“භාරත රත්න” සම්මානයෙන් පිදුම් ලද, “ඉන්දියාවේ මිසයිල මිනිසා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හිටපු ඉන්දීය ජනාධිපති මා මිත්‍ර ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ හදිසි අභාවය අසා මම ඉතා කම්පනයටත්, සංවේගයටත් පත් වුණෙමි.
අවසන් වතාවට ආචාර්ය අබ්දුල් කලාම් මා හට හමුවූයේ 2015 ජූනි මස වෝටර්ස් එජ්හි පැවැත්වූ දිවා භෝජන සංග්‍රහය සඳහා මා කළ ඇරයුම පිළිගෙන සපැමිණි මොහොතේ ය. ඔහු ඉන්දියාවේ ජනාධිපතිවරයාව සිටි අවධියේදී සිටම මම හොදින් දැන සිටියෙමි. අවසන්වර අප හමුවන විට මා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ය.
සුහද සංවාදයේ යෙදෙන්නට අපට බොහෝ අපූරු මාතෘකා මෙන්ම පොදු කාරණා තිබිණි. ඔහු පෝක් සමුද්‍ර සන්ධියේ රාමේෂ්වරන්හි උපත ලැබුවෙකු වන අතර ඔහුගේ බොහොමයක් ඥාතීහු මන්නාරම, අනුරාධපුරය සහ පුත්තලම යන ප්‍රදේශයන් හි ජීවත් වෙති. මෙය අප අතර සුන්දර කථිකාවන්ට හේතුවක් විය. දුර ඈත අතීතයේ බොහෝ අවස්ථාවල, තම ඥාතීන් බැහැදකින්නට කලාම් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ අනවසරයෙනි. 1950 ගණන්වල ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගමනාගමනය සිදුවුණු එක් ක්‍රමවේදයකි ඒ.
මානව ප්‍රගමනය සහ මනා අසල්වැසි සබැදියාව වෙනුවෙන් විද්‍යාව සහ තාක්‍ෂණය යොදා ගැනීම කෙරෙහි ඔහුගේ විශේෂ අවධානය යොමු විය. අපි අපගේ අවසාන හමුවේදී, සාමය සහ ආර්ථික සමෘද්ධිය ගොඩනැංවීමට සාර්ක් සංවිධානය වාහකයක් කරගැන්ම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමු. අප අතර හුවමාරු වූ තවත් රසවත් මාතෘකාවක් වූයේ ග්‍රාමීය ප්‍රදේශවලට නාගරික පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වන “පුරා සංකල්පය” යි. මේ හමුවීමේ දී ශ්‍රී ජාන් පාල් සිං සමග ඔහු රචනා කළ ‘බිලියන 3 ක් ඉලක්ක කරමු’ තේමාවෙන් යුත් කෘතිය මවෙත තිළිණ කළ අතර, මා මිත්‍ර කලාම් ජීවිතයෙන් සමුගන්නා මොහොතේ මම ඒ පොත කියවමින් සිටියෙමි.
කලාපය පිළිබඳ ඔහු තුළ වූ දැක්ම මෙන්ම තිරසර සංවර්ධනයක් උදෙසා ඔහුගේ නවෝත්පාදක අදහස් අපගේම වූ සංවර්ධන ප්‍රවේශයන් කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇතිවාක් මෙන්ම ඒවා තවත් වසර ගණනාවක් භාවිතයේ පවතිනු ඇති බවට මා හට කිසිම සැකයක් නොමැත.
ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ වියෝවෙන් ශෝකයට පත් එතුමන්ගේ පවුලේ සැමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ පවුලේත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේත් සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි.