අපරාධ ලෝකයේ.. මෛත්‍රී - මහින්ද නිරුවතින් ! - ශාලික විමලසේන Featured

Published in පුවත්
Friday, 23 November 2018 13:24

අපේ පොලිස් සහ උසාවි

පොලීසි වල තාප්ප කඩා මල් වැව්වාට, පොලිස්පති පූජිත් ජයසුන්දර භාවනා පන්ති කළාට පොලිසි ඇතුළේ තවදුරටත් සැකකරුවන්ට කෲර වධ හිංසා කෙරෙන්නේය. සැකකරුවන් මාංචු පිටින් ගංගා වලට පැනීම අඩු වූවාට අදටත් ඒ එකදු සිද්ධියක් සම්බන්ධයෙන් හෝ කිසිදු අධිකරණයක් පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර නැත. අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවකුගේ වගකීම පොලිස් ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. ඒ කියන්නේ ඒ සියලු ඝාතන වලින් ගැලවෙන්නට අධිකරණයටත් නොහැකිය.


අපේ පොලිසිය හා අධිකරණ පද්ධතිය තියෙන්නේ මේ වගේ තැනකය. ඊට සමාජයෙන් හිමි වී ඇති තැන තීරණය කෙරෙන්නේ මේ වගේ සිද්ධි හරහාය. සියල්ල සාපේක්ෂ ලෝකයේ පසුගිය සතියේ වඩාත්ම කතාබහට ලක්වූ පුද්ගලයා ඒ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ය. එහෙත් ව්‍යවස්ථා විරෝධී, නීතිය තුට්ටුවකට මායිම් නොකරන, බලය වෙනුවෙන් ඕනෑම වැඩක් කරන දේශපාලනඥයන්ගේ හැසිරීම් හොරට දඩ කොළයක් ලිවීමට වඩා අතිශයින් සංකීර්ණ ය.


පරණ පුරුද්ද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නීතිවිරෝධී ලෙස අගමැති ධුරයට පත්කිරීමෙන් පසු ඔහුගේ වැඩිමහලු පුත් (නීතිඥ) නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගියේ කොට කලිසමක් ඇඳගෙන ය. ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තීරණාත්මක නඩු රැසක් ඇසෙන කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මාරු කෙරිණි. ලංකා ජයරත්නට උසස්වීමක් ලබාදුන් බවක් පෙනෙන්නට තිබුණද, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ මෙසේ උසස්වීම් ලබා දී තමන්ට බලපෑමක් කෙරෙන අධිකරණ වලින් කොන්ද කෙළින් විනිසුරුවන් දුෂ්කර සේවයට මාරු කිරීම සුලබව දැකිය හැකි විය. අධිකරණයක් ඉදිරියේ ඇප ලබාදීමේදී පවා සලකා බලන ප්‍රධාන කරුණකි, පෙර වැරදි. එම නිසා ලංකා ජයරත්නගේ සිදුවීමෙන්ද රාජපක්ෂලාට ගැලවිය නොහැකිය.


ලසන්තලා සහ නාවික කප්පම්


නිශාන්ත සිල්වා කරළියට ආවේ ඉන්පසුවය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ බලය භාවිත කරමින් ඔහු සහ ඔහුගේ පවුලේ සමීපතමයන් සෘජුව හා වක්‍රව සම්බන්ධ වී කළ බරපතළ අපරාධ රැසක් විමර්ශනය මේ පොලිස් පරීක්ෂකවරයාට භාර වී තිබිණි. 2009 ජනවාරි 08 වන දින දෙහිවල, අත්තිඩියේ ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී සන්ඬේ ලීඩර් පුවත්පතේ ආරම්භකයා මෙන්ම එහි ප්‍රධාන කර්තෘවරයාද වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් දෙහිවලදී පැහැරගෙන ගොස් මල්වාන ප්‍රදේශයේදී බරපතළ ලෙස පහර දී තර්ජනය කිරීම, රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සහ කැපුම් තුවාල සිදු කිරීම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම වැනි සිදුවීම් වලට අදාළ විමර්ශන විය.


එසේම 2008 - 2009 කාලයේදී නාවික හමුදාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11 දෙනාගේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද්දේද මේ පොලිස් පරීක්ෂකවරයා ය. ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් නමින් වෙනම ප්‍රදේශයක පැහැරගෙන ගිය තරුණයන් රඳවාගෙන සිටි බවත්, කොළඹ පිට්ටු බම්බුව නම් ස්ථානයේදීද මේ තරුණයන්ට වධ-හිංසා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි. මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මීට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, පසුව අනාවරණය වී තිබුණේ ඔහු තමන්ගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළ නිලධාරියාගෙන් පළිගැනීම සඳහා මේ පැමිණිල්ල කළ බවත්, ඔහුද මේ පැහැරගැනීම් වලට වක්‍රව දායක වී ඇති බවත්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා විසින් ලබාදුන් ප්‍රකාශයකින්ද මේ කරුණු සනාථ කර තිබේ. දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මේ සිද්ධියේ සැකකරුවන්ට ආරක්ෂාව ලබා දී ඇති බව සාක්ෂි සහිතව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසු, එහි මහේස්ත්‍රාත්වරිය වූ ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ ගැන ප්‍රකාශයක් ලබාදෙන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය යටතේ විදේශ ගතවීමටද රවීන්ද්‍ර විජේගුණරත්න කටයුතු කළේය. කෙසේ වෙතත් නිශාන්ත සිල්වා ප්‍රමුඛ කණ්ඩායමද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බලය විහිදෙව්වාට බය වූයේ නැත. යළිත් මේ පිළිබඳව අවස්ථා දෙකකදී අධිකරණයට වාර්තා කෙරිණි.


ස්ථාන මාරුවේ ආරම්භය


මෙසේ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ කණ්ඩායම තමන් පස්සේ පන්නන නිසා එයින් ගැළවීමට රවීන්ද්‍ර විජේගුණරත්න නම් නාවික හමුදා නිලධාරියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය අවභාවිතාවේ යෙදවීය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගි වන ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පවා මේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට කෙඳිරි ගා තිබිණි. එහිදී නාවික කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිශාන්ත සිල්වාට එල්ටීටීඊ කතාවක් ගොතන්නටද ඔහු කටයුතු කර තිබිණි. හොඳට අන්දවන්නට හැකි ජනාධිපතිවරයකු අපට සිටින නිසා මෙවැනි අවස්ථා වලදී ගන්නා තීරණ සම්බන්ධයෙන් අමුතුවෙන් කියන්නට දෙයක් නැත.


මේ ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වා තිබුණේ නොවැම්බර් 15 දින ය. 16 වනදා පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඔහුට තර්ජනය කරමින් පවසා ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීත් කීමෙන් පසු නිශාන්ත සිල්වා මාරු නොකොට කුමක් කරන්නේද යනුවෙනි. ඉන්පසු මේ කේලම ජනාධිපතිවරයාගේ කණට ගෙන ගිය මාණ්ඩලික ප්‍රධානියා, ඒ හරහා පොලිස්පතිට නියෝගයක් නිකුත් කරවා ගත්තේය. මේ හරහා ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත බරපතළ ලෙස උල්ලංඝනය කර ඇත. සැකකරුවන් ආරක්ෂා කළ බවට චෝදනා එල්ල වී ඇති මෙවැන්නෙක් එළියේ තැබිය හැකිද? එහෙත් උන්මත්තකයන්ගේ දේශයේ ඊට එරෙහිව කිසිවක් සිදු නොවේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කෙරුණේ ඒ අනුවය. සේවා අවශ්‍යතා මත යැයි පොලිස්පතිවරයාගේ මාරු කිරීම් පණිවුඩයේ සඳහන්ව තිබිණි. විහිළුවේ තරම එයින්ම පැහැදිලි වේ. ඒත් මෙය විහිළුවක් නොවන්නේ නීතිවිරෝධී ලෙස බලය අල්ලාගත් සැණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් සෙල්ලම් දමන්නට නාමල් රාජපක්ෂ කටයුතු කළ ආකාරය නිසාය. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කළ නිලධාරීන්ට පරෙස්සම් වෙන්න වෙයි යන පණිවුඩයයි, එයින් නාමල් ලබාදුන්නේ.


සමාජ බලපෑම


ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයාට කරන්නට හැකිය. ඊට ඉහළ මාරුවීම් කළ යුත්තේ පොලිස් කොමිසම හරහාය. ඒ ද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමෙන් පසුවය. ඊට පෙර දේශපාලනඥයන්ගේ වුවමනාව මත නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් වැන්නවුන් පවා මාරු කෙරිණි.
නිශාන්ත සිල්වාගේ මේ අත්තනෝමතික ස්ථාන මාරුව පිළිබඳව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලපෑම් කණ්ඩායමක් ලෙස පොලිස් කොමිසමට පැමිණිලි කළේය. නිශාන්ත සිල්වා අභියාචනයක් මගින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද මේ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස කොමිසමෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය. එහිදී විශේෂ කරුණු ගණනාවක් කොමිසමේ අවධානයට යොමු වී තිබිණි.


පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ගෙනයන ප්‍රචාරය අසත්‍යයක් බවත්, එල්ටීටීඊය සිදු කළ අපරාධ හැටකට අධික සංඛ්‍යාවක විමර්ශන මේ නිලධාරියා අවසන් කර ඇති බවත්, ඔහු අපරාධවලට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇති බවට කිසිදු සාක්ෂියක් නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන්නේ යැයි කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.


මීට අමතරව ජාතික ධාරාවේ මාධ්‍ය පරණ පුරුදු ආකාරයටම ආණ්ඩුවේ හොරණෑ බවට පත්වන විට සමාජ මාධ්‍ය නිශාන්ත සිල්වා වෙනුවෙන් පෙනී සිටියේය. ප්‍රවෘත්ති වෙබ් අඩවි වල වාර්තා සහ බුද්ධි අංශ මගින් මේ සිද්ධියේ සමාජ බලපෑම සම්බන්ධයෙන් ලබාදුන් වාර්තා දෙස බැලූ විට වැඩියෙන්ම තරු පෙනුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂටය. මේ වැඩෙන් වෙන්නේ තමන්ගේ කුණු සියල්ල එළියට ඒම බව වැටහුණු මහින්ද රාජපක්ෂ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත. නිශාන්ත සිල්වා වැනි විමර්ශන නිලධාරීන් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ යුතු වුවද, එය උපක්‍රමශීලීව කළ යුතු බවත්, ඡන්දයක් පැවැත්වීමට සූදානම් වන වෙලාවේ මෙවැනි ප්‍රචාර අවාසි බවත් දෙදෙනාම තීරණය කර ඇත. ඉන් පසු ඒ ගැන පොලිස්පතිට දැනුම් දී ඇති අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් නිකුත් කළ නියෝගය ඔහු විසින්ම කිසිදු වග විභාගයකින් තොරව කියූ සැණින් ඉවත් කර ගත්තේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති තමන්ට ඕවා මහ ලොකු දේවල්ද යන්න රටට පෙන්වා දෙමිනි.


සීඅයිඩියේ පෙනී සිටීම


ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ඕනෑ එකක් වෙච්චදෙන් කියා අහක බලාගෙන සිටීමත්, පහළ නිලධාරීන් ඉහළ නිලධාරීන්ට හොඳ වැඬේ කීමත් අපේ රටේ රාජ්‍ය සේවයේ සුලබව දැකිය හැක්කකි. එහෙත් නිශාන්ත සිල්වා වෙනුවෙන් මේ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා පවා පෙනී සිටියේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී.සෙනෙවිරත්න විසින් තම පහළ නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත වැදගත් ලිපියක් යවා ඇත. පසුගිය 18 වන දින ීෘෂඨරැක්‍ෂෘරැෂඨඡරැ3303රැ1 අංක දරන මේ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ රෙදි ගලවා තිබේ.


