තුන් වැනි වතාවටත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරය භාරගෙන මා කාලයක් තිස්සේ හොඳින් දන්නා මේ ස්ථානයට පැමිණ ඔබ සමඟ කතා කිරීමට ලැබීම පිළිබඳ ව මා සතුටු වෙනවා. මා සිටි කාලයට වඩා වෙනස්කම් රාශියක් මෙහි සිදු වී තිබෙනවා. ජනවාරි මස 08 වැනි දා මේ රටේ ජනතාව අපේ රට අලුත් ආකාරයකට ඉදිරියට යා යුතු යැයි තීරණය කළා. විශේෂයෙන් මේ රටේ සියලු ම ශ්‍රී ලාංකිකයන් එනම් දකුණෙත් උතුරෙත් නැඟෙනහිරත් මධ්‍යමත් ජනතාව තීන්දු කළා ප්‍රජාතන්ත්‍රවාදයට යළි මේ රට ස්ථාපිත කර යහපාලනයක් කරා ගෙන ගොස් දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වූ හිමිවිය යුතු සංවර්ධනය සඳහා කටයුතු කිරීමට. ඒ නිසා දකුණේ අන්තවාදී සිංහල බෞද්ධ කියාගත් ඒකාධිපතින්ගේ මතවාදය පරාජය කර, උතුරේ අන්තවාදය හා එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කර මේ රටේ මධ්‍යස්ථ ජනතාව අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීමට කටයුතු කළා.
උතුරේ අන්තවාදී කණ්ඩායම් ඡන්දය ඉල්ලන විට එයට විරුද්ධ ව දෙමළ ජනතාව නැඟි සිටියා. ලංකාවේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී සහභාගි වූ වැඩිම ප්‍රතිශතය මැතිවරණයේදී සහභාගි වුණා. බොහෝ තැන්වල 80% ත් 90% ත් අතර ඡන්ද සහභාගිත්වයක් තිබුණා. ඒ සහභාගී වු ප්‍රමාණයෙනුත් 75% ත් 85% ත් අතර මෙන් ම සමහර තැන්වල 90% දක්වා ඡන්ද ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබුණා. නිදහස් ශ්‍රී ලංකාවේ පත් වු සැබෑ ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයා හැටියට ජනවාරි මස 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනවරමක් ලැබුවා. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කොට්ඨාසයක ම අන්තවාදීන් හැරෙන්නට මධ්‍යස්ථ මතධාරීන් හැමකෙනෙක් ම මේ නව ගමන් මඟ වෙනුවෙන් පෙනී සිටියා. ඒ අනුව මේ වෙනකොට ජනාධිපති ධුරය ලැබී අවුරුදු දෙකකුත් මාස හයක් වෙනවා. තව මාස දෙකකින් අගෝස්තු මාසයේ මහමැතිවරණය පවත්වා වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ නව ගමන් මඟ ආරම්භ කර දා සිට ප්‍රධාන තේමා තුනක් එනම් කුළුණු තුනක් මතයි අප ගමන් කළේ. අලුත් ශ්‍රී ලංකාවකට අත්තිවාරම දැමීමට අප බලාපොරොත්තු වුණේ මේ කුළුණු 3 මතයි. ඒ, ප්‍රජාතන්ත්‍රවාදීකරණය, සංහිඳියාව හා සංවර්ධනය මත යි.
අප දුටුවා යුද්ධයෙන් පසු යුද්ධයට මුවා වී එවකට සිටි පාලකයන් දශක ගණනාවක් තිස්සේ මේ රටට පවුල් පාලනයක් ඇති කිරීමේ සිහිනය සැබෑ කරවන්නට පාර්ලිමේන්තුවට සංශෝධන ගෙනල්ලා මේ රට තුළ ඒකාධිපති පාලනයක් ඇති කරන්නට සහ ඒ සඳහා අත්තිවාරමක් දරන්නට කටයුතු කරන ආකාරය. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වී ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් සකස් කර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී යළි වතාවක් මේ රට ලෝකයේ බැබළෙන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් බවට පත් කිරීමට කටයුතු කළා. විශේෂයෙන් ම පසුගිය කාලයේ වැඩියෙන් ම බැට කෑවේ මේ රටේ ජනමාධ්‍යවේදීන්. ජනමාධ්‍යවේදීන් උතුරේත් දකුණේත් බැට කෑ හැටි, පහර දුන් හැටි, පැහැරගෙන ගිය හැටි කීපදෙනෙකුට හැරෙන්නට තවමත් කාටවත් අමතක වෙලා නැහැ. එය සම්පූර්ණයෙන් ම කණපිට හරවා මේ කලාපයේ තිබෙන සක්‍රීය ම ජනමාධ්‍ය සංස්කෘතියක් තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත් කර තිබෙනවා.
