ස්විස් ගිණුම් විස්තර එළියට - ශී‍්‍රලාංකිකයින් 40 ක් හඳුනාගැණේ

Published in පුවත්
Sunday, 17 May 2015 20:38

ප‍්‍රංශ පුවත්පතක් වන ලේ මොන්ඬේ යටතේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැළී සිටින ඇමරිකාවේ වොෂින්ටන් නුවර පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සම්බන්ධ අන්තර්ජාතික එකමුතුව (ඉන්ටනැෂනල් කොන්සෝර්ටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ස්) ප‍්‍රසිද්ධ කර තිබෙන රහස් සුවිස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක ශී‍්‍රලාංකිකයින් 40 දෙනෙකුගේ පමණ නම් සදහන්ව තිබේ.

මෙම සංවිධානය රටවල් 65 ක පමණ වෙසෙන මාධ්‍යවේදීන් 190 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් කරනුයේ තමන් වෙසෙන රටවල මෙන්ම වෙනත් විදේශ රටවලද සිදුවන මහා පරිමාන දුූෂණ හා වංචා කටයුතු පිළිඹද තොරතුරු වාර්තා කිරීමය.මෙවන් වාර්තා සකස් කිරීමට ඔවුන්ට ඇතැම් විට සැළකිය යුතු කාලසීමාවක් ගතවන අතර ඔවුන්ගේ ජීවිත වලට එල්ල වන අන්තරායන්ද මෙතෙකැයි කියා කිව නොහැකිය.මෙම සංවිධානයේ සාමජිකත්වය ලබාගත හැක්කේද එම සංවිධානයේ දැනටමත් සාමාජිකත්වය ලබාසිටින මාධ්‍යවේදියෙකුගේ නිර්දේශය මත පමණි.

ඔවුන් මෙවර අනාවරණය කර තිබෙන්නේ රහස් සුවිස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ගේ තොරතුරුය.මේ පුද්ගලයින් අතර ජාත්‍යන්තර පොලිසියට පවා අවශ්‍යව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ,මූල්‍ය වංචාකරුවන්ගේ තොරතුරු තිබේ.මේ අතරින් අපට වැදගත් වනුයේ රහස් ස්විස් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති ශී‍්‍රලාංකිකයින් 40 දෙනෙකුගේ තොරතුරුය.

මේ පුද්ගලයින් ස්විස් ගිණුම්හි මුදල් තැන්පත් කිරීම සදහා යොදාගෙන තිබෙන්නේ මෙරට පෞද්ගලික බැංකුවක් වන එච්.එස්.බී.සී බැංකුවයි.එසේවුවත් මෙම තැන්පතු සම්බන්ධයෙන් එච්.එස්.බී.සී බැංකුව කිසිසේත්ම වරදකරුවෙකු නොවන අතර බැංකුවෙන් ලබාදී ඇත්තේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාවක් පමණි.

විදෙස් රටක බැංකු ගිණුමක් පවත්වාගැනීමට කිසිවෙකුට බාධාවක් නැත.නමුත් ශී‍්‍රලංකාවේ එසේ බැංකු ගිණුමක් පවත්වාගන්නේ නම් ඒ සදහා මහ බැංකුවේ අවසරය ලබාගත යුතුය. මුදල් හුවමාරු පිළිඹද පණතේ සදහන් වන පරිදි, ශී‍්‍රලංකාවේ වාසය කරන කිසිදු ශී‍්‍රලාංකික පුරවැසියෙකුට බැංකුවේ අවසරයකින් තොරව, විදෙස් බැංකුවක ගිණුමක් විවෘත කිරීමට හෝ විදෙස් බැංකුවක් හා ගනුදෙනු කිරීමට හෝ දැනටමත් විවෘත කර ඇති ගිණුමකින් මුදල් ලබා ගැනීමට හෝ තැන්පත් කිරීමට හෝ ගිණුම අත්හිටුවීමට හෝ අවසර නොමැත.

