එසේ වුවත්, අපගෙන් 90%ක් පොදු ප්‍රවාහන සේවයේදී ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වෙති. අපගෙන් 20%ක් ගෘහස්ථ හිංසනය අත්විදිති. සෑම විනාඩි 90 කට වරක් අපගෙන් කෙනෙක් මත ලිංගික බලහත්කාරය ක්‍රියාත්මක වන්නේය. ස්ත්‍රීන්ට, ළමුන්ට, සමරිසි ද්විලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ට එරෙහිව හිංසන ක්‍රියා සිද්ධිවලට ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිශ්ක්‍රීය බව ගැන අපට අසන්නට ලැබෙන්නේ ඉදහිට නොවේ. හිංසනය අපගේ ජීවිත වල අනිවාර්ය අත්දැකීමක් බවට පත්ව ඇත.
ලිංගික, ශාරීරික හා මානසික ප්‍රචණ්ඩත්ව සිද්ධි වින්දියින් විසින් වාර්තා කරන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර එලෙස වාර්තා වන අවස්ථාවන්වලදී පවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක වන්නේ නොසැලකිලිමත් ලෙසයි. බහුතරයක් වින්දිතයින් මෙම සිද්ධි නිහඩව දරා ගන්නා අතර අපගේ ප්‍රජාවන් තුල වින්දිතයින් මත වරද පැටවීම මුල් බැසගෙන ඇත. ස්ත්‍රීන්ට පමණක් නොව සමහර විටදී ළමුන්ට පවා ඇගිල්ල දික් කරමින් කියන්නේ පුරුෂයින්ව අවුස්සනා බවයි. සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රීන් පොලිසි තුලදී පවා හිංසනයට ලක් වේ. විවාහයන් තුලදී ස්ත්‍රින් හා ළමුන් මත ලිංගික බලහත්කාරය යෙදීමට අපගේ නීතියෙන් පවා අවසර ලබා දී ඇත්තේය.
නිවස තුලදී පටන් ගෙන, පාසල්, විශ්ව විද්‍යාල හා රැකියා ස්ථානයන් තුල දී හා පොදු අවකාශයන් තුලදීද ස්ත්‍රීන්, ළමුන්, සමරිසි, ද්විලිංගික හා සංක්‍රාන්තික ප්‍රජාවන් මත ක්‍රියාත්මක වන හිංසනය පීඩිත ලිංගිකයින්ට එරෙහිව ක්‍රියාත්මක වන දරුණුතම පීඩනය වන්නේය. මෙම වසරේ මාර්තු 8 වන දිනදී මීට ශතවර්ෂයකට පෙර සාධාරණ ශ්‍රම කොන්දේසී වෙනුවෙන් වීදි බට එ් නිර්භීත ස්ත්‍රීන්ව අනුස්මරණය කරමින් අපිද ලිංගික. ශාරීරික හා මානසික හිංසනයට එරෙහිව වීදි බසින්නෙමු. හිංසාකාරී ක්‍රියාවන්ට මුහුණ දී ඇති සියලුම වින්දිතයිනගේ අප ඉල්ලා සිටින්නේ නිහඩතාවය බිද දමන ලෙසයි. හිංසනය ඉදිරියේ නිහඩ වීම හා ඒ මගින් අවකාශ ලබා දී තිබෙන හිංසනයේ සංස්කෘතිය අවසන් කල යුතු යැයි අප ඉල්ලා සිටින්නෙමු.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට මාර්තු 8 වන දා අප සංවිධානය කරන උද්ඝෝෂණයට සම්බන්ධ වෙමින් විරෝධය දැක්වීමට එක් වන ලෙසට අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු. නිවසේදී, රැකියා ස්ථානයේදී, පොදු අවකාශයන්හීදි සිදු වන ලිංගික, ශාරිරික හා මානසික හිංසනය අවසන් කිරීමට ඇවැසි පියවර ගැනීමට රජයට බල කිරීම සදහා අපි මාර්තු 8 වන දා එක් වෙමු.
සහෝදරියනි, සහෝදරයිනි අපි කොතැනකින් හෝ පටන් ගනිමු. අපි අද දින සිට පටන් ගනිමු.