‘ඔබගේ වාර්තාවේ සඳහන් පරිදි වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්.සී.විජේගුණරත්න මහතා විසින් ................... පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සිදු කර ඇති චෝදනාව, සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චෝදනාවක් බව ඉතා පැහැදිලිව පෙනී යයි. මේ චෝදනාව කිසිදු විමර්ශන අංශයකින් හෝ බුද්ධි අංශයකින් ඉසව්ගත නිලධාරියාට එරෙහිව මේ වන තුරු ඉදිරිපත් නොවී තිබීමෙන්ම මාගේ ස්ථාවරය මනාව තහවුරු වන බව දන්වා සිටිමි.


තවද වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී .......................... පුද්ගල පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකි.’


මේවා නිල ලියුම් ය. ඇතැම් පාර්ශ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂපාතීව කටයුතු කරන බව පවසයි. ඔවුන් කළ යුත්තේ එය එසේ නම්, අසත්‍ය ප්‍රචාර යවනවා වෙනුවට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නිදොස් කරන්නට උත්සාහ දරන්නන්ටද මෙය අදාළ ය. එහෙත් ඒ ප්‍රධානියා නම් අධිකරණය පැත්ත පළාතේ වත් යන්නට බය ය. ඊට හේතුව නීතිවිරෝධී ආණ්ඩුව තවම ලංකා ජයරත්න වැන්නවුන් හැර අනෙකුත් විනිසුරුවන් හරියට මාරු කර පක්ෂපාතී විනිසුරුවන් තමන්ගේ නඩු අහන උසාවි වලට ගෙන්වා නැති නිසා වන්නට ඇත.


ඔක්කොම කුණු බේරුවල් බොක්කට


කෙසේ වෙතත් මේ සිදුවීම් වල සියලු කුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පිටින් යනවාට මහින්ද රාජපක්ෂලා නම් කැමැතිය. එහෙත් මේ අවශ්‍යතාව වැඩියෙන්ම ඇත්තේ ඔවුන්ටය. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ හිතවත් මේජර් ජෙනරාල්වරුන් හමු වූ අවස්ථාවේ පවසා ඇත්තේ ‘මුලින්ම මේ නඩු කරදරේ ඉවරයක් කරගන්න ඕනෑ’ යනුවෙනි. ඒ කියන්නේ ඊට පසු වැඩ පටන්ගන්නට ඔවුන් සැලසුම් කර තිබේ.


ඉදිරියේදී විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ රාජපක්ෂ පවුලට හා ඔවුන්ගේ සමීපතමයන්ට එරෙහි නඩු ගණනාවක් එක දිගට විභාග කිරීමට නියමිතය. හයට් රීජන්සි ව්‍යාපෘතියෙන් රජයේ මුදල් ගසා කෑ මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ගාමිණී සෙනරත්ගේ නඩුව, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ මුවාවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් කොල්ල කෑමේ නඩුව, නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් ගනුදෙනුව, ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය හොර ගනුදෙනු ඇතුළු රජයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීම් රැසකට අදාළ නඩු මෙන්ම රාජපක්ෂ පවුලේ අයගේ නම් කෙලින්ම ඈදී ඇති වසීම් තාජුඩීන් ඝාතන නඩුව ඇතුළු මනුෂ්‍ය ඝාතන සිදුවීම්ද මේ අතර වේ. එම නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සියල්ලට වැරදිකරු කරන්නට ගියහොත්, මහ මොළකරුවන් ඇඟ බේරාගන්නවා ඇත. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු මේවා ගැන දන්නා විමර්ශන නිලධාරීන් ලවා නඩු වෙනත් අතකට ඇදගන්නට නොහැකි බව මේ මහ මොළකරුවෝ දනිති.


ලසන්තගේ දියණියගේ ලිපිය


ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ අත්තනෝමතික ස්ථාන මාරුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැව්වාය. එය ලසන්තගේ පමණක් නොව, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු රාජපක්ෂ පාලන කාලයේ ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයන් 44 දෙනකුගේ හඬයි. ඔවුන් එකාවන්ව ඉදිරියට පැමිණ කියන්නට නියමිතව ඇත්තේ අහිම්සාගේ වැනිම වූ කතා රැසකි.


