ඒ අනුව ලෝකයේ පළමු කඩොලාන කෞතුකාරය හලාවත, පම්බලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26දා) ආරම්භ කරනු ලැබීය. ලෝක කඩොලාන දිනය යෙදි තිබුණේද ඊට පෙර දිනයේදීය.
පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා විශාල කාර්යය භාරයක් ඉටුකරනු ලබන කඩොලාන ශාක කාබන්ඩයොක්සයිට් උරා ගනිමින් ඔක්සිජන් පරිසරයට නිකුත් කරනු ලබයි. මෙම කෞතුකාගාරය හරහා කඩොලාන ශාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, කඩොලාන පිළිබඳව දේශීය හා විදේශීය පර්යේෂණ කිරීමත් සිදු කිරීමට නියමිතය. මෙහිදී කඩොලාන පිළිබඳව ළමුන් හා වැඩිහිටියන් දැනුවත් කිරිමට නියමිත අතර පළමු වසරේදී කෞතුකාගාරයට සිසුන් 20000 පැමිණෙතැයි ද විශ්වාස කරතැයි පැවැසේ. කෙසේ වුවත් අනාගත පරපුරට කඩොලාන දකින්නට වන්නේ මේ කෞතුකාගාරයෙන්ම පමණක් විය හැකිය. කඩොලාන ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් නමුත් එය කඩදාසි වලට සීමාවී පවතී.
එසේම පසුගිය වසරේදී ආසියාවේ පවතින කඩොලාන පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයකට අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් 194000ක් (රුපියල් 28,673,200- දෙකෝටි අසූහය ලක්ෂ හත්තෑතුන් දහස් දෙසීයක්) ලෙස හඳුනාගෙන තිබෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට කඩොලාන හෙක්ටයාර 10000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එහි ආර්ථික වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 28,670ක් පමණ වෙයි. එහෙත් ඒ ඉවක්බවක් නොමැතිව සංවර්ධනයේ නාමයෙන් විනාශ කරමින් තිබේ.
ලෝකයේ, පරිසරය විනාශ කරමින් සිටින ප්‍රමුඛත්ම රටවල් 5 අතර සිටින ශ්‍රි ලංකාවට එම පරිසර විනාශය වලක්වා ගැනීම වෙනුවට මෙවැනි කෞතුකාගාර හෝ පිහිටුවීමේ සංකල්පය අනුව ඉදිරියේදි අලි ඇතුන් හා වන සතුන් කෞතුකාගාර, දිය ඇලි කෞතුකාගාර, ගහ කොළ කෞතුකාගාර ආදියද බිහිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.