ලිප මොළවල තැටිය රත්කරල දුන්නේ ගිනි තපින්න නොවේ,රොටිය පුච්ච ගන්න - සෝභිත හිමි

Published in පුවත්
Monday, 02 March 2015 08:34

රටේ දූෂණය නාස්‌තිය නැති කිsරීම සඳහා පොදු අපේක්‍ෂකයා නමැති තැටිය හදලා දුම් පිඹලා රත් කරලා දුන්නේ රොටිය පුච්චන්නයි. දැන් ගිනි තපිනවා. අපි බලය දුන්නේ ගිනි තපින්න නොවේ, යයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ "සාධාරණ සමාජයක්‌ සඳහා පුරවැසියෝ සංවිධානය" විසින් "සාධාරණ සමාජයක්‌ අපි කතා කරමු" මැයෙන් ඊයේ (01 වැනිදා) පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේ ද කීය.

සාධාරණ සමාජයක්‌ උදෙසා අහස උසට බලාපොරොත්තු තබාගෙන ජනාධිපතිවරණයට අපමණ වෙහෙසක්‌ දරාගෙන වැඩ කළා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සිද්ධ වේගෙන යන දේ ගැන කතා කරනවා. එදා අපි හැම දෙනාම සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරය ආරම්භ කළේ සෑහෙන කාලයක්‌ සැලසුම් කරලයි.

වෘත්තිය සමිති, විවිධ දේශපාලන පක්‍ෂ සිවිල් සමාජ හමුවී සාධාරණ සමාජයක්‌ සඳහා කුමක්‌ කළ යුතුදැයි කියලා දස වැදැරුම් යෝජනා ඉදිරිපත් කළා. එම දහය ප්‍රධාන තැනකට පැමිණ එකඟ වුණා.

ඒකට සැවොම එකතු වුණා. අපි ඉන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරමු කියලා කිව්වා. ඊට ශ්‍රීලනිප, එ.ජාප. ඇතුළු හැම දෙනාම කැමතියි කිව්වා. මේ සඳහා අපමණ දුක්‌ වින්ද පිරිසක්‌ ඉන්නවා. අපි එදා මේ යෝජනාව මහින්ද රාජපක්‍ෂ නොකරනවා නම් පොදු අපේක්‍ෂකයෙක්‌ හදමු කිව්වා. අපිට කිව්වේ සැඟවුණු අමුත්තා හොයනවා කියලා අපිට අපහාස කළා.

ඔහොම ඉන්නකොට තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා එකතුවුණේ. අපි කිව්වේ හය මසකින් අපේ යෝජනා ඉටුකරන්න කියලා. බලයට ගේන්න කටයුතු කළ ඇතැම් අය දින 100 කින් කරමු කිව්වා. සමහරු එයත් වැඩියි කිව්වා.

ජයග්‍රහණය ලැබුවා. මේ පවතින මැතිවරණ ව්‍යාපාරය දිහා බලාගෙන ගියාම ජයග්‍රහණය කිරීම සිහිනයක්‌ වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාට රැස්‌වීමක්‌ තියන්න පිට්‌ටනියක්‌ ගන්න බැරිවුණා. ට්‍රැක්‌ටර් දාලා මඩ කරලා දුන්නේ. රූපවාහිනිය ඇතුළු මාධ්‍ය මෛත්‍රීපාල මහත්තයට සහය දුන්නේ නැහැ.

අල්ලස්‌ කොමසාරිස්‌තුමාට නීතිය ක්‍රියාත්මක කරන්න වාහන නැහැලු. මිනිස්‌සු නැහැලු. මේවා කිය කියා කල්මරනවා. තැන තැන දාලා ගියපු වාහන තියෙනවා. ඒවා අරන් කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි නම් බලය අඩු කරන්න. එය දින 100 ඇතුළත කරන්න ඕනෑ. ඊළඟට 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ.

ඊළඟට 18 වැනි සංශෝධන අහෝසි කරන්න. පවතින මැතිවරණ ක්‍රමයත් වෙනස්‌ කරන්න. මේක අලුත් මාතෘකාවක්‌ නොවෙයි. දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙනත් තියෙන්නේ. ඒක කරන්න පුළුවන්. මේක දියුණු ලෝකයක්‌. එතරම් කලක්‌ යන්නේ නැහැ. මැතිවරණ ක්‍රමය වෙනස්‌ නොකර යන මැතිවරණ එතනෝල්, කුඩුකාරයන් ඇතුළු ධනපතියන්ට පාර්ලිමේන්තු එන්න නැවත හැකියාව ලැබෙනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත එදා කරු ජයසූරිය මහතා විපක්‍ෂයේ සිටියදී යෝජනා කළා. ඊළඟට ඒ පැවැති ආණ්‌ඩුව කිව්වා. ඒක හොඳ නැහැ අපි හොඳ එකක්‌ ගේන්නම් කිව්වා. ඊළඟට මන්ත්‍රීකම අතහැරල පනින එක. එම ජරා ක්‍රමය ඉවත් කරන්න. මේවා අපි ඉල්ලන්න ඉස්‌සරවෙලා වේදිකාවේත් කතා වෙච්ච දේවල්.