ගිණුම අත්හිටුවීමක් සිදුකළහොත් එම ලැබෙන මුදල් නැවත වරක් එම ගිණුම පිහිටුවා තිබුණු බැංකුවේම තැන්පත් කිරීමට අවස්ථාවක් නොමැති අතර එසේ කිරීමට හැකිවන්නේ මහ බැංකුව අදාළ ගිණුම් හිමියාට ලබාදෙන උපදෙස් ප‍්‍රකාරවය.

මහ බැංකුවේ ඉහළ නිළධරයෙක් සදහන් කළ ආකාරයට මෙසේ විදේශ බැංකු වල මුදල් තැන්පතු තබාගැනීමට පුද්ගලයින් පෙළඹෙන්නේ බදු අයකිරීම් වලින් නිදහස් වීමටය.මේ වගේ ගිණුම් බදු වලින් නිදහස් වෙන්න යොදාගන්න ක‍්‍රම ඔහු හදුන්වාදුන්නේ එළෙසය.අප පුවත්පතේ(sundaytimes) මුල් පිටුවේ සදහන්ව ඇති ආකාරයට ස්විස් ගිණුමක ශී‍්‍රලාංකිකයෙක් තැන්පත් කර ඇති මුදල ඇමරිකා ඩොලර් ලක්ෂ 160 කි.එඞ්මඞ් විජේසූරිය බාලසූරිය නම් තැනැත්තෙකු හා ඔහුගේ බිරිද,දියණිය හා පුතුන් තිදෙනා එක්ව පවත්වාගෙන යන ගිණුමක් ලෙස එය සදහන් වේ.එච්.එස්.බී.සී බැංකු වාර්තා වල සදහන් වන පරිදි ඔහු තමන්ව හදුන්වාදී ඇත්තේ කී‍්‍රඩා සම්බන්ධ අලෙවි සැළක හිමිකරු හා අධ්‍යක්ෂක ලෙසය.

බාලසූරිය යුවළගේ තැන්පතු වල වටිනාකම ඇමරිකා ඩොලර් 10,668,094 කි.ඔවුන්ගේ දියණිය යැයි නම් සදහන් වෙන ලක්ෂ්මි ප‍්‍රනාන්දුගේ තැන්පතුවේ වටිනාකම ඇමරිකා ඩොලර් 1,989,370 කි.එක් පුතෙකු වන රොහාන්ගේ ගිණුමේ වටිනාකම ඩොලර් 1,975,594 කි.අනෙක් පුතුන් දෙදෙනා යැයි සදහන් වන ලක්ෂ්මන් හා අසෝකගේ ගිණුම් වල ඩොලර් 1,975,319 බැගින් ඇත.
මොවුන් ගැන එච්.එස්.බී.සී බැංකු වාර්තා වල සදහන් වන්නේ මෙලෙසය.

මෙම පවුලට හෝටල හා මැණික් ව්‍යාපාරයක් අයත් අතර දැන් දේපළ වෙළදාම් ක්ෂේත‍්‍රයටද යොමුවෙමින් සිටී.ඔවුන් ශී‍්‍රලංකාව හා හොදින් සම්බන්ධව සිටී.කොළඹ,නුවර මෙන්ම දකුණු ප‍්‍රදේශයේද ඔවුන්ගේ ව්‍යාපාර කි‍්‍රයාත්මකය.අප හමුවූ අවස්ථාවේ ඔහු නැගූ එක් පැනයක් වූයේ බැංකුකරුවන් ඔවුන්ගේ සේවා කොළඹ නගරයට පමණක් සීමා කරගෙන සිටින්නේ මන්ද යැයි කියාය.ස්විට්සර්ලන්තයේ යූනියන් බැංකු නියෝජිතයින් පෙර මෙන් තමන් හමුවීමට පැමිනෙන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.එයින් පැහැදිලි වන්නේ මේ කලාපයට එම සේවාවන් තවදුරටත් ලැබෙන්නේ නැති බවය.

