍යය කෘතිය වුව ද ඇය විදෙස් සාහිත්‍යය ඇසුරෙන් ලද පරිචය ද මෙම කෘතියේ නිමැවුමට උපස්තම්භක වන්න ඇති බව නිසැක ය. එහෙත් ඇතැම් අවස්ථාවන්හි දී ඇය භාවිතා කොට ඇති වදන් තත්කාලීනව ගැළපේ ද යන ගැටලුවක් පවතී. එමෙන් ම කෘතිය ආරම්භක අවස්ථාවේ දි ඇය විසින් මවන පරිසර වර්ණනා සහ පසුබිම් වර්ණනා අවසන් භාගය වන විට ඕළාරික බවක් මතුකරයි. ලියුම්කරු දකින්නේ එය කතුවරිය ගේ ඉක්මන්කම නිසා ඇති වූ දෝෂයක් ලෙස ය. කෙසේ වතුදු කත්‍යානා අමරසිංහ පොත මිලදී ගන්නා පාඨක සමූහයාට ණයකාරියක නොවන වග සටහන් කළ යුතු ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

nili-wassa-front-cover

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us