රනිල්ට සහය දීමට තරගයක්, ඒ අස්සේ අගමැති පොරයකුත් Featured

Published in Gossip
Sunday, 04 February 2024 10:32

එළැඹෙන ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම මේ වන විට තහවුරුව තිබේ. එමෙනම ඔහුට සහය දීමට ඉදිරිපත් වන කණ්ඩායම් අතර තරගයක්ද නිර්මාණය වෙමින් ඇත.

විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව පැවැත් වෙන මහ මැතිවරණයෙදී තමන්ගේ කණ්ඩායමට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් වැඩි බලයක් සහිතව අගමැතිධුරය දිනා ගැනීම මෙම පිරිස් වල අපේක්ෂාව වී ඇති බව පැහැදිලිය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වය උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිකිරීමේ කටයුත් දියත්ව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දීම සිදුවනු ඇති බව තහවුරුව ඇතත් ජනාධිපතිවරයා සමග ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් කේවල් කිරීම් සිදුවෙමින් තිබෙන බවත් වාර්ථා වෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති දුරට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට ඇත. එසේම ශ්‍රීලනීප නායක මෛත්‍රීපාල සිරිසේන ද සිය උත්සාහය අත් හැර නැත. ඒ අතර මෙම සන්ධානය සමඟ එකතුවීමට අපේක්ෂා කරණ හිටපු ඇමැති චම්පික රණවකද මේ අගමැතිධුරය අපේක්ෂ කරණ බවටත් තොරතුරු වාර්ථා වන අතර එම අගමැති පොරය සමතයකට පත් කර ගැනීම සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නමද යොජනා වී ඇත. එහිදී ජනාධිපති රනිල්ට සහය නොදී සාලිය පීරිස් මහතාව ජනාධිපති අපේකෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට කිහිප දෙනෙකු යෝජනා කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිවේදනය කර ඇත්තේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම සඳහා මේ වනතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නැති බවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටුවීමට සූදානම් වන නව සන්ධානය සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

එහෙත් මෛත්‍රිපාල සිරිසන සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයට විශ්වාසයක් නැතැයි ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහට සහාය දීම ගමේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයකයන්ට ගැටළුවක් බවද ඔහු පෙන්වා දෙයි.

“මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි නායකත්ව මණ්ඩල ඉල්ලන්නේ. ගිය සතියේ තිබුණු ලාන්සා මැතිතුමාලාගේ රැස්වීමේදී මම දැක්කා එතුමලා සහාය දෙන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ අය එකතුවෙලා හදන සන්ධානයේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයින්ට ඒක ප්‍රශ්නයක්”

විමල්ගේ සහය

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ සහය ද ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් සඳහන් කරයි.

මෛත‍්‍රීපාල සිරිසෙන, ඩලස් අලහප්පෙරුම, නිමල් ලංසා, රොෂාන් රණසිංහ වැනි කණ්ඩායම් අද විවිධ සන්ධාන හදමින් සිටියද ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරණය ආසන්න වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙනු ඇති බවද ඔහු පැවසීය

ඒ අනුව වර්තමානයේ බිහිවෙමින් ඇති සියලු සන්ධාන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර සමුළුව අමතමිනි.

රනිල් වික‍්‍රමසිංහ මහතා තරග වදින නිසා කිසිම විටෙක සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරි ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

පොදු ජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශවයද මේ වන විට සිටින්නේ තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ කේවල් කිරීමකය. එම කණ්ඩායමටත් මේ මොහොතේ ජනාධිපති රනිල්ට සහය දීප හැර වෙනත් විකල්පයක් නොතිබුණත් අගමැති ධුරය සහ ඇමැතිධුර සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනීම වැදගත් වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ පිරිසක් ප්‍රකාශයට පත් කරන චැතම් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත ද වාර්තාවක් පල කර ඇත.

ඔබේ තීරණයට
මගේ බලපෑමක් නෑ.
ඒත් දිනනවා..

පසුගියදා ජනාධිපති කාර්යාලයේ සුවිශේෂී රැස්වීමක් පැවැත්විනි. එය පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) රාජපක්ෂ හිතවාදි මන්ත්‍රීවරුන් කැඳවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැත් වූ සාකච්ඡාවකි. මේ සඳහා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න වැනි මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ විය. මෙය ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡාවක් වූ අතර විශේෂයෙන්ම ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබිණි.

ජනාධිපතිවරයා මෙම මන්ත්‍රීවරුන්ට පවසා සිටියේ එළැඹෙන මාර්තු මාසයෙ අග වන විට තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවය. එසේම පොදුජන පෙරමුණේ තීරණය කුමක්ද යන්න විමසීය. නමුත් සාගර කාරියවසම් කීවේ තමන් තවම පක්ෂයක් ලෙස ජනාධිපතිවරණය ගැන තීරණයක් ගෙන නැති බවය. රෝහිත අබේගුණවර්ධන පැවසූවේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

chatham

ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියේ ඔබේ පක්ෂයේ තීරණය කුමක් වුවත් ඊට තමන් බලපෑමක් නොකරන බවය. ජනාධිපතිවරයා එසේ විශ්වාසයකින් යුතුව පවසා සිටියේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කෙරෙහි ජනතාව මත විශ්වාය තබා ඇති නිසා විය හැකිය.