2009 වසරේ ජනවාරියේ වවුනියාවෙන් අහිංසක තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන අමු අමුවේ මරා දමා අනුරාධපුරයේදී ඔවුන්ගේ සිරුරු පුළුස්සා අළුකර දමන්නේ, මගේ පියාගේ අපරාධය සිදු කළ ස්ථානයේ සාක්ෂි වශයෙන් ඔවුන්ගේ මෝටර් සයිකලය තබන්නටය. තමන්ට පහරදීමට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු ඇතුළත් මගේ පියාගේ අවසන් වචන සහිත සටහන් පොතද කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන පරිදි පොලිස් නිලධාරීන් විසින් විනාශ කර ඇත. නුවරඑළියේ කාර්මිකයෙකු, යුද හමුදා බුද්ධි අංශයේ ටි්‍රපොලි කඳවුරට අයත් සෙබළෙකු තම හැඳුනුම්පත භාවිත කර, මගේ පියාට එල්ල වූ ප්‍රහාරය සංවිධානය කිරීම සඳහා සිම් කාඞ්පත් මිලට ගත් අයෙකු ලෙසත්... සියලු බල තිබූ ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික නියෝගයක් මගින් මේ ටි්‍රපොලි කඳවුර භාරව සිටි අණදෙන නිලධාරියාව වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ තානාපති සේවයක ස්ථානගත කළ බවට සාක්ෂිකරුගේ ප්‍රකාශය සටහන් කරගත්තා පමණි.’


ඔවුන්ගේ අපරාධ වල තරම පිළිබඳ කරුණු රැසක් අහිම්සා තම ලිපියේ ඇතුළත් කරයි. නිශාන්ත සිල්වා මාරු කරන්නේ මේ විමර්ශන අඩාල කරන්නට බවත් ඇය පැහැදිලි කරයි. පසුගිය කාලයේ ඝාතනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් 41 දෙනකුට අදාළ විමර්ශනයක් පවා මෙතෙක් ආරම්භ කර නැත. එවැනි තත්ත්වයක් යටතේ ආරම්භ කර ඇති පරීක්ෂණය, දෙකටත් අත්කරන්නට හදන්නේ අවාසනාවන්ත ඉරණමක් බව පැහැදිලිය. විනිර්මුක්තිය හෙවත් යුක්තිය ඉටු නොවීමේ බරපතළකම පිළිබඳව මේ රටේ විද්වත් ප්‍රජාව ඇතුළු වගකිවයුත්තන්ගේ නිහඬ බවද ගැටළුවකි. මේ යුගයේ බරපතළම ඛේදවාචකය එයයි.


ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය


අහිම්සා වික්‍රමතුංග වැනි දියණියන්ට ලසන්ත තාත්තා අහිමි කළාක් මෙන්ම, කදිරගාමර් තාත්තාද දරුවන්ට අහිමි කෙරිණි. ලංකාවේ සිටි විශිෂ්ඨතම විදේශ ඇමැතිවරයකු ලෙස හැඳින්වෙන ලක්ෂ්මන් කදිරගාමර් ජීවතුන් අතර සිටියා නම්, 2005 සහ ඒ ආසන්න කාලයේ අගමැති, ජනාධිපතිකම් බලාගෙන සිටි අයට සිහින ලෝක වලම සිටින්නට සිදු වනු ඇත. ඒ කතාව අතිශයෝක්තියක් නොවන්නේ සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය සමග ඔහු ගොඩනගාගෙන තිබූ සම්බන්ධකම් නිසා ය.