තවත් ගිණුම් දෙකක් සම්බන්ධව ඇත්තේ සුබ‍්‍රමනියම් සුරේන්ද්‍රන් නම් පුද්ගලයෙකුගේ නමටය.තමන් කොළඹ ව්‍යාපාරික කවයන්ගේ සාමාජිකයෙකු ලෙස හදුන්වාදී ඇති ඔහු සතුව ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස්ද ඇති බව සදහන්ය.එක් ගිණුමක තැන්පත් කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 6,564,952 කි.අනෙක් ගිණුම ඔහුගේ ඇත්තේ ඔහුගේ බිරිද බව කියන චාර්ලට් රන්ජිතා නම් කාන්තාවකගේ නමිනි.වෘත්තිය ලෙස ගෘහණියක් යැයි සදහන් වන ඇයගේ ගිණුමේ වටිනාකම ඩොලර් 6,495,287 කි.තමන් ඒජන්තවරයෙකු ලෙස රැකියාව කරන බව සුබ‍්‍රමනියම් සදහන් කර ඇත.ඇතැම් අවස්ථාවන් වලදී ඔහු බැංකුව හා ගනුදෙනු කර ඇත්තේ ඔහු වෙනුවට අවසරලත් මැදිහත්කරුවෙකු යොදාගනිමිනි.

බණ්ඩාරවෙල පදිංචි අනුර ලෙස්ලි පෙරේරා නමින් ලියාපදිංචි කර තිබෙන තවත් ගිණුමක වටිනාකම පොලර් 1,622,959 කි.ඔහු එච්.එස්.බී.සී බැංකුව හා සම්බන්ධවී ඇත්තේ දුරකථන මාර්ගයෙනි.ශී‍්‍රලංකාවේ ලිපිනයක ලියාපදිංචිව සිටියද ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සිට බැංකුව හා ගනුදෙනු කර ඇති වස්වනි අරුණ රාජේන්ද්‍ර නම් පුද්ගලයෙකුගේ ගිණුමේ ඇති මුදල ඩොලර් 1,384,149 කි.ඇගලූම් සම්බන්ධයෙන් මෙරට නමක් දිනාගෙන සිටින හිරාද්මානි පවුලේ සාමාජිකයින් තිදෙනෙකුගේද ගිණුම් විස්තර තිබෙන අතර ඒවා පිළිවෙලින් නිකිල් කිෂෝර් ඩොලර් 817,446 විනෝද් කිෂෝර් හා ඔහුගේ දියණිය ලීනා විනෝද් ඩොලර් 646,243 වේ.ලීනා විනෝද් තවත් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එහි වටිනාකම ඩොලර් 646,243 කි.

මිීට අමතරව ස්විස් ගිණුම් පවත්වාගෙන ගොස් ඒවා අත්හිටුවා ඇති අයගේද තොරතුරු ඇත.
ඉහළින්ම සිටිනේන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලිලිත් භූපේන්ද්‍ර කොතලාවලයි.දහස් ගණනක් තැන්පත් කරුවන් අතරමන්කරමින් කඩාවැටුනු ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාර්ඞ් සමාගමේ හිමිකරු වන්නේද ඔහුය.ඔහු එච්.එස්.බී.සී බැංකුවේ ගිණුමක් ආරම්භ කර තිබෙන්නේ 1988 වසරේ දෙසැම්බර් 21 වැනිදා වන අතර අවුරුදු 8 කට පසු එනම් 1997 මාර්තු මස 3 වැනිදා එය අත්හිටුවා ඇත.ඔහුට දේශපේ‍්‍රමිී ගරු නාමය ලැබුනේද මෙම රහසිගත ගිණුම පත්වාගෙන ගිය සමයේමය.

සන්ඬේ ටයිම්ස් සොයාගෙන ඇති පරිදි මොහු මෙම ගිණුමේ තොරතුරු විනිමය පාලනය පිළිඹද දෙපාර්තමෙන්තුවට හෝ දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවට හෝ දැනුම්දී නොමැත.ඔහුගේ සහයකයෙකුවූ දයා රන්ජිත් සේනානායකද මෙලෙසම විදේශ බැංකු ගිණුමක් විවෘත කිරීම හා ඉක්මනින්ම එය වසා දැමිීම සිදුකර ඇති අතර ඒ පිළිඹදව අදාළ අංශ දැනුම්වත් කිරීම ඔහුද සිදුකර නොමැත.මේ තොරතුරු මුලින් හෙළිදරව් කළ මුල් අවස්ථාවේදී එච්.එස්.බී.සී බැංකුව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවෙන් ඉල්ලා සිට ඇත්තේ ඒවා විනාශ කර දමන ලෙසය.නමුත් එම තොරතුරු විමර්ෂණය කිරීමෙන් පසුව අද විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පවතින නීතිරීති හා සැසදීමේදී එදා පැවතුනේ ඉතාම දුර්වල පද්දතියක් බව බැංකුව පිළිගෙන තිබේ.මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කර තිබෙන ලිඛිත ප‍්‍රකාශයේ සදහන් වන්නේ මෙලෙසය.