මේ යෝජනා ටික දාන්න පාර්ලිමේන්තුවට. මේවාට විරුද්ධව ශ්‍රීලනිපයට අත උස්‌සන්න බෑ. ඔවුන්ට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යන්න බැහැ. එහෙම වුණොත් යමු මැතිවරණයකට සාධාරණ නම් අපිට ජනතාවට කියන්න පුළුවන්. අපිට තුනෙන් දෙකක්‌ ඉල්ලලා ජනතාව අතරට යන්න. අපි රජයෙන් කිසිවක්‌ බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලන්නෙ මේ දුන් පොරොන්දු ඉටුකරන්න කියලයි. අපි දුම් පිඹල දුම් පිඹල ගිනි දල්වලා තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්නයි. දැන් ගිනි තපිනවා. අපි බලය දුන්නේ ගිනි තපින්න නෙමෙයි.

මට වාහන එපා, මුකුත් එපා. මට පෙර සේ වගේ මොනවා තහනම් කරත් කමක්‌ නැහැ. රූපවාහිනියෙන් බණකට කතා කළා. මම කිව්වා මම එන්නම් තව මාස හයක්‌ ඉමු කියලා. මොකද හැමදාම මට මාස හයකට වඩා ඉන්න ලැබුණේ නැහැ. සීමා පනවලා තහනම් පනවනවා.

මේ රටේ ලක්‍ෂ 62 ක ජනතාව ඡන්ද දුන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. විශ්වාස තැබුවේ එතුමා ගැනයි. විහාරමහාදේවි උද්‍යානයේ දේශපාලන පක්‍ෂ 47 ක්‌ අත්සන් කළා.

sobitha1

එතැනදී පොරොන්දු වුණා දින 100 කින් පොරොන්දු ඉටුකරනවා කියලා. එතුමන්ලා තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, 17 වැනි සංශෝධන ඇති කරනවා. ඡන්ද ක්‍රමය වෙනස්‌ කරනවා කියා එදා පොරොන්දු වුණා.

මෛත්‍රීපාල ජනාධිපතිතුමාට විධායක ජනාධිපති බලතල තියෙනවා. එතුමාට කරන්න පුළුවන්. කාටවත් බයවෙන්නේ නැතිව ඒක කරන්න. අපි එතුමා එක්‌ක ඉන්නවා. ජනාධිපතිතුමා අහිංසකයි. මෛත්‍රිය පාවිච්චි කරන්න ඕන මේ විනාශය නවත්වන්නයි. නැත්නම් අපිත් පරාදයි. අපිට ඉන්නවත් ලැබෙන එකක්‌ නැහැ.

මාව විධායක සභාවට පත්කළා කියලා මට ලිපියක්‌ ලැබිලා නැහැ. මම දන්නේවත් නැහැ. මම එයට දවසක්‌වත් ගිහින් නැහැ.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා -

හැමදාම ආණ්‌ඩු පොරොන්දු පත්‍රිකාවක්‌ දීලා මැතිවරණයට එනවා. එහි නායකයා එම ප්‍රකාශය අනුව ජයග්‍රහණය කරනවා. ඊළඟට එක එක අමතක කරනවා. මේ මැතිවරණ ප්‍රකාශයට කාටවත් අයිතිවාසිකම් කියන්න බැහැ. මේක සංවිධාන 45 ක්‌ එකතුවෙලා හැදුවා. මම ජනරංජනගෙන් ලැයිස්‌තුවේ 45 දෙනා ඉල්ලුවා. ඒකත් නැහැ කිව්වා.

අපි මැතිවරණ ප්‍රකාශයේ දින දැම්මා. මේ මේ දිනයේ ඒක කරනවා කියලා. ඒක නිසා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයාට මුද්‍රණය කර තිබූ මැතිවරණ ප්‍රකාශ ලක්‍ෂ 50 ක්‌ ඉවත් කරන්න වුණේ. ඒ නිසා එයාලට තවත් මැතිවරණ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරන්න වුණා.

ඉදිරි මැතිවරණයකදී මට නම් වැදගත් වන්නෙ දින 100 නෙමෙයි. දින 100 තුළ කරන වැඩ ගැනයි මම හිතුවේ. මට දින 100 ද දින 50 ද කියන එක අදාළ නැහැ. දින 100 කින් නොකරන පොරොන්දු ඉස්‌සරහටත් කරයි කියල මං හිතන්නේ නැහැ.