කදිරගාමර් ඝාතන කුමන්ත්‍රණය සිදු කෙරෙන්නේ රාජ්‍ය බුද්ධි අංශයේ සිටි ඉහළ නිලධාරියකුගේ අනුදැනුම මත, ඔහුට ඊළඟ පොලිස්පති ධුරය දැරීමේ ආශාවෙන් බව විමර්ශන අංශ අනාවරණය කරගත්තකි. හලාවත ප්‍රදේශයේ වෙල් යායක තිබූ තුවක්කුවක් එල්ටීටීඊය විසින් කදිරගාමර්ට වෙඩි තැබූ තුවක්කුව ලෙස හඳුන්වමින් ඉදිරිපත් කෙරුණද, අපරාධ විමර්ශනය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ එල්ටීටීඊය වැනි ත්‍රස්ත සංවිධානයක් කොළඹදී සිදු කරන ලද පහරදීම් වලට අදාළ ගිනි අවි යළිත් උතුරට ගෙනයෑම කිසි දිනෙක සිදු නොකරන බවයි. අනෙක් අතට හමුදා බුද්ධි අංශ වාර්තා වලට අනුව ඒ කාලයේ එල්ටීටීඊයේ ගමන් මාර්ගය වැටී තිබී ඇත්තේ හලාවත හරහා ගොඩබිමින් නොවේ. ඇලකන්ද, හැමිල්ටන් ඇළ හරහා මීගමුවෙන් බෝට්ටු ආධාරයෙනි.


කදිරගාමර්ට වෙඩි තැබූ පුද්ගලයන් බම්බලපිටිය, ටර්බරි ගාර්ඞ්න් නම් ස්ථානයේ පිහිටි හෝටලයකට ගොස් ඇති බවත්, එය පොලිසියේ ඉහළ නිලධාරියකුට අයත්ව තිබී ඇති බවත් විමර්ශන අංශ හෙළිකරගෙන තිබේ. කදිරගාමර්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුව ටැක්සි අබේ සහ කිඹුලා ඇලේ ගුණා නම් අන්වර්ථ නම් වලින් හැඳින්වෙන පුද්ගලයන් සපයා ඇති බවත්, කිඹුලා ඇලේ ගුණා ස්නයිපර් තුවක්කු හයක් කොළඹට ගෙනවිත් තිබූ බවත් අනාවරණය කරගෙන ඇති විමර්ශන අංශ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කාන්තාවට ආරක්ෂාව සැලසීමද කර ඇත්තේ මේ ගුණා විසින් බවත්, එහිදීද ආරක්ෂාව සඳහා වෙනම ස්නයිපර් අවියක් භාවිත කර ඇති බවත් හෙළි කරගෙන තිබේ. මේ සිද්ධියට අදාළව මෝදර පොලිසියෙන් අත්අඩංගුවට ගැනුණු ගුණා නමැත්තා නිදහස් කර ඇත්තේ පසුව ඝාතනයට ලක් වූ උපදේශකවරයකුගේ ප්‍රබල මැදිහත්වීමෙන් ය. කදිරගාමර්ගේ ඝාතකයන්ට ගුවන්තොටුපොළට යාම සඳහා විශේෂ ආරක්ෂාවක්ද සපයා ඇති බවත්, ඔවුන් සිංගප්පූරුවට ගොස් ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබිණි. කදිරගාමර්ගේ ආරක්ෂක අංශයේ සේවය කළ අයෙකු පසුව ආණ්ඩුවේ ඉහළම අයකුගේ ආරක්ෂකයකු ලෙසද කටයුතු කර ඇත.


කෙසේ වෙතත් මේ කතාවට කදිරගාමර් සිද්ධිය අදාළ වන්නේ එම ඝාතන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි විමර්ශන වලට ඉහතින් කී නිශාන්ත සිල්වාද සම්බන්ධ වී ඇති නිසා ය. ටික කලක් විමර්ශන සාර්ථකව කෙරුණද, පසුව එය කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇත. ඒ කියන්නේ නිශාන්තලාගෙන් එම විමර්ශන ඉවත් කර ඇත.


යුක්තිය


දැන් ඔබට සියල්ල පැහැදිලිය. කොමා නොව තිත තැබිය යුත්තේ මෙවැනි අපරාධ යුගයකටය. අපරාධ වල වින්දිතයන්ට යුක්තිය ඉටු කළ යුතුව ඇත. නැතහොත් එය ඔබේ නිවසද ආක්‍රමණය කිරීම වැළැක්විය නොහැකි වනු ඇත. පාර වැටී ඇත්තේ ඒ දෙසටය.


- ශාලික විමලසේන

46502237 307904113381586 7570720203911200768 n46493491 288075585146367 6733022339321036800 n

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us