ඒ කොහොම නමුත් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණයකර අවසන්ය. ඊට සහය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ගැන නොතකා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනුද ඇත. ඒ අනුව ඕනෑම පාර්ශ්වයකට ඒ සඳහා ඉඩ කඩ විවෘත්ත කර ඇත. ජනාධිපතිවරයා ගෙන තිබෙන මෙම තීරණය අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම ගැන ඉහළ සම්භාවිතාවක් ඔහුට ඇති බව සහසුද්දෙන්ම දැන ගෙන බවය. පොදුජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශ්වයේ සහය ලබාගැනීම ගැන තමන් බලපෑමක් නොකරන බවට ජනාධිපතිවරයා ඔවුන්ට දුන් පිළිතුරෙනුත් එය පැහැදිලිය. එය, මෙන්න මල්වට්ටිය, අවශ්‍යනම් අතගහලා පින් රැස්කරගන්න යැයි කිව්වා සේය.

කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරණය මුලික කරගෙන දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව තිබේ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තමන්ගේ කඳවුර තීරණය කරගැනීම සහ ඒ වෙනුවෙන් සංවිධානය වීම වෙනුවෙන් සූදානම් වේ. නව සන්ධාන ගොඩනැගීම ගැන තොරතුරු එක දිගට වාර්තා වෙයි. ජවිපෙ තමගේ ජාතික ජන බලවේගය ගොඩනගාගෙන ඇති නමුත් තමන්ගේ දේශපාලන පතිවතට හානි වෙතැයි සිතා වෙනත් පක්ෂ වල සහය ඊට ලබාගැනීමට නොහැකිව ලත වෙයි. සජබයද නව සන්ධානයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වෙහෙසෙමින් තිබේ. නමුත් එය සාර්ථකව නැත. සන්ධාන ගොඩනැගීමම එම පක්ෂය තවදුරටත් අර්බුදයට ලක්වීම වර්ධනය කරමින් තිබේ.

මීට පරිභාහිරව ගොඩනැගෙන නව සන්ධානයන් ගනනාවක් වන අතර ඒ සියල්ලේ තීරණය ජනාධිපති රනිල්ට සහය දක්වීම වියහැකි ලකුණු දැනටම පෙන්වා තිබේ. මෙම දේශපාලන පෙළගැසිම පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ඔවුන් තීරණයකර ඇති බවය.

එහෙත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ මුලිකත්වයෙන් ඉදිරිපත් ජනාධිපති අපේක්ෂකයා කරගැනීමේ තරගයක් නම් නිර්මාණය වී ඇති බව පෙන්වමින් තිබේ. පොදු ජන පෙරමුණෙන් ඉවත්ව සිටින බහුතර කණ්ඩායමක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ මෙහෙයුමට එකතුව සිටී. මීට අමතරව ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගේ වැනි පොහොට්ටුවේ ප්‍රබල නායකයන් වෙනම පිරිස් සංවිධානය කරමින් තිබේ. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ශ්‍රිලනීපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සමීපව සම්බන්ධව කටයුතු කළ පිරිස එකතුකරගනිමින් තිබේ.

එමෙන්ම මෙම කණ්ඩායම් සුළු ජන පක්ෂ සමඟද සාකච්ඡා කරමින් තම සන්ධානයන් පුළුල්කර ගැනීමෙහි උත්සාහයක යෙදෙයි. එක්සත් ජාතික පක්ෂයද ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු ආරම්භකර ඇති අතර ඊට සජබයෙන් විශාල පිරිසක් එකතුකර ගැනීමටද නියමිතය. මේ අනුව මේ සියලු පාර්ශ්ව තම තමන්ගේ දේශපාලනික ශක්තිය ගොඩනඟා එහි බලය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කරගැනීමේ තරගයක යෙදී සිටින බව පෙන්නුම් කරයි.

කෙසේ නමුත් මේ ගොඩනැඟෙන සන්ධාන සියල්ල අවසානයේ ජනාධිපතිවරයාගේ සහයට එක්වන විට එය මෙරට දේශපාලනයේ විශාලම ජන පදනමක් සහිත වඩාත් පුළුල්තම ඒකාබද්ධ සන්ධානය වෙනු ඇත.

මේ අතර පසුගියදා දිවුරුම් දුන් නව ජනාධිපති නීතිඥවරයකු ඒ වෙනුවෙන් පැවැත්වූ සාදයකට ජනාධිපතිවරයාටත් ආරාධනා කර තිබිණි. එහිදී ජවිපෙ සුනිල් වටගල ජනාධිපතිවරයාගෙන් ඉක්මනින් ජනාධිපතිවරණය තබන්නැයි ඉල්ලීමක් කළ අතර තමන් විසින් ඉදිරිපත්කරන අපේක්ෂකයාව දිනවන බවත් පැවැසීය. එහෙත් ජනාධිපතිවරයා සියලු දෙන ඉදිරියේදී පැවැසූවේ තව මාස හයකින් ඔයාලත් මගේ පැත්තෙනේ යනුවෙනි. එනම් සුනිල් වටගලලාට දිනවන්න වන්නේ තමන්ව බව රනිල් මෙහිදී නොකියා කීවේය. මේ කතාව ජනාධිපතිවරයා විහිළුවකට කීවා යැයි සුළුවෙන් තැකිය නොහැක. මන්ද ජනාධිපති රනිල් යනු දේශපාලනයේ නූල් සුත්තර කලාව මැනැවින් ප්‍රගුණ කළ අයකු නිසාය. එසේම හොඳම දේශපාලන අණාවැකිකරුවකුද වන නිසාය.

කොහොම නමුත් කිසිවකුට බලපෑමක් නොමැතිව, තරගයකුත් නැතිව දිනන අපේක්ෂකයා රනිල් බව දැන් වඩාත් පැහැදිලිය.

Last modified on Sunday, 04 February 2024 10:33

Leave a comment

 

ld add copy

Connet With Us