විධායක ජනාධිපති ක්‍රමයේ විනාශය දැක්‌ක නිසයි සියලු බලය පරාජය කරලා මහජන බලය ඉදිරියට ආවේ. අපි පැරදුණොත් හිරගෙදර කියලත් දැනගෙනයි ආවේ. මම නම් කියන්නේ මේක දිගින් දිගටම ඉදිරියට ගෙනියන්න දේශපාලනඥයන්ට දෙන්න එපා ඔබලා ඉදිරිපත් වෙලා බල කරන්න.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට ශ්‍රීලනිප කෙටුම්පතක්‌ ඉදිරිපත් කරලා තියෙනවා. මුලින් ඒ අය ඒ මතයේ හිටියේ නැහැ. කවුරුවත් පත්කර ගත්ත විධායක ජනාධිපතිවරයා "විලියම් ගොපල්ලව" කෙනෙක්‌ කරන්න කැමැති නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා පත්කර ගත්ත ලක්‍ෂ 62 ක ජනතාවත් එහෙම හිතනවා ඇති. නමුත් ඔහුට විරුද්ධව අධිකරණයට යා නොහැකි සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන කරුණු ජනාධිපතිවරයාගෙන් ඉවත් කළ යුතුයි. ආරක්‍ෂක අමාත්‍යාංශය වැනි කීපයක්‌ තිබුණට කමක්‌ නැහැ කියලා කිව්වා. මම විධායක සභාවට යෝජනා කළා. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරමු. නැත්නම් ඉන්දියාවේ වගේ ජනාධිපති කෙනෙක්‌ පත්කරමු කිව්වා. නැත්නම් මම මීළඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා අගමැතිතුමා ලෙස ඉදිරිපත් කරමු කියලා.

ගමට ගියාම විධායක ජනාධිපති ක්‍රමයට වඩා වෙනස්‌ කරන්න කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයයි. මේ ක්‍රමයට බලයට එන්න එක්‌කො සල්ලි තියෙන්න ඕන නැත්නම් නම තියෙන්න ඕනෑ. මම යෝජනා කරල තියෙන ක්‍රමය අනුව මගෙ මන්ත්‍රී ආසනයත් නැතිවෙලා යනවා.

මේ තියෙන ක්‍රමය තුළ සමහර ආසනවලට මන්ත්‍රීවරු දෙකක්‌ තුනක්‌ සමහර ඒවට එක්‌කෙනෙක්‌වත් නැහැ. කවුරුත් කතා කරන්නෙ තමන්ගේ වාසියට. එවක සිටි මැතිවරණ කොමසාරිස්‌වරයා මට දින 40 න් මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරලා දෙන්නම් කියලා කිව්වා. (රණසිංහ මහතාගේ පාලන කාලයේ)

දැන් කොම්පියුටර් තාක්‍ෂණය තුළ චම්පික ඇමැතිවරයා කිව්වා අවශ්‍ය විදියට අසාධාරණයක්‌ නොවෙන්න හදලා දෙන්නම් කියලා.

මේ පාර්ලිමේන්තු ක්‍රමය ගියොත් විධායක ජනාධිපති ක්‍රමය විතරක්‌ වෙනස්‌ කරලා හරි යනවද? එතනෝල්, කුඩු, දූෂිතයෝ තමයි නැවත පාර්ලිමේන්තුවට එන්නේ. ඒ නිසයි පාර්ලිමේන්තු ක්‍රමවේදයත් වෙනස්‌ විය යුත්තේ.

දින 100 කාලසටහන හොඳයි. එහෙම තිබෙන නිසයි අපි වැඩ කරන්නේ. ඖෂධ පනත ගේන්න මූලික වුණේ සේනක බිබිලේ මහතායි. මේක ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරගෙන තිබෙනවා. පනත ගෙනාපු රටේ පනතක්‌ නැහැ.

විධායක සභාවේ මරණ තර්ජන ඉදිරිපත් කරපු අය ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න. අපි ඒ අයට එරෙහිව කටයුතු කරන්නම්. අම්පාරේ ඇමැතිවරයෙක්‌ නොවෙයි ඕනෑම ප්‍රදේශයක ඉන්න ඇමැතිවරයෙක්‌ ගැන වුණත් පැමිණිලි කරන්න. කවුරු හරි බාධාවක්‌ කරනවා නම් අපි ඒ කවුද කියලත් කියන්නම්.

 

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා - දින 100 ට ඇතුළත් ප්‍රධාන වැඩ දෙකක්‌ වෙනස්‌ කරන්න තමයි කටයුතු කරන්න යන්නේ. 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම ගැන එහිදී කතා කරනවා.

අපි මේ සංශෝධනය කරන්න යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැතිවරණ සමයේ කළ සාකච්ඡා පාදක කරගෙන සහ තවත් කරුණු සැලකිල්ලට ගෙනයි. දැනට කෙටුම්පතක්‌ හදලා තියෙනවා ඒකට රජයේ පාර්ශ්වවල කැමැත්ත ප්‍රකාශ වෙලා තියෙනවා. තව සුළු කාරණා ගැන කතා කරන්න තියෙනවා.

 

ආචාර්ය නිර්මාල් රංජිත් මහතා - පසුගිය ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය තුළ සාකච්ඡා වූ අරමුණු ජනතාවට ගෙන ඒමටයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.

 

divaina

Last modified on Monday, 02 March 2015 08:36

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us