‘අප දැන් ඉතාම සැළකිල්ලෙන් සොයා බලනවා අප බැංකුව හරහා විදේශ බැංකු ගිණුම් පවත්වාගෙන යන්නට අදහස් කරන පුද්ගලයින්් පිළිඹදව.ගෙවුනු වසර කිහිපයේදී අප ඉදිරිපත් කර ඇති නිර්නායකයන් හා නොගැලපුනු පුද්ගලයින් රාශියකගේ ඉල්ලීම් බැහැර කරන්න අප කටයුතු කළා.අප වෙත පැමිණෙන පුද්ගලයෙක් බදු ගෙවීම් වලින් නිදහස්වීමට මෙසේ විදේශ බැංකු ගිණුවක් විවෘත කිරීමට උත්සාහ කරන බවක් අපට පෙනී ගියොත් ඒ ගැනත් වහාම අප සොයාබලනවා.මේ වගේ කි‍්‍රයාමාර්ග නිසා අද අප හරහා කි‍්‍රයාත්මක වන ස්විස් බැංකු ගිණුම් හිමිකරුවන්ගේ සංඛ්‍යාව 1997 පෙර තිබූ තත්ත්වය හා සැසදුවහොත් සියයට 70 කින් පමණ පහත වැටිලා.’’

ස්විස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙසේ හෙළිදරව් කෙරී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ රටවල් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.මෙම තොරතුරු මුලින්ම එච්.එස්.බී.සී බැංකුවේ සිට ප‍්‍රංශ බළධරයින් අතට ලබාදී ඇත්තේ එහි සේවය කළ පුද්ගලයෙකි.ඒ 2008 තරම් ඈත කාලයකදීය.මෙම තොරතුරු ප‍්‍රංශයේ බදු අය කිරීම් හා සම්බන්ධ බළධරයින්ගෙන් ලබාගෙන ඇති ලේ මොන්ඬේ පුවත්පත ඒවා ගවේෂණය කිරීම සදහා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවේ අවධානය යොමුකිරීමේ අවසාන ප‍්‍රතිඵලය අද දැකිය හැකිය.

බි‍්‍රතාන්‍යයේ,රුසියාවේ,යුක්රේනයේ,ජෝර්ජියාවේ,කෙන්යාවේ,රුමේනියාවේ,ඉන්දියාවේ,පිලිපීනයේ,හා ඇල්ජීරියාව වැනි රටවල හිටපු දේශපාලඥයින් ඇතැමෙක් විදෙස් රටවල බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් තිබෙන බවටද මෙම තොරතුරු වලින් අනාවරණයව තිබේ.

‘මූල්‍ය පද්ධතියෙන් අපරාධකරුවන් හා වංචා කරුවන් ඉවත්කර තබාගැනීම බැංකු වල වගකීමක්’ යැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මරීනා වෝකර් සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවාය.

‘ජීනීවා වල එච්.එස්.බී.සී ශාඛාවට මේ දේ කිරීමට නොහැකිවෙලා තියෙනවා.ඔවුන් කියන උසස් තත්ත්වයේ සේවය ලබාදෙන්න ඔවුන් අසමත්වෙලා තියෙනවා.මේ නිසා වංචනිකයින්ට නීතිගරුක පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් තමන්ගේ ගිණුම් පවත්වාගෙන යන්න හැකිවෙලා තියෙනවා.’ ඇය වැඩිදුරටත් කීවාය.

2013 වසරේදීද ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුව රහසිගත බැංකු ගිණුම් පවත්වාගෙන ගිය ශී‍්‍රලාංකිකයින් පිරිසකගේද තොරතුරු හෙළි කළේය.


ලංකාදීපය ඇසුරෙනි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us