අද හැම අතින් ම විශිෂ්ඨ නිදහසක් අප ජනතාවට ලබා දී තිබෙනවා. කෙතරම් වර්ජන කළත් අප එය නවත්වන්නේ නැහැ. ඒ වගේ ම ජනාධිපතිවරයා තමාගේ බලතල රාශියක් පළමු දින 100 තුළ ම කප්පාදුකරගෙන ඉන් පසු 2016 ජනවාරි 08 වෙනිදා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත් කර නව ව්‍යවස්ථාවක් හරහා මේ රටේ විධායක බලතල පාර්ලිමේන්තුවට ලබාදීමේ ගමනත් ආරම්භ කළා. ඒ වගේ ම නව ව්‍යවස්ථාවත් අවසන් කරමින් තිබෙනවා. ලංකාවේ ගමක් ගමක් පාසා ගොස් ව්‍යස්ථාව සම්බන්ධයෙන් සෑම කොට්ඨාසයක ම අදහස් ලබාගෙන මේ සඳහා කටයුතු කරගෙන යනවා.
ඒ වගේ ම රටට සංහිඳියාව නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් රටක සංවර්ධනයක් ඇති කරන්නට බැහැ. මෙය අනෙක් රටවලට වඩා අප හොඳින් ම දන්නවා. මීට වසර 69 කට පෙර 1948 පෙබරවාරි 04 වැනි දා නිදහස ලබා ගන්නා විට මේ කලාපයේ තිබූ දියුණු ම රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ කාලයේ ආසියාවේ අපට වඩා ඉහළින් සිටියේ මේ ජපානය පමණ යි. ඒ නිසා තමයි අප පාසල් යන විට මුඩුක්කු ප්‍රදේශයක් දුටු විට අප එයට කිව්වේ කොරියාව කියලා. කොරියාව යනු අපට වඩා පහළින් ම සිටි රටක්. මුඩුක්කු පිරුණු නගරයක් නිසා අපි ඒ පැතිවලට යන විට කිව්වේ කොරියාවට යනවා කියලා. නමුත් අද කොරියාව පළමු ලෝකයේ රටක් බවට පරිවර්තනය වී අප රටේ අය කොරියාවේ රැකියා සඳහා පොරකනවා. නමුත් කොරියාවට හිමිතැන තිබිය යුත්තේ ලංකාවට. ලී ක්වාන් යූ අගමැතිවරයා එතුමා ලියු ජීවිත කතාවේ ලංකාව පිළිබඳ පිටු කිහිපයක් වෙන් කර තිබුණා. එහි ලංකාව යනු නිදහස ලබන විට පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබූ ආදර්ශවත් රටයි. මේ කලාපයේ හොඳම විශ්වවිද්‍යාලයත් වගේ ම හොඳම රාජ්‍ය සේවයත් හොඳම පොලීසියත් තිබුණේ අපට. modern common Wealth Country යනුවෙන් ලියන එතුමාම කියනවා මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි මේ රට නිදහසින් පසු එතුමා බලා සිටියදී ම කඩා වැටෙන ආකාරය දුටු බව. ඒ තැන රැක ගැනිමට බැරි වුණේ අප නිදහස ලබා ගත් දවසේ සිට අප ජාතින් හැටියට ආගම් හැටියට පක්ෂ හැටියට වෙන් වී කුළල් කා ගත් නිසා. සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඇති වුණා. සිංහල අන්තවාදී කණ්ඩායම්වලට අපේ නායකයන් බය වුණා. අන්තවාදී අතළොස්සක් ගත යුතු තීන්දු මඟ හැරියා. ඒ නිසා ම උතුරේ බිහි වූ අන්තවාදීන් දිනෙන් දින පෝෂණය වුණා. නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්නයක් වසර තිහක් තිස්සේ මේ රට විනාශ කළ යුද්ධයක් බවට පත් වුණා. අපේ ම ශ්‍රී ලාංකික තරුණ කොටස් උතුරේ වගේ ම දකුණේත් තුවක්කුව අතට ගත්තා. තරුණ කැරලි දෙකක් දකුණේ තිබුණා. අන්තිමට 69 වැනි උපන් දිනයත් අප සමරන්නේ ආසියාවේ පහළ මට්ටමේ දියුණු වෙමින් තිබුණ රටක් ලෙස. ඒ නිසා ම තමයි අප මේ ආරම්භ කළ ගමන වැදගත් වන්නේ.
පැරණි ළිං ගෙම්බන්ගේ පැරණි මතවාද සමඟ මේ ගමන යන්නට බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදී මේ ගමන යන්නට බැහැ. මේ රටේ සියලු දෙනාට ම සමාන අයිතිවාසිකම් තිබෙන බව පිළිගෙන සෑම කෙනෙක් ම ශ්‍රී ලාංකිකයෙක් ලෙස විවිධත්වය තුළ සිතන්නට පටන් ගත යුතුයි. යළිත් වතාවක් මේ රටට යුද්ධයක්, ත්‍රස්තවාදයක්, අන්තවාදයක් ගෙන එන්නට ඉඩ තියන්නට බැහැ. අප අදත් දකිනවා අතීතයේ තිබුණු ඒ අන්තවාදීන්ගේ මුණුබුරන්, සමහර සිවුරු පොරවාගත් මුණුබුරන් මේ රටේ අන්තවාදය දකුණේ වපුරන්නට හදනවා. ඒ අන්තවාදයෙන් පෝෂණය වන දෙමළ අන්තවාදීන් මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට යළි වතාවක් මේ රට තුළ විශාල ප්‍රශ්නයක් ඇති කිරීමට බලාගෙන සිටිනවා. වසර 1000 ක සිට විශාල සේවයක් කළ මුස්ලිම් ජනතාව තුළත් යම් යම් ප්‍රශ්න ඇතිකිරීමට පටන් ගත්තා. මේ සිවුරු පොරවාගත් ඇතැම් අය සිංහල මුස්ලිම් කෝලාහල යළි ඇති කිරිමට මේ රටේ උත්සාහ ගන්නවා. යළි වතාවක් මේ රටේ බලයට පැමිණීමට බැරි බව දන්නා අය රට යළි වතාවක් ලේ ගංගාවක් කර හෝ බලයට පැමිණිීමට උත්සාහ කරන සමහර දේශපාලනඥයන් පෝෂණය කරනවා. මධ්‍යස්ථ ජනතාව සිටින තුරු එය කිරීමට දෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මාධ්‍යයෙන් දීමට තිබෙන ප්‍රධාන පණිවුඩ තුන තමයි ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව සහ ඒ තුළින් ලබා ගන්නා සංවර්ධනය.
දැන්වත් දරුවන්ට, තරුණයන්ට, ඊළඟ පරම්පරාවට හිමි විය යුතු සංවර්ධනය අප ලබා දිය යුතු යි. නමුත් අන්තවාදීන්ගේ අතකොළු බවට අප පත් වී, මේ රට ඉදිරියට ගෙන යන්නට ඉඩ නොදෙනවා නම් අපට ඒ තත්ත්වය ලබා ගන්නට බැහැ. අද අප සීග්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු යි. ඒ ආර්ථික වර්ධනය ලබා ගැනීමට යල් පැනපු අදහස් ඉවත් කළ යුතු යි. ඒ වර්ධනය ලබා ගැනීමට නම් ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි. මේ ආණ්ඩුව ලබාගන්නා විට අප සිටියේ හුදෙකලා රටක් ලෙස. මිනීකන්නන්ගේ දේශයක් හැටියට චෝදනා ලබපු රටක් ලෙස. නමුත් රටේ ප්‍රතිපත්තිය ලෙස ජනාධිපතිතුමාගේ දැක්ම සහ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති හා දැක්ම නිසා ඒ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වුණා.
පසුගිය දා ජීනිවා නුවරදී ඒ පැවැති යෝජනාවට ඉතිහාසයේ රටවල් බොහෝ ප්‍රමාණයක් ලංකාව වෙනුවෙන් නැඟී සිටියා. ඒ, ලෝකයේ බලවත් ම රටවල් 48ක්. අද අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලෝකයේ සෑම රටක ම දොරටු විවෘත වී තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් සිට චීනයේ බීජීන් නගරය දක්වා අපේ නායකයන්ට ආරාධනා ලැබෙනවා. ඒ, ක්‍රෙම්ලිනය, එංගන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල්වලට. පසුගිය දා වසර 45 කට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට රුසියාවේ ජනාධිපති පූටීන් විසින් ආරාධනා කළා පළමු වැනි නිල සංචාරයට. ජනාධිපතිතුමාට එහිදී ඉහළ ම පිළිගැනීමක් ලැබුණා. අගමැතිතුමා චීනය, ජපානය, ඉන්දියාවට වැනි රටවලට ගියා. පසු ගිය සතියේ ඕස්ටේරලියාවට ගියා. 1954 සර් ජෝන් කොතලාවල මහතා ඕස්ටේ්‍රලියාවේ කළ නිල සංචාරයෙන් පසු වසර 58 කට පසුවයි. මෙලෙස ලෝකය ම අපට උදව් ලබා දීමට ඉදිරිපත් වී සිටින මොහොතක, ඒ ශක්තිය අප රටේ සංවර්ධනය වෙනුවෙන් ලබා ගැනීමට යන විට, පසුගිය කාලයේ සින්නක්කර ඔප්පුවලින් මේ රට විදේශිකයන්ට ලබාදුන් නායකයන් කියනවා මේ රට කැබලි කර පිටරැටියන්ට විකුණනවා කියලා. අද චීනය, වියට්නාමය වැනි ඒ සමාජවාදී රටවල් පවා දියුණු කරන්නේ පෞද්ගලික අංශය ශක්තිමත් කරමින්. විදේශ ආයෝජන එම රටවලට ගෙන්වාගෙන. ඇමරිකාවේ විශාලතම ඇපල් සමාගමේ කර්මාන්තශාලාව තිබෙන්නේ චීනයේ. ඒ සඳහා හොඳම ඉඩම් චීනය ලබා දෙනවා. ඇපල් සමාගම ලංකාවට එනවානම් මා කැමතියි ඉඩම නිකන් ලබා දීමට. ඒ අය පැමිණි විට ඒවා රැගෙන යන්නේ නැහැ.
මේ රටේ භීෂණ ඇතිකරන ඇතැම් කණ්ඩායම් සිටිනවා. මා දේශපාලනයට පැමිණි කාලයේ මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ගාමන්ට් ෆැක්ට්‍රි 200 පිහිටුවන විට අපේ අය කිව්වේ සුද්දියන්ට ජංගි මහන්න අපි දරුවන් යොමු කරනවා කියලා. එයින් රට කෙතරම් දියුණු වුණාද? එසේ ම මට මතකයි කණ්ඩලම හෝටලය හදන විටත් මහාපරිමාණ විරෝධතා තිබුණා. ඉරණවිල Voice of America ආයතනයට ඉඩම දෙන විට පැවසුවේ ඇමරිකාවේ කොලනියක් බවට පත් කිරීමට හදන බව. ඔවුන් ඉඩම රැගෙන ගියේ නැහැ.
සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට අවශ්‍යය යි. ඒ අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට. වසර 69 ක් ගත වුවත් අප රටේ විශ්වවිiාලවල තිබෙන්නේ පුරප්පාඩු 25000ක් පමණයි. නමුත් උසස් පෙළ සමත් වෙනවා 175,000 කට අධික ප්‍රමාණයක්. මෙයින් උසස් අධ්‍යාපනයට යොමු වීමට හැකි වන්නේ ඒ 25000 ට සහ මුදල් ගෙවා පිටරට විශ්වවිද්‍යාලවලට යා හැකි අය පමණයි. මධ්‍යම පාන්තික දරුවන්ට ඒ අවසථාව හිමි වන්නේ නැහැ. නිසි ප්‍රමිතියක් නැති පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රැවටී කුමන හෝ උපාධියක් ලබා ගැනීමටයි ඔවුන්ට සිදුවන්නේ. මේ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටට හඳුන්වා දී එහි කොන්දේසියක් ලෙස නොමිලේ උගන්වන ශිෂ්‍යන් 25% ක් 30% ක් පමණ සිටිය යුතුයි යන්න සහ උගන්වන දේ නිවැරදි ද යන්න නියාමනය කිරීමට මෙන් ම නිසි ප්‍රමිතියක් නැති පෞද්ගලික පාසල් නියාමනය කිරීමට නියාමක කොමිසමක් පත් කර මේ සඳහා කටයුතු කළහොත් පමණයි මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරියේදී රජයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය යුතු යි. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳ පමණයි එහිදී කතා කළ යුත්තේ. ජනතාවට සත්‍යය පැවසිය යුතු යි. පෞද්ගලික මාධ්‍ය නොදැනුවත්කම නිසා විය යුතුයි ඇත්ත පවසන්නේ නැත්තේ. විරුද්ධ මත පමණයි උලුප්පා පෙන්වන්නේ. රජයේ මාධ්‍ය ලෙස රටේ අනාගතය විවෘත කරන්නට ඔබ හැම කෙනෙක් ම කටයුතු කළ යුතුයි. එයට දේශපාලනය අදාළ වන්නේ නැහැ. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයට සංහිඳියාවට සහ සංවර්ධනයට පාට පක්ෂ භේදයක් නැති නිසා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාකරන විට අපට ඡන්දය දීපු අයට පමණක් නොව සෑම කෙනෙකුටම නිදහස තිබෙනවා. සංහිඳියාව පිළිබඳ කතා කරන විට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු ම සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හැම ජනකොටසකම ලාංකික මානසිකත්වයෙන් යන ගමනක් අප පෙන්විය යුතුයි. රටේ සංවර්ධනය වේගවත් කර රැකියා විශාල ප්‍රමාණයක් තරුණයන්ට ඇති කර විශේෂයෙන් භූගෝලීය වැදගත්කමින් ප්‍රයෝජන වන ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට මේ පුංචි දූපත පත් කළ විට වාසිය ලැබෙන්නේ හංසයා, අලියා, අත ලකුණ ඉදිරියේ කතිරය ගහපු අයට පමණක් නොවෙයි. අපට බැණ බැණ පෙළපාලි යන වැඩ අවුල් කිරීමට කටයුතු කරන දේශපාලඥයන්ටත් ඒ අයගේ පාක්ෂිකයන්ටත් එය ලැබෙනවා. ඒ නිසා මෙය දේශපාලන කටයුත්තක් නොවන නිසා එය කඩාකප්පල් කරන්න එපා.
පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වුවත් මා පැවසුවේ අඩුපාඩු, දුෂණ තිබේ නම් ඒවා සාක්ෂි ඇතුව එළිදරව් කළහොත් ඒ සඳහා නඩු පැවරීමටවත් කටයුතු නොකරන අතර සෑම කෙනෙකුට ම සාධාරණ විවේචනයක් කිරීමේ අයිතිය ආරක්ෂා කරන බව. ඒ නිසා විශේෂයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ මෙය කඩාකප්පල් නොකර අපේ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරන ලෙස. අප ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නැතිනම් මධ්‍යස්ථ මතය වෙනුවෙන් නැතිනම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සටන් කළ යුතු රැඩිකල්ස්ලා ලෙසයි කටයුතු කරන්නේ. මගේ දේශපාලනය තුළ මා හඳුන්වන්නේ රැඩිකල් ලිබරල්වාදියෙකු ලෙස. සියලු දෙනාගේ ම අයිතීන් වෙනුවෙන් මධ්‍යස්ථ මතය වෙනුවෙන් ලිබරල්වාදය වෙනුවෙන් රැඩිකල් වෙන්නත් අප සුදානම්. එසේ නොවුණහොත් අපට සයිබීරියාවක් වුව ද සාදා දිය හැකියි. නමුත් අප ඒවා හදන්නේ නැහැ. එය කළ යුතුත් නැහැ. ඔබ සියලු දෙනාගේ ම සහයෝගය මා නිහතමානී ව ඉල්ලා සිටිනවා. සියලු දෙනාට ම වාසනාවන්ත අනාගතයක් ලැබේවා. ශ්‍රී ලංකාවට ජය වේවා.